වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




හික්මුණු ජීවිතයක මවුපිය සෙනෙහස අභිනික්මන

හික්මුණු ජීවිතයක මවුපිය සෙනෙහස අභිනික්මන

හෙක්ටර් කුමාරසිරිගේ සිනමා ප්‍රවේශය

කළුවර තුරු වියළට ඉහළ අහසේ සඳ බැබළෙමින් තිබුණි. වියළී ඉපල්ව ගිය ඇත්දෙමට ගස තවමත් ජීවිතය ඉල්ලා ආඳෙීනාවකය. ඉදහිට ඇසෙන පාර වැරැදුණු මා වවුලකුª තටු ගසන හඬ බුද්ධදස්සී හිමියන්ගේ කල්පනාව බිඳ දැමූ සෙයකි. මැටි කලයෙන් වතුර බිඳක් ජෝගුවට දමා ගත් හිමියෝ හාත්පස ගනදුර වෙලා සැතපෙන මහා වන වඳුල දෙස දීප්තිමත් නෙත් යොමු කළහ.

නිහඬ නිසසල අඳුරු වන පෙතින් ඇසෙන රැහැයියන්ගේ නිනව්වක් නොමැති හඬ හිමියන්ට ඇසුණේ තම දුබල මව නඟන අඳෙීනාවකට යටවය. පැරැණි ගරාදියේ පාමුල දෙදන මත ශාන්තව හිඳගත් හිමියෝ නැවත කල්පනාවකය. අබල දුබලව හවු හරණක් නොමැති මවුපියෝ මේ රාත්‍රී තරු වියළ යට කුමක් නම් සිතනවා පතනවා ඇත්දැයි හිමියෝ නැවත කල්පනාවකට සම වැදීය.

‘මගේ පුතේ බුදු වෙන්න’

එදා බෝසතුන් මවගෙගන් ලැබූ විවරණ සේ තමා ද අම්මාගෙන් ආශිර්වාද ලැබූ අයුරු හිමියන්ට සදා නොමැකෙන මතකයක් වූ සැටියකි. එක් පසෙකින් හුදෙකලා වූ අම්මා තාත්තා ගැනත් තවත් අතකින් තමාගෙන් මව්පියන්ට සැලකීමේ වගකීමක් පැහැර හැරී ගියා නොවේද යන පැනයටත් හිමියෝ මේ රාත්‍රියේ නිසසල බව අතර පිළිතුරු සෙවූහ.

කැටයම් දිය වී ගිය කණුවට වාරුදී නැගී සිටි බුද්ධදස්සී හිමියෝ නැවතත් විහාර ගේ එළිපත්තට සක්මන් කළහ.

‘මොකද පොඩි නම සැතපෙන්නෙ නැද්ද?’

බුද්ධදස්සී හිමියන්ගේ ව්‍යාකූල රැලි වැටී ගිය මුහුණ දෙසට නෙත් නොයවමින් නායක හිමිනම ඇසූ පැනයෙන් බුද්ධදස්සී හිමිගේ ගමනේ වේගය බාල වූයේය. කිසිවක් නොදොඩා හිමියෝ තමාගේ ගමනේය.

විහාර ගෙයට ඉහළ පඬු පැහැ අහසේ ඇඳි නොයෙක් විද වලාපෙළ දෙස හිමියෝ බලා උන්නේ අරමුණකින් තොරවය. මාපියන් රැක බලා ගැනීම මේ මොහොතේ තමාට අයත් ජීවිතයේ නොපැහැරිය යුතු කරුණක් ලෙස හිමියෝ නැවත නැවතත් තම උඩු සිත සමඟ සංවාදයකය.

මෙතුවක් කල් තමාගේ වයස්ගත මවුපියන් රැක බලාගත් එකම අක්කා මල්ලිකාට ද දැන් මහ ගෙදරට පැමිණීමට අවසර නැත. මහ ගෙදරට පැමිණ අම්මා සහ තාත්තා රැක බලා ගන්නා මොහොතේ අක්කාගේ පුතු වැවට වැටීම නිසා හටගත් සිද්ධි මාලාව හිමියන්ට ඉහළ අහසේ ඇඳි ව්‍යාකූල වලා සිතුවමකටත් වඩා ගැටලු සහගතය.

දැන් අම්මා සහ තාත්තා රැක බලා ගැනීමට තමා ඉදිරිපත් විය යුතුය. තාත්තාට අම්මා වත්තම් කර ගැනීමට දැන් සවියක් නැත. තබන තැන අඩිය නොරඳා තාත්තා තබන බර අඩිය නතර වන්නේ පියවර කිහිපයක් ඉදිරියෙනි. වතුර පොල්කට්ටක් නවා ගැනීමටවත් දැන් තාත්තාට ශක්තියක් නැති ගානය. මේ මොහොතේ ඒ අඳුරු නිහඬ නිවෙස තුළ මොනවා සිදු වෙනවා ඇතිදැයි හිමියෝ තමාටම ප්‍රශ්න කළහ.

ඉඳහිට තුරු වියළ සිඹින ආකාරයක සුළං රැල්ල හිමියන් පසුකොට නිදහසේ ගලා ගියේය. කිසිදු හැලහොල්මනක් නොමැති සඳ එළිය වැලිමළුවේ හැපී නිදහස් භාවනාවකය. බුද්ධදස්සී හිමියන්ගේ හිත චංචලය. සුළඟ සේ පිවිතුරු වුව ද සුළඟ සේම චංචලය.

දැන් තාත්තා සහ අම්මා රැක බලා ගැනීම තමා අතට ගත යුතුය. අන් අයට ජීවිතය ගැන ඔවා දෙන තමා ආදර්ශවත් විය යුතුය. බුද්ධදස්සී හිමියෝ අවසන් තීරණයට එළඹුණේ මැදියම් රැයෙහි ඇරැඹුමට ඔන්න මෙන්න කියා තිබියදීය.

ඒ තීරණයට අනුව හිමියෝ වැඩි කලක් තම නිවෙසේ ගත කළහ. අම්මා තාත්තා හොඳින් රැක බලා ගනිමින් හිමියන් ඔවුන් දෙදෙනා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් මනාව ඉටු කිරීමට මැලි නොවූහ.

වැඩි කාලයක් නිවෙසේ ගත කිරීම හේතුවෙන් හිමියන්ට ධර්ම පාඩම් මඟ හැරුණේය. ධර්ම ගුණය ලබා ගැනීමට වඩා හිමියෝ මවුපිය උපස්ථානයට මුල් තැන දුන්හ. කාලයාගේ ඇවෑමෙන් හිමියන් පන්සලට වඩා තම නිවෙසේම කාලය ගෙවූහ.

ධම් සභා මණ්ඩපය රැස් වූ දින පන්සලට පැමිණෙන බුද්ධදස්සී හිමියෝ ගම්මුන් සමඟ එක්ව ධර්ම කරුණු සාකච්ඡා කළේය. මේ අතරතුර එක් දිනකදී ගිහියකු ඇසූ පැනයකට හිමි නමට මුනිවත රකින්නට සිදු වූයේ ධම් සභා මණ්ඩපයම විමතියට පත් කරලමිනි. ඉන් අසරණ බවටත් ලජ්ජාවටත් පත් වූ බුද්ධදස්සී හිමියෝ තනිවම තම ජීවිතය ගැන මෙනෙහි කිරීමට පෙළඹෙයි.

කාරුණික, ප්‍රතාපවත් මෙන්ම පරිත්‍යාගශීලී විහාරාධිපති නා හිමියන්ගේ දෝෂ දර්ශනයට පාත්‍ර වන බුද්ධදස්සී හිමියන් මේ සියල්ල තම මවුපියන්ට උපස්ථාන කිරීම වෙනුවෙන් ලැබෙන තුටුුපඬුරු ලෙස සිතයි. මොන යම් ගැටලු පැන නැගුණ ද අම්මා තාත්තා පණ මෙන් රැක බලා ගත යුතු යයි හිමියෝ සිතෙහි අංක එක ලෙස තබා ගනියි.

මේ උභතෝකෝටික ප්‍රශ්න අතර දෝලනය වන හිමියන්ගේ සිත දැන් ශක්තිමත්ය. පැහැබර අහසට නොවරදවාම සක්මන් කරනා සඳ සේ හිමියන්ගේ අරමුණ ස්ථිරය.

නිරතුරුවම වන ලැහැබ අතරින් වැටුණු දුෂ්කර මඟ දුර ගෙවා මහ ගෙදරට පැමිණෙන හිමියෝ ගම්මුන්ගේ කතාන්දර නොඅසමින් අම්මාට සහ තාත්තාට උපස්ථාන කරමිනි. මේ කටයුතුවල නිතර උදව්වට පැමිණෙන සීදේවි උමතු රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන පාරම්පරික වෛද්‍යාචාර්යවරයකුගේ දියණියයි. අශීලාචාර මෙන්ම දඩබ්බර ගති පැවැතුම්වලින් තොර සීදේවි බුද්ධදස්සී හිමියන් කෙරේ ආලයෙන් බැඳේ. මේ ඒක පාර්ශවීය ප්‍රේමය ගැන දන්නා නමුදු නොදන්නා ලෙස හඟවන හිමියෝ තම සංඝ භූමිකාවේ ගෞරවය රකිමින් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී තම කටයුතුවල නිරත වන්නේ දෙමාපිය භක්තිය ආශිර්වාදයක් ලෙස සලකමිනි.

දිනෙන් දින පැන නඟින ගැටලු විසඳුමකින් තොරව අවුල් සහගතව පැටලැවෙයි. බුද්ධිමත් බුද්ධදස්සී හිමියන්ගේ මනස දැන් ව්‍යාකූලය. එන්න එන්නම උත්සන්න වන තාත්තාගේ රෝගී තත්ත්වයත් තත්පරයෙන් තත්පරයය වියැකෙන අම්මාගේ ජීවිතයේ බලාපොරොත්තුවත් බුද්ධදස්සී හිමියන්ගේ සිතට ගෙන ආවේ සියුම් වේදනාවකි. ඒ සියල්ල පරදා විහාරස්ථානයේ ගැටලු ගිනි ඇවිලෙනි. අවසානයේ හිමියෝ කසාවතින් මිදීමට තීරණය කළේ කිසිදු පිළිතුරක් නොවූ තැනදීය.

දැන් බුද්ධදස්සී හිමියන් බුද්ධදාසය. නා හිමියන්ට ද නොදන්වා කසාවතින් මිදුණු බුද්ධදාස දැන් ගැටලුවලින් මිදුණු මිනිිසෙකි. දැන් හේ අම්මාට මෙන්ම තාත්තාට රිසි සේ කළ යුතු දේ කිරීමට අවසර තිබේ. සීදේවි මේ සියලු දෙයට ලබා දෙන උදව් ඔහු ඇතැම් විට ප්‍රතික්ෂේප කරනු ලබන්නේ තමා මෙතෙක් පවත්වාගෙන ආ සුපිරිසුදු විනයානªකූල ජීවිතයට කැලැලක් වේ යයි අටියෙනි.

දඹදිව වන්දනාවේ ගොස් උන් නා හිමියෝ බුද්ධදස්සී හිමියන්ට සිදු වූ දේ ආරංචි වන්නේ අතරමඟදීය. කැවිලි පෙවිලි ද රැගෙන බුද්ධදාසගේ මහ ගෙදරට වැඩම කරනු ලබන නා හිමියෝ ඔහුත් සමඟ දිගු සාකච්ඡාවකය.

මේ සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක් වේවිද?

සීදේවිගේ ඒක පාර්ශවීය ප්‍රේමණීය ගමන . . . . . .

බුද්ධදාසට කුමන ඉරණමක් අත්වේවිද?

මේ සියලු පැනවලට විසඳුම් ගෙනෙන චිත්‍රපටයයි අභිනික්මන. වේදිකාවේ අපූරු පෙරළි සිදු කළ හෙක්ටර් කුමාරසිරිගේ සිනමා ප්‍රවේශය ලෙස කළ එළි බසින අභිනික්මන ළඟදීම තිරගතවීමට නියමිතය.

අභිනික්මන සිනමා කාව්‍යය ගයන්නට අතවැල් බැඳගත් කවි – කිවිඳියන්:

පියා - ජෝ අබේවික්‍රම
මව - අයිරාංගනී සේරසිංහ
බුද්ධදස්සී හිමි / බුද්ධදාස - සුදර්ශන බණ්ඩාර
නා හිමි – ඩබ්ලිව්. ජයසිරි
සෝමදාස - මහේන්ද්‍ර පෙරේරා
සොහොයුරිය – මල්කාන්ති ජයසිංහ
වෙද හාමිනේ – මනෝහාරි විමලතුංග
වෙද මහතා - නිමල් චන්ද්‍රසිරි
සීදේවි - ලෝචනා ලක්ෂිකා
රුවන් – දිනේෂ් රංජන්
උපාසක අප්පු – ප්‍රෙමදාස විතානගේ
ධර්මරතන හිමි – රනිල් කලසිංහ
මිතුරෙක් – ජීවන් හඳුන්නෙත්ති
මිතුරෙක් – ගාමිනී අම්බලන්ගොඩ
මිතුරෙක් – නාලක අධිකාරි
පූරක – දමයන්ත පෙරේරා
සුදොවුන් රජ – කුමාර අබේවර්ධන
ඡන්න ඇමති - රෝහිත හත්තොට්ටුව
රියැදුරු - ලලිත් ප්‍රේමතිලක
නැටුම් ගුරුවරිය – නෘත්‍ය නිපුන් වෙරොනිකා දසනායක
නර්තන ශිල්පිනියන් – රන්දිමා ගෝනවල, හංසිකා
රත්නායක, නුවනි නාමල්ආරච්චි, අයන්ති හේරත්
සංගීත මාස්ටර් - සුසන්ත විජේකුලතිලක
උමතු රෝගී තරුණයා - රංජිත් ගාල්ලගේ
උමතු රෝගී තරුණිය – ගීති දිසානායක
කලා අධ්‍යක්ෂණය – මනෝජ් වික්‍රමසිංහ
අංග රචනය - හෙන්රි ප්‍රේමරත්න
නිෂ්පාදන කළමනාකරු - ජයන්ත ගුණතිලක
සහාය – රංජිත් ගාල්ලගේ
සංස්කරණය – එම්. එස්. අලිමාන්
සංස්කරණ සහාය – රුවන් චාමර / රවීන්ද්‍රලාල්
ශබ්ද පරිපාලන ශිල්පී – ලයනල් ගුණරත්න, සුමිත් ප්‍රියංග
දළ සේයා පට සැකසුම – දිනේෂ් ප්‍රියසාද්
තේමා ගීතය රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය, මෙහෙයවීම හා තේමා ගීතය
ගායනය – කථිකාචාර්ය ශාස්ත්‍රපති නිමන්ත හේෂාන්
සහාය ගායනය – දහම් පතිරණ, සුබුද්ධි ලක්මාලි
සංගීත සංකලනය – හා සංයෝජනය – එල්. බිමල් ගුණතිලක
සහාය - සහන් කුමාරතුංග
ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සැලසුම්කරණය - යසලාල් ලියනගේ
සහාය අධ්‍යක්ෂණය – ප්‍රසන්න ගුණතිලක, නිමල් චන්ද්‍රසිරි
දෙවන සහාය අධ්‍යක්ෂණය - ශානක නිරංජන්
කැමරා අධ්‍යක්ෂණය හා නිශ්චල ඡායාරූප – නිමල් නාකලන්ද
ප්‍රචාරක කටයුතු - කස්සප මහේන්ද්‍ර
නිෂ්පාදනය - සරත් සුභසිංහ, නිමල් චන්ද්‍රසිරි, සුරංග විජේරත්න, දිනේෂ් රංජන්
කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - හෙක්ටර් කුමාරසිරි
විධායක නිෂ්පාදනය – නිමල් චන්ද්‍රසිරි