වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ජනපතිගෙන් අජන්තාට අවසන් ගෞරවය

අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරවය දැක්වූ අවස්ථාව.

එරික්ගේ පරදේසි ඇගයේ ශ්‍රී 420 නොමිලේ

සාහිත මධු සාදය වැඩසටහනෙහි අට වැනි පියවර ලෙසින් මෙම මස 4 වැනිදා එනම් එන සිකුරාදා සවස 1 ට ජාතික චිත්‍රපට සංස්ථාවෙහි තරංගනී ශාලාවේදී රාජ් කපූර්ගේ ශ්‍රී 420 සිනමාපටය ප්‍රදර්ශනය වේ. අනතුරුව සවස 4 ට ප්‍රවීන විචාරක සහ ලේඛක එරික් ඉලයප්ආරච්චිගේ පරදේසි කෘතිය පිළිබඳ මහජන සම්භාෂණයක් පැවැත්වෙයි. එහිදී අචාර්ය ධර්මසේන පතිරාජ, ජයතිලක කම්මැල්ලවීර, පියල් කාරියවසම්, හිනිදුම සුනිල් සෙනෙවි, විදර්ශන කන්නංගර, සිසිර කුමාර මහගම, මහේෂ් කුමාර, ප්‍රියන්ත කොඩිප්පිලි, එරන්ද මහගමගේ ඇතුළු පිරිස අදහස් දක්වනු ඇත. මෙම අවස්ථාව හසිත රුවන් මදනායක විසින් මෙහෙයවනු ලබයි.

‘පින් වඩන පුණ්‍ය භූමි වන්දනා’ වැඩ ඇරඹේ

මෙරට ප්‍රමුඛ පෙළෙහි නළු නිළියන් රැසක් තම රංගන දායකත්වය නොමිලයේ ලබාදෙන බෞද්ධ වාර්තාමය සිනමාපටයක මුහුරත් උලෙළ පසුගියදා කොළොන්නාව රජ මහා විහාරයේදී පැවැත්විණ, සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වූ එය නම් කොට ඇත්තේ 'පින් වඩන පුණ්‍ය භූමි වන්දනා' යනුවෙනි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරට රෝපණය කළ පසු ඉන් මතු වූ අෂ්ඨඵල බෝධීන් වහන්සේලා සහ එම අෂ්ඨ ඵල බෝධීන් වහන්සේලාගෙන් මතු වූ දෙතිස් ඵල බෝධීන් වහන්සේලා පිළිබඳ පර්යේෂණාත්මක වාර්තාවකින් පසු සනත් විසින් තිර රචනය සකස් කළ මෙම වාර්තාමය චිත්‍රපටයෙහි උපදේශකත්වය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගෙනි.

ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, සංගීතා වීරරත්න, දිල්හානි ඒකනායක, ගයේෂා පෙරේරා, නදීකා ගුණසේකර, පාලිත සිල්වා, ජී. ආර්. පෙරේරා, කුසුම් මල්දෙණිය, අනුර ප්‍රියන්ත, සවනි මල්ශානි මෙහි චරිත රංගනයේ යෙදෙති.

කොලොන්නාවේ පූජ්‍ය ධම්මික හිමියන් නිෂ්පාදනය කළ මෙම වාර්තා චිත්‍රපටයෙහි කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ප්‍රසන්න ඉත්තෑපාන සහාය අධ්‍යක්ෂවරයාය. සුනෙත් නන්දලාල්ගේ කලා අධ්‍යක්ෂණයකි. සමීර මධු කිඳෙල්පිටිය අංග රචනා ශිල්පියාය. ගයාන් බුද්ධික සහ ජානක අගාසූරිය දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද, රංග දසනායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක විය. නිෂ්පාදන සම්බන්ධීකරණය කිත්සිරි' මෙවන්ගෙනි. විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග දිනිදු ජාගොඩ ගෙනි. මහේෂ් නිශාන්ත නිශ්චල ඡායාරූප ශිල්පියාය.

මෙහි සියලු රංගන ශිල්පීන් මෙයට දායක වනුයේ ධර්ම දානයක් ලෙසින් බව අධ්‍යක්ෂවරයා සරසවියට සඳහන් කළේය.

ගම්පහ කලාකරුවන්ට උපහාර

එක්සත් ජාතික කලා සංසදයට අනුබද්ධිත සෞන්දර්ය සහෘද සංසදය මෙහෙයවීමෙන් පසුගියදා පැවැති වාර්ෂික සුහද හමුවේදී ගම්පහ දිස්ත්‍රික්කයේ කලාකරුවන් කිහිප දෙනෙකු ඇගැයීමට ලක් විය. ඒ අනුව සිංහල සිනමාවේ රංගන දායකත්වය උදෙසා කළ විශිෂ්ට සේවය වෙනුවෙන් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, දේශීය සංගීතය උදෙසා කළ විශිෂ්ට සේවය වෙනුවෙන් විශාරද අර්ල් ටිරෝන් බෙනට්, සිංහල සිනමාවට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය උදෙසා කළ විශිෂ්ට සේවය වෙනුවෙන් සතිස්චන්ද්‍ර එදිරිසිංහ යන අය ඇගැයීම් සම්මාන ලැබීය. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා එම කලාකරුවන්ට සම්මාන ලබා දුන් අතර සෞන්දර්ය සහෘද සංසදයේ ලේකම් අජිත් ප්‍රසන්න ජයවර්ධන සහ සභාපති අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි මේ අවස්ථාවට සහභාගී වූහ.

දෙමුද සීතල වතුර ටිකක්

ආචාර්ය ලෙස්්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ සන්දේශය ඇතුළු සිනමාපට ගණනාවක චරිත මැවූ තිස්ස උඩංගමුව මේ වන විට අසනීපව ගම්පොළ රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබයි. මේ දිනවල නිතර විකාශය වන 'බොමුද සීතල වතුර වීදුරුවක්' යන වාක්‍ය ඛණ්ඩය ඇතුළත් වෙළෙඳ දැන්වීමෙහි තැඹිලි සීයාගේ චරිතය රඟපාන්නේ තිස්ස විසිනි'. 0724443038 අංකයෙන් ඔහුගේ සුවදුක් විමසිය හැකි අතර තිස්සට මේ මොහොතෙහි යම් උදව් උපකාරයක් කරන්නේ නම් සහනයක් බව ඔහුගේ ඥාති සොයුරෙකු වන සීල විල්වල ආරච්චි සරසවියට පවසා සිටියා.

 

සුනිල් ටී චිත්‍රපට නිෂ්පාදනයක් සඳහා නළු - නිළියන් අවශ්‍යයි

මේවන විට තිරගත වූ ‘දරුවනේ’, ‘දෝණි’ චිත්‍රපට හා ඉදිරියේ දී තිරගත වීමට නියමිත ‘සිංහයා’ චිත්‍රපටය නිෂ්පාදනය කළ සුනිල් ටී නිෂ්පාදන සංසදය නිෂ්පාදනය කරන නවතම චිත්‍රපටය සඳහා නවක නළු - නිළියන් අවශ්‍යව ඇත.

ඔබ අවුරුදු 19 – 21 අතර වයසැති හැඩකාර, හැකියාව ඇති කෙනෙකු නම් මේ මස 07 වැනිදා පෙරවරු 9.30 - 4.00 දක්වා බොරැල්ල සයිකල් බසාර් අසල පිහිටි රාහුල කලායතනයට පැමිණ හමුවන්න.

ඩී.සී. අබේවර්ධන මියයයි

සඳකඩ පහණ හා රේල් පාර චිත්‍රපට නිෂ්පාදනය කළ ඩී.සී. අබේවර්ධන පසුගියදා (පෙබරවාරි 24 වැනිදා) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු (27 වැනිදා) බොරැල්ල කනත්තේ දී සිදුකෙරිණි. ඩී.සී. අබේවර්ධන ගෝල්ඩන් ඊගල් සමාගම් සමූහයේ නිර්මාතෘ මෙන්ම කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි.