වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්

නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්

වෘකයන් මැද කඳු තරණය කරන පිරිසක් ගැන කියන කළු හිම

තවිල් බෙරය හා මෘදංගයේ නාදයේ හඬ ඈතට ඇසෙයි. ඒ නාදයත් සමඟ වරින්වර ඇසෙන සීනු හඬේ මිහිරියාව මුළු පරිසරය ම අරක් ගන්නේ එක්තරා ගුප්තබවක් එහි පැමිණෙන්නන්ගේ සිත්වල ඇති කරමිනි. ඒ ගුප්තබව තවත් වර්ධනය වන්නේ තවිල් බෙරය නාදයෙනි. තැනින් තැන තිබෙන මල්මාලාවල පැහැයේ සුන්දරත්වය හා මුසු වූ සුවඳ සිතේ ඇති කරන්නේ අමුතු ම හැඟීමකි. වරෙක පැමිණෙන දාස් පෙතියා සුවඳත්, තවත් වරෙක පැමිණෙන පිච්ච මල්වල සුවඳත් පැහැදිලිව හඳුනා ගන්නට මෙන් දෙනෙත පියාගත් තරුණියකි. ඈ අසල ම උන්නේ තරුණයෙකි.

උපාලි ගම්ලත් සහ වජිරා රාජපක්ෂ

ඔවුන් පසුපස තවත් තරුණයන් දෙදෙනෙකි. ඔවුන් අතරින් එහාමෙහා යන නළලේ සින්දූර් තවරගත් අය අතර ඔවුන්ගේ සැහැල්ලු ඉරියව් පවසන්නේ සතුටෙන් සිටින තාරුණ්‍යයයි. ඔවුන් දුව යන්නේ සිව්දෙනා ම වරින්වර නාදවෙන සීනුහඬ ඇසෙන කෝවිල දෙසට ය. කෝවිල වැන්ද ඔවුන් දිව යන්නේ ජිප් රියක් වෙත ය.

ජිප් රථය වේගයෙන් නගරයෙන් ඈතට ගමනක යෙදෙයි. කඳුකරයට අතර වේගයෙන් ගමන් කරන එහි සිටින අයගේ සීතලෙන් බේරෙන්නට ඇඳ ඇති ජර්සිය සුළං පහර වැදී ඉහළට එසැවෙයි. එහි උන් එක් තරුණයකු ජිප් රියෙන් ඉහළට එසැවෙන්නේ ශබ්දයක් ද නඟමිනි.

‘විනූ......’

ඒ ශබ්දය යළිත් ඔවුන් කරා පැමිණෙන්නේ කඳු අතර දෝංකාර දෙමිනි. ඔහුගේ අත ඇති යමක් සුළං පහරින් ඉගිල යන්නට පොර බඳයි. එහෙත් මේ තරුණයා සතු ඡවය ඊට ඉඩ නොදෙයි. ඔහු පෙර පරිදි ම තම අසුනේ වාඩි වන්නේ අනෙකාගෙන් ලැබුණු ඉඟියෙනි. ඒ තරුණයා අත ඇති කඩදාසිය පරීක්ෂා කරමින් මොනවාදෝ අනෙකාට පෙන්වන්නේ ඒ අතර ය. එක්වරම ජිප්රිය නවතියි. පළමුව ඉන් බසින්නේ තරුණයෙකි. දෙවනුවත් ජිප්රියෙන් බසින තරුණයා අත ඇත්තේ ගමන් මල්ලකි. තුන්වැන්නී තරුණියකි.

‘ආහ්..... ලස්සන බලන්නකො සචින්’

මීට ටික කලකට පෙර විනූ යැයි ඇමතූ තරුණිය එහි උන් තරුණයකු අසලට ළං වී පවසන්නී ය. කුඳුකර මාර්ගයට පිවිසෙන පටු මාවතකි. සිව්දෙනා ම එහි අවතීර්ණය වන්නේ හොඳීන් කරන ලද පරීක්ෂාවකින් පසුව ය. ඒ අතර උන් තවත් තරුණයෙකු අත ඇති කඩදාසිය යළිත් පරීක්ෂාවට ලක් කරයි. එසැනින් ඔහු ඉක්මනින් තම සඟයන් හා එක්වෙයි.

පෙනෙන නොපෙනෙන මානයේ තිබෙන කඳු වැටිය මත තැනින් තැන දිස් වන්නේ සුදෝ සුදුවන් හිම ය. කන්දේ තැනින් තැන පිහිටි තුරු මුදුන් වසාගෙන ඇත්තේ හිමවලිනි. මේ සිව්දෙනා ගමන් කරන මාර්ගය දෙපස තුරු අතරින් ඇසට නොපෙනෙන තරම් සියුම් හිම බිමට පතිත වෙයි. තරුණිය ඒ තමන් අසලට පතිත වන හිම කැටිති අල්ලා ගන්නට තැත් කරයි. එහෙත් ඒ පහසු කටයුත්තක් නම් නොවේ. මේ දසුන අපට සිහිපත් කරන්නේ සබන් බෝල අල්ලන්නට කුඩා දරුවකු දරන තැතකි.

 

එක්වරම හිම වරුසාවක් බවට පත්වෙයි. බලාපොරොත්තු නොවූ මොහොතක ඇද හැලෙන හිම වරුසාවෙන් බේරෙන්නට ඔවුන් උත්සාහ ගත්තේ තුරුවලට මුවාවෙමිනි. ආපසු හැරෙන්නට අදහසක් මේ තරුණ පිරිස කෙරේ නොවන වග හැඟෙයි. ඔවුන්ගේ ගමන දකින කවරකුට හෝ එවැනි තීරණයකට පැමිණෙන වග නම් සිකුරු ය. හදිසියේ ම ඔවුන්ට ඈතින් දිස්වූයේ වෘකයෙකි. සචින් බැලුවේ ඔවුන් දෙදෙනා පසුපස එන තිවංක හා සුරේන් දෙස ය. නැවතත් ඉදිරිපස බලන කළ වෘකයා අතුරුදන්ව ගොසිනි.

ඔවුන්ට යා හැකිවූයේ මද දුරකි. තැනින් තැන පෙනෙන්නට සිටි වෘකයන් සචින්ගේ සිත් ගත්තේ නැත. ඔහු හෙමින් සිය මිතුරන් දෙදෙනා වෙත ළංවූයේ එන පොට හොඳ නැත යන්න දන්වන්නට ය.

‘සටනක් දෙන්න වෙයි’

අවට බැලූ තිදෙනාගේ සිතට නැඟුණේ එක ම අදහසකි. එය එසේ ම විය. මේ වෘක රැළගෙන් එල්ල වූ ජීවිත අවධානමට තරුණයන් තිදෙනාට හා තරුණියට පිළිතුරු සෙවීමට සිදුවූයේ ක්ෂණයෙනි.

වෘකයන් හා තරුණයන් අතර හදිසියේ ම ඇති වූ සටනෙන් ඔවුන් සිටියේ බොහෝ සේ හෙම්බත්ව ය. රාත්‍රිය උදා වෙමින් තිබිණි. රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය නවාතැනක් සොයා ගන්නට ඔවුන්ට ඒ වනවිටත් හැකියාව ලැබී තිබිණි. ඔවුන් යන ගමන වෙන ම අතකට හැරුණා නොවේදැයි එකිනෙකා සිටියේ තනියෙන් කල්පනා ලෝකවල සිරකාරයන් බවට පත්වෙමිනි. හිරු උදාවන විටත් මේ අය සිටියේ ඒ ඉරියව්වෙන් ම ය. යළිත් ගමන ආරම්භ කළ යුතු නොවේ ද?

ඈතින් පෙනෙන්නේ ගම්මානයක් වග සචින්ට පෙනුණේ ය. ඔහු අනෙක් තිදෙනාව කැන්ද වූයේ මේ සුබ ආරංචිය පවසන්නට ය.

මේ විදියට කඳු තරණය කරන පිරිස කවුරුන්ද? ඔවුන් මෙසේ කඳු අතරින් ඇවිද යන්නේ ඇයි? ගම්මානයට යන්නට ඔවුන් හැකිවේ ද? යළිත් වෘකයන්ගේ පහරදීමට ඔවුන් ලක්වේවිද? ආදී ගැටලු රැසක් ඔබ හමුවට පැමිණෙනු නියත ය. ඒ ගැන දැන ගැනීමට නම් චිත්‍රපට ලෝකයට ඇතුළු වන අලුත් ම චිත්‍රපටය වන ‘කළුහිම’ නරඹන්නට ඔබට සිදුවනු නියත ය.

 

තිරපිටපත හා අධ්‍යක්ෂණය - උපාලි ගම්ලත්
නිෂ්පාදනය - නීතිඥ වජිරා රාජපක්ෂ
ශබ්ද ප්‍රයෝග, වර්ණ ගැන්වීම - ප්‍රවීන් ජයරත්න
දෘශ්‍ය ප්‍රයෝග - සිද්ධාර්ථ නයනානන්ද
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - මීනා ප්‍රසාදිනී, දුමාල් වර්ණකුලසූරිය
නළු - නිළියෝ - අයිරාංගනී සේරසිංහ, නිරෝෂන් විජේසිංහ, සුබුද්ධි ලක්මාලි, කාවිංග පෙරේරා, ටිරාන් වික්‍රමසූරිය, සුලේකා ජයවර්ධන, ගයනි ගිසන්තිකා