වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ළඟ හිටිය නම්...

ළඟ හිටිය නම්...

අපේ රංගන ක්ෂේත්‍රයේ කවීශලා දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් කවිශා කාවින්දි. ඇයව ඔබ වඩාත් හඳුනන්නේ ඩිලානි අබේවර්ධනගේ දියණිය හැටියට. ඒ කවිශා සිංග මචං චාලි රඟපාලා ආයෙත් විදෙස් ගත වුණා. මං කියූ අනෙක් කෙනා තමයි කවිශා අයේෂානි. ඇය නම් ඉන්නේ ලංකාවේ. එයා නම් විදෙස් ගත වන්නේ ඉඳ හිිට.

ඇය රඟපාන වේදිකා නාට්‍ය විදෙස් රටවල පෙන්වන අවස්ථාවන්වලදියි මේ කවිශා රට යන්නේ. ඔන්න දවසක් සොක්කානෝ රජානෝ වේදිකා නාට්‍යහි පිරිවර සමඟින් ඇයට විදෙස් ගත වෙන්න සිදු වුණා. මේ කට්ටිය ගියේ ඩුබායිවලට. සුපිරි ලෙසට දර්ශන වාරයන් පැවැත්වුණා. සියල්ල සතුටින් ගෙදර බලා පිටත් වෙන්න ප්ලේන් එකට නැංගා. යානය පිටත් වුණා. කාටත් කිසිම ආපදාවක් නැහැ. පැයකට විතර පස්සේ ප්ලේන් එක තරමක් පැද්දෙන්න ගත්තා. එන්න එන්න දැන් ඒක සෙලවෙනවලු. කවිශාට තරු පෙනිලා. දැන් ප්ලේන් එක ඔන්චිල්ලාවක් හා සමානයිලු. කවිශා අවට දෙවනත් වෙන්න කෑගහලා. ළඟ හිටපු කෙනාව ඇය බදාගෙන දැන් ලතෝනි දෙනවලු. ඇයට තමන්ගේ අවසාන මොහොත තමයි මේ ගෙවෙන්නේ කියලා හැඟුණලු. හිත හදාගෙන මියැදෙනවා කියලා දෑස පියාගත්තලු. කොහොම හරි කාගෙත් වාසනාවට ප්ලේන් එක කඩා වැටිලා නැහැ. අවට කාලගුණය අයහපත් හින්දලු එහෙම යානය සෙලවිලා තියෙන්නේ. කට්ටිය දැන් ගුවන් තොටුපළෙන් එළියට ආවලු.

එතැන හිටපු තරුණ නළුවකු කියනවලු 'අපරාදෙ මං කවිශා ගාව වාඩිවෙලා ආවෙ නැහැනෙ, නැත්නම් ප්ලේන් එක හෙලවෙන වෙලාවේ මාවනෙ එයා බදා ගන්නේ' කියලා.