වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මුලින්ම සුබ පැතුවේ මගේ ගුරුවරයා

මුලින්ම සුබ පැතුවේ මගේ ගුරුවරයා

 “පරසතු මල්” කලා අධ්‍යක්ෂ

හේමපාල ධර්මසේන

1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා තම පළමු නිර්මාණ කාර්යය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඇගයුම් ලද්දෝ සොයා යන ගමනයි.

1967 වසරේ සරසවිය සම්මාන උලෙළ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණ දායකත්වය ඇගයීමට ලක්වීමේ ප්‍රීතිය විඳ ගන්නට තවත් කලාකරුවෙකුට අවස්ථාව උදා කළ සම්මාන උලෙළක් වූයේය. ඒ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන 'පරසතු මල්' චිත්‍රපටය හේතුවෙනි. ගාමිණී ෆොන්සේකා සමඟින් පුණ්‍යා හීන්දෙනිය ප්‍රධාන චරිත මැවූ පරසතු මල් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සිදු කළේ එම සුවිශේෂ සම්මානලාභියා විසිනි.

හේමපාල ධර්මසේන නම් වූ ඔහු අතින් පරසතු මල් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණ කටයුතු ඉටු වූ අතර ඒ වෙනුවෙන් 1967 වසරේදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඔහුගේ කලා අධ්‍යක්ෂණයේ ආරම්භය සනිටුහන් කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'සංදේශය' චිත්‍රපටයයි. අනතුරුව සිනමා නිර්මාණ රැසකට සිය නිර්මාණශීලිත්වය මුසු කළ හෙතෙම ඒ වෙනුවෙන් සරසවිය සම්මාන කිහිපයකටම උරුමකම් කීවේය. හේමපාල ධර්මසේනයන් සිය අතීතාවර්ජනය සමඟින් ප්‍රථම සරසවිය සම්මානයෙන් පුදලද සුන්දර අවස්ථාවේ අසිරිය ඔබත් සමඟින් බෙදා ගන්නට පැමිණියේය.

සිනමා ක්ෂේත්‍රය තුළ කලා අධ්‍යක්ෂණය තෝරා ගැනීම ඔබේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්?

1958 දී විතර මම රජයේ ලලිත කලායතනයේ අධ්‍යාපනය ලැබුවා. වර්තමානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ලෙසින් වන එදා ලලිත කලායතනයේදී මම ඉගෙන ගත්තේ චිත්‍ර හා මූර්ති ශිල්පයයි. ඒ කාලයේදී අපි නිතරම වගේ ප්‍රදර්ශන පවත්වනවා. ඒ වෙනුවෙන් මමත් මගේ හැකියාවන් පෙන්වන්න නිර්මාණ ඉදිරිපත් කළා. එක ප්‍රදර්ශනයකට මම ඇන්ද සිතුවමක සිංහල මෝස්තර ඇතුළත් වුණා. මේ චිත්‍ර දැකපු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ඒ චිත්‍ර කාගේදැයි ලලිත කලායතනයෙන් විමසා තිබුණා.

අපේ ආචාර්යවරයකු වූ ස්ටැන්ලි අබේසිංහ මහත්තයා කළ දැනුම්දීමකින් මම පීරිස් මහත්තයා හමු වෙන්න ගියා. චිත්‍රපටයක් වෙනුවෙන් ඒ වගේ ඇඳුම් මෝස්තර ටිකක් හදල දෙන්න පුළුවන් ද කියලා එතුමා මගෙන් ඇහුවා. මම ගත්කටටම බැහැ කිව්වා. කොහොමටත් මට චිත්‍රපටයක් ගැන උනන්දුවක් තිබුණේ නැහැ.

ලෙස්ටර් මහත්තයා එදා මගෙන් ඒ ඉල්ලීම කළේ සංදේශය චිත්‍රපටය වෙනුවෙන්. මගේ තවත් ගුරුතුමෙක් වූ ආරියවංශ වීරක්කොඩි සංදේශය චිත්‍රපටයට දායක වෙලා තිබුණා. එහි බලකොටුව, ඇඳුම් මෝස්තර එහෙම ඇඳලා තිබුණේ එතුමා. ඊට පස්සේ ගුරුතුමාගේ උනන්දු කිරීම හා බල කිරීම මත මම එකඟ වුණා. එදා මම රෙදි කච්චිවලට මෝස්තර එකතු කිරීම කළා.

මේ කටයුත්ත අවසන් කළාට පසුව චිත්‍රපටයේ රූගත කිරීම් කරන්න යන්නත් ලෙස්ටර් මහත්තයා ආරාධනා කළා. ඒකටත් බැහැ කිව්ව මම ආයෙමත් බෙලිිහුල් ඔය රූගත කිරීම්වලට යන්න එකඟ වුණේ ආරියවංශ සර්ගේ පෙරැත්තය නිසා. මමත් මගේ මිතුරෙකු වූ පෙරමුණේ රණසිංහත් එක්ක සංදේශය චිත්‍රපට කණ්ඩායමට එකතු වුණත් සිනමාව ගැන නම් අවබෝධයක් තිබුණේම නැහැ. එක දවසක් ලෙස්ටර් මහත්තයා කැමරා ගත කළ දර්ශනයක් මට පෙන්නුවා. ඒක දැකලා තමයි මට සිනමාව ගැන උනන්දුවක් ඇති වුණේ. ඒ වුනත් සංදේශය චිත්‍රපටය මට ගොඩක් අමාරු වුණා. බෙලිහුල්ඔය රූගත කිරීම් ඉතාම දුෂ්කර වුණා. සමහර දේවල් ගැන අපි අහලාවත් නැහැ. සමහර වෙලාවට නොදන්නා දේ ඉල්ලන කොට ඒවා සම්පාදනය කරන්න දැනගෙන හිටියෙත් නැහැ. එක වෙලාවකට මේකද කලා අධ්‍යක්ෂණය කියලත් හිතුණා. කොහොම හරි එදා සංදේශය චිත්‍රපටයේ වැඩ නිම කරලා ආපසු ආවේ ආයෙමත් නම් චිත්‍රපට වැඩ කරන්නේ නැහැ කියලා හිතාගෙන.

නමුත් දෛවය ඔබට සිනමාවෙන් දුරස් වෙන්න ඉඩ දුන්නේ නැහැ?

සංදේශය චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළාට අපි එදා අමාරුවෙන් කළ දේවල්වල ලොකු සුන්දරත්වයක් දකින්න ලැබුණා. ඒ වෙන කොට නැති වෙලා තිබුණු උනන්දුව ආයෙමත් ඇති වුණා. මගේ සිනමා ජීවිතයේ මුල් ගුරුතුමා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්.

අනතුරුව එතුමාගේ නිර්මාණවලට මා දායක කර ගත්තා. ඒ අවස්ථාවලදී මම මගේ අදහසුත් එතුමාට පවසනවා. ඇතැම් අවස්ථාවලදී මම මගේ විරුද්ධත්වයත් ප්‍රකාශ කරලා තියෙනවා. මඩොල් දූව චිත්‍රපටය කරන කාලේ ලෙස්ටර් මහත්තයා රූගත කරන්න මම එනකල් බලාගෙන ඉන්නවා. ඒ වෙනකොට කලා අධ්‍යක්ෂණය ගැන මගේ හිතේ විශාල ඇල්මක් ඇති වෙලා තිබුණේ. වැඩේටම ඇලිලා ඉන්න කොට විශාල සුවයක් දැනෙනවා. මුදල් දිහා බලාගෙනම නොවෙයි සාර්ථක නිර්මාණයක් කළාම දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ.

1967 වසරේදී ඔබට ප්‍රථම වරට සරසවිය සම්මාන උලෙළකට ආරාධනා ලැබෙනවා නේද?

එතකොට මම නිකවැරටිය මහා විද්‍යාලයේ චිත්‍ර කලා ගුරුවරයා ලෙසින් සේවය කරමින් සිටියේ. ඒ කාලේ දැන් වගේ ක්ෂණික ඇමතුම් ක්‍රම තිබුණේ නැහැ. මම දවසක් පාසලේ උගන්වමින් සිටින විට වහාම ලේක්හවුස් එකට එන්න කියලා ටෙලිග්‍රෑම් එකක් එවලා තිබුණා. ඊට පස්සේ මම වේයන්ගොඩ මගේ ගෙදරට ඇවිත් ලේක්හවුස් එකට ආවා.

එවිට තමයි මට සරසවිය සම්මාන උලෙළේ විචිත්‍රත්වය දකින්න ලැබුණේ. සිනමා ක්ෂේත්‍රයේ හැමෝම වගේ එදා සම්මාන උලෙළට ඇවිත් හිටියා. වොලී නානායක්කාර තමයි නිවේදන කටයුතු කළේ. ඔහු හිටිවන කවියක් කියලා තමයි මගේ නම නිවේදනය කළේ. සම්මානය අරගෙන වේදිකාවෙන් බැහැලා එනකොට මුලින්ම සුබපැතුවේ මගේ ගුරුවරයෙක් වූ ස්ටැන්ලි අබේසිංහ මහත්තයා. එදා සම්මාන උලෙළ අමුතුම අවස්ථාවක් විදියටයි මට දැනුණේ. හැමෝගෙම ඔල්වරසන් හඬ මැද්දේ සම්මානයක් ලැබුණා. සුබපැතුම් ලැබුණා. ඒ වගේම විචිත්‍රවත් වූ ඒ සම්මානය හරිම බරයි.

ඒ කාලයේ සරසවිය පත්තරේ කර්තෘවරයා ලෙසින් කටයුතු කළේ විමලසිරි පෙරේරා මහත්තයා. ඉතිං මම එතුමාට ස්තුති කරන්න හිතාගෙන ගිහින් එතුමා හමු වුණා. නිකවැරටියේ හිටිය මාව කොහොමද හොයා ගත්තේ කියලා මම ඔහුගෙන් ඇහුවාම 'සරසවියට හොයා ගන්න බැරි කලාකාරයෙක් නැහැ' කියලා එතුමා කිව්වා.

පරසතු මල් දර්ශන තලයේ මතක සිහිපත් කළොත්?

මම සංදේශය චිත්‍රපටයෙන් පස්සේ සීගිරි කාශ්‍යප, ගම්පෙරළිය වැනි චිත්‍රපටවලට දායක වුණා. ඒ නිර්මාණවලදීත් මට ගාමිණී මුණ ගැසුණා. ඒ කාලයේ සිනමා ලෝකයේ මේ තරම් සෙනඟක් හිටියේ නැහැ. පරසතු මල් තිර රචක පී. කේ. ඩී. සෙනෙවිරත්නත් මගේ හිතවතෙක්. ඔහුයි මමයි ගමේදිත් නිතරම සාහිත්‍ය පිළිබඳ කතාබහ කළා. මෙහි කැමරා ශිල්පියා වූ සුමිත්ත අමරසිංහට මගේ නෑදෑකමකුත් තිබුණා. මාගේ කලා කටයුතු හා කැමරාකරණය පිළිබඳ හොඳට අත්හදා බැලීම් කරන්න හැකියාවක් සුමිත්තට තිබුණා. මේ ආදී කරුණු සමඟින් මට පරසතු මල් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණයට අවස්ථාව ලැබුණා.

පරසතු මල් කතන්දරයේ හොඳ ගැමි සුවඳක් තිබුණා. මමත් ගමේ මිනිහෙක්. ඒ ගැමිකම එක්ක නිර්මාණයේ රසය මට තේරුම් ගියා. ඒ රසය තමයි මම වින්දේ. පරසතු මල් නිර්මාණ කණ්ඩායමත් බොහොම සුහදශීලී කණ්ඩායමක් වුණා.

මේ අතරතුරේ මෙතැනට ආ තවත් කෙනෙක් හිටියා. ඔහු තමයි මහගම සේකර. සේකර තමයි පරසතු මල් හි ගීත රචනා කලේ. අපි සියලු දෙනාම චිත්‍රපටයේ කටයුතු අවසන් කරලා හවසට බොහොම නිස්කලංකව කතාබහ කළා. ඉතිං මේ රසවත්කම තමයි චිත්‍රපටය පුරාවටම ගලාගෙන ගියේ. ඇත්තටම ඒ කාලයේ චිත්‍රපටවල හොඳ රසයක් පැතිරිලා ඉතිරිලා තිබුණා. නරඹන්නන්ට වගේම ඒ රසය නිර්මාණ කණ්ඩායමටත් දැනුණා. ගාමිණී ෆොන්සේකා පරසතු මල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළා. මට කලා අධ්‍යක්ෂණය වගේම සහය අධ්‍යක්ෂණය පිළිබඳවත් වගකීම් පවරලා තිබුණා. පරසතු මල් චිත්‍රපටයේ බොහෝ තැන්වල මම රඟපාන එකත් කළා. හැබැයි ඒ කැමරාවට හසු වෙන්න නම් නොවෙයි.

පළමු සම්මානය ඔබේ කලා අධ්‍යක්ෂණයට ගෙන ආ ධෛර්යය?

මේ වෙන කොට මට චිත්‍රපට අසනීපය වැළඳිලා අවසන්. සරසවිය සම්මානය ලැබීම මා පිළිබඳ කතාබහක් ඇති කළා. විශේෂයෙන් මම සේවය කළ නිකවැරටිය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා මේ සම්මානය ගැන මටත් වැඩිය සතුටු වුණා. ඒ වෙනකොට මට චිත්‍රපට කලා අධ්‍යක්ෂණයට විශාල ඉල්ලුමක් තිබුණා. අවුරුදු දෙකකට දුෂ්කර කාල සීමාව වෙන් වුණත් වසර තුනක් ගත වෙලාවක් මට වෙනත් ප්‍රදේශයකට මාරුවක් ගන්න අපහසු වුණා. කලාපයේ චිත්‍ර කලා ගුරු භවතුන් පිළිබඳ සොයා බැලීම හා ඔවුන් පුහුණු කිරීම් කාර්යය ද පැවරුණු නිසා මට සිනමාවටම වෙන් වෙන්න බැරි වුණා.

ඉන් පසුව ගුරු වෘත්තියට සමු දීලා මම සිනමාවට මගේ කාලය කැප කළා. ඒ කාලයේ ඕනෑ තරම් චිත්‍රපටත් තිබුණා. ඒ වුණත් මම මගේ දායකත්වය දුන්නේ තෝරා ගත් චිත්‍රපටවලට විතරයි. වාණිජ රැල්ලේ චිත්‍රපට මම ප්‍රතික්ෂේප කළා. මගේ මාධ්‍ය වුණේ කලාත්මක සිනමාව පමණයි. මට රසයක් දැනුණෙත් කලාත්මක චිත්‍රපටවලින් විතරයි. ගඟ අද්දර, සසර චේතනා, සුදු සෙවණැලි වැනි චිත්‍රපට මා සරසවිය සම්මානයට පත් කළා.

ඔබේ සිනමා කාර්යය තුළ හමු වූ අධ්‍යක්ෂවරුන් වගේම සොඳුරු මතක ගැනත් සිහිපත් කරමු?

සුමිත්‍රා පීරිස් ඒ කාලයේ මට හමු වූ කලාත්මක අධ්‍යක්ෂවරියක්. එතුමිය අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි චිත්‍රපටයෙත් හොඳ කලාත්මක රසයක් තියෙනවා. ඇයගේ කැමරා කෝණ වෙනස්. නිර්මාණකරණයේදී අපේ අදහස් එකිනෙක ගැළපුණා. මම දායක වූ චිත්‍රපට අතරින් හොඳම නිර්මාණය විදියට තෝරා ගන්නෙත් ගඟ අද්දර චිත්‍රපටයයි. එහිදී මම වර්ණ ගැන ගොඩක් සැළකිලිමත් වුණා. ඒ නිසාම කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න සමඟින් තර්ක කළ අවස්ථාත් තිබුණා.

ගඟ අද්දර චිත්‍රපටයේ රස මුසු අවස්ථා රැසක් තිබුණා. මොකද ගඟ අද්දර චිත්‍රපටයේ ගෙදර පිහිටලා තිබුණේ ගිරිඋල්ලේ. ගඟ තිබුණේ හංවැල්ලේ. ගෙයින් එළියට ඇවිත් ගඟට පනින දර්ශනයේදී ඒ වෙනස නොදැනෙන්න මට ලොකු වගකීමක් ගන්න වුණා. ඒ නිසා ගිරිඋල්ලේ ගෙදර තිබුණු ඇතැම් සලකණුවල ආදර්ශ මම හංවැල්ලට අරගෙන ගියා.

මඩොල් දුව චිත්‍රපටයේ උපාලි එක්ක තාත්තා ගුරුවරයා හමු වෙන්න යන අවස්ථාවත් එහෙම එකක්. ගෙදරට ඇතුළු වන පඩි පෙළ විදියට තෝරා ගත්තේ වැලිගම මුස්ලිම් පල්ලියක පඩි පෙළක්. ගෙදර ඉස්තෝප්පුව තියෙන්නේ ඊට හැතැප්ම හයකට විතර එහා අහංගම ගෙදරක. ගෙදර කාමරය තියෙන්නේ ඊටත් එහා කොග්ගල පිහිටි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර. මේ කිසිවක් නොදැනෙන ලෙස නිර්මාණය කිරීම අභියෝගයක්. නමුත් අපි එදා බොහොම සුන්දරව ඒ කටයුතු සාර්ථකව ඉටු කළා.

මහගමසේකරත් මට කටයුතු කරන්න ලැබුණු අපූරු අධ්‍යක්ෂවරයෙක්. සේකරයන්ගේ තුංමං හන්දිය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වගේම සහාය අධ්‍යක්ෂණ කටයුතු කළෙත් මම. සේකර කියන්නේ අනිත් හැමෝටම වඩා වෙනස් අධ්‍යක්ෂවරයෙක්. ඔහුට අවශ්‍ය කලාව ඒ විදියටම තියෙන්න ඕනෑ. ඒවායේ සරසිලි ආයිත්තම් ගැන නෙවෙයි කතාන්දරයට අදාළ වූ කලා රසය පමණයි ඔහු අවධානයට ගත්තේ. නිර්මාණයත් චිත්‍ර ශිල්පියෙක් ගැන කියන එකක්. මමත් චිත්‍ර ශිල්පියෙක්. සේකරත් චිත්‍ර ශිල්පියෙක්. ඒ නිසා සතුට තවත් වැඩි වුණා වගේම අපි දෙන්නට සහයෝගයෙන් කටයුතු කරන්නත් හැකි වුණා.

සිනමා ක්ෂේත්‍රයේදී ඔබේ ගුරුහරුකම් ලද ගෝල පිරිස ගැන මොකද හිතෙන්නේ?

පසු පරපුර වෙනුවෙන් ගෝලයෙක් විදියට කෙනෙක් තෝරා ගන්නා විටත් මම ආවාට ගියාට තෝරා ගත්තේ නැහැ. ඒකත් හරියට මම චිත්‍රපට තෝරා ගන්නවා වගේ තමයි කළේ. ඒ අනුව මගෙන් ගුරුහරුකම් අරගෙන ලංකාවේ ඉහළින්ම සිටින වගේම ලෝකයේත් අවධානයට ලක් වූ එරල් කෙලී මගේ ප්‍රථම ගෝලයා. ඔහු මේ කලාව තුළ හොඳ සාර්ථකත්වයක් ලබා ගත් කෙනෙක්.

කොහොම වුණත් මමත් ගෝලයන් දිහා වේදනාවෙන් බැලූ අවස්ථා තිබුණා. කලා ක්ෂේත්‍රය තුළ කලා අධ්‍යක්ෂවරයෙක් ලෙසින් යන ගමන හරියටම කියන්න බැහැ. ඔවුන් ඉබාගාතේ ගිහින් අනාථ වේවි යැයි මම බිය වුණා. අතුල සුල්තානාගොඩ කියන්නේ මේ තත්ත්වය තේරුම් කරලා තියෙද්දිත් ක්ෂේත්‍රයට පැමිණි අයෙක්. උපතිස්ස, චන්දන නිශාන්ත පීරිස්, ලයනල් ලියනගේ වැනි අය ක්ෂේත්‍රය තුළ සාර්ථක වීම මට ලොකු සතුටක්. ඇත්තටම මේ හැමෝගෙම දායකත්වය අනුව මගේ උපදෙස් අපතේ නොගිය බව දැනෙනවා.