වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




බයිස්කෝප්වලින් ජීවත් වෙන්න පුළුවන් වුණා නම් විදෙස් ගත වෙන්නේ නැහැ

බයිස්කෝප්වලින් ජීවත් වෙන්න පුළුවන් වුණා නම් විදෙස් ගත වෙන්නේ නැහැ

- අජිත් ජිනදාස

දිගු කලකට පසු අජිත් ජිනදාස ලංකාවට පැමිණ සිටියි. මේ වන විට කැනඩාවේ දිවි ගෙවන ඔහු පසුගිය වසර කිහිපය තුළ ඉඳහිට මෙරටට පැමිණියේය. එක්තරා යුගයක හෙළ සිනමාවේ සුපෙම්වතා වූ අජිත් රංගනයට පිවිසෙනුයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ මඩොල් දූව චිත්‍රපටයෙනි. එහි උපාලි ගිනිවැල්ලේගේ චරිතයට පණ පෙවීමට තරම් වාසනාවන්ත වූ හෙතෙම පසුකාලීනව සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියකු වූවේය. 1999 වසරේදී රතු අලුයම සිනමාපටයෙහි රංගනයෙන් අනතුරුව විදෙස් ගත වූ අජිත් වර්තමානේදී කැනඩාවෙහි පදිංචිව සිටියි. හදිසියේම මව් රටට පැමිණි අජිත් 'සරසවිය'ට ගොඩ වැදීමට අමතක නොකළාය.

අජිත් තවම ඔබට මුල මතකයි නේද?

මොකද නැත්තේ. සරසවිය පුවත්පතහි පළ වූ පුවතක් ඔස්සේ තමයි මට රංගනයට පිවිසීමට අවස්ථාව උදා වුණේ. එතැනින් මං රංගන ජීවිතය ආරම්භ කළා. මඩොල් දූවෙන් පසුව සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි සිනමාපටයෙහි ප්‍රධාන චරිතය වූ නිමල් සතුරුසිංහට පණ පෙව්වා. ඒකත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්.

ඔබ මෙවර ලංකාවට ආවේ?

මගේ අම්මා අසනීප වුණා. ඇය දැන් වයසයි. ඉතින් මට සැරින් සැරේ එන්නත් බැහැනෙ. ඒක නිසා ඇයව බලලා යන්න ආවේ.

කොපමණ කාලෙකට පසුවද මේ ඔබ මෙහෙම ලංකාවට ආවේ?

වසර දෙකහමාරකට පමණ පසුව.

මෙහෙට ආව ගමන් වේදිකා නාට්‍යයක රඟපෑවලු නේද?

මං ආව දිනට පසුවෙනිදා කේ. බී. හේරත්ගේ මායදේවි නාට්‍යය බොරැල්ල පුංචි තියෙටර්හි රඟදැක් වූවා. මං එහි ආරම්භක සාමාජිකයෙක්නෙ. සුගත් නම් වූ චරිතයකුයි මං මායා දේවි හි නිරූපණය කලේ. මා ආ වග දැනගත් අපේ හිතවත්තු මට නාට්‍යයෙහි රංගනයට ආරාධනා කළා. ඉතින් නෑ බෑ නොකියා මං ඊට සහභාගි වුණා.

තවම දෙබස් මතකයි වගේ නාට්‍යයේ?

මොකද අමතක. හොඳට මතකයි. මේ වෙලාවේ මායා දේවිහි සුගත්ගේ චරිතය රඟන ජනක කුඹුකගේව මතක් කළ යුතුමයි. ඔහු එදා ස්ව කැමැත්තෙන්ම මට සුගත්ගේ චරිතය රඟපාන්න අවස්ථාව දුන්නා. මම එකපාරටම ඇවිත් ඔහු කර කර හිටපු චරිතය කළා නේද කියන හැඟීම මවෙත ආවා. නමුත් ජනක මාව හොඳින් තේරුම්ගෙන තාවකාලිකව සුගත්ව මට බාර කළා.

චිත්‍රපටයක රඟපාන්න ආරාධනා ලැබෙන්නත් ඇති?

ඔව්. දෙක තුනකටම කතා කළා. ඒත් කෝ වෙලාව. මගේ නිවාඩු ඉවරයි මාර්තු දෙවනිදා වෙන කොට. මට කතා කරපු චිත්‍රපටයන්හි රූගත කිරීම් ඇරැඹෙන්නේ අප්‍රේල් හෝ මැයිවල. සුමාන දෙකක් විතර ඒ වෙනුවෙන් කැප කරන්න ඕනෑ. අකැමැත්තෙන් වුවත් ඒ අවස්ථා ප්‍රතික්ෂේප කළා.

ලංකාවේ කලා ක්ෂේ්ත්‍රයෙහි වත්මන් තත්ත්වය ගැන ඔබට මොනවද පවසන්න තියෙන්නේ?

ඇත්තටම කිව්වොත් ලංකාවට ඇවිත් මෙහොතක් මං ගෙදර හිටියේ නැහැ. එහෙට දුවනවා, මෙහෙට දුවනවා. ඉවරයක් නැහැ මෙහෙ ගමන්. මට ටී. වී. එකක් බලන්නවත් වෙලාවක් නැති වුණා. ක්ෂේත්‍රය ගැන මට වගකිවයුතු ප්‍රකාශයක් කරන්න බැහැ ඒ හින්දා.

කැනඩාවේදී කලා කටයුතුවලට සහභාගි වුණේ නැතිද?

මට එහිදී මූලිකත්වය දෙන්න සිදු වුණේ රැකියාවට පමණයි. කලා කටයුතුවලට හිත යොමු කළේම නැහැ. එරටෙහි ප්‍රදර්ශනය කළ චිත්‍රපට නැරැඹුවා. එතැනින් එහාට කලාවහි කිසිම සබඳතාවයක් තිබුණේ නැහැ.

ඔබට කලාකරුවකු හැටියට එරටහිදී යම් පිළිගැනීමක් තියෙනවාද?

ඔබ ඔවැනි දෙයක් අහපු එක හොඳයි. අපව එහෙ උදවිය වැඩිය හඳුනනවා අඩුයි. මාව තවත් එක් පුද්ගලයෙක් පමණයි එරටට. නමුත් කෙටි කාලෙකට පවා ලංකාවට ආවාම ලැබෙන පිළිගැනීම නම් ඉතාම ඉහළයි. තවමත් අපට ලංකාවේ තැනක් තියෙනවා නේද කියලා හිතෙනවා. මේ සැරේ ආව වෙලාවෙත් එහෙමයි. නානාප්‍රකාර වැඩසටහන්වලට ආරාධනා ද එමටයි.

එවන් වූ තත්ත්වයක් තිබිලත් ඇයි ඔබ ලංකාවෙන් ගියේ?

මං දන්න එකම වෘත්තීය තමයි බයිස්කෝප් කලාව. ඒ ජොබ් එකෙන් පමණක් ජීවත්වීමට හැකියාවක් නැහැ. ඒකයි විදෙස් ගත වුණේ.

ඒ කාලයේ ඉඳලම නොනවත්වාම රංගනයේ යෙදුණා නම් අද ඔබ ප්‍රමුඛ පෙළේ වෘත්තීය රංගන ශිල්පියෙක් බවට පත් වෙන්න තිබුණා කියලා හිතෙන්නේ නැතිද?

දෛවය තමයි හැම දෙයක්ම තීරණය කරන්නේ. ඔබ ඔය කිව්වා වගේ ඇතැම් විට එහෙම හිතෙනවා. නමුත් ඒකේ අනෙක් පැත්ත වෙලා තිබුණොත්. මං මේ සෘණාත්මකව හිතනවා නෙවෙයි. එදා රජවරු වගේ වැජඹුණ නළුවන් කී දෙනෙකු ඉන්නවද අද වැඩ නැතුව. කොහොම වුණත් අද මං ආර්ථික වශයෙනුත් යම් තැනක ඉන්නවා. දෙවියන්ගේ පිහිටෙන් ලංකාවට මොහොතකට හරි ආවත් රංගනයට ඇරැයුම් පිට ඇරැයුම් ලැබෙනවනෙ. තවම මාව ක්ෂේත්‍රයට ඕනෑ කියලායි මට හිතෙන්නේ.

කවදද ඔබ දීර්ඝකාලීනව ලංකවේ පදිංචියට එන්නේ?

මම තීරණය කරලා ඉවරයි විශ්‍රාම යනතෙක් කැනඩාවේම රැකියාව කරන්න. තව වසර කිහිපයක් මං ඇතුළු මගේ පවුලේ උදවිය සමඟ කැනඩාවේ ඉඳීවි. ඊට පසුව තීරණය කරනවා ලංකාවට එන්න.

ඔබ කාලයක් රංගන ශිල්පියකු විදිහට හිටියා. ඔබේ සමකාලීනයෝ අධ්‍යක්ෂණයටත් පිවිසිලා?

නිර්මාණකරුවෝ විදිිහට මටත් හීන තිබෙනවා. ඒ හීන අතරේ කොනක අධ්‍යක්ෂණයනට පිවිසීමේ හීනයක් තිබෙනවා. ලොකු කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්නට අවශ්‍යයයි. මං අර කිව්වා වගේ රැකියාවෙහි කටයුතු හමාර කරලා නිදහස් පුද්ගලයකු වෙලා අධ්‍යක්ෂණයට නොවැරැදීම පිවිසෙනවා.

ඔබ කලින් කිව්වා ලංකාවට ඇවිත් ටෙලි නාට්‍යක්වත් නැරැඹුවේ නැහැ කියලා. අඩුම තරමේ චිත්‍රපටයක්වත් බැලුවේ නැතිද ලංකාවේ වර්තමානයේ ප්‍රදර්ශනය වන?

හෝ ගානා පොකුණ බලන්න ආසාවෙන් ඉන්නවා. යන්න කලින් ඒක බලන්න ඕනෑ. අනෙකුත් චිත්‍රපට නරඹන්න හිතක් නැහැ.

ඔබ කැනඩාවේ යන දිනය තිරණය කළේ මනෝරත්නගේ නවතම වේදික නාට්‍ය නරඹලා?

ඔව්. ඒක හරි. මනෝ මගේ අතිජාත මිත්‍රයෙක්. ඔහුගේ නවතම වේදිකා නාට්‍යය වන හඬ නිහඬ නරඹලාම යන්න කියලා ඔහු මට ආරාධනා කළා. ඉතින් ඒ ආරාධනාව ඉවත දමන්නට බැරි හින්දා ඒක බලලම කැනඩා යන්න තීරණය කළා. හඬ නිහඬ වේදිකා ගතවන දිනම රාත්‍රියේ තමයි මට ෆ්ලයිට් එක තියෙන්නේ.

හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේදී තමයි ඔබ ඊට එකතු වන්නේ. අද වන විට මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

අපි හරිම වාසනාවන්තයෝ. මොකද ඒ කාලේ කලාවට එකතු වුණ අය හැටියට අපට ගොඩක් දේවල් ලැබුණා. ඒවා ශේෂ නොවී තිබෙන හින්දා තමයි අජිත් ජිනදාසට අදටත් ලොකු පිළිගැනීමක් තියෙන්නේ. මං මං ගැනම පම්පෝරි ගහනවා නෙවෙයි. මට හිමි වෙච්ච දේවල් ගැන කතා කළේ. ලෙස්ටර් සිනමාවේදියාණන්, යසපාලිත මහත්මයා වගේ අයත් එක්ක වැඩ කරන්නට හැමෝටම අවස්ථාව උදා වන්නේ නැහැ. එක අතකින් බලද්දී අපි පින් කරලා තියෙනවා.