වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී, ඊරියගොල්ලගේ රැස්වීමකින් දේශපාලන ගමන අරඹයි

ගාමිණී, ඊරියගොල්ලගේ රැස්වීමකින් දේශපාලන ගමන අරඹයි

එදා ගාමිණීගේ නිවසේ බොහෝ වේලාවක් ගත කරමින් සිට මා පිටත්වීමට සූදානම් වන විට ඔහු මගේ පුද්ගලික තොරතුර විමසුවේය. එදා කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේදී ඔහු දුන් සුරය සහිත රන් මාලය ගැන ද, මගේ ඥතියකු ගැන ද මම තොරතුරු කීවෙමි.

'ගුණේ මගේ හොඳ යාළුවෙකේ'. ගාමිණී මගේ ඥාාතියා වූ ගුණරත්න රත්නායක ගැන කතා කළේ ඔහුගේ දක්ෂතා අගය කරමිනි.

මම දැන් දිගටම ගාමිණී ගැන විශේෂාංග ලිපි ලීවෙමි. ඇතැම් විට ඔහු ටෙලිෆෝනයෙන් අලුත් ආරංචි කියයි. කල්යත්ම ඔහු හා මා කතා කළේ ගෙදර කෙළවර මුළුතැන්ගෙයට යාබද අඩ අඳුරේ පුටු දෙකක් තබාගෙනය. එවිට මුළුතැන් ගෙයින් රාත්‍රී කෑමට ද ආරාධනය ලැබෙයි. ඒ හැම විටම ගාමිණීගේ බිරිඳ සුමිත්‍රා රාත්‍රී කෑමට ද ආරාධනය කරන්නීය. 1970 මහා මැතිවරණ උණුසුම නැඟ ආවේ 1970 මුල සිටය.

'ගාමිණීි දේශපාලනයට එනවා'.

'ගාමිණී දෙහිවල ගල්කිස්ස ආසනයට යූ. එන්. පීයෙන් තරඟ කරනවා'

එබඳු ආරංචි රැසක් පැතිර ගියේය.

'ගාමිණී අයියා දේශපාලනයට එනවද?' මම දිනක් ඔහුගෙන් ඇසුවෙමි.

'පිස්සුද?' ඔහු සරලව පිළිතුරු දුන්නේය.

ටික වේලාවකට පසු ඔහු කතා කරමින් මෙසේ කීවේය.

'ඩඩ්ලි සේනානායක මහත්තයා අපේ රටේ ඉන්න අවංක දේශපාලනඥයා. එතුමාට මගේ ආදරයක්, ගෞරවයක් තියෙනවා. එච්චරයි. ප්‍රේ්මදාස මහත්තයත් කලාවට ආදරෙයි. එයා මගේ හොඳ මිත්‍රයෙක්. ගිය සතියෙත් මෙහෙ ඇවිත් ගියා.'

මැතිවරණය ඇරඹීමත් සමඟම හිටි හැටියේ කුලියාපිටිය එ. ජා. ප. රැස්වීමක අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාට ආධාර පිණිස ගාමිණී කතා කරන ඡායාරූපයක් පත්‍රයක පළ වී තිබුණි. ඒ වේදිකාවේ ඩඩ්ලි සේනානායක මහතා ද විය.

අයිසේ ඊරියගොල්ල මහත්තයා කියන්නේ අවංක, හිතට එකඟව, භය නැතිව කතා කරන කෙනෙක්'

ගාමිණී ඒ කාලයේ මට කීවේ 'මට එතුමාගේ ඉල්ලීම අහක දාන්න බැරිව ගියා' කියාය.

'හරියටම ගාමිණී අයියාගේ ගතිගුණ ඊරියගොල්ල මහත්තයට තියෙනවා කියලා මට කව්ද කිව්වා'

'මොනවද ඒ ගති ගුණ' ගාමිණී සිනාසෙමින් ඇසුවේය.

'හිතුවක්කාරයි, කාටවත් නැවෙන්නේ නෑ, යුක්තියට ගරු කරනවා, කියන්න ඕනෑ දේ මූණටම කියනවා.'

ඔහු සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.

1970 මැතිවරණයේදී යූ. එන්. පියට නළු නිළියෝ රොද බැඳ ගත්හ. මැද කොළඹ ප්‍රචාරක රැස්වීමක් කොස්ගස් හන්දියේ පැවති අතර එයට ගාමිණී, ජෝ අබේවික්‍රම, රුක්මණී, එඩී, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, මිල්ටන් ජයවර්ධන, ශාන්ති ලේඛා, බැප්ටිස්ට් ප්‍රනාන්දු, නීල් රූපසිංහ සහභාගි වූ අයුරු මට මතකය. මේ රැස්වීම සම්බන්ධීකරණය කළේ ආරියරත්න කහවිටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එල්. එම්. පෙරේරා, ඩොමී ජයවර්ධන, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, පියදාස ගුණසේකර, රෝයි ද සිල්වා, ස්ටැන්ලි පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනි සී. පෙරේරා, විමලා ජයවර්ධන, සුමනා අමරසිංහ, නවනන්දන විජේසිංහ, ෂේන් ගුණරත්න, සේන සමරසිංහ, එම්. කේ. ඩයස් සහභාගි වෙමින් කථා පැවැත්වූහ.

මේ මැතිවරණය නියම තරු සංග්‍රාමයක් විය.

1970 මහ මැතිවරණයෙන් ශ්‍රී. ල. නි. ප. අති විශිෂ්්ට ජයග්‍රහණයෙන් පසු ගාමිණීට සතර අතින් තර්ජන ගර්ජන ගලා එන්නට විය. ඔහු රඟපෑ 'ආත්ම පූජා' චිත්‍රපටය තිරගත වූ සිනමා ශාලා ගිනි තැබූ බව අසන්නට ලැබුණි. රත්නපුරයෙන් හා සබරගමු පළාතෙන් මේ තොරතුරු වැඩි වශයෙන් ගලා එන්නට විය.

ගාමිණීගේ නිවසට රැකවරණ දීමට චිත්‍රපට සටන් නළුවෝ කිහිප දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. ක්‍රමයෙන් මේ උණුසුම මැකී ගිය අතර ඔහු රඟපෑ තිරගත වූ 'ඔහොම හොඳද' චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් ප්‍රදර්ශනය වූයේ දින 100 පසු කරමිනි. ඉන් පසු තිරගත වූ 'හතර දෙනාම සූරයෝ', 'වැලිකතර', 'නිධානය', 'එදත් සූරයා අදත් සූරයා' , 'ආදරේ හිතෙනවා දැක්කම' ආදී චිත්‍රපට සියල්ලම වාණිජමය අතින් සාර්ථක විය.

ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ සිටි ගාමිණී ගැන පොතක් පළ කළොත් එයට හොඳ ඉල්ලුමක් තිබේ යයි 'සරසවිය' කර්තෘ මණ්ඩල සගයන් මට යෝජනා කළේ 1972 වසරේදීය.

'සරසවියේ කට්ටිය ගාමිණී අයියා ගැන පින්තුර දාලා හොඳ සමරුවක් කරමු කියලා යෝජනා කළා'. මම දිනක් පරෙස්සමින් කල්යල් යවා කීවේය.

'හොඳා කරන්න.'

අපි සියලු කටයුතු සංවිධානය කළෙමු. සරසවියේ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර ද සමඟ මම විවේක දිනයක ගාමිණීගේ නිවසට ගියෙමි. ඔහුගේ බිරිඳගේ විශේෂාංගයන් ලියා ගත් පසු එතුමියගෙන් ගාමිණීගේ කුඩා කාලයේ පින්තූර කිහිපයක් ද ලබා ගතිමු. ගාමිණීගේ පින්තුර වැඩි ප්‍රමාණයක් ගෙන තිබුණ බන්දු තවත් අගනා පින්තූර රැසක් ගත්තේය.

ඔප කඩදාසියේ මුද්‍රිත 'ගාමිණී ෆොන්සේකා නළු නිළි සමරුව අංක 1' නම් එම සඟරාවේ පිටපත් 5,000 ක් අපි මුද්‍රණය කළෙමු. පිටපතක මිල රු 2.50 කි. එය බෙදා හැරියේ දයාවංශ ජයකොඩි සමාගමය. සරසවිය පත්තරේ අපි පුංචි දැන්වීමක් පළ කළෙමු. පැය දෙකක් ඇතුළත පිටපත් 5000 ම විකිණී අවසන් විය. දෙවන මුද්‍රණය 10,000 පිටපත් උණු කැවුම් මෙන් විකිණී ගියේය.

අපි තැනූ 'නිම්වළල්ල' චිත්‍රපටය ලංකාව පුරා සිනමාහල්වල තිරගත කිරීමට ඒ අතරම සූදානම් වීමු. ඒ සඳහා සිලෝන් තියටර්ස් සමාගම එකඟ විය. ආනන්දයේ කිරි කජු කොල්ලන් හැදූ චිත්‍රපටයක් කොළඹ එල්ෆින්ස්ටන් ඇතුළු සිනමාහල් 18 ක තිරගත වීම පුදුමයක් නොවේද? එය එක අතකින් ගිනස් වාර්තාවකි. අපි ප්‍රචාරක කටයුතු ඇරඹුවෙමු. ප්‍රචාරක නියමුවා මා විය. ලංකාවේ සියලුම පුවත්පත්වලින් ශිෂ්‍යයන් හැදූ මේ චිත්‍රපටයට උපරිමව උදව් ලැබිණ. 'සරසවිය' හා 'විසිතුර' පුවත්පත්වල පිටු ගණන් ලිපි හා මුල් පිටුවල ඡායාරූප පළ විය. 'ඔබ්සර්වර්' පත්‍රයේ විශේෂාංග කර්තෘ ඩී. සී. රණතුංග හා 'ඩේලි නිව්ස්' පත්‍රයේ 'ආර්ට් මැගසින්' එක කළ නිහාල් රත්නායක අපට විශේෂ අනුග්‍රහය දැක් වූයේ ඒ දෙදෙනාම ආදි ආනන්දියන් වූ නිසාය.

තිරගත වන දිනය 1970 නොවැම්බර් 18 වෙනිදාය. කොළඹ රීගල් සිනමාහලේ සවස 6.30 දර්ශනය බලයට පත් රජයේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූහ. මෛත්‍රීපාල සේනානායක, ඇම්. පී. ඉසැඩ් සිරිවර්ධන යන ඇමතිවරු ද, අනුර බණ්ඩාරනායක ද ආරාධිත අමුත්තන් වූ අතර චිත්‍රපටයේ නළු නිළියෝ ද මංගල දර්ශනවලට සහභාගි වූහ. 'නිම්වළල්ල'ට ප්‍රථම සුනිල් ආරියරත්නගේ 'සරාගී' හා රංජිත් පෙරේරාගේ 'මා වැනි බිලින්දා' නම් කෙටි චිත්‍රපට දෙක තිරගත විය. අපේ සතුට දෝර ගොසිනි. අපි චිත්‍රපටය අවසන් වනතුරු රීගල් සිනමාහල ඉදිරිපිටට විත් අපේ 'කට් අවුට්' එක බලා සතුටට පත්වීමු. 'නිම්වළල්ල' හැදූ කට්ටිය එකිනෙකා සිප ගනිමින් සතුටු වූහ. සියලුම පුවත්පත් කතුවරු, පත්‍ර කලාවේදීහු අපිට සුබපැතූහ. 'සරසවිය' කර්තෘ විමලසිරි පෙරේරා, දිනමිණ කර්තෘ එස්. සුබසිංහ මෙන්ම මා හිත මිතුරු මාධ්‍යවේදීහු අපි දිරි ගන්වා අගය කළහ.

අගමැතිනිය අපට සුබ පතා කෙටි ලිපියක් එවා තිබුණාය. හැම කෙනෙකුම 'නිම්වළල්ල' නැරඹිය යුතු බව එතුමිය අවධාරණය කොට තිබුණි.

'අපි මේ ලියුම අගමැතිනියගෙන් අවසර ලබාගෙන පත්‍රයේ පළ කරමු' මම කළ යෝජනාව ඵල දැරීය.

'දිනමිණ' කර්තෘ එස්. සුබසිංහ මහතා 'නිම්වළල්ල ජයග්‍රාහක පියවරක්' නමින් තමාම විචාරයක් ලියා තිබුණේ රංජිත් ලාල්, සුනිල් මාධව, ඩිල්මන් ජයරත්න හා මගේ ද ඡායාරූප සමඟය. එම විචාරයේ මෙසේ ද සඳහන් විය.

'සුනිල් මාධව ප්‍රේමතිලක ලියා ඇති කතාව තිරය මත කියා පෑමට රංජිත් ලාල් මාධ්‍යය නිසියාකාරව උපයෝගි කරගෙන තිබෙන අන්දම ගැන සලකා බලන විට 'නිම්වළල්ල' සිංහල චිත්‍රපටයකැයි හඳුන්වනවාට වඩා සිනමා චිත්‍රපටයකැයි හැඳින්වීම වඩාත් මැනවයි මට සිතේ. චිත්‍රපට කතාව විකාශනය වීමට රංජිත් කුමාරගේ පසුබිම් නිර්මාණය ඉමහත් රුකුලක් වී ඇත.

අධ්‍යක්ෂක රංජිත් ලාල්, කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක, කලා අධ්‍යක්ෂ රංජිත් කුමාර සහ කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්න අතරින් මගේ මනසෙහි මැවී පෙනෙන්නේ ළාබාල ගැටවරයන් හතර දෙනෙක් මෙන් නොව ජීවිතය ගැන පුළුල් අත්දැකීම් ලත් විවේක බුද්ධියක් හා අවබෝධ ඥානයෙන් යුතුව සානුකම්පිතව සමාජ ප්‍රශ්න දෙස බලන වෘද්ධයන් හතර දෙනකු ලෙසිනි.'

විචාරය පළ වී දෙදිනකින් 'දිනමිණ' චිත්‍රපට විචාරය කරන ජයවිලාල් විලේගොඩ මට 'දිනමිණ' කර්තෘ මණ්ඩලය අසල දී හමු විය.

'මම සුබේගේ විචාරය කියෙව්වා. මම ලිව්ව නං අසාධාරණයක් කරයි කියලා හිතුවද මං දන්නේ නෑ. මම ලිව්වත් චිත්‍රපටය හොඳයි කියලා ලියනවා. සුබේත් ඕල්ඩ් ආනන්දියන් කෙනෙක් නිසා එයාම ලියන්න හිතන්න ඇති. හොඳ චිත්‍රපටයක් රංජිත්ට මගේ සුභපැතුම්' විලේගොඩ කීවේය.

සිළුමිණ විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පේගම චිත්‍රපටය අගය කොට සිරිල් බී. පෙරේරා ලවා විචාරයක් ලියා සිළුමිණේ පළ කර දුන් අතර 'සරසවිය' උප කර්තෘ සෝමවීර සේනානායක, මහාචාර්ය නන්දසේන රත්නපාල ලවා විචාරයක් ලියවා ගත්තේය. කොතරම් විචාර, ප්‍රචාර ලැබුණත් 'නිම්වළල්ල' ආර්ථික අතින් අසාර්ථක විය. අපට සමගාමීව සිනමාස් සිනමාහල්වල තිරගත වූ 'ඔහොම හොඳඳ?' චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත විය. රජයට විරුද්ධව වේදිකාවේ හඬක් නැඟූ ගාමිණී කෙසෙල් කැනක් කරේ තබාගෙන මෝඩ ගැමියකු ලෙස රඟපෑ චරිතය සිනමා ලෝලීහු සිනාසෙමින් දෙතුන් ගමන නැරඹූහ.

'නිම්වළල්ල'ට පණක් දීමට අමුතු විදිහේ වෙළඳ දැන්වීමක් ලියවා ගැනීමට මම සිරිල් අයියා (සිරිල් බී. පෙරේරා) සොයා කොල්ලුපිටියේ ප්‍රචාරක ආයතනයට ගියෙමි.

'අපි මේ චිත්‍රපටය පුලුස්සා දමමු' හෙඩිම දමා සිරිල් අයියා ඒ දැන්වීමේ මෙසේ ලියා තිබුණා මට මතකය. පාසල් සිසුන් වූ අප විසින් ලංකාවේ මුල්වරට නිපද වූ මේ චිත්‍රපටය මේ රටේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් නොබලන්නේ නම් එය පුලුස්සා දමමු' කියාය.

චිත්‍රපටය අපේ නිෂ්පාදන වියදම් පියවා ගැනීමට හැකිවීම අපේ වාසනාවකි. එල්ෆින්ස්ටන් සිනමාහලේ අපේ දැන්වීම් පුවරුව ගලවා 'වෙස් ගත්තෝ' චිත්‍රපටයේ දැවැන්ත දැන්වීම් පුවරුව ඔසවන විට පාරේ එහා පැත්තේ සිටි නම්මුනි ද සොයිසා ගේ සහ මගේ දෑස්වල කඳුළු නැඟිණි.