වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ස්වාභාවික මිනිස් රූප ඔස්සේ බෞද්ධ චිත්‍ර අඳින්න කැමැතියි

ස්වාභාවික මිනිස් රූප ඔස්සේ බෞද්ධ චිත්‍ර අඳින්න කැමැතියි

ප්‍රවීණ චිත්‍රශිල්පී සරත් නන්ද කුමාර

‘සිත් සනසන රූ’ බෞද්ධ සිතුවම් දැක්ම මාර්තු 4, 5, 6 තෙදින

'සිත් සනසන රූ' බෞද්ධ සිතුවම් ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන්නේ හෙට. ඒ කියන්නේ මාර්තු 4 වැනිදා සවස 3.00 ට. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙන 'සිත් සනසන රූ' මේ මාසේ 5 වැනිදා හා 6 වැනිදා උදේ 8.00 සිට සවස 7.00 දක්වා මහජනයා සඳහා නොමිලේ විවෘතව පවතිනවා.

'සිත් සනසන රූ' නිර්මාපකයා නම් මෙරට චිත්‍ර කලා ශිල්පයේ නම් දැරූ පුද්ගලයෙක්. චිත්‍ර කතා ශිල්පයේද, සිතුවම් කලා ශිල්පයේ ද නමක් දැරූ ඔහු අපේ බුදුසරණ පුවත්පතේ චිත්‍ර ශිල්පී සරත් නන්ද කුමාරය. ඔහුගේ කුලුඳුල් බෞද්ධ සිතුවම් ප්‍රදර්ශනය අළලා ඔහු සමඟ කෙරෙන සංවාදාත්මක කතාබහකි මේ.

පාසල් අවධියේ පටන් ඔබ චිත්‍ර කලාවට පෙම් බැඳි පුද්ගලයෙක්?

බොරලැස්ගමුව ග්‍රාමයේ ඉපදුණ මම බොරලැස්ගමුව මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවා. පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීමත් සමඟ මගේ හිත චිත්‍ර කලාවට ඇදිල ගියා. ශාන්ත ජෝන් විද්‍යාලයේ කලා විෂයන් යටතේ අධ්‍යාපනය ලැබූ මා තුළ චිත්‍ර කලා විෂය පිළිබඳ විශාල උනන්දුවක් තිබුණා.

ඔබ තුළ තිබූ හැකියාව ඔප මට්ටම් වන්න සතුට චිත්‍ර කතා පුවත්පතත් ඉවහල් වුණා?

මුල්ම චිත්‍ර කතා පත්තරය වූ සතුට නිකුත්වීමත් සමඟ මගේ ආශාව තව තව දෙගුණ තෙගුණ වුණා. ඒ පත්තරයට අඳින චිත්‍ර ශිල්පීන් අනුකරණය කරමින් මම මගේ හැකියාව තව තව දියුණු කරගනු ලැබුවා.

මගේ පියා මාර්ගයෙන් සතුට පත්තරේ චිත්‍ර ශිල්පියෙකු වූ නොයෙල් ලසන්ත හඳුනා ගත් මා ඔහුගෙන් ද චිත්‍ර ඇඳීම පිළිබඳ දැනුමක් ලබා ගත්තා. චිත්‍ර ශිල්පය පිළිබඳ වගේම චිත්‍ර කතා ඇඳීම පිළිබඳවත් මා ශාස්ත්‍රානුකුලව අධ්‍යාපනයක් ලැබුවේ සතුට පත්තරයේම චිත්‍ර ශිල්පියෙකු ලෙස එවක කටයුතු කළ සිරිපාල කත්‍රිආරච්චි මහතාගෙන්.

සතුට චිත්‍ර කතා පත්තරයේම චිත්‍ර ශිල්පියෙක් වෙන්නත් ඔබ වාසනාවන්ත වුණා?

චිත්‍ර ශිල්පී සිරිපාල කත්‍රිආරච්චි මහතා තුළ තිබුණු දැනුම නොමසුරුව මා වෙත ලබා දීම තුළ මට මේතාක් දුර ගමනක් එන්න ලැබුණා. මගේ පෙර වාසනාවකට මම සතුට පත්තරයේ චිත්‍ර කතා ශිල්පියෙක් ලෙස සේවය කරන්නත් අවස්ථාව උදා වුණා. සතුට පුවත්පතේ කර්තෘවරයා වූ ග්‍රැන්විල් සිල්වා මහතා තමයි මාව ලේක්හවුස් ආයතනයට සම්බන්ධ කර ගත්තේ.

ඔබේ මුල්ම චිත්‍ර කතාව වුණේ?

අජන්තා රණසිංහ ලියූ ආදරණීය වසන්ති. මේ කතාව අවුරුද්දක් විතර සතුට පත්තරයේ පළ වුණා.

ඔය අතරේ සතුට චිත්‍ර කතා පත්තරය නතර වී මධුර නමින් චිත්‍ර කතා පත්තරයක් බිහි වෙනවා නේද?

මධුර පත්තරයේ කර්තෘවරයා වුණේ තලංගම ජයසිංහ මහත්මයා. එතුමා මගේ දක්ෂතා දැකලා මධුර පත්තරයේ ස්ථිර චිත්‍ර ශිල්පී තනතුරට මාව බඳවා ගත්තේ 1980 අගෝස්තු 01 වැනිදා. එදා මෙදාතුර මම අවුරුදු 36 ක් ලේක්හවුස් ආයතනයේ සේවය කරලා තියෙනවා.

මේ වෙන කොට චිත්‍ර කතා කොපමණ ප්‍රමාණයක් නිර්මාණය කර ඇද්ද?

මධුර පුවත්පත 2000 වසරේ නවතා දමන තුරු අවුරුදු විස්සක් තුළ විවිධ වර්ගයේ චිත්‍ර කතා විසි පහකට වැඩි ප්‍රමාණයක් මධුර පුවත්පතට පමණක් නිර්මාණය කළා. කවඩි මලේ තාරකාව, බෝගහ හංදිය, ඒරියස් සහ හීරා, අනුත්තරා, මුතුපබලු ආදී චිත්‍ර කතා රැසක් ඒ අතරින් ප්‍රධාන වුණා.

ඔබේ චිත්‍ර කතා එකතුවේ වඩාත් ජනප්‍රිය වුණේ?

සෝමවීර සේනානායක ලිව්ව මම ඇන්ද මුතුපබලු චිත්‍ර කතාව හරියට ජනප්‍රිය වුණා.

චිත්‍ර කතා ශිල්පියෙකු වූ ඔබ බෞද්ධ චිත්‍ර අඳින්න පෙලඹුණේ?

'මධුර' පත්තරයේ වැඩ කරන කාලයේ පටන් 1985 ඉඳලම මම බුදුසරණ පත්තරයට චිත්‍ර ඇන්දා. බොහෝ විට මගේ චිත්‍ර පළ වුණේ බෞද්ධ ලිපි සමඟ. මේ අවස්ථාව මට උදා කරලා දුන්නේ එවක බුදුසරණ කර්තෘ වූ ප්‍රේමසිරි අබේසිංහ මහතා.

ඔබ බුදුසරණ පත්තරයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා බවට පත් වන්නේ?

2000 වසරේ මධුර පුවත්පත වසා දැමීමත් සමඟ මාව බුදුසරණ පත්තරයට අනුයුක්ත කරනු ලැබුවා. ඒ තමයි මගේ බුදුසරණ පත්තරයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා බවට පත්වීමේ පුනරාගමනය.

බුදුසරණ ඇතුළු පිටු විචිත්‍රවත් වූ ඔබේ සිතුවමින් පසුව බුදුසරණ පුවත්පතේ කවරය විචිත්‍රවත් කරන්නත් භාවිත කළා නේද?

2003 වසරේ බුදුසරණ පුවත්පතේ ස්ථිර සේවයට එක් වූ මම 2004 වසරේ එහි කර්තෘ ධූරයට පැමිණි නෙල්සන් එස්. පෙරේරා මහතා යෝජනාවක් කළා සෑම පුර පසළොස්වක පෝයකටම එම පෝය සිදුවීම අළලා බුදුසරණ කවරය නිර්මාණය කරන්න. එදා පටන් අද දක්වාම බුදුුසරණ පත්තරයේ පෝය කවරය විතරක් නොවෙයි සතිපතා නිකුත් වන බුදුසරණ පත්තරයේ කවරයත් මගේ සිතුවමින් ඇඳි චිත්‍රයෙන් නිකුත් වෙන්න පටන් ගත්තා.

බුදුසරණ කවරය ඔබ අතින් සිතුවම් වුණේ මොන ආකාරයේ චිත්‍රවලින්ද?

බුද්ධ චරිතය, බුදු සිරිත මේ වන විට පිළිවෙළින් මා සිතුවම් ගත කරලා තියෙනවා. බුදුසරණ මුල් කවරය සඳහා මුල් කවර 165 කට අධික ප්‍රමාණයක් මම දැනටමත් නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව ලිපිවලට පමණක් ඇඳි චිත්‍ර ප්‍රමාණය දහසකටත් අධික ප්‍රමාණයක් වෙනවා.

බෞද්ධ චිත්‍ර ඇඳීමට ඔබ තුළ ආශාවක් ඇති වුණේ?

ඇම්. සාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ චිත්‍රවලට මගේ ලොකු ආශාවක් තිබුණා. මේ චිත්‍ර ශිල්පියාගේ සිතුවම්වල තිබුණු වර්ණ හා පරිසරය පෙන්වා තිබූ ආකාරය පිළිබඳ මා තුළ පැහැදීමක් ඇති කළා. බටහිර ශෛලියක් ගත්තත් මේ සිතුවම් දැකීම තුළ බුදුන් වහන්සේගේ කාලය මගේ හිතට තදින් දැනුණා. මේ නිසා මම හිතුවා බෞද්ධ චිත්‍ර රේඛාමය චිත්‍ර කලාවට අඳිනවට වඩා ස්වභාවික මිනිස් රූප ස්වභාවික වර්ණ ස්වභාවික පරිසරය යොදාගෙන බුදුන් වහන්සේගේ රූපය භක්තියක් ඇතිවන ස්වරූපයෙන් සිතුවම් කළොත් මට මගේ චිත්‍ර බෞද්ධ ජනතාවගේ සිත් තුළට කාවද්දන්න පුළුවන් කියලා.

ඔබේ සිතිවිල්ල මල්ඵල ගැන්වුණාද?

මම හිතුව විධියටම මගේ චිත්‍ර අද වෙන කොට මිනිස්සු අතරේ ජනප්‍රිය වෙලා. මගේ චිත්‍ර අද වෙන කොට අන්තර් ජාලයේ, රූපවාහිනී නාළිකාවල දකින්න තියෙනවා. වෙසක්, පොසොන් සමයේ මගේ චිත්‍රවලට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. මඟ තොටේදී මගේ චිත්‍ර දකින කොට මට හිතෙනවා මම ලොකු පිනක් සිද්ධ කර ගත්තා කියලා.

ඇයි ඔබ මෙතරම් හැකියාවක් තිබිලත් තොරණ් චිත්‍ර කලාවට පිවිසෙන්නේ නැත්තේ?

1985 දී මම බොරලැස්ගමුවේ තොරණට සේ්රවාණිජ ජාතක කතාව සිතුවමට නැගුවා. ඒ සඳහා ලොකු වෙහෙසක් දරන්න සිදු වන නිසා මගේ රැකියාවේ කටයුතු එක්ක අපහසු නිසාත් මම එයින් ඈත් වුණා.

බෞද්ධ චිත්‍ර සඳහා ඔබට කොයි ආකාරයේ ඉල්ලුමක්ද තියෙන්නේ?

බෞද්ධ පොතපත සඳහා කවර නිර්මාණය, වෙසක් ආසිරි පත් සඳහා චිත්‍ර නිර්මාණය වගේම පන්සල්වල චිත්‍ර ඇඳීම සඳහාත් මට ආරාධනා තියෙනවා.

'සිත් සනසන රූ' නිමාවත් සමඟ ගමේ පන්සලේ අලුතින් ඉදි කළ බුදු මැදුරේ චිත්‍ර නිර්මාණය ඔබ අතින් සිද්ධ වෙනවා කියන්නේ?

බොරලැස්ගමුව නාගරුක්ඛාරාමයේ අලුතින් ඉදි කළ බුදු මැදුරේ චිත්‍ර නිර්මාණය දැනටමත් මට භාර කරලා ඉවරයි. ඒ කටයුත්ත ටිකක් ප්‍රමාද වුණේ මේ ප්‍රදර්ශනයේ වැඩ කටයුතු නිසයි.

මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න ඔබ අදහස් කළේ?

ලේක්හවුස් ආයතනයේ අවුරුදු 36 ක් රැකියාව කරලා විශ්‍රාම යන අවධියේ මට හිතුණා බෞද්ධ චිත්‍ර පමණක් තියෙන චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න. බුදුසරණ හිටපු කර්තෘ නෙල්සන් එස්.පෙරේරා මහතා වගේම මගේ හිතවතෙක් වූ ගාමිණී පිටගම්පල මහත්තයා තමයි මේ අදහස මගේ ඔළුවට දැම්මේ.

ඒ අදහස සැබෑවක් බවට පත් කරන්න මට සෑහෙන කැප කිරීමක් කරලා මාව උනන්දු කළේ චිත්‍ර ශිල්පී ජයන්ත කන්නංගර වගේම මගේ බුදුසරණ පත්‍රයේ හිතවත් චිත්‍ර ශිල්පී නිශාන්ත මෙන්ඩිස්. මේ දෙපළත් මේ අවස්්ථාවේදී මා කෘතවේදීව සිහිපත් කරනවා.

තෙදිනක් පුරා පැවැත්වෙන ඔබේ චිත්‍ර ප්‍රදර්ශනයට කොපමණ චිත්‍ර ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවාද?

ඔයිල් පේන්ට්, ඇක්‍රලික්, පෝස්ටර් කලර්, දිය සායම්, පැස්ටල්, කළු සුදු ලයින් ඩ්‍රොයින්වලින් නිර්මිත චිත්‍ර සියයක් පමණ මම මේ ප්‍රදර්ශනයට ඇතුළත් කරලා තියෙනවා. මගේ මේ කුලුඳුල් චිත්‍ර ප්‍රදර්ශනය බලලා එහි ගුණ දොස් මාත් සමඟ බෙදා හදාගන්න බෞද්ධ සිතුවම් රස විඳින්න මාර්තු මාසේ 4, 5, 6 ලයනල් වෙන්ටඩ් කලාගාරයට එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.