වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මං චරිත තෝරා ගත්තේ ඇඳුම ගැන හිතලා

මං චරිත තෝරා ගත්තේ ඇඳුම ගැන හිතලා

- මධුෂිකා හසන්ති

නම කියන්න බලන්න?

මධුෂිකා හසන්ති.

එතකොට ගම?

නුවරඑළිය. වර්තමාන පදිංචිය නම් බණ්ඩාරගම.

ඉගෙන ගත්තේ?

මං පාසල් තුනකින් අධ්‍යාපනය හැදෑරුවා. ඒ නුවරඑළිය ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමය, පතහවත්ත ශ්‍රී ස්වර්ණ ජෝති මහ විදුහල සහ හොරණ ශ්‍රීපාලිය.

මධුෂිකාගේ වෘත්තීය?

රංගනය.

කොහොමද රංගනයට පිවිසුණේ?

සේපාලිකා ටෙලි නාට්‍යයෙන්. මට එයට සහභාගීවන්නට ලැබුණේ අහම්බෙන්.

ඒ කොහොමද කියලත් කියමු?

මම නර්තන කණ්ඩායමක හිටියා. ඒ නාට්‍යයට නර්තන කණ්ඩායමක් අවශ්‍ය දර්ශනයකට අපේ කණ්ඩායම තමයි ඒ සඳහා ගියේ. එතෙන්දි මාව දැකලා අධ්‍යක්ෂවරයා චරිතයක් දුන්නා.

ඔබ චකිතයකින් තොරව එම ආරාධනාව බාරගත්තද?

ආයෙ ඉතින් මොකෝ. මං හා කිව්වා.

ඔබේ කතාවෙන් පේනවා ඔබ රඟපාන්න යම් කැමැත්තකින් ඉඳලා තියනවා කියලා?

රඟපෑමේ හීනයක් මට තිබුණේ නැහැ. හැබැයි හැමෝටම ඔවැනි අවස්ථා හිමි වන්නේ නැහැනෙ. ඒක නිසා හා කිව්වා.

කාත් එක්කද හා හා පුරා කියලා රඟපෑවේ?

සුරාජ් මාපා අයියත් එක්ක.

ඒ අවස්ථාව මතකද?

ඔව්. මම රඟපාන්න ලැබුණු ආරාධනාවට පැනලා හා කිව්වට එවලෙ නම් ගැහි ගැහි හිටියෙ.

සේපාලිකා ටෙලි සිතුවමෙන් පසුව ඔබට සෑහෙන්න ආරාධනා ප්‍රමාණයක් ලැබෙනවා රංගනය සඳහා?

ඒක තමයි. මටත් හිතාගන්න බැහැ රංගනයට පිවිසිලා ඉතාම කෙටි කලකදී ටෙලි නාට්‍ය ගොඩක් මට හිමි වුණා.

ඒවාහි නම් කියන්න පුළුවන්ද?

ඉස්සරහට යන්න, දූවිලි මල්, උතුම් පැතුම්, එස්. අයි. විසල්, නෙතු අද්දර, ළබැඳියේ, අගස්තිමාලය, ආටක නාටක, පංචාලි.

මේව අතරින් ඔබව වඩාත් ජනප්‍රිය කළ නිර්මාණය මොකක්ද?

ආටක නාටක.

මධුට ලැබිලා තියෙන පෙනුම ගැන සෑහීමකට පත් වෙනවද?

සෑහීමකට පත්වන්න එපායැ.

ඔබේ පෙනුමට වැඩිපුරම ලැබෙන්නේ ගැමි චරිත නේද?

හරියටම හරි. මං ගොඩක්ම කළේ ගැමි චරිත.

මේ හින්දා ඔබේ හැකියාව එක රාමුවකට කොටු වෙනවා කියලා හිතෙන්නේ නැතිද?

මට ලැබුණු ගැමි චරිත එකිනෙකට වෙනස් ඒවා. ඉතින් මං ඒවා විවිධාකාර අන්දමටයි ඉදිරිපත් කළේ. යම් වෙනසක් ඇතුව රඟපාන නිසා මට ඒකාකාරී බව දැනුණේ නැහැ.

සාමාන්‍යයෙන් මධුට චරිතයක් ලැබුණු පසු සලකා බලන මූලික කාරණය මොකක්ද?

මං මුලින්ම බලන්නේ චරිතයට තිබෙන ඇඳුම් ගැන?

ඇඳුම් ගැන?

ඔව්. කොට ඇඳුම් අඳින්න තියෙන චරිත මං බාර ගන්නේ නැහැ.

එතකොට අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා නිර්මාණයේ අන්තර්ගතය වැදගත් වන්නේ නැතිද?

ඒවා හිතන්නේ දෙවනුව. ඇඳුම මුල් තැන.

රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

එක නාට්‍යයක් කරන්න ගිහින් මාව ඇලකට වැටුණා. හරිම අමාරුවෙන් කට්ටියගේ උදව්වෙන් ගොඩ ආවේ. ඒ සිදුවීම කවදාවත්ම අමතක වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් මධූ චිත්‍රපට බලනවාද?

නැහැ. මං බලන්නේ ටෙලි නාට්‍ය විතරයි.

එතකොට ඔබ චිත්‍රපටවලට රංගනයෙන් දායකවෙලා තියෙනවාද?

එකම එක චිත්‍රපටයක රඟපෑවා. ඒක තමයි නලින් මාපිටිය මහත්මයාගේ තානාපතිලාගේ ගෙදර.

මධුගේ මුල්ම රැකියාව කලාවද?

නැහැ. මං පුද්ගලික ආයතනයක රැකියාවක් කළා. ඒත් මට නිවාඩු ප්‍රශ්න තිබුණා. රංගනයට යන්න ලැබුණේ සීමාසහිතව. ඉතින් දෙවතාවක් හිතන්නේ නැතුව ජොබ් එකෙන් අයින් වුණා.

හිතුණෙ නැතිද ඔබ මේ බාර ගන්නේ අවධානම් වැඩක් කියලා?

කොහෙත්ම නැහැ. මං දන්නවා මට කලාව හරි යනවා කියලා.

මධු මේ වන විට පෙම්වතියක්ද?

නැහැ.

උපන් දිනයත් සඳහන් කරමු?

අනූපහේ ජූලි විසි නවය.

මධූට උදවු කරපු අයව මතක් කළොත්?

ඉන්දික කුරුප්පුආරච්චි, තුෂානි නදීකා, රජිත හිරාන්, සරත් චන්ද්‍රසිරි, හේමන්ත ඊරියගම, ලක්ෂ්මන් අමරසේකර, දිලිප් අයියා, ප්‍රසන්න, තාරක අධිකාරි, චමින්ද උඩවෙල සහ ඉන්දික අයියා.

මධු ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

මං අවිහිංසක කෙනෙක්.