වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මෙගා ටෙලි නාට්‍ය හදන්න මට බැහැ

මෙගා ටෙලි නාට්‍ය හදන්න මට බැහැ

විහඟ ගීතය තැනූ - රොෂාන් කුරුප්පු

අමුතු මිනිස්සු ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කළ රොෂාන් කුරුප්පු වෙනස් අන්දමේ නිර්මාණ කරන නිර්මාණකරුවෙකි. බොහෝ අධ්‍යක්ෂවරුන් මෙගා හරහා මෙගා වෙද්දී ඔහු මෙගා නොකර ගුණාත්මක ටෙලි සිතුවම් පුංචි තිරයට ගෙන ඒමට උත්සාහ කරන බවක් පෙනෙයි. විහඟ ගීතය රොෂාන්ගේ නවතම ටෙලි නිර්මාණකරණයයි. එය සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 8.30 ට ජාතික නාළිකාවෙහි විකාශය වෙයි. රොෂාන්ට මේ ඉඩහසර අප වෙන් කරනුයේ විහඟ ගීතය වෙනුවෙනි.

රොෂාන්, මේ ඔබේ කී වැනි ටෙලි නාට්‍යයද?

හත්වැන්න.

විවිධ කාලවලදී විවිධ මාතෘකාව යටතේ ඔබ නිර්මාණකරණයේ යෙදෙනවා. මෙවර මොන මාතෘකා යටතේ ද ඔබ මෙය ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නේ?

සමාජයේ පවතින පන්ති බේදයෙහි නුගුණ මා විහඟ ගීතය තුළින් කතාබහ කරනවා. එය අමුවෙන්ම ප්‍රේක්ෂකයන්ට දෙන්න බැරි නිසා පුංචි සුන්දර ආදර කතාවක් මෙයට එකතු කළා.

කවුද විහඟ ගීතය හි පිටපත රචනා කළේ?

උදය ශාන්ත කුමාරසිංහ.

කොහොමද මේ වකවානුවේ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම ඔබට දැනෙන්නේ?

හරිම අමාරු වැඩක්. මම නම් ටෙලි නාට්‍යක් කරනවා කියලා කියන්නේ ව්‍යායාමයක්.

ඇයි එහෙම කියන්නේ?

මගේ ටෙලි නාට්‍ය සේරම අත්හදා බැලීම්. අවසන් වරට කළ අමුතු මිනිස්සුත් එහෙමයි. ඒ අන්දමින් ටෙලි නාට්‍ය කිරීම මුළු ශරීරයටම ව්‍යායාම කරනවා වගේ දැනෙනවා.

විහඟ ගීතය මෙගා නොවන ටෙලි නාට්‍යයක් නේද?

ඔව්.

එනමින් මීට පෙර ටෙලි සිතුවමක් විකාශය වුණා කියලා මට මතකයි?

එහෙමද, මට නම් මතකයක් නැහැ.

ඔබ සිදු කරන අත්හදා බැලීම් වෙනස් වුණත් ඒවා ප්‍රේක්ෂකයන්ගේ ග්‍රහණයට නතු වුණා මදියි හිතෙන්නේ නැතිද?

ඔය කතාව මං පිළිගන්නවා. මගේ පෙර ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයා වැඩිය ග්‍රහණය කර ගත්තේ නැහැ. මේ වන විට අපේම නිර්මාණකරුවන් විසින් ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය මොට කරලයි තියෙන්නේ.

ඒක ද ඔබේ මෙවර ටෙලි නාට්‍ය හි පණිවුඩය ප්‍රේක්ෂකයාට දෙන්න එයට ආදර කතාවකුත් එකතු කළේ?

මේකේ තියෙන්නේ බාල බොළඳ ආදර කතාවක් නෙවෙයි. මා තුළ සිටින නිර්මාණකරුවා නොමරා තමයි මේ නිර්මාණයත් කළේ. ඒත් මා මෙහිදී මගේ නිර්මාණ ශක්තියෙන් සියයට පණහක් පමණයි භාවිත කරන්නට හිතුවේ.

හේතුව?

මං මගේ නිර්මාණ ශක්තියෙන් සියයට සියයක් දාලා කරපු නිර්මාණ ප්‍රේක්ෂකයන්ට ග්‍රහණය කරගන්න බැරි වුණා. එකයි එහෙම කළේ.

ඔබ ඇයි මෙගා නාට්‍ය කරන්නේ නැත්තේ?

මට බැහැ මෙගා කරන්න.

ඒක ප්‍රතිපත්තියක්ද?

නැහැ.

එහෙනම්?

මෙගා ටෙලි නාට්‍ය කරද්දී කෝ හිතන්නට වෙලාවක්. තිබ්බා ගැහැව්වා. කැපුවා පෙන්නුවා. දවසකට සීන් විසි පහක් විතර ෂූට් කරනවා. නළු නිළියොත් හෙම්බත් වෙනවා. අනේ මට නම් එහෙම ටෙලි නාට්‍ය කරන්න බැහැ.

මෙගා නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමට ආරධනා ලැබිලා තියෙනවාද?

අපොයි ඔව්. මට මේ වන විට මෙගා කිරීමට ආරාධනා පන්සීයක් විතර ලැබිලා තියෙනවා.

ඔබ උඩුගං බලා පිහිනන නිර්මාණකරුවෙක්ද?

එහෙම කියනවාට වඩා මං කැමැතියි මං වෙනස් විදිහෙ නිර්මාණකරුවකු ලෙස හඳුන්වනවාට.

ඔබ විශ්වාස කරනවාද මෙගා ටෙලි නාට්‍ය නිසා සමාජීය වශයෙන් ලොකු විනාශයක් වෙනවා කියලා?

ඔව්. ඒකට මෙගා නාට්‍ය විතරක් නෙවෙයි මොට්ට නිර්මාණ කරන හැමෝම වගකිව යුතුයි. එම නිර්මාණ තුළින් මිනිසුන්ගේ සිතීමේ ශක්තිය හීන වෙනවා. ඊට පසුව රස වින්දනය සෘණ වෙනවා. එහෙම වුණාම මිනිසුන් ගෝත්‍රික වෙනවා. එකිනෙකාට සංවේදීත්වයක් නැහැ. කොයි වෙලාවෙත් නොමනාකම් තමයි කරන්නේ.

විහඟ ගීතය විකාශය කිරීමේදී ගැටලු මතු වුණේ නැතිද?

ගැටලු නම් බොහොමයි. මං විහඟ ගීතය රූගත කොට අවුරුද්දක් ඒක ගෙදර තියාගෙන හිටියා.

පසුගිය කාලේ විවිධ සංගම් තිබුණා ටෙලි නාට්‍ය ගැන කතා කරන. ඔබත් ඒවා නියෝජනය කළා. නැති ද ඒවායින්වත් පිළිතුරක් නාට්‍ය විකාශය කර ගැනීම් අර්බුදයට?

ඒකට පනතක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසුව එම පනත ක්‍රියාත්මක කිරීම තුළින් මේ ගැටලුවට විසඳුමක් ඒවි.

විහඟ ගීතය රූගත කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම් ගැනයි මං ඊළඟට අහන්නේ?

එහෙම කියන්න තරම් විශේෂ වූ දෙයක් නැහැ. නමුත් එක දෙයක් සඳහන් කරන්නට අවශ්‍යයි. අපිට දැනුමක් තියෙන කාර්මික ශිල්පීන්ගේ අඩුවක් තියෙනවා. ඒක මට විහඟ ගීතය කරද්දී හොඳට දැනුණා.

ඉන්දීය ටෙලි නාට්‍ය හඬ කවා පෙන්වීමේ ප්‍රවණතාවයක් යළිත් ඇති වෙලා තියෙනවා. මොකද ඒ ගැන කියන්න තියන්නේ?

අන්තිම පහත් වැඩක් ඒක. අපේ ශිල්ප ශිල්පීන් වැඩ නැතුව ඉන්නේ ඕවා හින්දා. අනික ඒවායින් පෙන්වන දේවල් බලන්න. අනියම් සබඳතා, දික්කසාද. මේවා බලන්නෙත් පවුල් පිටින්. ළමා මනස් විනාසයි. කාට කියන්නද මේවා.

මොනවද ඔබේ ඉදිරි නිර්මාණ තියෙන්නේ?

තවම මොකවත් නැහැ.

නිර්මාණකරුවකු විදිහට ඔහොම නිකම් ඉන්න පුළුවන්ද?

බැහැ තමයි. මේ ගෙවෙන්නේ අපෙන් වැඩක් ගන්න පුළුවන් කාලය. මොනවා කරන්නද.

විහඟ ගීතයහි නළු නිළියන් පෙළ මතක් කළොත්?

රුවී හේරත් සහ එරංගි ජීවන්ත තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. ඔවුන් සමඟ ඩග්ලස් රණසිංහ, වීණා ජයකොඩි, රම්‍යා වනිගසේකර, චන්ද්‍රසෝම බිංදුහේවා, වසන්ත විට්ටච්චි, හෂිනිකා කරළියැද්ද, සුනෙත් ශාන්තප්‍රිය, බියංකා ෆොන්සේකා, චාමි සේනානායක, ජනක හාල්පන්දෙනිය මෙහි රඟපානවා.