වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




මං මැරකම් කරලත් නැහැ පැවිදි වෙලා හිටියෙත් නැහැ

මං මැරකම් කරලත් නැහැ පැවිදි වෙලා හිටියෙත් නැහැ

පටිභාන ඔස්සේ දොරට වඩින අලුත්ම කථානායකයා සම්පත් ශ්‍රී ජයසිංහ

සම්පත් ශ්‍රී ජයසිංහගේ රුව මෙන්ම හඬ ඔබට සුපුුරුදුය. ඔහුව ඔබ වඩාත් හඳුනන්නේ නිවේදකයකු හැටියටය. සම්පත් මේ වන විට අප රිදී තිරයට සපැමිණි අලුත්ම කතානායකයා බවට පත්ව සිටියි. තවත් විදිහකින් කිව්වහොත් ඔහු දැන් සිනමා නළුවෙකි. සම්පත්ගේ සිනමා ආගමනය සිදු වූයේ රබීන් චන්ද්‍රසිරිගේ පටිභාන සිනමාපටය සමඟිනි. එහි එකම චරිතය ස්වරූප ත්‍රිත්වයකින් නිරූපණය කිරීමට ඔහුට සිදු විය. ඒ අභියෝගය මනාව ජයගත් සම්පත් තම සිනමා සම්ප්‍රාප්තිය පිළිබඳ අදහස් දැක්වීමට මෙසේ අප හා එක් වුණේය.

සම්පත්, සිනමාව ඔබට ආගන්තුකයි. නමුත් මා නිවැරිදි නම් ඔබට රංගනය ආගන්තුක නැහැ?

ඔව්. මං මීට කලින් රඟපාලා තියෙනවා. ඒ ප්‍රසන්න ජයකොඩිගේ ඒකාංගික ටෙලි නාට්‍යයක් සහ සංජය නිර්මාල්ගේ රාත්‍රිය වී කියන ටෙලි නාට්‍යයේ. රාත්‍රිය වී එකේ මම උප ප්‍රධාන චරිතයක් තමයි රඟපෑවේ. අර වන් එපිසෝඩ් ටෙලි නාට්‍යයේ මං ප්‍රධාන නළුවා. ඉතින් මේ කාරණා මත මට රංගනය අලුත් දෙයක් වුණේ නැහැ. හැබැයි කාලයක් මං රංගනයෙන් ඈත් වෙලා හිටියා.

ඒ ඔබේ නිවේදන වෘත්තිය හින්දද?

ඒකත් හේතුවක්. රංගනයේදී ඒ කාර්යයටම හිත යොමු කරන්න ඕනෑ. ඒකට විශාල කාලයක් කැප කළ යුතුයි. ඒ ප්‍රශ්නය නිසා මං රංගනයේ යෙදුණේ නැහැ.

නැත්නම් ආරාධනා නැති හින්දා නෙවෙයි?

අපොයි ආරාධනා නම් එමටයි. කරන රංගනය හොඳ චරිතයක් වෙනුවෙන් කරන්න එපායැ.

ඒ කියන්නේ ඔබට හොඳ නැති නිර්මාණවලටත් කතා කරලා තියෙනවා?

නැහැ. මං ඒකෙන් අදහස් කළේ එවැන්නක් නෙවෙයි. අපේ රටේ අන්ත නරක නිර්මාණ හැදෙන්නෙත් නැහැනෙ.

කොහොමද ඔබට පටීභාන සඳහා අවස්ථා ලැබෙන්නේ?

ඒක හරිම පුදුම සිදුවීමක්. මෙහි අධ්‍යක්ෂ මෙන්ම නිෂ්පාදක රබීන් චන්ද්‍රසිරි මහත්මයා පටීභාන චිත්‍රපටයේ මා කළ චරිතයට කෙනෙකු හොයමින් ඉඳලා තියෙනවා. ඔය කාලයේදීම තමයි ඔහු මම ඉදිරිපත් කළ පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහන අහම්බෙන් නරඹන්න ලැබිලා තියෙන්නේ. පොඩ්ඩන්ට පුළුවන් ප්‍රෝග්‍රෑම් එකේ නිෂ්පාදක ප්‍රදීප් මහේෂ් ලියනගේ මාව නොයෙකුත් වෙනස්කම්වලට භාජනය කොට නිවේදනයට යොමු කළා. එක්තරා අවස්ථාවක මං විග් එකක් පවා භාවිත කළා. මේ මේ ස්වරූපයෙන් මාව දැකලා තමයි රබීන් මහතා මට යාළුවකුගේ මාර්ගයෙන් පටීභාන සඳහා කතා කළේ.

ඔබට ලැබුණේ පටීභාන හි ප්‍රධාන චරිතය. මොකද හිතුණේ?

මේ වෙලාවේ මං දෙයක් කියන්න ඕනෑ. මං පොඩි කාලේ ඉඳලා චිත්‍රපට පිස්සෙක්. අපේ මව්පියෝ චිත්‍රපට නරඹන්න පුරුදු වී සිටි අය. ඒ හින්දා මට ඔවුන් සමඟ නිතර චිත්‍රපට බලන්නට අවස්ථාව උදා වුණා. ඒ හේතුව නිසයි මං පික්චර් පිස්සෙක් බවට පත් වුණේ. චිත්‍රපට පිස්සෙක් නිසාම මං ඒ කාලේ ඉඳලම සරසවියත් මම වරදින්නේ නැහැ හැම සතියකම ගත්තා. ඉතින් මට හිතිලා තියෙනවා අනේ මටත් කවදා හරි චිත්‍රපටයක රඟපාන්න ඇත්නම් කියලා. ඉතා දීර්ඝ කාලයකින් පසුව මගේ ඒ හීනය සැබෑ වුණා. නිකම් නෙවෙයි ප්‍රධාන චරිතයකුයි මුලින්ම ලැබුණේ. හිතලා බලන්නකෝ මට කොපමණ සතුටක් ඇතිද කියලා.

පටීභානහී ඔබේ චරිතය ගැන ඔබෙන්ම දැනගන්නට මා කැමැතියි?

මම එහි ආරියසිරි. ආරියසිරි කියන්නේ උගත් තැනැත්තෙක්. නමුත් සමාජය මඟින් කරන බලපෑම් මත ඔහු අපරාධකරුවෙකු වෙනවා. එතකොට ආරියසිරිව හඳුන්වන්නේ පොඩි සිරා ලෙස. අවසානයේදී පොඩි සිරා ගාල්ලේ ආරියධම්ම නමින් මාර්ගඵල ලබා ගන්නා භික්ෂුවක් බවට පත් වෙනවා.

සංකීර්ණ චරිතයක්?

ඔව්.

සම්පත් පටීභාන චිත්‍රපටයේ

කොහොමද ඔබ මෙවන් වූ චරිතයක් රංගනයට පෙර සූදානම් වුණේ?

සාමාන්‍යයෙන් නළුවකුට හෝ නිළියකට තමන්ට ලැබෙන චරිතයක් ඉදිරිපත් කිරීමට ජීවිත අත්දැකීම් බලපානවා. නමුත් මට ලැබුණු චරිතයේ සොභාවයන් දෙකක් මට හොඳටම ආගන්තුකයි. මොකද මං මැරකම් කරලත් නෑ, මහණ වෙලා ඉඳලත් නැහැ. ඒ හින්දා වටපිටාවේ දැකපු, විඳපු, ඇහුණු දේවල්වලින් මං චරිතය ගොඩ නඟා ගත්තා. ඒ සඳහා රබීන් මහත්මයත් බෙහෙවින් මට උදව් කළා. අත්දැකීමක් රහිතව චරිතයක් ගොඩ නඟා ගන්නේ කොහොමද කියන කාරණය මං ඉගෙන ගත්තේ මේ චිත්‍රපටයෙන්.

ආරියසිරි, පොඩි සිරා සහ ආරියධම්ම හාමුදුරුවෝ යන ස්වරූපයන් අතරින් ඔබ වඩාත් අපහසුවෙන් නිරූපණය කළේ මොන අවස්ථාවද?

ආයේ කතා දෙකක් නැහැ. භික්ෂුක් ලෙසින් කළ රංගනය අසීරුයි. මොකද මං භික්ෂූන් වහන්සේලාව ඇසුරු කරලා තියෙනවා. ඒ අතරින් මාර්ගඵල ලබාගත් භික්ෂූන් වහන්සේලා ඉන්නවාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මොකද උන් වහන්සේලාවත් වදාරන්නේ නැහැනේ තමන්ට මාර්ගඵල ලැබුණු බවට. මමවත් දන්නේ නැහැ මාර්ගඵල ලැබුණු භික්ෂුවක් කෙසේ ද හැසිරෙන්නේ කියන කාරණය. ඒත් මං ඒ ස්වරූපය නිරූපණය කළා.

පටීභාන දර්ශන තලයේදී ඔබව දිමියො කෑව. ඒ අමතක නොවන මොහොත මතකද?

ඔය සිදුවීම වුණේ ආනමඩුව පන්සලේදී. මට තියෙන්නේ භාවනා කරන දර්ශනයක්. පන්සලේ ඇබිත්තයා බයයි මේ පොඩි සිරා පන්සලෙන් මෙනවා හරි හොරකම් කරයි කියලා. ලොකු හාමුදුරුවෝ තමයි පොඩි සිරාට අනුකම්පා කරන්නේ. මේ හින්දා ඇබිත්තියා පොඩි සිරා භාවනා කරන කොට දිමි ගොට්ටක් දානවා. ඇත්තටම දිමි ගොට්ටක් ඇඟට දැම්මා. ඊට කළින් පුංචි කෙමක් කළා දිමියෝ නොකන්න. මං කාටවත් කිව්වේ නැති වුණාට දිමියෝ හතර පස් දෙනනෙක් මට විද්දා. ඒත් සද්ද නැතුව මං දිගටම රඟපෑවා.

සද්ද නැතුව ඔබ දිගටම රඟපාන්නද කල්පනවා?

චිත්‍රපටයෙන් පසුව සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ කොළඹ අපි ආවා ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඇත්තම කිව්වොත් පටීභාන තිරගතවීමෙන් පසුව මේ වන විට මට රංගනය පිළිබඳ ඇල්මක් ඇති වුණා. ඇතැම් විට පෙරට වඩා ටිකක් වැඩිපුර මං රංගනයේ යෙදේවි.

මට සම්පත්ගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඒ බොහෝ දෙනෙකු තම පළමු සිනමා රංගනයේදී ඔවුන් වෙනුවට වෙන කෙනෙකු හඬ කවනවා. නමුත් ඔබට එහෙම කරන්න වුණේ නැහැ?

ඔව්. මගේ රුවට මමමයි හඬ කැව්වේ. එහෙම වුණේ මං හඩ කැවීම් ශිල්පියකු විදිහට වැඩ කරපු හින්දා. වසර ගණනාවක් එලෙස හිටියනෙ. හඬ කවනවා කියන එක මට රංගනයටත් වඩා පහසු වුණා. ඔබ ඔය කිව්වා වගේ මමත් ඇතැම් නළුවන්ට හඬ කවලා තියෙනවා චිත්‍රපටවල.

සම්පත් නිවේදනයට ඇවිත් වසර කීයක් වෙනවාද?

අවුරුදු දහඅටක් විතර.

හිතෙන්නේ නැතිද ස්වරූපය වෙනස් වුණොත් හොඳයි කියලා?

හිතිලා තියෙනවා. නමුත් මේක මගේ අනන්‍යතාවය වෙලා ඉවරයි. මං වෙනස් වුණොත් ඒක ප්‍රේක්ෂකයා කොහොම බාර ගනීවිද කියන සැකය තියෙනවා. අනික කොණ්ඩෙ නැතුව ඉන්න කොට කරුණු දහසයකින් නිදහස් වෙනවානෙ. ඒ හින්දා මේ ස්වරූපයෙන් මා දිගටම ඉඳීවි.