වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

බීබර් අතරමං වී...

“මම ලෝකයට එරෙහිව විප්ලව කළා. මම ඒ ගැන ලොකු විශ්වාසයක් තැබුවා. ඒ නිසා එක්තරා ආකාරයකටයි මම හැසිරුණේ. ඇත්තටම මම හිතනවා මම නරුමයෙක් ව සිටියා කියා” මෙසේ කියන්නේ ජනපි‍්‍රය ගායක ජස්ටින් බීබර්. ඔහු මේ බව කියා ඇත්තේ ‘2016 Brit Awards’සම්මාන උළෙලට පෙර ඔහු හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.

කලක් තමා සහ තමා කරන දේ ගැන ඕනාවට වඩා විශ්වාස කළ නිසා අතරමං ව සිටි බවයි බීබර් කියන්නේ. “අවසානයේ මා මම අකමැති තත්ත්වයකට ඇද වැටුනා. ඔබ වටා සිටින්නවුන් ඕනෑවට වඩා ඔබේ ඔද වැඩීමත් මෙයට හේතුවක් විය හැකියි. කෙසේ නමුත් ‘රියලිටි තරුවක්’ ලෙස කලක් අතරමංව සිටි මට නැවතත් මගේ වැදගත්ම කාර්යය කරා යොමු වීමට හැකිවුණා. ඒ මම නිරත වන සංගීත දිවියයි” බීබර් පවසනවා.

පෙර විවාහය නැවතත්

ෆිල් කොලින්ස් චිත්‍රපට ගීත ක්ෂේත්‍රයේ පවා ජනපි‍්‍රය වූ දක්ෂ ගායකයෙක්. කලින් කල කාන්තාවන් තිදෙනකු සමඟ විවාහ වී සිටි කොලින්ස් අවසන් වරට විවාහ වී සිටියේ ‘ඔරියානේ සිවේ’ නම් කාන්තාව සමඟ. 2008 වසර එම විවාහයේත් අවසානය වුණා. කෙසේ නමුත් කොලින්ස්, ඔරියානේ සමඟ නැවතත් විවාහ වීමට යන බව මේ දිනවල හොලිවුයේ උණුසුම් පුවතක්.

වසර 8ක් වෙන්වී සිටි කොලින්ස් සහ ඔරියානේ 2015 නැවත සම්බන්ධතා පැවැත්වූ බව සඳහන්. සුෂුම්නාවේ සැත්කමක් නිසා ඔරියානේ 2015 වසරේ අර්ධ අකර්මන්‍ය තත්ත්වයට පවා පත් වුණා. කොලින්ස් ඇය සමඟ නැවත සම්බන්ධ වූයේ මේ තත්ත්වයත් සමඟ බවයි කියවෙන්නේ.

“මා මාස හතරක් රෝහලේ ගත කළා. ඒ කාලය අතරතුර කොලින්ස් අපේ දරු දෙදෙනා හොඳීන් බලා ගත්තා. මට එය ලොකු සහනයක් වුණා. දික්කසාද වුවත් අපි කුළුපගව සිටියා. මම දැන් දැන් ඔහුට නැවතත් “සැමියා” යන නමින් අමතනවා. අපි දෙදෙනා නැවත දිනක විවාහ වීමට තීරණය කළා” ඔරියානේ කියනවා.

හොලිවුඩයේ සුපිරි මව කෝපයෙන්

ඇන්ජලීනා ජොලි සහ බ්‍රැඩ් පිට් හොලිවුඩයේ බොහොම ආදරණිය යුවළක් විදියටයි ජනපි‍්‍රය වෙලා සිටින්නේ. මේ දෙදෙනා තමන්ගේම නිවුන් දරු දෙදෙනාට අමතරව රටවල් හතරක විපතට පත් වූ දරුවන් සිව්දෙනෙකුටත් මව්පියන් වෙලා. ඇන්ජලීනා දරුවන් හය දෙනා වෙනුවෙන් බොහොම වෙහෙසෙන මවක්. ඒනිසාම හොලිවුඩයේ සුපිරි මව යන විරුදාවලියත් ඇයට හිමියි.

වසර ගණනාවක් ආදරයෙන් සිට පසුගිය 2014 වසරේදී බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා විවාහ වුණා. දැන් බ්‍රැඩ් පිට්ගේ වයස අවුරුදු පනස් දෙකක්. ඇන්ජලීනාට අවුරුදු හතළිහක්. පසුගිය කාලයේ මේ දෙදෙනා අතර විරසකයක් ඇති වෙලා කියලා ආරංචියි. ඒ විසිතුන් හැවිරිදි සෙලීනා ගෝමස් නිසා. බ්‍රැඩ් පිට් සහ සෙලීනා The Big Short  චිත්‍රපටයට දායක වුණා. චිත්‍රපටයේ කටයුතුවලින් පසුවත් මේ දෙදෙනා අනවශ්‍ය විදියට හමුවීම ඇන්ජලීනා කෝපයට පත් කරලා.

සැමුවෙල්, සල්මා සහ රයන් එක්වෙති

සැමුවෙල් එල්. ජැක්සන්, සල්මා හෙයාක්, සහ රයන් රෙනොල්ඩ්ස් කියන්නේ හොලිවුඩයේ ප්‍රසිද්ධ චරිත තුනක්. ජෙෆ් වෝල්ඩො නම් අධ්‍යක්ෂක වරයා යටතේ ‘හිට්මෑන්’ස් බොඩිගාඩ්’ නම් චිත්‍රපටයෙන් ඔවුන් හමුවීමට නියමිතයි. මෑතකදී තිරගත වූ ‘ඩේඩ්පූල්’ නම් චිත්‍රපටයෙන් අතිශය ජනපි‍්‍රයත්වයට පත් වුණු රයන් මෙහි ප්‍රධාන චරිතය රඟපෑමට නියමිතයි.

චිත්‍රපටයේ තිර රචනය ගැනත් මේ වන විට නොයෙකුත් කතන්දර කියවෙනවා. ලෝකයේ දක්ෂතම ආරක්ෂකයෙකු ගේ චරිතය රඟන රයන් ගේ ස්වාමියා වන්නේ කුලියට මිනීමරන්නෙක්. ඒ චරිතය සැමුවෙල් විසින් රඟන බවයි කියවෙන්නේ. චිත්‍රපටයේදී රයන් සහ සැමුවෙල් ගේ අරමුණ වන්නේ, ඔවුන්ගේ සතුරන් ගෙන් බේරී තම ගමනාන්තය කරා යාම බවයි පැවසෙන්නේ.

සැබෑ ආදරය රිදී තිරයේ

 

ජර්මානු ජාතික නළු මයිකල් ෆැසබෙන්ඩර් සහ ස්වීඩන ජාතික නිළියක හා නර්තන ශිල්පිනියක වන ඇලිසියා වික්ලෙන්ඩර් ආදර කතාව හොලිවුඩයේ ජනපි‍්‍රයයි. මේ දෙදෙනාගේ ආදරය රිදී තිරයටත් එන්න නියමිතයි.

හැබැයි The Light Between  නම් චිත්‍රපටය ඔස්සේ දිග හැරෙන ආදරය මයිකල්ගෙත් ඇලිසියාගෙත් සැබෑ ජීවිතය නම් නොවෙයි. මෙම චිත්‍රපටය ප්‍රදීපාගාරක් බලාගන්නෙකු සහ ඔහුගේ බිරිඳ වටා ගෙතී තියෙනවා. ජීවිතාරක්ෂක බෝට්ටුවක තිබී හමුවන බිළිඳීයක සමඟින් ඔවුන් ඉදිරි ජීවිතයට මුහුණ දෙන අයුරු එහි සංවේදී ලෙසින් රූපයට නැඟි තියෙනවා.

මේ වන විට The Light Between  චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරන පටය නිකුත් කරලා අවසන්. එය නැරඹු අය නම් කියන්නේ මයිකල්ගෙත් ඇලිසියාගෙත් සැබෑම ආදරය චිත්‍රපටය තුළත් තිබෙන බවයි. මේ වසරේ සැප්තැම්බර් 02 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයෙන් The Light Between  තිරගත කිරීම අරඹන්න නියමිතයි.