වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් කඳුළු හෙමින් පිහදාගන්න

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්
 

දැන් කඳුළු හෙමින් පිහදාගන්න

සියල්ලම නිහඬය. දිනේෂ් හඬ නොනැගෙන්නට පය බිම තබමින් ඉවත්ව යන අයුරු මානවී බලා සිටියේ පුදුමයෙනි. කිසිවකු රහසින් කොඳුරයි. පෙනෙන්නේ සොලවන තොල් පමණි.

මානවීට වෙස් ගැන්වීමට ඉඩ සලසා දුන් යුවතිය සෙව්වන්දි නම් වූවාය. මුල්ම රූ ගැන්වීම තිබුණේ ඇයටය. සෙසු පිරිස අසල වූ කාමරවලට වැදුණාහ.

'සයිලන්ස්'

කෑගැසිල්ලක් ඇසිණ. මානවී සුජිත් ළඟට වී සියල්ල බලා උන්නේය. ඔහු සිටියේ කුඩා මොනිටරයක් ළඟය. එහි තොප්පියක් පැළඳ සිටි තරුණයෙක් සුජිත්ගෙන් විවිධ කාරණා විමසා සිටියේය. ඔවුන් කෙඳුරුවේ හීන් හඬිනි.

දිනේෂ් මානවීට සමීපව කොඳුළේය.

'ඔයාට ඊළඟ සීන් එක'

මානවී හිස සැලුවාය. ඇයට බියක් ඇති වුණේ එවිටය. අම්මා යන්නට ගොසිනි. ඇය දහවල් වන විටවත් වැඩපොළෙහි සිටිය යුතුය. එබැවින් ඈ යන්නට ගියාය.

නිර්මලා පිටත්ව ගියේ නොගිහින් බැරිකමටය. මේ දවස්වල ඇයට ගජරාමෙට වැඩය. පසුගිය දවස්වල මානවී බලන්නට ගමට ගියාට නිවාඩු ගත්තාය. මානවීගේ වගකීම සුජිත් බාර ගත්තේය.

'බය වෙන්න එපා. මං රෑ වෙන කොට එක්ක ගෙන එන්නම්. අද වේලාසනින් ඉවර වෙයි'

සුජිත් බලාපොරොත්තුවක් ඉතුරු කළේය. අම්මා පිටත්ව යනු මානවී බලා සිටියාය. ඇයට තනිකම දැනුණේ දැන්ය. මේ වෙලාවේ අම්මා සිටියා නම් කදිමය. කොලු ගැටයෙකු තේ කෝප්පයක් ගෙනවිත් දුන්නේය. මානවී හෙමින් එය තොල ගෑවාය.

'හරි එන්ඩ'

එකවරම සුජිත් කෑගෑවේය. මානවී ළඟට දුව ආ වෙස් ගැන්වීම් ශිල්පියා යළි පින්සලයකින් මුහුණ පිස දැම්මාය.

දිනේෂ් තිර නාටකයේ දෙබස් යළි පැවසුවේය. සුජිත් අතින් සංඥා කළ තැනට මානවී ගියාය.

'ඔයාට තියෙන්නේ මේ පැත්ත බලලා අර දෙබස් කියන්න'

දිනේෂ් ඇගේ සහායට කැමරාවෙන් එපිට සිට දෙබස පැවසුවේය. මානවී ගල් ගැසිණි. ඇය වටපිට බැලුවාය. දැවැන්ත විදුලි එළිය දෑස් නිලංකාර කරන තරම්ය. මෙතුවක් කට පාඩම් කළ වදන් පෙළ ඇයට අමතකව ගොස් ඇත.

'අයියෝ නානවනේ'

කව්දෝ කෑගසනු මැනවීට ඇසිණ. ඇගේ දෙතොල ගැස්සිණ.

'මානවී හරියට කියන්ඩ'

එය සුජිත්ගෙනි. ඔහුට ඇය තේරුම් ගන්නට හැකි වී ඇත. කව්දෝ තරුණියක් උස් හඬින් සිනාසිණ.

'ඇයි උඹල පටන් ගත්තේ කොහොමද?'

සුජිත් සියල්ලටම නිශ්ශබ්ද වන ලෙස නොකියා කීවේය. අනතුරුව ඔහු මානවීගේ උරහිසට අත තැබුවේය. ඇගේ ඇස්වලට කඳුළු පිරී තිබිණ. මේ ලස්සන ඇස් යුගල කතා කරන ඇස් දෙකකැයි ඔහුට සිතිණි. ඔහු ඇයගේ මුහුණ දෙස කෙලින්ම බැලුවේය.

'මානවී මේ ඉන්නේ මම. ඔයා මටයි ඒ ඩයලොග් එක කියන්නේ, හෙමින් කියන්න'

මානවී සුජිත් දෙස බැලුවේ නැත. ඇයට පෙනුණේ ඔහුගේ ගෙල පෙදෙසයි. කමිස අද්දරින් වැටුණු රන් මාලයක් පෙනී නොපෙනී ගියේය. ඇය හෙමින් වදන් පෙළ පැවසුවාය.

'ෂෝක්! ඔය තියෙන්නේ. දැන් කඳුළු හෙමින් පිහදාගන්න. බයවෙන්න එපා'

අනතුරුව ඔහු යළි සිටි ස්ථානයට ගියේය. දන්නා තරමින් සුජිත් මෙහි අධ්‍යක්ෂවරයා නොවේ. එහෙත් ඔහු වැඩේ අතට අරගෙන ක්‍රියා කරයි.

'හරි ගමු. රෝලිං ඕකේ'

මානවී හිස ඔසවා බැලුවාය.

'අපි එහෙ නොගිහිං ඉමු. අයියෝ ඔයාට මම කිව්වේ ඒකනේ'

මානවී පැවසුවාය. එකවරම දර්ශන තලය පුරා නිහැඬියාවක් පැතිරිණ. මානවී හිස ඔසවා බැලුවේ සිදු වූයේ කුමක් ද යන්නටය. අත්පොලසන් නාදයක් දෙමින් සුජිත් හා අධ්‍යක්ෂ නැගිට්ටේය. ආලෝකය මානා තිබුණේ මානවීටය. ඇයට එයින් අඳුරේ සිදුවීම් පෙනුණේ නැත. ඇයට දැනුණේ අත්පොලසන් නාද දීම පමණි.

වෙල්ඩන් නංගි වෙල්ඩන්'

ජිතේන්ද්‍ර එතැනට ආවේ දෑතේ මාපැටඟිලි ඉහළට ඔසවමිනි.

'ඒයි බලපල්ලා ඔය කෝස් කරපු අය වගේ නෙවේ'

ඔහු මානවීගේ අතින් අල්ලාගෙන ඉදිරියට ගෙන ගියේය. සෙව්වන්දි දිනේෂ්ට යමක් කිව්වාය.

'මෙන්න මෙයාට යන්න හදිස්සිලු. දැන් එහෙනම් ගනිමු. පොඩ්ඩක් හිටපං සීන් තුනයි, ටක් ගාලා ගහමු'

දිනේෂ් කඩියකු මෙන් ඇවිද්දේය. ඊළඟ දර්ශනයේ සෙව්වන්දි සමඟ රඟපාන්නට නියමිත සුබාය. සුබා හොඳින් ඇඳ පැළඳ එතැනට ආවාය. ඈ වෑන් රියේ දී හමු වූ යුවතියයි. මානවී සමඟ මුලින්ම ප්‍රියමනාප වූයේ ඇයයි.

රූ ගැන්වීම් ඇරඹිණි. එහි ඊළඟ දර්ශනයට මානවී අවශ්‍යය. සෙව්වන්දි හා සුබා දර්ශන තලයට යොමු විය.

'ඔන්න නංගි නියම ඇක්ටිං. මුන් දෙන්නා නයි පොළොංගු වගේ. ඒ උනාට බලපං යාළුවෝ වගේ ඇට් කරනවා'

ජිතේන්ද්‍ර මානවීට පැවසුවේය. මානවී එදෙස බැලුවාය. සෙව්වන්දි වාඩි වූ තැනට සුබා පැමිණියාය. දැන් සෙව්වන්දි, සුබා අත්පටලාගෙන කතාවකය.

එය රූ ගන්වන්නට පටන් ගත්තේය. එහි මැදට මානවී යා යුතුය. නිසි පරිදි මානවී ද එතැනට ගියාය. එවර ඇයට බියක් නොදැනිණ. දිනේෂ් පසෙකින් සිට හීන් සීරුවේ දෙබස් පවසයි.

'ඔයගොල්ලෝ යනවා නම් මාත් එනවා'

මානවී හිනැහෙමින් පැවසුවාය.

කාලය ගතවනු ඇයට නොදැනිණ. හිටි අඩියේ ජීප් රියක් අසල නතර වනු මානවීට පෙනිණ. එයින් මුලින් බැස්සේ ආරක්ෂකයෙකි. ඔහු සිටියේ රථයේ පසු අසුනේය. ඉදිරි අසුණෙන් බැස්සේ තරුණයෙකි. ඔහු කළු අව් කණ්ණාඩියක් පැළඳ ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක් ඇඳ සිටියේය. කොණ්ඩය ඉතා කොටට කපා තිබිණි.

ඔහු කෙලින්ම දර්ශන තලයට පිවිසියේය. ඔහු දුටු ඇතැම් දෙනා හිස නමා ආචාර කරන අයුරු මානවීට පෙනිණ.

'කෝ බං අපේ කෙල්ලගේ වැඩ ඉවර නැද්ද තාම'

ඔහු ඇසුවේ දිනේෂ්ගෙනි.

'තව පොඩ්ඩයි එක සීන් එකයි'

මේ තරුණාය ප්‍රියමනාප එකෙකි. දර්ශන තලයේ සිටි සෙව්වන්දි එකවරම එයින් පැන ඔහු ළඟට ගියේය.

'එනවා, ටක් ගාලා එනවා'

තොෙඳාල් බසින් ඔහුට කී ඇය යළි මානවී හා සුබා සිටි තැනට ආවාය. සුබාගේ ඇස් දෙක කෝපයෙන් දිදුලනු මානවීට පෙනිණ.

'මට මේ සීන් එක ගන්න බෑ. මගේ ඔළුව කැක්කුමයි'

සුබා දර්ශන තලයෙන් ඉවත්ව කාමරයට ගියාය. ඇය දඩාස් ගා දොර වසා ගත්තාය.

හුටා'

දිනේෂ් හිස අත ගසා ගත්තේය. සෙව්වන්දිගේ මුහුණේ නැඟුණු සිනහව කාටත් පැහැදිලිව පෙනිණ.

'එයා නැතිව මේ සීන් එක ගන්න පුළුවන්'

සෙව්වන්දි කෑගෑවාය.

'මේ නංගි ඉන්නේ එයක් එක්ක ගමු'

ආගන්තුක තරුණයා ජනිත්, සුජිත් වෙතට සමීප විය.

'මචං ඔන්න ඕක අරන් දියං. අද ට්‍රිප් එකක් යන්න'

ඔහු කතා කළේ සුහද ලීලාවකිනි. දිනේෂ් අත්පුඩි ගසා දර්ශන තලය සැකසුවේය. සුජිත් සමඟ සිටි සගයා අසුණෙන් නැගිට ආගන්තුකයා සමඟ කතාවකය.

පැය භාගයක් ගත වූයේ නැත. මානවී හා සෙව්වන්දි ගේ රූ ගැන්වීමක් අවසන් කෙරිණ. ඒසැනින් කාමරයට වැදුණු සෙව්වන්දි කාමරයට වැදී ගමන් මල්ල ගෙන රථයේ පසුපසට නැංගාය. එවර ආරක්ෂකයා ඉදිරි අසුනට ද තරුණයා පසු අසුනට ද ගියේය. ඊළඟ මොහොතේ රථය වේගයෙන් නොපෙනී ගියේය.

'බලහංකෝ අරකිගේ පාට්. උඹලත් ඌ දැක්ක ගමන් සරෙන්ඩර්'

රථය නොපෙනී ගිය පසු එළියට පැමිණි සුභා කතා කළේ සමච්චලයට පමණි.

'එතකොට කන්ටිනිව් කේස්. අරව මේව නෑ'

ඈ කියාගෙන ගියාය.

අනේ පල යකෝ යන්න. ඒ දවස්වල උඹලත් එහෙම තමයි'

'මොකද උඹලගේ වලිය'

ජිතේන්ද්‍ර මහ හඩින් ඇසුවේය. සුභාගේ හඬ බාල විය.

'හරි, හරි වැඩේ පටන් ගමු'

දිනේෂ් ලහි ලහියේ සුභාට ළං විණා. ඔහු මානවී ද ළං කර ගත්තේය.

'රිහසල් ඕන නෑ. ටේක් එකට යං. පරක්කු උණා'

සුජිත් පැවසුවේය. යළිත් දර්ශන තලය සැකසිණි. නිහඬ බව රජයයි. මානවී සුභා ළඟට ළං වූවාය. දැන් සුභා හා මානවී එකිනෙකා හා සමීපව දෙබස් කියති. ඔවුන් සිනා විය යුතුය. ඒ මිතුරියන් බැවිනි. ජිතේන්ද්‍ර ද එයට සම්බන්ධ වනු ඇත.

එකවරම ජංගම දුරකතනයක් නාද විණ.

'කව්ද අයියෝ! කනවා'

සුජිත් සිය හිස දවටා සිටි තොප්පිය ගලවා කෑ ගැසුවේය. කැමරා ශිල්පියා ද කෑගෑවේය. දුරකතනය ඇසෙන්නේ කොතනකින්දැයි සියල්ලෝ විමසිල්මත් විණ. මානවී හීන්සීරුවේ ගවුමේ සාක්කුවෙන් දුරකතනය අතට ගත්තාය.

'ෆෝන් එක ඕෆ් කර ගන්ඩකෝ'

නෑසුණු ගානට මානවී දුරකතනයන දෙස බැලුවාය. එය අම්මාගෙනි.

'ඕෆ් කර ගන්ඩ. සීන් එක ගන්ඩ ඕනෑ'

මානවී බිරන්තට්ටු වූවාය. ඈ හෙමින් සීරුවේ කොඳුළාය.

'අම්මේ තාම වැඩ. ඉවර කරල ගන්නං'

'මානවී, ඕක ඕෆ් කරනවා'

සුජිත් එවර කෑගෑවේ කෝපයෙනි.