වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ODC  ගලවනු VIP කරනු
සියලු සිනමා ප්‍රදර්ශක සමාගම් සිනමාව සුරැකීමේ සියලු සිනමා සංගම් සහ බලමණ්ඩල ඇතුළු සියලුම සිනමාකරුවන් වෙතටයි

5 වැනි කොටස

ODC  ගලවනු VIP කරනු

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් විසිනි

මෙම ලිපි මාලාව සංවාදයට විවෘතයි

ප්‍රධාන ධාරාවේ - වාණිජ පරමාර්ථ චිත්‍රපට කෙසේ වෙතත්, සම්භාව්‍ය චිත්‍රපට හැදිය යුත්තේ ද - පෙන්විය යුත්තේද ඉහළ පෙළේ ධනවාදී නරඹන්නාට නොව, මෙරට බුද්ධිමත් වූ පොදු ජනතාව හෙවත්, දහඩිය - කඳුළු වගුරවමින් වෙහෙසෙන - මහන්සි වන සැබෑ මිනිසුන්ට බව - අප වටහා ගත යුතුය.

එසේ හෙයින් එදා මුදලට සාපේක්ෂව අද සිනමාහලේ ආසන සංඛ්‍යාවෙන් 20% ක් තුන්වෙනි පන්තිය සඳහා ටිකට් පතක් රු. 30/- බැගින් ද, මධ්‍යම පන්තිය සඳහා 40% ක ආසන සංඛ්‍යාවකට, ටිකට්පතක් රු. 60/- බැගින් සැලකිය යුතු කාල පරිච්ඡේදයක් සඳහා වෙනස් නොවන ආකාරයෙන් ජාතික සිනමා ප්‍රතිපත්තියක් මඟින් ස්ථාපිත කර, පළමුවෙනි පන්තිය V.I.P. පන්තිය සහ බැල්කනි ප්‍රවේශපත් සිනමාහල් හිමියාට රිසි පරිදි, කැමති මිලකට අලෙවි කර ගැනීමට ඉඩ දෙන ලෙස ද මා මෙයින් යෝජනා කරන්නේ සිංහල සිනමාවේ දැඩි ආරක්ෂාව උදෙසාය.

පහත මාලය පමණක් ආසන 400 ට වැඩි නම් සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් පසු පෙළ O.D.C. පන්තියට වෙන් කොට, එහි කම්කරු පන්තිය යන අරුත දෙන O.D.C.යන අකුරු තුන ගලවා දමා V.I.P ආසන ලෙසින් නම් කරන ලෙස ද චිත්‍රපට සංස්ථාවෙන් සහ පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටිමි.

පළමුවෙනි කාරණා තුනට සැපයූ පිළිතුර හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන්නේ නම් 04 සිට 10 දක්වා මෙහි යථෝක්ත 2 වෙනි කොටසින් පෙන්වා දී ඇති ඉතිරි හේතු කාරණා 07 ම නිත්‍ය වශයෙන්ම ක්‍රමිකව විසඳී යන බව සැක හැර කිව හැකිය.

එමඟින් ප්‍රේක්ෂකාගර තුළ බැල්කනි ඇරුණු කළ පහත මාලය 01, 02 සහ 03 යන පන්ති පද්ධතිය, නැවත ස්ථාපිත වී මේ රටේ නිර්මාණය වන සම්භාව්‍ය චිත්‍රපට BOX OFFICE  වාර්තා බිඳ හෙලනු ඒකාන්තය.

 BOX OFFICE යන්නෙහි අරුත - අධික ටිකට් මිල හෝ අදායම් නොව, කෙටි දින ගණනක් ඇතුළත නරඹන ඔළු ගෙඩි සංඛ්‍යාව අදාළ ටිකට් කැබලි COUNTER FILES  වලින් කාර්යාල පෙට්ටිය පිරවීමයි. එය කෙතරම් ඉක්මනින් පිරී - හිර වී යන්නේද එයයි BOX OFFICE' ජයග්‍රහණය. ඊළඟ චිත්‍රපටය - ඊට දිනකට කලින් හෝ පෙට්ටිය පිර වෙන්නේ නම් BOX OFFICE  වාර්තා බිඳ හෙළයි යනුවෙන් ප්‍රචාරය වන්නේ එවිටය.

උසස් බුද්ධි මට්ටමක් සහ ඉහළ රසඥතාවයෙන් පරිපූර්ණ වූ අඩු ආදායම්ලාභීන් අප රටේ සිනමා ප්‍රේක්ෂකයින් අතර බහුතරයක් සිටින බව අමුතුවෙන් කිව යතු නොවේ.

එදා කුරුලු බැද්ද, පරසතු මල්, වැලිකතර, හාරලක්ෂෙ, නිධානය, සරුංගලේ, බක් මහ දීගේ, අහස් ගව්ව සහ දඩයම වැනි උසස් ගණයේ සිනමා කෘති ආදායම් අතින් අසාර්ථක නොවූයේ ද, විවිධ තරාතිරමේ රසිකයින් හට සුදුසු අසුනක් සිනමාහලේ තිබූ බැවිනි.

සෙනඟ අතර කැපී පෙනී සිටීමට කැමති තරුණ පිරිස්, එදා සිනමාහලට ඇදි එද්දී සිනමාහලේ සියලු පන්තීන් පිටාර යෑම වළක්වා ගත නොහැකි විය. ඉන් ප්‍රමෝදයට පත් HOUSE FULL  පුවරුවට ද නිවනක් නැති විය. එතැනදී වැරදි අවබෝධයක් ඇති කර ගනිමින් උද්දාමයට පත්වන සිනමාහල් හිමියා සහ නිෂ්පාදකයා සියලු ප්‍රවේශපත් අධික මිලකට විකුණාගත් කළ ලැබෙන ලාභාංශය ගැන සිතමින්, අධික තෘෂ්ණාවකට පත් වෙයි.

80 දශකයේ සිනමාහල් පන්ති පද්ධතිය අහෝසි කර දැමීමෙන් මධ්‍යම පන්තියෙන් සහ 3 වෙන පන්තියේ (ගැලරියේ) නරඹන්නා සිනමා රස වින්දනය අතැර දමා සිනමාහලෙන් ඉවත් විය.

සුළු මුදලකින් චිත්‍රපටය දහ-දොළොස් වතාවක් නරඹන රසිකයා හෙවත් 'ගැලරිය' නමැති 03 වෙනි පන්තිය, නිර්ධය ලෙස සිනමාහලෙන් පන්නා දමා ඇත. ඔවුන් කිසි දිනක ලොකු මුදලක් දී චිත්‍රපට නොබලන බව අප වටහා ගත යුතුය. ඇරත්, චිත්‍රපටයක් නොබැලු පමණින් කෙනෙකු පාරේ ඇද වැටී මරුමුවට පත් නොවන වග ඔවුන් හොඳාකාරව දන්නා නමුත් චිත්‍රපටකාරයන් හැටියට අපද එය දැනගත යුතුමය.

චිත්‍රපටකරුවා විසින් පන්ති පද්ධතිය අහෝසි කර දැමීමට එරෙහිව එදා චිත්‍රපට ප්‍රේක්ෂකයා අපට කියා දුන් ඒ වැදගත් පාඩම අප හරි හැටි ධාරණය කර ගත්තා නම් 'සිංහල සිනමාහලට' මෙවන් ඛේදනීය ඉරණමක් කිසිදා අත් නොවනු ඇත.

යාන- වාහනවලින් සිනමාහලට එන අය පමණක් මේ රටේ බුද්ධිමත්, උගතුන් එසේත් නැත්නම් HIGH CLASS  පිරිසක් බව කාට හෝ වැරදීමකින් ප්‍රකාශයට පත් කොට සමාජගත කොට ඇත.

මත් කුඩු, හෙරොයින් ගෙන්වා අප රට විනාශ මුඛයට ඇද දමන ජාවාරම්කාරයින් ද සිනමාහලට චිත්‍රපට නැරඹීමට පැමිණෙන්නේ ද අධික මිල සහිත සුපිරි යාන වාහනවලින්ය. අප ද ඔවුන්ට රැවටෙනු නිසැකය. ඔවුන් HIGH CLASS හෝ මේ රටේ ප්‍රභූ පැලැන්තිය වශයෙන් අප පිළිගන්නේ නම්, එය මොන තරම් අභාග්‍යයක්ද?

රටක මුදලේ වටිනාකම ඉහළ - පහළ යෑමට සාපේක්ෂව මිනිසාගේ බුද්ධි මට්ටම ඉහළ - පහළ නොයන බව සලකන්න. එමෙන්ම බුද්ධියෙන් හෙබි, අත මිට සරු නොවන මිනිසුන් කෙතරම් අප අවට සිටිත්ද? ඔවුන්ට සිනමා රස වින්දනය තහනම්ද? අද 'සිංහල සිනමාහල' විවෘතව පවතින්නේ සැබෑ ප්‍රේක්ෂකයාටද? නැතිනම් බහු ජාතික ගැත්තන්ටද?

සැබෑ සිනමා රසිකයා ඇතුළත් වන්නේ අවුරුදු 17 සිට 37 දක්වා වයස් සීමාව තුළටය. නැවත - නැවත චිත්‍රප නරඹන ප්‍රේක්ෂකයා ඔහුය. චිත්‍රපටය කටින් කට යවන ප්‍රචාරකයා ඔහුය. ඊළඟ තිරගත කිරිම පිළිබඳ විමසිලිමත් වන්නේ ඔහුය. චිත්‍රපටය පළමු දිනයේදී පළමු දර්ශනය නැරඹීමට පොර කන්නේ ද ඔහුමය. එහෙත් කනගාටුව නම් ඔහුට අද 'සිංහල සිනමාහල' තහනම්ය.

ගැලරිය හෙවත් - තුන්වෙනි පන්තිය පිළිබඳව සැහැල්ලුවට හෝ අපහාසාත්මකව නොසිතන්න. මන්ද ගැලරිය වනාහී පෙරහනයක් බඳුය.

විශේෂයෙන් ගැලරිය ඉදිරියේ නළු - නිළියන්ගේ අංග චලන නිවැරදිව තිරය මත සටහන් විය යුතුය. කාන්තා ලාලිත්‍යයෙන් ඇවිදින - නළුවන්ගේ සිනිඳු - සුමට බොළඳ රංගන සහ නිළියන්ගේ ගොරහැඩි උච්චාරණ සහ සංයමයකින් තොරව අත - පය විසි කර, කරන හැසිරිම් ඔවුනට නොදිරවයි.

ගැලරියේ අරක් ගත් එවන් හිටිවන විචාරකයින් ඒ මොහොතේම 'හූ' හඬ සමඟ දෙන ගැලරි තීන්දුව සහ ප්‍රතිප්‍රහාරය අප හොඳින් අත් විඳ ඇත. අද නවකයාව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තිබූ 'ගැලරි ආර්ට්' එක දැන් අහෝසි වී ඇත. වත්මන් නළු - නිළියන් බිහි වන්නේ ගාල කඩාගත් ආකරයටය. ඔවුන්ගේ ඉරණම කුමක් ද යනු ඔබටම වැටහෙනවා ඇත.

තිරයේ පොඩි මිනිසෙකු - ලොකු මිනිසෙකුට දෙබසකින් හෝ පහර දෙන්නේ නම් රසිකයා 'විසිල් පිට විසිල්' ගසා තම වීරයාට ගෞරවාදරය දක්වයි. ඉන් නොනවතින ඔල්වරසන් හඬ බැල්කනිය දක්වා ගලා යයි. ක්ෂණිකව පය උස්සා නිවැරදිව පා පහර දීම නොහැකි නළුවාට, එම ගැලරියම 'හූ' කියයි. එය අනුමත කරන පසු පෙළ ආසන ද ගැලරිය අනුගමනය කරයි.

වීරයෝ ලෙස රඟන නළුවන් - තමාට වඩා උසින් පොඩි නළුවන්ට පහර දෙන විට උත්පාදනය වන හිරිකිතය සහ අප්‍රසන්නතාවය කිසි කෙනෙකුට වළක්වා ගත නොහැක. සිනමා සිතුම් - පැතුම් න්‍යාය ධර්මයන් පිළිබඳ අධ්‍යාපනයකින් තොරව, චිත්‍රපට හදන සිනමාකරුවන්ව ගැලරි රසිකයා විසින් දවසෙන් දෙකෙන් විසි කර දමා ඇත. එවන් වූ රසිකයාව කෙසේ හෝ සිනමාහල තුළ රඳවා ගත යුතුමය.

බිල්ගේට්ස්ගේ පන්තියේ රසිකයාවත් - ජීවනෝපාය සඳහා කඩල බේසම වෙළදාම් කරන රසිකයාවත්, සිනමාහල තුළ ආරක්ෂා කර ගන්නේ නම්, සිංහල සිනමාහල සහ අප ජාතික සිනමාව - චිරාත් කාලයක් වැජඹෙනු නියතයි.

සිංහල සිනමාහල පාස් සහ පහසුකම් අත්හිටුවා ඇත

06 වෙනි කොටස - ලබන සතියට