වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේ ද මට සිතුණා

ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේ ද මට සිතුණා

තවදුරටත් ආචාර්ය අජන්තා රණසිංහ අප අමතන්නේ නැත. ඔහු සදහටම අපෙන් වෙන්ව යනු ඇත. මහ ගෙවල් දෙකකින් ඉඳුල් කට ගෑ ඔහු එයින් තමා ගොඩ වූ පළමු මහ ගෙදරින් නික්ම ගියේ ඔහුගේ දෙවැනි මහ ගෙදර සගයන් බලන්නට පැමිණි වග නොදැනය.

‘මහත්මයා’ ඔහු සෙස්සන් අමතනුයේ එහෙමය. ලොක්කා ද සොක්කා ද කවුරු වුවත් ඔහුට මහත්මයාය. ඔහු ගැන දන්නේ ආචාර්ය අජන්තා රණසිංහ නමිනි. සේනානායක මුදියන්සේලාගේ රණසිංහ ආරච්චිලාගේ අජන්ත සරත් කුමාර රණසිංහ උප්පැන්නයේ නම ය. අපට නම් අජන්තා අයියාය.

මහත්මයා දන්නවාද වැඩක්. දැන් මහත්මයා සනීපෙන්ද? මහත්මයා මේ වැඩේ දැන් කරලා දෙන්න ඕනෑ මේ ඈ නොයෙක් වදන්වලින් ඇරඹෙන මේ කතාබහට මහත්මයා නොගෑවී යන්නේ නැත. ඒ කතා රසවත්ය. හතර වට සිටින සෙස්සෝ ඉල ඇදීම වළක්වා ගන්නේ අපහසුවෙනි. වරෙක හමු වූවෙකු ඔහුට සදාතනික මතක රැසකි. එහෙත් ඔහු අහස දෙස බලා නිසොල්මනේය.

ඔහුගේ සදාදරණීය භාර්යාව සරෝජනී අමාලි ද දියණිය සාරංගා ප්‍රදීපනී ද, පුතු දේවලෝචන ද සෙසු නෑ හිතවතුන් ද අවටය. ඔවුන් කිසිවෙකුට සිදු වූ දෙය අදහාගත නොහැක. සැමියා, පියාණන්, සොයුරා, හිතවතා සොරා ගෙන ගිය වැන්න. ජීවිතය යනු එය උරුමකම් කර දෙන්නක් බව අපට පසක් කර දෙයි.

‘සිරිමා බෝ මැඩ මුනිදුන් වැඩ හිඳ
දස මර සේනා දිනූ බලෙන්
ජය පැන් කරඬුව දෝත දරා - නිදන්න දූ කුමරි’

ඔහු රචනා කරන ලද්දේ සිය එකම දියණිය වෙනුවෙනි. ඔහු දියණිය සාරංගාට තරම් ආදරය කළ තවත් වස්තුවක් නැති තරම්ය. පවුලේ වැඩිමලා ලෙස දියණියක උපත ලැබීම උප මවක් බිහිවීමක් ලෙස අජන්තා අයියා ඇදහූයේය. ගීය ලියවුණේ එහෙමය. එහෙත් එය සාරංගාට පමණක් නොව ලොව පුරා බිහිවුණ සමස්ත දියණියන්ටමය. එබැවින් ගීතය ලියැ වී දශක තුනකට පමණ පසු බිහිවුණ මගේ දියණියට ද සෙත් කවක් ලෙස ඈ නිදන තොටිල්ල පසෙක මම ගී පද සටහන් කළෙමි. එයින් දෙසතියකට පසු අජන්තා අයියා සාරංගා නිසා මුත්තනුවකු විය. දියණියට ලියූ ගීය දියණිියගේ දියණියට ද පොදු වූ වගක් ඔහු මට පැවසුවේය. දියණියට සෙත් කවක් ලෙස මේ ගීතය ලියා තැබූ අන්දම ඔහු සහභාගි වූ අවසන් මාධ්‍ය සාකච්ඡාව වූ ජාතික රූපවාහිනියේ සිහිනයක් රෑ ප්‍රසංගයේදී හෙතෙම රටට හෙළි කර තිබිණි.

මට ඒ බව හෙළි කරනුයේ සාරංගාය.

සාහිත්‍යයට ගීතයට ඇල්ම ඇති වූ අපේ පාසල් වියේදී අජන්තා රණසිංහ අපට නුදුටු වීරයකු විය. ඔහු විකසිත පෙම නමින් ගී සංග්‍රහයක් එළි දැක් වූයේ ඒ අතරතුරය. මා පොත මිළයට ගත්තේ මරදානේ දයාවංශ ජයකොඩි පොත් සාප්පුවෙනි. එවකට මා ජයකොඩි මහත්තයා පෞද්ගලිකව හඳුනන්නේ නැත. මා සාප්පුවට ගියේ පාසල් යන දවසක කොට කලිසමක් හැඳගෙනය. ජයකොඩි මහත්තයා මට පොත අළෙවි කළේ පොත ගත්තට කමක් නැහැ. දැන් ම විකසිත පෙම් කරනවා නෙමෙයි යනුවෙන් දැඩි අවවාදයක් කරමිනි. මගේ සගයෝ එහි වූ ගී පදවැල් අතර මත් වූවා සේය. වැඩි දවසක් යන්නට මත්තෙන් එබැවින්ම පොත අතුරුදහන් වූයේය. එයින් පසු දවසක එක් උදෑසනක බොරැල්ල හන්දියේ බස් රියක් එනතුරු බලා සිටි අජන්තා රණසිංහ නම් ගීත රචකයාණන් මම දැක ගතිමි. පුවත්පත් රූ වලින් ඔහු හඳුනාගෙන සිටි මම වහා හමුවට දිව ගියෙමි. එපමණක් නොව විකසිත පෙමට වූ සන්තෑසිය පැවසීමි.

‘මල්ලි ලේක්හවුස් එකට එන්න. මං පොතක් දෙන්නම්’ ඔහු මඳ සිනහවකින් පැවසුවේය. එයින් පසු ලේක්හවුසියට ගිය මට අත්සනක් සහිතව විකසිත පෙම ලැබිණ. එහෙත් ජයකොඩි මහත්තයාගේ අවවාදය නොලැබිණ. අජන්තා අයියා එබඳු අවවාද නොදෙන්නෙක් බව දැනගත්තේ පසු කලෙකය.

තවත් දස වසරක් පමණ ගෙවිණ. අප අතර නැවත හමුවීමක් නොවිණි. එවකට සරසවිය කතුවර ඒ. ඩී රංජිත් කුමාරයන්ගේ වාරුවෙන් මම ලේක්හවුසියේ පඩි පෙළ නැඟ සරසවියට ගොඩ වීමි. සරසවියට යාබදව තිබුණේ නවයුගයයි. නවයුගය මහ පුටුවේ වැජඹුණේ අජන්තා රණසිංහයන්ය. රංජිත් අයියාගේ රෙකමාදාරුව මත නවයුගයට ලියන්නට අජන්තා අයියාගේ අත ලැබිණ. මහාචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය විමල් දිසානායක ඇතුළු විද්වතුන් රැසක් ගැන ලියන්නට ලැබුණේ එහෙමය.

සත් කෝරළයේ, කුලියාපිටියට නුදුරු තලම්මැහැර ගම්මානයේ වෛද්‍යවරයකුගේ වැඩිමල් පිරිමි දරුවා වූයේ අජන්තා අයියාය. අම්මා කලක් ගුරුවරියක ලෙස ද පසුව තැපැල් ස්ථානාධිපතිවරියක් ද වූවාය. පවුලේ වැඩිමලිය අක්කාය. බාල නංගිලා දෙන්නෙක් හා ඊටත් බාල මල්ලී අජන්තා අයියාගේ පවුලේ සෙසු සාමාජිකයෝ වූහ. තාත්තාගේ බලාපොරොත්තුව පුතු වෛද්‍යවරයකු වනු දකින්නටය. පන්නල රජයේ විදුහලෙන්, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ඔහු ඇතුළු වනුයේ එහෙමය. ඔහු ගමෙන් ගෙනාවේ වෛද්‍යවරයකු වන්නට තිබූ ඇල්ම නොවේ.

දම් පැහැති කජු පුහුලන් පැහුණු හැටි, රෑ පැල් රකින කුරහන් හේන ගැන, වක්කඩ ඉවුරට එකතු වුණු අක්ක නංගිලා, ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාන් අදින හැටි, බොල් වී අහුරු උඩු සුළඟේ ගිය හැටි, අරුන්දතී මිණි පහන් නිවී යන හැටි ගැන කියන්නටය. එය අසන සිත් ලොව මිළ අධිකම ඔසුවෙන් නොලබන සුවයක් ලබන වග ඔහුට වැටහිණි. නුගේගොඩ අම්මාගේ ගමය. ප්‍රවීණ ලේඛකයකුව සිටි අශෝක පීරිස් මාමා ඔහුට අනුබලයක් විය. මාමාගේ සගයන් වූ කොළඹ යුගයේ කවීන් ඔහුට ඇසුරු කරන්නට ලැබෙනුයේ එමඟිනි.

ඔහු මහ ගෙවල් දෙකකින්ම ඉඳුල් කට ගෑ අන්දම මේ ලිපිය ආරම්භයේම ලිව්වෙමි. මුල් මහ ගෙදර ගුවන් විදුලි සංස්ථාවයි. දෙවැනි මහ ගෙදර පත්තර මහ ගෙදර ලේක්හවුසියයි.

ඔහු ගුවන් විදුලියට එක් වනුයේ ළමා පිටියේ සරස්වතී මණ්ඩපයෙනි. අද මෙන් ස්ටාර්ලාට ළමා විය බිලි නොදුන් එකල අජන්තා අයියලාට ලැබුණු ළමා පිටිය ඔවුනගේ අනාගතයට තැබූ අපූරු ඉනිමගක් විය. කරුණාරත්න අබේසේකරයන් ගුවන් විදුලියේ යුග පුරුෂයකු විය. අජන්තා අයියලා ද වැඩුණේ ඒ වනස්පතිය සෙවනේය. ඔහු ගී රචනයට අත් පොත් තබනුයේ ද එහිදීය.

‘දුර පාවෙන මේකුළු ගුවනේ - සුදු පාටට කෝමද හැදුණේ’ ළමා ගී රාශියක් ලියා එක දිගට විකාශය වූ පසු යළිත් ඔහු ලියා දුන් ගීතයකි. නන්දා මාලිනිය එය ගායනා කළේය. ඔවුන් දෙදෙනාගේම තැටියට නැගුණු මුල්ම ගීතය එය විය. මේ දෙදෙනාම ලාංකික ගීත ක්ෂේත්‍රයේ මුදුන් ඵල නෙලන්නට සමත් වනු ඇතැයි එදා සිතන්නට ඇත්තේ කවරකුද?

අජන්තා රණසිංහ නම් පුවත්පත් කලාවේදියා මතු වනුයේ දෙවැනුවය. ඒ ඔහු පත්තර මහ ගෙදර ලේක්හවුසියේ පිය ගැට පෙළ නඟිමිනි. මේ මහ ගෙවල් දෙක අජන්තා රණසිංහ නම් කෘතහස්ථ ගීත රචකයාගේ ද, ප්‍රවීණ මාධ්‍යවේදියාගේ ද පියවර සළකුණු හඳුනා ගත්හ. ලේක්හවුසියේ ඔහු මුලින් ගොඩ වන්නේ සරසවියටය. ඒ විමලසිරි පෙරේරා යුගයේය. අනතුරුව ඔහු සිළුමිණට එක් වන්නේය. ඒ මීමන ප්‍රේමතිලක යටතේය. දිනපතා දිනමිණ, ජනතා පුවත්පත් ඔස්සේ පන්නරය ලබන අජන්තා රණසිංහයන් නවයුගය කතු පදවියට පත් වන්නේය. එයට පෙර පාසල් යන අවධියේම ඔහු පුවත්පත් වලට නිතර ලිව්වේය. මුල්වරට ලිපියක් පළ වූයේ 1951 වසරේ පෙරමුණ පත්තෙර්ය. බොහෝ දෙනා නොදන්නේ වුවද අජන්තා රණසිංහයන් ද්වි භාෂාවෙන්ම මාධ්‍ය මෙහෙයුමේ නිරත වූවෙකි. පරණ පරම්පරාවේ මහ ඇදුරන් ළඟ හැදුන බැවින් මාධ්‍යයේ මුල මැද අග මැනවින් හඳුනති. එපමණක් නොව එම ක්ෂේත්‍රයේ පැවැත් විය යුතු සීමා මායිම් ද වටහා ගනී.

අජන්තා අයියා ගී රචනාවට පිවිසෙන්නේ හෘදයාංගම හැඟීම් විදහාලන්නටය. එබැවින් ගීතය නිරාමිස වින්දනයට මහෝපාකාරී වූයේය.

ගුවන් විදුලියේ ගී රචකයකු වන අජන්තා අයියා සරල ගීයට ද අනතුරුව චිත්‍රපට ගීතයටද, නාට්‍ය ගීතයට ද පමණක් නොව ටෙලිවිෂණ ගීතයට ද එක් වූයේය. ඔහු මුලින් ගී ලියූ චිත්‍රපට එළි දුටුවේ නැත. නැවත ඔහු චිත්‍රපට ගීතයට එක් වනුයේ වාසනා චිත්‍රපටයේ ගුමු ගුමු ගුම් නඟනා ගීතය රචනා කරමිනි. අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ ගී රචනා ද ඔහුගේය. ටෙලි නාට්‍ය ගී කලාවට ඔහු එක් වනුයේ සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි ටෙලි වෘත්තාන්තය හරහාය. එදා මෙදා පරම්පරා ගණනාවකටම අජන්තා අයියා ගී රචනා කළේය. ඔහු ගායක ගායිකාවන් වර්ග නොකළේය. සංගීතඥයන් වර්ග නොකළේය. ආධුනික - ප්‍රවීණ හැමෝටම ගී රචනා කළේය. නවයුගය කතු පුටුවේ සිට වාඩි වී සිය නාම ශීර්ෂය සහිත කොලවල ගී රචනා කළ අයුරු මට මතකය. විටෙක අකීකරු කෙස් කළඹ වටා ඇඟිලි යවමින් සිට කමිස කොලරය පසු පසට ඇද අසුනෙහි හරි බරි ගැහෙමින් එක දිගට ලියන අජන්තා අයියා කන්නාඩිය හරි ගස්සා නළල පිරිමදින්නට ගනී. ගීතය රචනා කළ අවසානයේ අසල සිටින්නෙකුට පවසන්නේ මෙබන්දකි.

‘හරි මහත්මයා, ඒ වැඩෙත් හරි’

ඔහු චිත්‍රපට ගීතයෙන් බැහැරව විවිධ විෂයන් කරා සිය ගීතය යොමු කළේය. එයට සීමාවක් නොවීය. යෞවන ප්‍රේමයේ විරහව ජීවන සම්බන්ධතා, මානව දයාව ආදී නොයෙක වූ ගීත රචනා ෂානරයන්ගේ දී අජන්තා රණසිංහ සිය මුද්‍රාව තබා ඇති ආකාරය සොයා බැලීම විශිෂ්ට පර්යේෂණයකට නිමිත්ත වන්නේය. එය ලාංකේය ගීත කලාවේ අලුත් ඉසව්වක් කරා යොමුවන්නක් වනු ඇත.

චිත්‍රපට ගීතයේ හා විශේෂ ඉල්ලීම් මත රචනා කළ ගීතයෙන් බැහැරව සිය සිතැඟි පරිදි බිහි වූ බොහෝ ගී පසුපස සිටියේ ද, ඔහුගේ උපයුක්ත බස වූයේ ද සත්කෝරළයේ අත හරින්නට අසමත් වූ තම මුල් ජිීවිතයේ අතීතාස්වාදය බව පෙනෙන්නකි. දඟකාර ගැටවර වියේම ප්‍රේමයේ සිත්තම් මෝදු වන්නට ගත් කළ ගී මෙන්ම කවි ලෙස එළි දුටු අජන්තා නිර්මාණ මුලින්ම තිවංක රේඛා නමින් පාඨකයා අතට පත් වන්නේ 1964 තරම් ඈතකය. පසුව සුනිල් සරත් පෙරේරා සමඟ තුන්පත් රටා නම් ගේය සංග්‍රහය එළි දක්වන ඔහු විකසිත පෙම්, පහන් දොරින්, හිරු රැස් දෝතක් පායාපන්නේ, සෝපාකලා නමින් ගේය පද සංග්‍රහය ද, මට ළඳුනි වරම් නැත, වින්කල් බාස්, ක්‍රිස්තුනි කරුණා කළ මැනව නමින් නවකතා ද, සොල්දාදුවා පෙරළා පැමිණියේය නමින් කෙටි කතා සංග්‍රහයක් ද එළි දක්වන්නේය. ඔහු රචනා කළ සමස්ත ගීතාවලියම ගීත දහස ඉක්ම වන්නේ යැයි අනුමාන කරමි.

ගීත රචනා ක්ෂේත්‍රයට පුළුල් වශයෙන් 1969 වසරේදී අවතීර්ණය වන අජන්තා අයියා සිය මුල්ම ගීය රචනා කරනුයේ නන්දා මාලිනියටය. සිය ගම වූ තලම්මැහැර සිහිපත් කොට ලියන එම ගීතය නගරයේ අතරමං වූවකුගේ ශෝකාලාපයක් කදිමට කැටි කරයි.

‘උදයේ අරුණළු පතිතව පළිගු දියෙන් පිරි දොළිනා
මල්පල බර ලිය ගොමුවේ නිලට නිලේ දළු දමනා
මගේ ගමට මා යනවා - මගේ රටට මා යනවා’

ඒ ගීතයයි.

අජන්තා අයියාගේ ගී රචනා කලාව ගැන වඩාත්ම විශිෂ්ට අර්ථ දැක්වීම කර ඇත්තේ ආචාර්ය තිස්ස අබේසේකරයන්ය.

‘අප රට මෑත ඉතිහාසයේ වැදගත්ම ජන කොටස හැටියට සටහන් වන පසුගිය දස වසර තුළ තරුණයන් වූ පරපුරේ චින්තනය හොඳින් ප්‍රකට වූ ප්‍රකාශනය වන ගීතයේ පෙරළියක ආරම්භය සොයන්නකු නවතිනු ඇත්තේ අජන්තා රණසිංහගේ ගීත අතරයි. ඒ ඉහතින් කී තරුණ පරපුරේ ලොකු අයියා ඔහු යැයි සිතමි. අනෙක් ගැටවර ගීත රචකයන්ගේ ගී වලට පිටුපසින් යම් කිසි දෘෂ්ටියක් ඇත්නම් එය අපට මුලින්ම ඇසුණේ අජන්තාගේ ගී තුළිනි. එයට වඩා වෙනත් සහතිකයක් දීමට අපට නුපුළුවන.’

ගීතයේ අයිතිය පිළිබඳ අද බොහෝ කතිකාවක් ඇතත්, ගීතයේ ස්වාමිත්වය හා එම ගීත මංකොල්ලයට එරෙහිව මුලින්ම මෙරට සටන් වැදුණු අය අතර අජන්තා අයියාට ඇත්තේ ඉහළ තැනකි. තම නිර්මාණ කිසිදු දැනුම්දීමකින් තොරව කැසට්පටවලට නැඟීමට එරෙහිව එකල ඔහු නොබියව නඩු පැවරුවේය. එය ජයග්‍රහණය ද කළේය. අද ගීතයේ ස්වාමිත්වය පිළිබඳ බොහෝ දෙනාට පාරම් බෑ හැකි මාවතක් තනන්නට අජන්තා අයියා කැප වූ වග මෙහි සටහන් කළ යුතුය.

හිතවතුන් අතර අජන්තා අයියාගේ කයි කතන්දර පොතක් දෙකක් තරම් ලියා ගත හැක්කේය. ඔහු කලා ලෝකයේ ඉගෙන ගත්තේ පාවඩ මත සිට නොවේ. පැරැණි කතුවරුන්ගෙන් තම ගැටවර වියේ ඇසූ බැනුම් ඔහු සිහිපත් කරන්නේ කිසි විටෙකත් ගුරුවරුන් පිළිබඳ කෝපයෙන් නොවේ. වරක් එබඳු අත්දැකීමක් මෙලෙස හෙළි කළේය.

‘මහත්මයා, ඒ කර්තෘ මහත්මයා හැමදාම උදේට කාමරයට ගෙනල්ලා මට අම්බානකට බනිනවා. මටත් ඕක ටික දවසක් යන කොට ගානක් නෑ. කම්මලේ බල්ලට වගේ. මං ඔහේ අහන් ඉන්නවා. දවසක් මහත්තයා මාර වැඩක් උනා’

‘මොකක්ද අජන්තා අයියා’

අපි හූමිටි තියමින් අසන්නේ ඊළඟට සිදු වන්නේ කුමක්දැයි විමසිලිමත්වීමට තරම් ඒ කතා විලාසය රසවත් නිසාය.

‘ඔන්න මම බැනුම් අහන් ඉන්න කොට එක පාරටම කාමරේට කඩා වැදුණේ නැතෑ මහත්මයාගේ නෝනා. ඒ ඇවිත් හතරවටේ ඉන්නේ කවුදෝ කියලා බලන්නෙත් නැතුව බැනගෙන බැනගෙන ගියා.

‘කර්තෘ මහත්තයාට ?’

‘නැතුව ඒ ගෑනු මනුස්සයා මාව දන්නවායැ. මේ ගෙදර ගෝරියක්. ඉතින් දැන් මම මහත්තයාට බනින එක අහන් ඉන්නවා. එකපාරටම මහත්තයා මං දිහා බලලා අහනවා තමුසෙ මොකද මෙතැන. මං ගානක් නැතුව ඇයි සර් මට ඉන්න කිව්වේ කියලා. එකපාරටම ආයේ ලොක්කා මගේ ඇඟට පැනපි. දුවනව මෙතනින්. මාත් ඉතින් අසස්යා වගේ පැන පැන ගියා’.

ඔහු මේ කතාව එදා පැවසුවේ අප වාගේ පොඩි එවුන් පෙළකටය. වසර ගණනාවකට පසු ද මේ කතා තවමත් අපට මතකය. ලේක්හවුස් මන්දිරයෙන් බැස මං ටක් ගාලා බැංකුවට ගිහින් එන්නම් යැයි පවසන අජන්තා අයියා ආපසු එන්නේ බොහෝ වෙලාවකට පසුවය. සගයකු ඔහුගෙන් ආගිය තැන් විමසයි. ‘බැංකුවට’ ඔහු උත්තර දෙයි. ‘මෙච්චර වෙලා’. ඊළඟට ගැටලුවකි. බැංකුව නුගේගොඩනේ. කටේ තොල් නොගෑවී අජන්තා අයියා උත්තර දෙයි. ඊළඟ දවසේ යන බැංකුව කොහිදැයි අසන්නට සිතුවද අජන්තා අයියා එයට වෙනම උත්තරයක් හදාගෙනය.

දවසක් ඇසුරු කොට අමනාප වූවෙකුට පවා අජන්තා අයියාගේ රස කතා අමතක වන්නේ නැත. මේ නිසා ඔහුට වෛරකාරයෝ නොවීය.

ඔහු මුල්වරට කාව්‍ය උදෙසා තෑගි දිනා ගත්තේ දඹදෙණි කවි සඟරාවට සෙවණැල්ල නමින් ලියූ කවි පෙළකටය. ත්‍යාගය රුපියල් පහළොවකි. 1980 හා 84 වසරවල ජනාධිපති සම්මානයට ද, 1984, 86 හා 93 වසරවල සරසවිය සම්මානයට ද ඔහු පාත්‍ර වූයේය. ඒ චිත්‍රපට ගීතය වෙනුවෙනි. හොඳම ළමා ගී රචනය සඳහා කුමාරතුංග මුනිදාස සම්මානය ඔහු දිනා ගත්තේය.

ඔහු පිළිබඳ ලියන්නට මට ඇත්තේ සීමිත ඉඩකඩකි. ඒ සීමාවට මා ඉඩ දිය යුතුය. අපට කවදත් හිතැති පවුලේ සාමාජිකයන්ට සරසවිය සාතිශය සංවේගය පළ කරන්නට ද මෙය අවස්ථාව කර ගනිමි.

ඔහු අපට තිළිණ කළේ ගීතයේ සහෘදත්වය පමණක් නොවේ. වැඩිහිටියකුගේ දයාබර කරුණාවය. අජන්තා අයියා සමඟ අපට වූ ගුරු පරම්පරාවක් සිඳී යන්නට පටන් ගෙන ඇති වග මට දැනෙයි.

අජන්තා අයියා ගැටවර වියේ පුවත්පතකට ලියූ කවි පංතියක දෙපදයක් ඔහුගෙන් සමුගෙන ආපසු එද්දී මගේ මතකයට නැඟිණි.

‘හුදෙකාලවම වනේ මැදෙහි කළුවර රැයේ
සිටින්නේ කොයි ලෙස ද සිතට නැතුවද බියේ’