වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




පි‍්‍රන්සිපල්ගේ හොර අත්සනට චපාති තුනයි, වඩේ හතරයි, ක්‍රීම් සෝඩා බෝතලයයි

පි‍්‍රන්සිපල්ගේ හොර අත්සනට චපාති තුනයි, වඩේ හතරයි, ක්‍රීම් සෝඩා බෝතලයයි

මහා රාජන්ස් පවුලේ හිටිය ලොකුම මැජික්කරයා මම

අයිඩින්ටිය නැතිවෙලා කොළඹ මුට්ට කර ගැහුවා

ෆීල්ඩ් එකේදී හුඟ දෙනෙක් මට කතා කරන්නේ ඩිඩී කියලා

දෙබරෙක් දෙන්නෙක් ඇන්නත් හරි මට මරණ බය දැනුණා

වීදුරු බෝතල් පාරවල් කාගෙන පණ බේරාගත්තේ අනූනමයෙන්

‘චපාති තුනයි, වඩ හතරයි, ක්‍රීම් සෝඩා බෝතලයයි. මං චිට් එකක්, එකක් යටින් එකක් පෙළට හිටින්න එහෙම ලියනවා. ලියල හමාර වෙලා ඒ කොලේම දකුණු කෙළවරේ පි‍්‍රන්සිපල්ගෙ අත්සන ගහනවා. ඇරපු අතක් නෑ. මං හොයන්නම බැරි විදියට පි‍්‍රන්සිපල්ගෙ අත්සන ගහනවා. ඊළඟට කොල්ලෙක් අතේ ඒක කැන්ටිමට යවනවා.

චිට් එක අරන් කැන්ටිමට ඉගිල්ලෙන කොල්ල හැරෙන පරක්කුවෙන් ගෙඩි පිටින් චිට් එකේ ලියපු කෑම බීම ටික ගේනවා. ඉතින් නමය වසරේ මගෙ වටේ හිටිය කොල්ලො රොත්තම මට පින් දිදී ඒ ටිකට වග කියනවා. කාලයක් තිස්සෙම එහෙම කළත් ඉස්කෝලෙන් අස්වෙනකල්ම මගෙ හොර අස්සන නම් අල්ලන්න පි‍්‍රන්සිපල්ටත් බැරිවුණා.

කොහොමටත් රක්වානෙ අපි හරියට ජනපි‍්‍රයයි. ඒ අපි ලොකු බර පවුලක් නිසයි. නැන්දල මාමලා පුංචි අම්මල එහෙම ඔක්කෝමලත් එක්කල එකොළොස් දෙනෙකුගෙන් පිරිච්ච අපේ පවුලට කියන්නේ මහාරාජන්ස් ෆැමිලි කියලයි.

මහාරාජන්ස් පවුලෙත් හිටිය ලොකුම මැජික්කාරයා මං. පොඩිකාලෙ ඉඳන්ම මං පොඩි පොඩි මැජික් පෙන්වනවා. විකට ඇඳුම් තරගවලින් මාව පරද්දන්න කෙනෙක් ඒ කාලෙ හිටියෙ නෑ. සින්දුත් කිවුවා, ලස්සනට චිත්‍රත් ඇන්දා. චිත්‍රවලින් එක පිට එක තුන්පාරක්ම මං කොට්ඨාශ තරගවලින් ෆස්ට්.

පොඩි වුණාට ඉස්කෝලෙ කොන්සර්ට්වලදී මට ඉඩක් ලැබෙනවාමයි. එහෙම සමහර දවසකදි මං රොබෝකොප්ට අඳිනවා. නැත්නම් පිත්තල හරි සුදු යකඩ හරි බඩුවක් කෑලි ගලවල එක එක විදියට හයි කර කර පොඩි ෂෝ එකක් පෙන්වනවා. මේ එකක්වත් නැතිව ගලක්, මලක් එහෙමත් නැතිනම් කුඩයක් වගේ අභිරූපණයක් පෙන්නුව දවසුත් තිබුණා. ඒත් මේ මං කියන්න යන්නෙ ඊටත් වෙනස්ම කතාවක්.

එතකොටත් මං හරි පුංචියි. උසට හිටියෙත් ඉස්කෝලෙ තිබිච්ච පොඩි පුටුවක් තරමට. එදා ඉස්කෝලෙ වේදිකාව සරසල තිබුණෙ පොඩි ළමයි පෙන්වන නාට්‍යයකට. රාමායනම් තමයි නාට්‍යය. වාලි තමයි මට බාරවෙච්ච චරිතය. අමාරු වැඩක් තමයි මට පැවරණේ. නාට්‍යයේ විදියට මං ඊතල පාරක් වැදිල මැරෙනවා. ඒකටත් මං ලෑස්තිපිටයි හිටියේ. මං බිත්තර සාරුවලට රතු ඩයි කළවම් කරගෙන ඊතලේ ඇළිල හිටින්න සබන් පැලැස්තරයකුත් බඩේ බැඳගෙනයි හිටියෙ.

අපේ ගෙදරිනුත් නාට්‍යය බලන්න ඇවිත් හිටියා. ඉස්සරහම පේළියෙ එක ළඟ ළඟ අපේ අම්මගෙයි අප්පගෙයි මැදට වෙලා චූටි නංගිත් ඉඳගෙන හිටියා. එතකොට එයා මොන්ටිසෝරි යනවා.

ටික ටික මට ඊතලේ වැදෙන තැනට නාට්‍යයත් යනවා. දුනුවායට හිටිය නළුවත් හරියටම ඉලක්කෙටම ඊතලෙන් විද්ද. වැඩේ මල් හතයි. රතු පාටට ලේ විදියටම ඇඳුමත් තෙත්වෙන්න ගත්ත. මං මළා වගේම ස්ටේජ් එකේ වැටුණා. මගෙ කැරැක්ටරේ වැඩ එතැනින් ඉවරයි. ඒත් හොඳම ටික තියෙන්නෙ ඊළඟට. ඇයි ඉතින් අපේ නංගි එතකොට හරි පුංචියිනේ.

ඕඩියන්ස් එකෙන් එක පාරටම මහ ලතෝනියක් ඇහෙන්න ගත්තා. ‘අයියා අයියා මගෙ අයියා.... මගෙ දර්මා අයියා මැරුණා. එහෙම අඬාගෙන අම්මල ළඟින් නංගි වේදිකාවෙ වැටිල හිටිය මං ළඟට එන්නයි හැදුවෙ. සාරි රෙදිවලින් අටවගත්ත වේදිකාවෙ තිරේ ඒ ඉක්මනින් කවුරුහරි වැහුව. නැත්නම් අපේ නංගි ඇවිදින් වේදිකාව දෙවනත් කරනවා.

තව දවසක මං කළ වීරකමක් ගෙදර කට්ටිය පෙන්නන්න හිතුවා. ඔහෝ,... දැන් තමයි මතක් වුණේ. එදා දවසත් අප්‍රේල් පළමුවැනිදාවක්. මගෙ අතට අහුවුණේ හිස් මාරි පෙට්ටියක්. මං ඒකේ පැත්තකින් සිදුරක් හැදුවා. එතැනින් පෙට්ටියට ගලකුත් රිංගෙව්වා. දැන් වැඩ්ඩ වගේ මං පෙට්ටියෙ ඇතුළෙ තියෙන ගල හොළව හොළවා අර සිදුරෙන් ඇඟිල්ල දාගෙන ලේනෙක් ඇතුළෙ දඟලනව වගේ සද්ද කරනවා.

ගෙදර හැමෝටම පුදුමයි. මේ අඹිටිල්ලන් ධර්ම කොල්ල ලේනෙක් ඇල්ලුවෙ කොහොමද බලන්න ඔක්කොමල වටවුණා. අන්තිමේදී මාරි පෙට්ටිය මගෙන් උදුරගෙන බලනකල්ම එයාල ඔක්කොම මගෙ ලණුව ගිල්ල.

ටික ටික ලොකු වෙද්දි මගෙ රඟපාන්න තිබිච්ච පිස්සුව හොඳටෝම වැඩිවුණා. මං කොළඹට ආවෙත් රඟපාන්න හිතාගෙන. ඇවිදින් නැවතුණේ අපේ මාම කෙනකුගේ ජුවලරි ෂොප් එකක. රඟපාන්න නෙවෙයි රත්තරන් එක්ක මට්ටු වෙන්නයි මට එතැනදි වුණේ. ඉතින් මං එතැන දාල ගියා.

ඊළඟට වැඩකළේ ගාමන්ට් එකක බතික් සාරි ඩිසයිනර් කෙනෙක් විදියට. මේ වැඩවලින් නිනව්වක් ලැබිච්ච ගමන් මං හෙව්වෙම රඟපාන්න අවස්ථාවක්. එහෙම කොළඹ නගරයට ඇවිදින් සති ගණන් ගත කරල තියෙනවා. අයිඩෙන්ටි කාඩ් එක නැතිවෙලා රස්සාවකට යාගන්න බැරිව හිටිය කාලයක්ම මං කොළඹ මුට්ට කරගහලත් තියෙනවා.

ඔහොම කළුවරක ගෙවිචිච් මගෙ ජීවිතේට දවසක් එළියක් වැටුණා. ඒ සිඩ්නි චන්ද්‍රසේකරගෙන්. නිර්මාල් කියන කමල් අද්දරආරච්චිගෙ පුතාට රඟපාන්න මට චරිතයක් දුන්නේ ඔහුයි. එතැනින් ඇරඹුව ටෙලිගමනෙන් එහාට සිංහල සිනමාවෙනුත් මට දොර ඇරුණා.

මේ ප්‍රභාකරන් ෆිල්ම් එක රිලීස් වෙච්ච අලුත වෙච්ච දෙයක්. එදා මං කොළඹ ආදුරුප්පු වීදිය හරහා ගමනක් යන ගමන් හිටියෙ. එකපාරට හය දෙනෙක් ඇවිත් මාව වටකර ගත්තා. එයාල හිටියෙ මං කළ කැරැක්ටර් එක ගැන කේන්තියෙන්. මට බැණ බැණ ගහපු වීදුරු බෝතල් පාරවල් කාගෙන එදා පණ බේරගත්තෙ අනූනවයෙන්. කාලයක්ම රටිනුත් පිටවෙලා ඉන්නයි මට වුණේ.

ප්‍රභාකරන් ෆිල්ම් එකෙන් පස්සෙදිත් මාතා එකේදි චරිතෙකට වුණත් යුද්ධයක් කරන විදිය මම අලුතින් ඉගෙන ගත්තා. ‘භවතරණය’ නිර්මාණයකදී මගෙ කකුලක් කැඩිච්ච එක ජීවිතේටම අමතක නොවන අවස්ථාවක්. ඒත් මං ආබාධය පිටින්ම මට කරන්න පුළුවන් උපරිමය කෙරුවා. ඒකට තරාතිරමක් නැතිව ලොකේෂන් එකේ හැමෝගෙන්ම උදවු ලැබුණා.

මෙතැනින් ආයෙත් මගෙ මතකෙ හැරෙන්නෙ රක්වානට. මං ශාන්ත ජෝන් මහා විදුහලේදී ගතකළ කොලු කාලෙට. අපි සයන්ස් - මැත්ස් පන්තිවල හතර පස් දෙනෙක් කැලේ පනිනවා. කැලේ මැද ඇලේ පැනල නානවා. තවම මට හොඳට මතකයි ඇල අයිනට වෙන්න මහ විශාල ගස් දෙකක් තියෙනවා. එකක් දූරියන්. අනෙක මැංගුස්.

මැංගුස් වාරෙට අපි ඉදිච්ච ගෙඩි කඩන්නෙ තරගෙට. එදා දනිපනියෙ ගිඩි ගිඩි ගාල මුලින්ම මැංගුස් ගහට බඩගෑවෙ මං. හතර වටෙන්ම අතු බිමට නැමිච්ච ගහ ඇතුළ කළුවරම කළුවරයි. ඒ කළුවරට කොටුවුනාමයි මටත් එදා නම් වැරදිච්ච විත්තිය දැනුණෙ. ඒ මදිවට බිම හිටිය යාළුවො මැංගුස් ගහට පොලුවලින් ගල්වලින් ගගහ ගෙඩි කඩනව. ඒවයෙන් පාරකුත් වැදිල තරු පෙනිල හිටයත් කෑ ගැහුවොත් වැඩේ තවත් බොරවෙනව කියල නම් තේරුණා.

දෙබරෙත් ඇවිස්සුණා. මට මරණ බය දැනුණෙ දෙබරෙක් දෙන්නෙක් විදින්න ගත්තාම. වෙන දෙයක් වෙන්න කියල වේදනාවත් ඉවසගෙනම මං ගහෙන් බිමට බැහැගත්තා. එදා මං වතුරෙන් ගොඩ ආවෙ පැය තුනක්ම වතුර යට ඉඳලා.

සිකුරාදා ඉස්කෝලෙ භජන් කියන දවස. ඒකට මිනිත්තු හතළිස් පහක් යනව. අපිට අමාරුම වුණේ එක තැනකට වෙලා ඉඳගෙනම ඉන්නයි. ඉතින් ඒ වෙලාව මගහරින කට්ටියෙ මාත් හිටිය. හැම කෙනෙක්ම ඉස්කෝලෙ ටොයිලට් හෝදන්න ඕනැයි කියල නීතියක් තිබුණා. ඒත් මාත් එක්ක හිටිය තුන් හතර දෙනාම ඒක මඟහරිනවා. ඒ වෙනුවට වෙන මොකක් හරි ලේසි වැඩක් තමයි දාගත්තේ. ඒ වුණත් ඉස්කෝලෙ ලස්සනට තියාගන්න වැඩිපුරම මහන්සිවෙන ළමයි විිදියට අපිට උදේ රැස්වීමේදි තෑගි ලැබිලත් තියෙනවා.

ආයෙමත් රංගන ජිවිතේට හැරුණොත් මේ දවස්වල පෙන්වන වගේම ළඟ ළඟම එන්න තියෙන නිර්මාණ ගණනාවකින් ඔයාලට මාව හමුවේවි. ‘සුදුයි උසයි, මුතුපලස, ඉනියවන්’ මට අමුතුම අත්දැකීම් එක්කළ චරිත.

ඉස්කෝලෙ වේදිකාවෙන් පස්සෙ ආයෙමත් ප්‍රසිද්ධ වේදිකාවක මට ළඟදිම රඟපාන්න ලැබේවි. ඇත්තටම ඒ දවස වනතුරු මං මග බලන් ඉන්නවා. මං තනිව නෙවෙයි. කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මිහිර සිරිතිලකත් එක්කලා තමයි මේ ධර්මෙ වෙනස් චරිතෙකින් වේදිකා නාට්‍යයකින් ඔයාලාව හමුවෙන්න ඉන්නෙ. ධර්මා විතරක් නෙවෙයි දර්ශා කියලත් ගෙදරට මට කතා කළත් සිනමාවට මං දර්ශන් ධර්මරාජ්. ෆීල්ඩ් එකේදී හුඟ දෙනෙක් මට කතා කරන්නේ ඩිඩී කියලා. ඒ වගේම තවත් සුන්දරම මතකයක් වේවිය කියල හිතෙන අවස්ථාවක් මට ලැබී තියෙනවා. දකුණු ඉන්දීය චිත්‍රපට දෙකකට රඟපාන්න මට ලැබුණු ආරාධනාවට ඉදිරියේ ඒවායේ ඉතිරි රූගත කිරීම් එක්කලා නුවර, අඹේවෙල, නුවරඑළිය අවට මං වැඩි කාලයක් ගත කරාවි.