වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානනීය නිළිය සම ලිංගික විවාහයක

සම්මානනීය නිළිය සම ලිංගික විවාහයක

වෙනස් වෙන ලෝකයෙන් ඇසෙන්න ලැබෙන්නේ වෙනස්ම පුවත්ය. නිළි ජෝඩී ෆොස්ටර් නවීන තාලයේ විවාහයක් කර ගැනීමට සිතුවේ ඒ නිසාය. දැන් ඇය ප්‍රිය බිරියකි. ඒ සැමියකුගේ නම් නොවෙයි. තවත් කාන්තාවකගේයි. ඇය ඡායාරූප ශිල්පිනී, නිළි, ඇලෙක්සැන්ඩ්‍රා හෙඩ්සන්ය.

චිත්‍රපට නිෂ්පාදක සිඩ්නි බර්නාඩ් සමඟ දිගු කලක් සෙනෙහසින් බැඳී සිටි ඇය පුතුන් දෙදෙනකුගේ මවකි. චාල්ස් ෆොස්ටර් (1998), ක්‍රිස්ටෝනර් ෆොස්ටර් (2001) ඒ පුතුන් දෙදෙනාය. සිඩ්නි තමන්ට ආදරය කළත් නිවැරැදිම ආත්මීය සොයුරිය ඇලෙක්සැන්ඩ්‍රා බව ජෝඩී පවසන්නීය.

ජෝඩී වෙනස් අන්දමට සිතන්නේ ආදරය ගැන පමණක් නොවෙයි. ඇය ආගම ගැන සිතන්නේද නව අයුරකිනි. යුරෝපීය වේවා, ආසියානු වේවා සියලු ආගම්වලට ඇය ගරු කරන්නීය. ආගම් හදාරන්නීය.

ඇලෙක්සැන්ඩ්‍රා සමඟ විවාහවීමෙන් පසු ජෝඩී රන් පැහැ මංගල මුදුව පැලඳගෙන සිටින ඡායාරූප ශිල්පීන් පසුගියදා මාධ්‍යයට නිකුත් කරන ලදී. වසරක් ඇසුරු කළ පසු ඇලෙක්සැන්ඩ්‍රා සමඟ විවාහ වීමට ජෝඩී තීරණය කර තිබේ.

ජෝඩී දක්ෂ අමෙරිකානු නිළියකි. සිනමා අධ්‍යක්ෂිකාවකි. නිෂ්පාදිකාවකි. 1976 දී ‘ටැක්සි ඩ්‍රයිවර්’ සිනමා පටයේ ළමා ගණිකාවක ලෙස කැපී පෙනෙන රංගනයකින් සිනමාවට පිවිසි ඇය එම රංගනයට ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ වූවාය. 1989 දී ‘දි ඇකියුස්ඩ්’ රංගනයට ඇය හොඳම නිළිය ලෙස ඇකඩමි සම්මාන දිනා ගත්තාය. එහි ඇය රැගුවේ අතවරයට පත් තරුණියකගේ චරිතයකි. ‘ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස්’ හි රහස් පරීක්ෂක රංගනයෙන් ඇයට දෙවැනි ඇකඩම් සම්මානය හිමි විය.

යළිත් වරක් ඇය හොඳම නිළියට නිර්දේශ වූයේ ‘නෙල්’ රංගනයටයි. කන්ටැක්ට්‍රි පැනික් රූම්, ෆ්ලයිට් ප්ලෑන්, ඉන්සයිඩ් මෑන්, ද බ්‍රේව් වන්, ජෝඩී ෆොස්ටර් අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් කළ රංගනයන්ය. ඇයගේ මංගල අධ්‍යක්ෂණය ‘ලිට්ල් මෑන් ටේට්’ය. පනස් එක් හැවිරිදි ජෝඩී ඇකඩම් සම්මානවලට අමතරව සම්මාන ගණනාවකට හිමිකම් කියන්නියකි.