වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




විසල් කලු ගඟ අසබඩ සිංහයා තැනෙයි හැඩ වැඩ

විසල් කලු ගඟ අසබඩ සිංහයා තැනෙයි හැඩ වැඩ

රන්ජන්, පාලිත, දුලීකා, මහේෂිට ප්‍රබල චරිත

වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයක්

සුනිල් ටි. ගේ 60 වන සාඩම්බර නිපැයුම

ළමා නිවාසයේ දරුවන් සියලු දෙනා පටු ගුරු පාර වෙත නෙත් යොමා සිටියේ සිංහයා පැමිණෙන තුරුය. නමුදු සිංහයා තවමත් නොමැත. හාත්පස අඳුර වැටෙන්නට ළඟ අතර ස්වේත වර්ණ ආකාස ගැබෙහි නෙත විසිතුරු රූ දිළෙමින් තිබුණි. මඳ නලට මුසු වූ සේපාලිකා මල් පුසුඹ බලා ගිය ද දරුවනට අවශ්‍ය සිංහයාගේ සුවඳය. සිංහයා මිනිසෙකි. කේසර සිංහයකු වන් ප්‍රතාපවත්, ශක්තිමත්, නායකත්වය අතට ගත් අභීත මිනිසෙකි. පළාතේ දේශපාලන බල අධිකාරියෙන්, මඟ හැරුණු දරුවන් වෙසෙන ළමා නිවාසය බේරා ගැනීමට වෙහෙසෙන උදාර මිනිසෙකි.

මඟ හැරුණු දරුවන් රැසකට සුවිසල් සෙවණ සඳහා පාරම්පරික අලංකාර වලව්වට පොර බදන පිරිසකි. දරුවන්ගේ ජීවිතවලට වඩා ඔවුනට අවශ්‍ය වලව්වේ උරුමයයි. මේ වෙනුවෙන් දරුවන්ගේ පාර්ශවයට සාධාරණය ඉටු කිරීමට වෙසෙන්නේ සිංහයාය. දේශපාලන බල අධිකාරියෙත්, මැර කණ්ඩායම්වලත් සූක්ෂම උපායන්වලට බුද්ධිමත්ව නොබියව මුහුණ දෙන සිංහට ළමා නිවාසය බේරා ගැනීමට හැකි වේවිද?

මෙම පැනයට පිළිතුරු ලැබෙන්නේ සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් 60 වන චිත්‍රපට නිෂ්පාදනයෙනි. සිංහ ලෙස නම් කොට ඇති මෙම අලංකාර චිත්‍රපටය වී. සිවදාසන්ගේ නිර්මාණයකි.

මේ දිනවල සිංහ තැනෙන්නේ කළු ගඟ අසබඩ හැඩ වැඩ පිරුණු අලංකාර දර්ශන තලවලය. රන්ජන් රාමනායක සිංහ ලෙස ප්‍රධාන චරිතය මවන මෙම චිත්‍රපටයේ දර්ශන තලය ඉතාමත් රසවත් සිදුවීම්වලින් පිරුණු එකකි. රන්ජන් සිටින තැන සිනහව මිස දුක නැත. නිරතුරුවම දර්ශන තලයම සිනහවෙන් පුරවාලන්නට ඔහු සමතෙකි. නමුදු දර්ශන තලයේ සියලු දෙනා රන්ජන් සිටින තැන ඉන්නේ ඉතා සුපරීක්ෂාකාරිවය. එකවරම කිසිවකුට නොදැනෙන ලෙස සූක්ෂම උපායන් ඇටවීමට රන්ජන් සමතෙකි. එකවරම අත්වල ඇට මතට රන්ජන් එල්ල කරන තියුණු පහර හා ඉන් සිදුවන දේ ගැන දර්ශන තලයේ සැවොම දනී. නමුත් සැවොම ඉන් ලබන විනෝදය සුළුපටු නොවෙයි.

විශේෂ එකඟතාවයක් මත රන්ජන් දර්ශන තලයට පැමිණෙන උදෑසන 10.30 ට පසුවය. තමාගේ ශරීරිය පිළිබඳ ඉතා උනන්දුවෙන් පසුවන හෙතෙම ශාරීරික ව්‍යායාම සිදු කරනු ලබන්නේ උදෑසනය. චිත්‍රපටය අරඹන දිනයේද රන්ජන් ප්‍රමාදය. මේ ප්‍රමාදය අතරේ තවත් නළුවකුට ලණුවක් දීමට සුනිල් ටී සිතුවේය. නළුවාගේ නම ඇරැඹෙන්නේ ‘ක’ අකුරිනි.

‘මචං රන්ජා පරක්කුයි . . . මෙයත් එක්ක මේ වැඩේ කරන්න බැහැ. උඹට පුළුවන් ද මේන් රෝල් එක සිංහ කරන්න’

‘මේකයි, සහෝදර නළුවකුට එහෙම කරන එක වැරැදියි. ඒ වුණාට ඔයා අමාරුවේ වැටෙනවනෙ, මං කරන්නං’

ක . . . කීවේ අහක බලාගත් වනමය. වට පිට බලා දකුණ බලන විට එතැන රන්ජන්ය.

‘අඩෝ උඹ මගේ කැරැක්ටරේට විදින්න නේද හැදුවේ ආ . . .

රන්ජන් මිතුරාගේ මුහුණට කඩා පැන්නේ සිංහයකු මෙනි.

‘අනේ මචං . . .’

මිතුරාට සුනිල් සහ රන්ජන්ගේ ප්ලෑන තේරුණේ එවිටය.

මෙවැනි සුන්දර විහිළු තහළු සිංහයා දර්ශන තලයේ එමටය. චිත්‍රපටයක් සාර්ථක වන්නේ ද එවිටය. සැම දෙනාගේ දායකත්වය උපරිමව ලැබෙන සිංහයා නුදුරු අනාගතයේ ඔබ සොයා එනු නියතය.

නළු නිළි කැල

රන්ජන් රාමනායක, දුලීකා මාරපන, මහේෂි මධුසංඛා, සනත් ගුණතිලක, පාලිත සිල්වා, මිහිර සිරිතිලක, ගයාත්‍රි ඩයස්, හෙමන්ත ඊරියගම, අවන්ත පෙරේරා, කපිල සිගේරා, අනුර වරාගොඩ, උදේනි අල්විස්, අරවින්ද පාදුක්ක

අධ්‍යක්ෂණය - වී. සිවදාසන්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
පිටපත – බර්නාඩ් ජයතුංග
සම අධ්‍යක්ෂණය – කිර්ති රුවන් ලාල්සන්
සංගීතය - සෝමපාල ලීලානන්ද
පද රචනා - සේන ලියනගේ
සුනිල් ධර්මසිරි
වේශ නිරූපණය – මනෝජ් ලක්සිරි
කලා අධ්‍යක්ෂණය – චමින්ද වාස්
ඇඳුම් – චතුරිකා
කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත
නිශ්චල ඡායාරූප – තුෂාර මුණසිංහ
කැමරා උපකරණ - ෆයින් විෂන්
රේඛීය නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි
නිෂ්පාදන කළමනාකරණය - සරත් විජේසේකර / විජේදේව
සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
ගායනය - සුරංජි ශ්‍යාමලී, මනීෂා චංචලා, විදුෂා, අංජන යසිරු, සසිත් ලක්සිරි

විනෝදයි, ලස්සනයි

- රන්ජන් -

සුනිල් ටී. ගේ හැට වන චිත්‍රපටය සඳහා දායක වෙන්න ලැබීම ඇත්තටම සතුටක්. මං හිතනවා මේ චිත්‍රපටය ක්‍රියාදාමවලින් පිරුණු සංවේදී කතාවක්. ළමා නිවාසයක් බේරා ගැනීමට කරන සටනක් තමයි මෙහි මෙහි තිබෙන්නේ. මම මෙහි ද්විත්ව චරිත රඟපානවා. දරුවන් සමඟ රඟපෑම ඉතාමත් විනෝදජනකයි.

ඒ වගේම මෙම කතා තේමාවට මං කැමතියි. ප්‍රතිවිරුද්ධ පාර්ශවවල බල බිඳිමින් අවසානයේ ජයග්‍රහනය කරා යාම තමයි සිංහගේ අරමුණ. ඒ අරමුණට මොනවා වේවිද කියලා බලන්න වෙන්නේ සිංහ ආවම තමයි.

හැට වෙනස්

- සුනිල් ටී

මගේ හැට වන නිෂ්පාදනය තමයි සිංහයා. ඉතාමත් වෙනස් කතා මාතෘකාවක්. ඒ වගේම රන්ජන් මෙහි සුවිශේෂ චරිතයක් මවනවා. දරුවනේ චිත්‍රපටයේ සාර්ථකත්වය සිංහයා හදන්නට මා පෙළඹෙව්වා. දරුවන්ට ඉතාමත් අලංකර පින්තූරයක් අවශ්‍යයි.

ඒ නිසා කළු ගඟ අසල රමණිය දර්ශන තල ඒ සඳහා යොදා ගත්තා. මේක ළමයින් රැසකගේ කතාවක්. පවුලේ හැමෝටම ආදර්ශයක් ගත හැකි කතාවක්.

මේක වෙනස්ම චරිතයක්

- පාලිත -

මෑත කාලයේ චිත්‍රපටවල මට ලැබුණේ ඓතිහාසික චරිත. මේ චිත්‍රපටයේ මට ලැබුණේ දේශපාලනඥයකුගේ චරිතයක්. සුනිල් සහ ශිවදාසන් මට කිව්වේ රන්ජන් සමඟ උරෙන් උර ගැටෙන චරිතයක් තමයි මට තිබෙන්නේ කියලා. ඇත්තටම ඒක මට හොද හැරවුම් ලක්ෂ්‍යක් වුණා.

මොකද කාලෙකට පස්සේ තමයි මේ වගේ චරිතයක් කරන්නේ. රන්ජන් සහ මම හොඳ මිතුරන්. ඒ නිසා ඉතාමත් හොඳින් එකමුතුව මෙම චිත්‍රපටයට දායක වෙන්නේ විනීදයෙන්. මා හිතනවා සිංහ ඉතා ආකර්ෂණීය චිත්‍රපටයක් වේවි. ඒ වගේම ආදර්ශමත් චිත්‍රපටයක් වේවි.

දරුවන් හොඳයි අම්මලා වසයි

- ශිවා -

දරුවනේ චිත්‍රපටයට පසුව දරුවන්ගේ චිත්‍රපටයක් කරන්න තිබුණු මගේ කැමැත්ත දෙගුණ තෙගුණ කළා. ඒ නිසාම තමයි සිංහයා අධ්‍යක්ෂණය කරන්නට පෙළඹුණේ. හැබැයි ඇතැම් දෙමාපියන්ගේ නොහික්මුණු ක්‍රියාකාරකම් නිසා දරුවන් යොදාගෙන චිත්‍රපට කිරීම එපා වෙන තත්ත්වයටම පත් වුණා. දරුවන් චිත්‍රපටය සඳහා ගනිද්දී කරන කතා නෙවෙයි අම්මලා ඊට පස්සේ කියන්නේ. එකඟතාවයක් නැහැ.

මේ නිසා දරුවන්ට යන්න තියෙන මඟ ඇහිරෙනවා. මං හිතන්නේ දරුවන්ගේ චිත්‍රපට තනද්දී අම්මලා බුද්ධිමත් විය යුතුයි. මේ චිත්‍රපටය ඉතාමත් සාර්ථකයි. ලස්සනයි.