වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




තිරයට චණ්ඩියා වුණත් සැබෑ ජීවිතයේ මම අහිංසකයෙක්

තිරයට චණ්ඩියා වුණත් සැබෑ ජීවිතයේ මම අහිංසකයෙක්

කුමාර රණපුර

දුවගේ විවාහය මගේ ජීවිතයේ සුන්දරම දවසක්

අලුත් අයට වැඩියෙන් දෙබස්, පරණ අයට ඒවා නෑ

රිදී තිරයේ සේම පුංචි තිරයේ ද චණ්ඩියා ඔහුය. මෙරට කලා ක්ෂේත්‍රයේ දක්‍ෂ සටන් නළුවකු ලෙසින් ප්‍රසිද්ධ ඔහු කුමාර රණපුර නම් වෙයි. මේ දිනවල ‘සිහින සක්මන’, ‘ගිනි අවි සහ ගිනි කෙළි, ‘මැද ගෙදර’ ටෙලි නාට්‍යවලින් ඔබ හමුවට එන රණේ ගේ අලුත්ම තොරතුරු ගැනයි මේ සඳහන.

පුංචි තිරයෙන් හැමදාම හමු වුණත්, මෙහෙම හමු වුණේ කාලෙකින් නේද? කොහොමද ජීවිතේ?

සුන්දරයි, ගොඩක් සතුටින් ඉන්නවා.

මොනවද අලුත් තොරතුරු?

ඇත්තම කිව්වොත් මේ දවස්වල මට පොඩි විවේකයක් ලැබුණා.

ඒ මොකද?

ඇත්තටම, මේ විවේකය ලැබුණේ පොඩි අනතුරක් නිසා. මේ ළඟදී අනුරුද්ධ ගාම්භීරආරච්චි ගේ ‘පැතුම් මල් වසන්තේ’ කියන අලුත් ටෙලි නාට්‍යයේ සටන් දර්ශනයක් රූපගත වෙමින් තිබුණා. මාත් එක්ක තව පස් දෙනෙක් මේ සටන් දර්ශනයට එක්වී සිටියා. හැබැයි මේ පස්දෙනාම අලුත් අය. කොහොම හරි සටන කෙරුණත් මුලින් කියපු ආකාරයට නෙවෙයි මේ අය සටන් කළේ. ඒ නිසා මගේ අතකට නොසිතූ අයුරින් පොඩි අනතුරක් වුණා. දැන් බේත් කරනවා. මම හිතන්නේ තව මාසයක් විතර මෙහෙම ඉන්න වෙයි. ඕවා ඉතින් ඔහොම තමයි.

ටෙලි නාට්‍ය කිහිපයකින්ම මේ දිනවල ඔබව දකිනවා. කොහොමද මේවට ලැබෙන ප්‍රතිචාර?

ඔව්, මේ දවස්වල මම ඉන්න ටෙලි නාට්‍ය තුන හතරක්ම විකාශය වෙනවා. දිනූෂ චමින්ද එල්ලාවල ගේ ‘සිහින සක්මන, රෝහණ සමරදිවාකර ගේ මැද ගෙදර, සාරංග මෙන්ඩිස් ගේ ගිනි අවි සහ ගිනි කෙළි’ ඉන් කිහිපයක්. සිහින සක්මනේ කළු අප්පු ලෙසත්, ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයේ ගොතටුවේ සිරිල් ලෙසත්, මැද ගෙදර නිකලස් ලෙසත් එකිනෙකට වෙනස් චරිත තුනක් නිරූපණය කරනවා. ඇත්තටම මට හරිම සතුටුයි මේ තුනටම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඒ වගේම ‘කෝපි කඩේ’ නාට්‍යයටත් සුපුරුදු පරිදි දායක වෙනවා.

ටෙලි නාට්‍ය වගේම සිනමාව සහ වේදිකාවටත් ඔබ බොහොම ළැදි කෙනෙක්?

ඔව්, කිසිම බේදයක් නැතුව මේ ක්ෂේත්‍ර තුනටම මම එකවගේ කැමතියි. මේ වෙනකොට චිත්‍රපට පනහකට වැඩි සංඛ්‍යාවකට මම රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. බොහොමයක් චිත්‍රපටවල සහාය සටන් අධ්‍යක්‍ෂණයටත් දායක වුණා. ඒ වගේම මේ ළඟදී චිත්‍රපට තුනකම සටන් අධ්‍යක්‍ෂණය කරන්නත් මට ලැබුණා. තුෂාර රණසිංහ ගේ ‘ඩොක්ටර් ජෝන්’ සහ දිනූෂ ප්‍රදීප් කුමාර ගේ ‘රොකට් රජා පොකට් රාජා’ සහ ඔහුගේම ‘අර්ජනා’ කියන චිත්‍රපටයි. වේදිකා නාට්‍ය ගැන කිව්වොත් ‘නෙයිනගෙ සූදුවේ’ චණ්ඩි ජෝන් සුවිශේෂයි. ඒ වගේම ‘මේවට කවුද වග කියන්නේ, දිසාපාමොක්, පසුව අමතන්න, පැන්ෂන් මහත්තයා වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබී තියෙනවා.

ඇයි හැමදාම චණ්ඩි පාට්ම දාන්නේ?

ඒක නම් මටත් හිතා ගන්න බැහැ. මම හිතන්නේ මට ඒවගේ චරිත වැඩිපුරම ලැබෙන්නේ මගේ කොණ්ඩෙයි, පෙනුමයි හින්දා වෙන්න ඇති. ඒ වුණත් මම සැබෑ ජීවිතයේ නම් චණ්ඩියෙක් නෙවෙයි. කා සමඟත් මිත්‍රශීලී, බොහොම අහිංසක මනුස්සයෙක්. වෙලාවකට මට හිතෙනවා මම එකම රාමුවකට කොටුවෙලා ද කියලත්. ඒත් ලැබෙන්නෙම ඒ වගේ චරිත. මම හරි ආසයි ගැමි චරිත නිරූපණය කරන්න. හැමදාම චණ්ඩි වෙන්න හොඳ නැහැනේ.

කලාවට අමතරව දැන් ව්‍යාපාරික කටයුත්තකුත් කරගෙන යනවා කියලා ආරංචියි?

ඔව්, ඒකත් කලාවට සම්බන්ධ එකක්. මම මේ කාලෙදි දැකපු දෙයක් තමයි ෆිල්ම් ලොජ් එකක් නැති අඩුව නිසා අපේ නළු නිළියන් විඳින අපහසුව. දුර බැහැර රූපගත කිරීමකට ගිහින් කොළඹට රෑවෙලා අවොත් ගමට යන්න බස් නැතුව ඉන්න වෙන්නෙ මහපාරෙ. මේවා මම අනන්තවත් දැකලා තියෙනවා. ඒ නිසා තමයි මම ෆිල්ම් ලොජ් එකක් පටන් ගන්න හිතුවේ. ඒ වගේම කොළඹ රූපගත කිරීම්වලදී ඉන්න තැනක් නැහැ. දැන් ඒ වගේ මහපාරෙ ඉන්න ඕන නැහැ. සැප පහසුවට ඉඳලා පහුවදා යන්න පුළුවන් ඒ අයට. ඒ වගේම මම හිතනවා ලොකු සේවයක් කලා ක්ෂේත්‍රයට මෙයින් සිදු වෙනවා කියලා. ඒ නිසා මට සතුටුයි. අනිත් එක හැමදාමත් රඟපෑම කරන්නත් බෑනේ. කවදාහරි රඟපාන්න නැති වුණ දාට ආදායම් මාර්ගයකුත් අවශ්‍ය වෙනවානේ. ඒවත් හිතලයි මම මේක පටන් ගත්තේ.

කොහොමද පෞද්ගලික ජීවිතේ?

මම ගොඩක් සතුටින් පෞද්ගලික ජීවිතය ගතකරන කෙනෙක්. බිරිඳ කමලී එදිරිසිංහ. ඇය ගායිකාවක්. දුව ජනිත්‍රි මධුෂා. ඇය දැන් විවාහකයි. දුවගේ සැමියා තුෂාර විජේවික්‍රම. මගේ දුවගේ විවාහ දිනය මගේ ජීවිතයේ සුන්දරම දවසක්.

එතකොට ඔබත් දැන් සිංදු කියනවා කියලා ආරංචියක් ආවා. මොකද බිරිඳ ගායිකාවක් නිසාද සිංදු කියන්න හිතුවේ?

අපෝ නැහැ. මේ ළඟදී පළමු වතාවට වේදිකාවකට නැග්ගා ගීත ගයන්න. නාවික හමුදාවේ ප්‍රසංගයක් තිබුණා කංකසන්තුරේ. නාවික හමුදා බෑන්ඩ් එක මෙහි සංගීතය මෙහෙය වූවේ. තැන තැන ගීත කිය කියා හිටියට මේ වගේ වේදිකාවකට නැග්ගේ මුල්වතාවට.

ඔබ ක්ෂේත්‍රයට පැමිණි දා පටන් මේ දක්වා වූ කාලය පුරා ගොඩනඟා ගත් ස්ථාවරය ගැන මොකද හිතෙන්නේ?

මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු විස්සකට වැඩියි. එදා මම ආරම්භ කළ තැනත් අද මම සිටින තැනත් දිහා බලනකොට ලොකු සතුටක් දැනෙනවා. කුමාර රණපුර ලෙස මම අද වෙනකොට ක්ෂේත්‍රයේ යම්කිසි තැනක් ලබාගෙන තියෙනවා. ඒ තැනට මම ආවේ විශාල කැප කිරීමක් කරලා. කිසිම දෙයක් ලෙහෙසියට, නිකම් ලැබුණේ නැහැ. උත්සාහයයි කැප වීමයි තමයි මේ හැමදේම ලබා දුන්නේ. ඒ වුණත් දැන් ඉන්න නවකයන් දෙබස් වැඩිපුර තියෙනවා නම් විතරයි චරිත භාර ගන්නේ. අපි ක්ෂේත්‍රයට ආපු කාලෙ නම් එහෙම නෙවෙයි. දැන් අලුත් අයට වැඩියෙන් දෙබස් විතරයි අවශ්‍ය. ලැබෙන චරිත වලට උපරිම සාධාරණයක් කිරීමයි රංගන ශිල්පියෙක් විදියට කළ යුතු වන්නේ.

ඉදිරි නිර්මාණ ගැනත් පොඩ්ඩක් සඳහන් කරමු?

ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී එම කටයුතුත් සාර්ථකව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

නො, 844 බී, සිංහපුර, පැලවත්ත, බත්තරමුල්ල ලිපිනයට ඔබටත් පුළුවන් කුමාරට ලියන්න.