වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




අයින කාගෙන තමයි මාත් දැන් ඉන්නේ

අයින කාගෙන තමයි මාත් දැන් ඉන්නේ

හුස්මානන්ද . . .

හඳුනනවාද ඔහුව?

හුස්මානන්ද ඉන්නේ දමින්ද මඩවල අධ්‍යක්ෂණය කරපු මෙගා ටෙලි සිතුවමේ.

දැන් මතකයි නේද?

හුස්මානන්දට වන අකරතැබ්බ නම් බොහොමයි. ඒත් ඔහු ඒවා කනකටවත් ගන්නේ නැතුව අපූරුවට ඒවාට මුහුණ දෙනවා. හුස්මානන්දට පණ පොවණ මේ තරුණයාගේ නම මංජුල රණසිංහ. ඔහු පුංචි තිරයට තරමක් ආගන්තුක චරිතයක් වුණත් වේදිකාවේ නම් සම්මානනීය නළුවෙක්. මෙගා තමයි මංජුල හා හා පුරා කියලා ප්‍රධාන චරිතයක් මවපු ටෙලි සිතුවම. ඒ වගේම මේ සටහන් වන්නෙත් ඒ හුස්මානන්ද හෙවත් මංජුලගේ කුලුඳුල් පුවත්පත් ලිපිය. ඉතින් එහෙනම් මංජුලව හොඳින් හඳුනා ගනිමු. ඒත් සමඟම හුස්මානන්ද ගැනත් කතා කරමු.

මංජුල කොහෙන්ද අපි කතාව ආරම්භ කරන්නේ?

මං හිතනවා හුස්මානන්ද ගැන කතා කළොත් හොඳයි කියලා.

හුස්මානන්ද ඔබට වාසනාව ගෙනාවා කිව්වොත් මම හරිද?

හරියටම හරි. වසර ගණනාවක් මං ක්ෂේත්‍රයේ හිටියත් සාමාන්‍ය ජනතාව අතරේ මාව ජනප්‍රිය වුණේ නැහැ. නමුත් මෙගා විකාශය වන්නට පටන් ගත් දින සිට මට හොඳ හොද ප්‍රතිචාර තියෙනවා. ගොඩක් අය නාට්‍ය වටා රොක් වෙලා සිටිනවා කියලා දැනෙනවා. ඒ ප්‍රතිචාරවලින් හුස්මානන්ද කියන්නේ ටෙලි නාට්‍ය ටී බෝයි කෙනෙක්. මම අනන්තවත් ටී බෝයිලා දැකලා තියෙනවා. ඒත් මම මටම අනන්‍ය වූ ගති ලක්ෂණ කිහිපයක් හුස්මානන්ද වෙනුවෙන් හදා ගත්තා. ඒවාට තමයි ගොඩක් අය ප්‍රිය කරන්නේ.

ඔබ ජන කරළියේ ආරම්භක සාමාජිකයෙක්. ඇයි ඉන් ඉවත් වුණේ?

මම අවුරුදු ගණනාවක් ජන කරළියේ හිටියා. චන්දාස්, සෙක්කුව වැනි නාට්‍යවලට දායක වුණා. 2006 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය ගත්තෙත් මම. ජන කරළියේ ඉන්න කොට වෙනත් නාට්‍යවලට දායකවන්න අමාරු ගතියක් තියෙනවා. දොස් කියනවා එහෙම නෙවෙයි. මට හිතුණා එළියට ඇවිත් ටෙලිවල රඟපාන්න.

මෙගා අධ්‍යක්ෂ දමින්ද නේද ඔබට හුස්මානන්දට ආරාධනා කරන්නේ?

ඔව්. ඔහු චරන්දාස් නරඹලා මාව දැකලා මගේ දක්ෂතා හඳුනාගෙන තිබුණා. ඔහුට හිතෙන්න ඇති මාව ඊට හොඳින් ගැළපෙනවා කියලා.

ජන කරළියෙන් අයින් වුනාට දුකක් නැද්ද? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ ඉන් හැකි තරම් ඉගෙන ගෙන එය හමාර වූ තැන ජන කරළියෙන් ඉවත්වුණා කියලා?

අපි වේදිකා නාට්‍ය කරද්දී ඉබේටම රංගනය පිළිබඳ ඉගෙන ගැනීමක් වෙනවා. ඒක වලක්වන්න බැහැ. වසර කිහිපයක්ම ජන කරයේ හැසිරෙද්දී ප්‍රායෝගික මට්ටමේ බොහෝ දේවල්වලින් මම පෝෂණය වෙලා. ඒක මම හිතාමතාම කරපු දෙයක් නෙවෙයි. මම අසාධාරණ නැහැ. කාත් එක්කවත් ගැටුම් ඇති කරගෙන නෙවෙයි මම ඉවත් වුණේ. අදටත් මම ජන කරළිය හරහා මාව හදපු පරාක්‍රම නිරිඇල්ල සහ එච්. ඒ. පෙරේරාව සිහිපිත් කරන්නේ අප්‍රමාණ භක්තියෙන්.

වේදිකා නාට්‍ය කරද්දී ලැෙැබන දැනුමට වඩා අඩු දැනුමක් නේද ටෙලි නාට්‍ය කරද්දී ලැබෙන්නේ?

ඒක නම් ඇත්ත. ටෙලි නාට්‍යවලින් ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඉගෙන ගන්නවා නම් වේදිකා නාට්‍ය කළ යුතුයි. මාත් රංගනය ගැන ඉගෙන ගත්තේ වේදිකා නාට්‍ය කරලනෙ.

ඔබ මේ හැරුණේ ජනප්‍රියත්වය සොය යෑමේ මාවතකටද?

එහෙම කියන්න අමාරුයි. රංගනයට පැමිණෙන කෙනෙකුගේ අරමුණ ජනප්‍රියවීමම නෙවෙයි. මම කළේ මාධ්‍ය මාරු කිරීම පමණයි.

මේ වන විට ඔබ වෘත්තීමය නළුවෙක්?

මට වෙන ආදායම් මාර්ග නැහැ. වෙන සාත්තරයක් දන්නෙත් නැහැ. මට පුළුවන් කලාව විතරයි. එයිනුයි මම ජීවත් වෙන්නේ.

පුළුවන්ද එහෙම ඉන්න?

ටිකක් අමාරුයි. ඒත් මං ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. මගේ ලොකු ගණන් නැහැනෙ. පුංචි නළුවෙක් මං.

හුස්මානන්ද නිතරම කියන වාක්‍යක් මේ දවස්වල හරියට ජනප්‍රියයි නේද?

අයින කාගෙන. ඒ වචන දෙක කිය කිය බොහෝ දෙනා විහිළු කරනවා. දැන් මටත් ඒ වචන දිවට හුරු වෙලා. අයින කාගෙන තමයි මාත් දැන් ඉන්නේ.

ආයෙත් ජන කරළියට යන්න අදහසක් නැද්ද?

තවම නැහැ. මම බාර ගත්තු වැඩ කිහිපයක් තියෙනවා. ඒවා දැනට කරගෙන යනවා.

මෙගා ටෙලි නාට්‍යයෙන් කතාබහ කෙරෙන්නේ ටෙලි ක්ෂේත්‍රයේම වන වැරැදි. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

අපි මෙමගින් කිසිම නිර්මාණකරුවකුට පහර දීමක් සිදු කරන්නේ නැහැ. හරියට වැඩ කරන අයට කරන දේ හරියට නොකරන උදවියට මෙගා බලලා කෙන්ති යන්නේ. එක අතකින් බලන කොට මෙගා කියන්නේ ක්ෂේත්‍රයේ සෝදාපාළුව වලකන බෙහෙතක් වගේ.

ක්ෂේත්‍රයේ අය මෙගා බලලා ඔබේ මූණටම දොස් කියපු අවස්ථාවන් ඇති?

දැනට එහෙම නැහැ. හිතින් බනිනවාද කියන්න මට බැහැනෙ. හැබැයි ක්ෂේත්‍රයේ ගොඩක් අය චරිතයේ ගුණ දොස් කියනවා.

මංජුලගේ පුද්ගලික ජීවිතේ විස්තරත් කියමු?

මගේ ගම හම්බන්තොට. හුංගම විජයබා ජාතික පාසලෙනුයි අධ්‍යාපනය ලැබුවේ. මං විවාහකයි. බිරිය ශ්‍යාමලී. මට දරුවො තිදෙනෙක් ඉන්නවා. වෘත්තීය ජීවිතය හොඳීන් ගෙනි යන්න ඔවුන් මට බෙහෙවින් ශක්තියක්.

පවුලේ සාමාජිකයින් හුස්මානන්ද ගැන මොකද කියන්නේ?

මගේ අප්පේ ඔවුන් තරම් විචාරකයින් තවත් මට නැහැ. ඒ අය මට අඩුපාඩු පෙන්නලා දෙනවා. මාත් හරි ආසාවෙනුයි ඒවා අහගෙන ඉන්නවා.

මේ ගමන එන්න උදව් වුණ පිරිසත් මතක් කරමු?

මගේ ආරම්භක ගුරුවරයා වන්නේ ලක්ෂ්මි කේ. පතිරණ. එච්. ඒ. පෙරේරා, පරාක්‍රම නිරඇල්ල, දමින්ද මඩවල, සෝමරත්න දිසානායක, ජයප්‍රකාශ් සිවගුරුනාදන් වගේ මහත්වරුන්ව මතක් කරන්නේ මම හරිම ආදරයෙන්. ඔවුන්ගේ නිහතමානීකම මම නිතරම අගය කරනවා.