වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සභාපතිගේ ක්‍රියාකලාපය අත්තනෝමතිකයි

සභාපතිගේ ක්‍රියාකලාපය අත්තනෝමතිකයි

සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලයට මෙයින් පසු යන්නේ නෑ
රේණුකා බාලසූරිය

ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සමාජිකාවක වන සම්මානනීය චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මෙයින් ඉදිරියේ අධක්‍ෂ මණ්ඩලයේ රැස්වීම් සඳහා සහභාගි නොවන බව සරසවියට පැවසුවාය. එයට හේතුව ලෙස ඇය පවසන්නේ එහි වර්තමාන සභාපතිවරයා සමඟ චිත්‍රපට ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුබවාදී තීරණ ගැනීමට ඇති අපහසුවය.

මීට වසර කිහිපයකට කලින් ජනමාධ්‍ය තොරතුරු අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඇය අධ්‍යක්‍ෂ මණ්ඩල සමාජිකාවක ලෙස පත් කළ අවස්ථාවේ එම තනතුර බාර ගන්නා ලද්දේ දේශීය සිනමා කලාවේ හා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවය කිරීමේ අභිලාෂයෙන් බවත් එහෙත් වර්තමාන සභාපතිවරයා ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා එසේ කළ නොහැකි බැවින් ඔහු සභාපති ධුරය දරනා තුරා තමා එම අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බව ඇය පැවසුවාය.

ඒ අනුව තම තීරණය පිළිබඳ ඇය විෂය බාර ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙන්ම අමාත්‍යාංශ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව ද ඇය පැවසුවාය.

එමෙන්ම රේණුකා බාලසූරිය විසින් විෂය බාර ඇමතිතුමන් වෙත යවන ලද ලිපියෙහි පිටපතක් සරසවිය පුවත්පතට ද එවා තිබිණි.