වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

‘කස්තුරි සුවඳ’, ‘නිල්ල සොයා’ යන කලාත්මක චිත්‍රපට නිපද වූ සේන සමරසිංහයන් දැන් සිනමා නිර්මාණ ඉදිරිපත් නොකර නිශ්ශබ්දව සිටින්නේ කුමන කරුණක් නිසා ද?

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල

කෑගල්ල

හේතුවක් ඔහු ප්‍රකාශ කරන්නේ නැහැ. පසුගිය කාලය පුරාවට ඔහු චිත්‍රපට නිර්මාණය කළේ නැහැ.

ඔබ සමහර විට අප අසන හරවත් ප්‍රශ්නවලට උත්තර නොදී ඉතාම සරළ ඕනෑම කිරි දරුවෙකු පවා දන්නා සමහර ප්‍රශ්නවලට නිතර නිතර උත්තර දෙන බව පැහැදිලිවම පෙනී යන කරුණක්. ඇයි එහෙම කරන්නේ?

කල්‍යාණි ජයනෙත්ති

උණවටුන

කල්‍යාණි මම එහෙම කරන්නේ නැහැ. ඔබ එවූ ප්‍රශ්න මට ලැබුණේ නැහැ. කිරි දරුවන් අහන ප්‍රශ්නවලට උත්තර දීලා මටත් දැන් එපා වෙලා. මම සරසවිය කර්තෘතුමාටත් කිව්වේ වෙන කෙනෙක් හොයා ගන්න කියලා.

ලෝක සිනමා ඉතිහාසයේ වැඩියෙන්ම නිෂ්පාදනය කර ඇත්තේ බුද්ධ චරිතය ද, කි‍්‍රස්තු චරිතයද? ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය වූ සම්මානනීය සිනමා සිත්තම ගැන විස්තරයක් දැනගන්න කැමැතියි.

ගිල්බට් පෙරේරා

හෝකන්දර දකුණ

සිනමා ඉතිහාසය පුරා බුද්ධ චරිතය සිනමාවට නැගුණා නම් ඒ ඉතා අතළොස්සයි. එහෙත් ක්‍රිස්තු චරිතය මුළු සිනමා ඉතිහාසය පුරා දහස් වතාවකට වඩා රූ ගන්වා තියෙනවා. මේ අතරින් වර්තමානයේ අතිශය ජනප්‍රිය චිත්‍රපටය ලෙස සැළකෙන්නේ ‘පැෂන් ඔෆ් ක්‍රයිස්ට්’ චිත්‍රපටයයි.

ලංකාවේ නිපදවන ලද සිංහල චිත්‍රපටවල රහස් පරීක්ෂක කතා ඇතුළත් මුල්ම චිත්‍රපටය ‘ඩිංගිරි මැණිකා’ ද නැත්නම් ‘ශ්‍රී 296’ චිත්‍රපටයද?

ජයම්පති නවරත්න

මාතලේ

ඩිංගිරි මැණිකා. ඒ 1956 වසරේ.

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පුතු සම්පත් ද අල්විස් දැන් කෝ?

නන්ද ලියනගේ

මහවැව

ඔහු විදෙස් ගත වෙලා සිටින බව ආරංචියි.

රූපවාහිනියේ මෙන් චිත්‍රපට පෙන්වන අවස්ථාවේදී සිනමාහල්වල ද වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළහොත් කුමක් වේද?

සුරවීර නාකලන්ද

ධර්ගා නගරය

හරි ෂෝක්. කියලාවත් කර ගන්න බැහැ.

2007 වසරේ තිරත වූ සිංහල චිත්‍රපට අනු පිළිවෙලින් මොනවාද?

රත්න කහඳව

අලව්ව

සංඛාරා, මිස්ටර් ධන රින, රන් කෙවිට, වැඩ බැරි ටාසන්, සංක්‍රාන්ති, තාරකා මල්, ආගන්තුකයා, උත්පලවණ්නා, හායි මාස්ටර්, සිකුරු හතේ, ෆස්ට් ලව් පූජා, නිසලගිර, ආසයි මං පියාඹන්න, යහළුවෝ, නෝ ප්‍රොබ්ලම් ඩාලින්.

60, 70 දශකවල ජනප්‍රියව තිබූ වාද බයිලා කලාවට අද මොකද වුණේ?

සරත් රණසිංහ

කඩුගොඩ, මාළිඳ.

ඔය යස අගේට තියෙන්නේ. බලන්නේ නැද්ද ටෙලිවිෂක් එකේ වාද විවාද?

‘නටුවෙන් ගිලිහුණු පින්න මලක්’ ගීතය ගායනා කරනු ලබන ගායකයා පිළිබඳව හා ඔහුගේ වෙනත් ගීත පිළිබඳව දැනගන්න කැමැතියි.

ගීතාංජලී

කොටුගොඩ

මෙම ගීතය ගායනා කරන්නේ ප්‍රියාල් අමරසිංහ. ඔහු ගැයූ අනෙක් ගීත අතරට සිතිවිලි අවදි වෙලා, මව්නි දයා, ලස්සන ලෝකේ, හසුනක් ලියන්නෙපා, සෙනෙහස සුන්දරයි, ජීවිතේ දුක නිවාලු, සෙනේ සිතින් වැනි ගීත ඇතුළත් වෙනවා.

‘දුල්හා දුල්හාන්’ චිත්‍රපටයේ රාජ් කපූර් සමඟ රඟන නිළිය කවුද?

සුජාතා ගුණවර්ධන

කඩවත

සධානා.

ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටියට සිදු වූ අසාධාරණය ගැන ඔබේ අදහස් කෙසේද?

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

එතකොට බලන්න ගිය අපට වුණු අසාධාරණය ගැන අදහස් කියන්නෙ කවුද සුනිල්.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ පෙම්වතියක් ලෙස රඟපෑමට වරම් නොලද එදා සිනමාවේ සිටි ජනප්‍රියම නිළිය කවුද?

කරු මන්දාවල

නාත්තණ්ඩිය

සුමනා අමරසිංහ.