වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




අක්කා දිහා බලන විදිය ගානට වැඩියි

අක්කා දිහා බලන විදිය ගානට වැඩියි

එදා මම කතාව මැදින්නෙ පටන් අරන් තියෙන්නේ. ඊට කලින් වෙච්ච සිදුවීමක් මේකට සම්බන්ධයි.

ළමා කාලේ මගේ පුරුද්දක් තිබුණා චිත්‍රපටයක් බලලා ආවාම පවුලේ කට්ටිය හිනා ගස්සන්න. ඒ අය රඟපාපු හැටි විශේෂයෙන් අධි තාත්වික රඟපෑම – රඟපාලා පෙන්නන්න. මේ විදියට රඟපාලා පෙන්වන එක දවසක ලක්ෂ්මන් අයියත් ගෙදර හිටියා. අයියා මගේ රඟපෑම් බලාගෙන ඉඳලා කිව්වා,

‘ලොකු අම්මේ හැමදාම ගෙදර රඟපපා ඉන්නේ නැතිව මෙයාව අරින්නකෝ හොඳ නාට්‍යයකට හරි, චිත්‍රපටයකට හරි රඟපාන්න’

‘අම්මෝ මතකනෙ, ලොකු පුතා රඟපාන්න ගිහින් වෙච්ච දේ. තාත්තා සූට්කේස් එකට ඇඳුම් දාලා එළියට විසි කරලා කිව්වා ගෙදරිනුත් පලයන් කියලා. ඕවා අහන්න ගිහින් මටත් හොඳ දෙකක් අහගන්න වෙයි’

‘ඒ වගේ එකක් නෙමෙයි ලොකු අම්මේ, හොඳ නමක් තියෙන අධ්‍යක්ෂවරයෙක්ගේ නාට්‍යයකට හරි, චිත්‍රපටයකට හරි සම්බන්ධ වුණොත් අංකල් මුකුත් කියන එකක් නැහැ. මේ දවස්වල දයානන්ද ගුණවර්ධන මහත්තය නරිබෑනා නාට්‍යය අලුතින් පටන්ගන්න ඒකේ ගම දුවට කෙල්ලෙක් හොයනවා. නංගි නම් ඒකට හොඳට ගැළපෙනවා. ලොකු අම්මා නංගි එක් කරගෙන එන්න. මම වෙලාවක් අරගෙන කියන්නම්.’

තාත්තගෙනුත් අවසරය අරගෙන මමයි, අම්මයි, අයිය කියපු වෙලාවට සුදර්ශියට ගියා දයානන්ද ගුණවර්ධන මහත්තයාව හම්බ වෙන්න. දයානන්ද ගුණවර්ධන මහත්තයා මට ඒ චරිතෙ දෙන්න කැමති වුණා ද නැද්ද කියලා මම දන්නේ නැහැ. එයා කිව්වේ නරි බෑනා නාට්‍යයට ප්‍රතිපාදන සොයමින් සිටින නිසා පුහුණුවීම් ආරම්භ කරන්න ටික කාලයක් ගත වෙයි කියලා.

චන්ද්‍රා කලුආරච්චි ඒ මොහොතෙම එතැනට ආවා. ඇවිත් මගේ දිහා බලලා හරියට හඳුණන කෙනෙක් වගේ මගේ අතින් අල්ලගෙන ලක්ෂ්මන් අයියට කිව්වා ‘අනේ ලක්ෂ්මන් මෙයාව දෙන්නකෝ ශෛලාසනේ කුමරිට. අපි ඒ නාට්‍යය දැන් රිහසල් කරනවා. ඒකේ ශක්‍ර දෙවියන්ගේ දුවට නිළියක් නැතුව තමයි රිහසල් කරන්නේ. මෙයා නම් ඒකට හොඳට ගැළපෙනවා.’

ඒ වෙන කොට චන්ද්‍රා අක්කා ප්‍රසිද්ධ නිළියක්. එයා අම්මා දිහා හැරිලා කිව්වා ‘අම්මට පුළුවන්නේ හෙට ඉඳලම මෙයාව රිහසල් එක්කර ගෙන එන්න. ඒ වෙලාවේ මම පොඩ්ඩක්වත් හිතුවේ නැහැ මේ කතා කරන්නේ ලක්ෂ්මන් අයියගේ අනාගතේ දුක සැප බෙදාගන්න ඉන්න ජීවන සහකාරිය කියලා. ඉරණම කොයි තරම් පුදුම දේවල් කරනවාද?

නරිබෑනා එකේ ගම දුව වෙන්න ගිය මම ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ශෛලාසනය කියන වේදිකා නාට්‍යයේ ශක්‍ර දෙවියන්ගේ දියණිය වුණා. පසු කලෙක වේදිකාවෙන් ඉතා ප්‍රසිද්ධියට පත් වුණ දැවැන්තයින් මං වගේ කුඩා අංකුර නිළියකට දකින්න ලැබීම, කෙටි කලකට හෝ ඇසුරු කරන්නට ලැබීම මා ලද භාග්‍යයක් බව සතුටින් මතක් කරනවා.

ලූෂන් බුලත්සිංහල, විජය නන්දසිරි, කුවින්ටස් වීරකෝන්, වික්ටර් වික්‍රමගේ, අතුල සෝමසිරි, උපාලි අත්තනායක, චන්ද්‍රා කලුආරච්චි මේ වගේ විශාල නළු නිළි පිරිසක් මේ නාට්‍යයේ රඟපෑවා.

එහි පුහුණුවීම් කරන අතරතුර උපාලි අත්තනායක මහතා දවසක් කිව්වා නංගි සුමිත්ත අමරසිංහ මහත්තයාගේ කෙටි චිත්‍රපටයක රූප රාමු වගයකට කෙල්ලෙක් හොයනවා. මම ඔයා ගැන කිව්වා. එයා ඔයාව හම්බ වෙන්න ළඟදීම දවසක ගෙදර ඒවි කියලා. කිව්වා වගේම දවසක අති දක්ෂ කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහ මහතාත් එම බිරිඳත් අපේ ගෙදරට ආවා. ඒ පැමිණීම පසු කලෙක මගේ ජීවිතේ විශාල පෙරළියකට, සම්බන්ධයකට අත්තිවාරම් දැමීමක් වුණා.

මගෙත් රවීගෙත් සම්බන්ධයට සහ විවාහයට නොමසුරුව උදවු උපකාර කළ මට පියෙක් මවක් සේ සලකා ගෙදර නවාතැන් දී රැකවරණය සැලසූ ඒ දෙපොළ හඳුනා ගන්නට ලැබීම කල්‍යාණ මිත්‍ර සේවනය පිනක් සේ සලකන මා – මම කළ පිනක් පලදීමක් ලෙස විශ්වාස කරමි. ඒ හඳුනා ගැනිමෙන් පසු ඔහු විසින් ගන්නා ලද ඡායාරූප පෙළක් තමා සුමිත්‍රා පීරිස් මහත්මියට දකින්න ලැබී තිබුණේ.

ශෛලාසනයේ නාට්‍යයේ පුහුණුවීම් කරන අතරේ යළිත් මට ලෙස්ටර් සුමිත්‍රා යුවළගෙන් ආරාධනාවක් ලැබෙනවා දෑස නිසා චිත්‍රපටයේ නළු නිළියන් සහභාගි වෙන සාදයකට සහභාගි වෙන්නට. ඇත්තෙන්ම ඒක මුහුරත් උළෙල ද කියලා මම දන්නේ නැහැ. මගේ මතකය නිවැරැදි ද දන්නේ නැහැ. සාදය තිබුණේ රාත්‍රී කාලයේ කොල්ලුපිටියේ රේණුකා හෝටලයේ විය යුතුයි.

ආරාධනය මට විතරක් නිසා අම්මා මාව සුමිත්‍රා ඇන්ටිට භාර දීලා, ඉවර වුණාම එක් කරගෙන යන්න එන්නම් කියලා ගියා. මම එතන හිටිය කවුරුවත්ම අඳුරන්නේ නැහැ. මම හිටියේ හොඳටම බයෙන්. එදා ලෙස්ටර් සර්ගේ ගෙදර ගියා වගේ. සෙනඟ ගොඩක් මැද්දේ මාව කරකවල අත ඇරියා වගේ.

සුමිත්ත අමරසිංහ තැනූ කෙටි චිත්‍රපටය පී‍්‍රති රන්දෙනිය සහ ලාල් හේවාපතිරණ

සුමිත්‍රා ඇන්ටි වට පිට බලලා මාව එක මේසයක් ගාවට එක් කරගෙන ගියා. එතැන නෝනලා තුන් දෙනෙක් වාඩි වෙලා හිටියා. තුන් දෙනාම සාරි ඇඳලා. එක් කෙනෙක් අලුත්ම තාලෙට කොන්ඩෙ කපලා. අනිත් දෙන්නා ඒ කාලේ තිබුණ ස්ටයිල් එකට හරියට ඔළුව උඩ ගස් මුට්ටියක් නවලා වගේ ;කාණ්ඩ දෙකක් දාලා. තුන් දෙනාම හිනා වේවී කච බච ගාලා ඉංග්‍රීසියෙන් මොනවදෝ කියෙව්වා. මම කට දිහා බලාගෙන හිටියා. හැබැයි කතා කරපු එකම එක දෙබසක් තාමත් මතකයි. එක් කෙනෙක් ඇහුවා සෆර් බැලුවද කියලා. අනිත් එක්කෙනා කිව්වා මම සෆර් කරන්න කැමති නැති නිසා බැලුවේ නැහැ කියලා. ඒ දවස්වල රිට්ස් එකේ සෆර් කියලා හින්දි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළා. ඒ දවස්වල මමත් හින්දි චිත්‍රපට ලෝලියෙක් නිසා වෙන්නැති ඒ දෙබස විතරක් මතක තිබුණේ.

සුමිත්‍රා පීරිස් මහත්මිය කොයි තරම් නිහතමානී ද, ඇයට තිබුණ හුඟාක් වැඩ රාජකාරි මැද මගේ ගැනත් හොයලා බැලුවා. සැරෙන් සැරේ මගේ ළඟට ඇවිත් අහනවා මම කෑවද, මොනව හරි බීව ද කියලා. එහෙම අහන්න තරම් මම වටිනා කෙනකුත් නෙමෙයි. ඒත් ඒ දෙන්නගේ තියෙන මනුස්සකම, මවුවත්කම කොයි තරම්ද?

මම ඉන්න තැනට ටිකක් එහාට වෙන්න නළු නිළියෝ පින්තූර ගන්නවා. ළඟින්ම පෙනුණේ නැතත් විදුලි බුබුළුවල එළියට මට ඒගොල්ලන්ව හොඳින්ම පේනවා. රවීන්ද්‍ර රන්දෙනිය, ජෝ අබේවික්‍රම, ශ්‍රියාණි අමරසේන ඒ තුන්දෙනාව හොඳින්ම මතකයි. වැඩියෙන්ම මතක තියෙන්නේ රවීන්ද්‍ර රන්දෙනිය ඇඳගෙන ආපු කමිසය. වී අකුර හැඩයට කර කපපු අත් කොට කමිසයක්. ඒ කාලේ මගේ ප්‍රියතම නළුවා රාජේෂ් ඛන්නා. ඒ කාලේ නරඹපු චිත්‍රපටයක රාජේෂ් ඒ විදියම කමිසයක් ඇඳලා තිබුණා.

ඒ නිසා මම ඒ දිහා හොඳින්ම බැලුවා. එදා රවීව දැක්කත් මට විශේෂ හැඟීමක් නොදැනුණේ ඊට කලින් අපි නාට්‍යයක් බලන්න ලයනල් වෙන්ඩ්ට් එකට ගිය වෙලාවකදී රවීත් ඇවිත් හිටිය නිසා වෙන්නැති. අඩි 6 ක් පමණ උස, කොණ්ඩෙ ක්‍රේල්, රත්තරන් පාට, මනා පෞරුෂයකින් හෙබි මේ කඩවසම් තරුණයාගේ රූපය එදා නම් මට හොඳට මතක හිටියා. එදා නම් රවී මගේ දිහා ඉතා ඕනෑකමින් දෙතුන් සැරයක්ම බැලුවා. මංජු නංගි කිව්වා එයා අක්කා දිහා බලන විදිය නම් ගානට වැඩියි වගේ කියලා. රවීගෙන් මම පසු කාලේ මේ සිද්ධිය ඇහැව්වාම කිව්වා එයාට එහෙම දෙයක් පොඩ්ඩක්වත් මතක නැහැ කියලා.

මම එදා සාදය ඉවර වෙනතුරුම ගොඩයට මැජික් වගේ හැමෝගෙම මුහුණු දිහා බල බල හිටියා මිසක් කාත් එක්කවත් වචනයක්වත් කතා කරපු බවක් නම් මතකයේ නැහැ.

එදා රෑ වෙච්ච නිසා මමයි අම්මයි, පුංචි අම්මලාගේ ගෙදර නතර වුණා. පුංචි අම්මගේ දූ මංජු නංගි, එයත් ඒ කාලේ හින්දි චිත්‍රපට පිස්සියක්. අපි දෙන්නා අතින් අල්ලගෙන නංගිගෙ කාමරයට දුවලා ගියා.

‘අක්කා කොහොමද පාටිය’

මම හැමෝගෙම කටවල් දිහා මූණවල් දිහා බලාගෙන කාත් එක්කවත් කතා නොකර හිටියත් මම කිව්වේ හරිම ෂෝක් නංගි කියලා.

‘ශ්‍රියාණි අමරසේන ලස්සනයි නේ . . .’

‘ඔව් නංගි හරිම . . . හරිම . . . ලස්ස . . . නයි’

‘ජෝ අබේවික්‍රම . . .’

‘හ්ම් . . . හොඳයි . . .’

‘අලුත් නළුවා එදා නාට්‍යය බලන්න ඇවිත් ඔයා දිහා බැලුවේ’

‘අනේ නංගි එයා අද රාජේෂ් වගේම ෂර්ට් එක්ක ඇඳගෙන ඇවිත් හිටියා.’

‘එයත් රාජේෂ් වගේද?’

‘නෑ ළමයෝ ෂර්ට් එක’

‘මෝඩයා මූණත් ටිකක් බලන්න එපැයි රාජේෂ් වගේද කියලා’

‘ෆිල්ම් කරන්න ගියාම හම්බ වෙයිනේ. එතකොට බලන්නම්’