වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




තොප්පිය ගන්න නයගරා වැට උඩට

තොප්පිය ගන්න නයගරා වැට උඩට

සුමනා අමරසිංහ
විස්තර කියන ලොව දුටු සුන්දරම පුදුම හත

පුදුම හත සමඟින් මෙවර එක් වෙන්නේ සිනමාවේ ජේ්‍යෂ්ඨ රංගන ශිල්පිනියකමෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවකද වන සුමනා අමරසිංහ. ඇය සිනමාවේ මෙන්ම ලෝකයේ නොයෙක් තැන්හි සංචාරය කරන්නට වාසනාව ලද කාන්තාවක්. ඒ නිසාවෙන් ඇය අද අප සමඟ කතා කරන්නේ ලෝක සංචාරයේදී දුටු සුන්දරම ස්ථාන හත පිළිබඳවයි.

නයගරා දිය ඇල්ල

මමයි රෝයි ලෝකයේ නොයෙකුත් ස්ථාන නරඹන්න ගියත් ඒ සියල්ල අතරේ පෙරමුණට එන්නේ නයගරා දිය ඇල්ලයි. අමෙරිකා එක්සත් ජනපද සහ කැනඩා දේශ සීමාවේ පිහිටි මේ සුන්දර දිය ඇල්ලට කෙතරම් ආදරය කරනවාදැයි කියනවා නම් කොච්චර ගියත් එපා නොවන තැනක්.

නයගරා ඇල්ලේ සුන්දරත්වය මා පළමුවෙන්ම මා දුටුවේ හැත්තෑව දශකයේදී යි. එහි සුන්දරත්වය ඉහළින්ම දැක ගන්න පුළුවන් වෙන්නේ දහවල් කාලයටත් වඩා රාත්‍රී කාලයේදීයි. රෝයිගේ සහෝදරයා සහ සහෝදරියත් පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ.

ඒ නිසා අපට දස වතාවකටත් වඩා එහි යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එක වතාවකදී නම් අමතක නොවන සිදුවීමකුත් සිදු වුණා.

එදා නයගරා දිය ඇල්ලේ සුන්දරත්වය විඳීමින් සිටින විට එක්වරම පැමිණි සුළඟකින් මගේ හිස පැළඳී තොප්පිය ගැලවී ගොස් ඒ අසල ගහක අත්තක පැටළුණා. ඒක රෝයි මට තෑගි දුන් මම ආසම තොප්පියක්. ඒක අත හැරලා දාන්න මට හිතුනේ නැහැ.

මමත් දුවලා ගිහින් ඒ අසල තිබූ යකඩ වැටට නැගලා බොහොම අමාරුවෙන් තොප්පිය ගත්තෙ රෝයි එපා කියලා කෑ ගහද්දීමයි. කොහොම හරි තොප්පිය අරගෙන වැටෙන් බැස්සේ නයගරාව බලන්න පැමිණ සිටි ජපන් ජාතිකයන් පිරිසකගේ අත්පොළසන් හඬ මධ්‍යයේදී යි. ඒක මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවෙන සිදුවීමක්.

ප්‍රංශයේ අයිෆල් කුළුණ

ප්‍රංශයේ අයිෆල් කුළුණත් මා දුටු සුන්දර ස්ථාන අතරට එක් වෙනවා. ප්‍රංශයේ පැරිස් නගරයේ සංචාරක යෙදෙන ඕනෑම අයෙක් දැකබලා ගන්නට අමතක නොකරන තැනක්නෙ අයිෆල් කුළුණ.

චෑම්ප් ඩි මාස් නගර මධ්‍යයේ නැගී සිටින මේ දැවැන්ත කුළුණ තරණය කළ අවස්ථාවත් මගේ ජීවිතයේ අමතක නොවන එකක්. අපි මුල්වරට ප්‍රංශයට යනවිටදී ආචාර්ය සුමිත්‍රා පීරිස් ප්‍රංශයේ තාතාපතිව සිටියා.

එතුමිය සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රෝයි මම සහ අපේ සංචාරයට එක්ව සිටි මිතුරු මිතුරියන් ඉතා සුහදව පිළිගනිමින් සංග්‍රහ කටයුතු කළා. එදා එහි ජාතික දිනය සැමරූ දිනයක්.

ආචාර්ය පීරිස් යුවළ සමඟින් අපි එහි පාර්ලිමේන්තු කී‍්‍රඩාංගනයේ ඇවිදින්නත් ගියා. ඒ මතකයත් රෝයිගේත් මගේත් සංචාරයන් අතරේ හරිම සුන්දර එකක්.

ජපානයේ පූජියාමා ගිනි කන්ද

ජපානයේ පූජියාමා ගිනි කන්දත් හිතා ගන්නට බැරි තරමේ සුන්දර ස්ථානයක්. එදා අපි එහි යන විටදී හිම වැටිලා අපූරු දර්ශනයක් දකින්නට හැකි වුණා. එහිදීත් හරිම අපූරු සිදුවීමකට මුහුණ දෙන්න වුණා.

 ගිනි කන්ද දක්වා පාරේ වාහනය යන විටදී එක් වරම ගීතයක් ඇසන්න වුණා. ඒ සංගීතය හරිම මිහිරියි. මම හිතුවේ අපි ගිය වාහනයේ රේඩියෝ එක දාලා කියලා. ඒත් ඇත්තටම රේඩියෝ එක නෙවෙයි.

වාහන ගමන් ගන්නා අවස්ථවේදී පාර හා වාහනයේ රෝද ගැටෙන විට ජපන් ජාතික ගීය ඇසෙන ආකාරයෙන් තමයි ඒ පාර හදලා තියෙන්නේ කියලා අපට රියදුරා පහදලා දුන්නා. ඇත්තටම ඒ අත්දැකීමත් හරිම පුදුමයි.

ලන්ඩන් නගරය

මා සංචාරය කළ තැන් අතරේ තවත් සිත්ගත් ස්ථානයත් වෙන්නේ ලන්ඩන් නගරය යි. ලෝකයේ විශාලතම කරකැවෙන රෝදය වන ලන්ඩන් ඇසෙහි ගමන් ගන්නා විටදි ලන්ඩන් නගරය ඉතාමත් දර්ශනීය ආකාරයෙන් දැකබලා ගැනීමේ අවස්ථාව මටත් රෝයිටත් ලැබුණා.

සුන්දර තේම්ස් නදිය, එහි වූ බෝට්ටු සවාරි වගේම ලන්ඩන් පාලම, ට්‍රැෆල්ගා චතුරශ්‍රය එහි සුන්දරත්වය තවත් වැඩි කරනවා. ඒ වගේමයි බකින්හැම් මාළිගයත් මගේ එංගලන්ත සංචාරයේ සුවිශේෂ වෙනවා.

ලන්ඩන් ගියාම අපි ගොඩක් වෙලාවට නවතින්නේ දිල්හානි ජයවර්ධන කියන අපේ මිතුරියකගේ ගෙදර තමයි. ඉතින් එක සැරයක් අපි එහෙ ගියාම පාර්ටි එකකට ආරාධනාවක් ලැබුණා. රෝයි, මම සහ දිල්හානි පාර්ටි එකට ගියාට ඇයගේ සැමියාට වෙනත් වැඩකට යන්න සිදු වුණා.

දිල්හානිගේ මහත්තයා දොර වහලා යතුර අරගෙන ගියත් දිල්හානිට අනෙක් යතුර ගන්න අමතක වෙලා. අපි කලින් ආවත් දොර ඇර ගන්න බැහැ. දිල්හානි එහා ගෙදරට ගිහින් ඉණිමඟ අරගෙන ආවට මොකද නඟින්න ටිකක් බය වුණා.

මම තමයි චණ්ඩියා වගේ ඉදිරිපත් වුණේ. මට මතකයි එදා මම ඇඳගෙන හිටියේ සල්වාර් ඇඳුමක්. ඒකේ ෂෝල් එකත් ඉණේ ගැටගහ ගෙන මම ඉණිමඟ දිගේ නැග්ගා. කොහොම හරි උඩ තට්ටුවේ බාගෙට ඇරලා තිබුණු ජනේලයකින් මම ඇතුළටත් පැන ගත්තා. ලංකාවේ ගෙවල්වල වගේ නෙවෙයි එහේ ජනේලත් පොඩියි. මටත් හරිම පුදුමයි කෙහොමද මම ඇතුළට ගියේ කියලා.

ටජ් මහල් මන්දිරය

ප්‍රේමය වෙනුවෙන් ඉදි වූ ඉන්දියාවේ අග්‍රා හි යමුනා නදි ඉවුරේ ඉදිකර ඇති ටජ් මහල් මන්දියත් මා දුටු සුන්දරතම ස්ථාන අතරට එක් වෙනවා.

එහි වූ ගෘහනිර්මාණ, චිත්‍ර, කැටයම් සමගින් වූ පෞරාණික බවට මම දැඩි ලෙස ඇළුම් කරනවා.

මේ වගේ ලෝක පුදුමයක් බලන්නත් මම වාසනාවන්ත වුණ එක ගැන තියෙන්නෙත් ලොකු සතුටක්. ටජ් මහල් වගේම ඉන්දියාවේ කාශ්මීරයත් මම යන්නට ආශා කරන ප්‍රදේශයක්.

සිංගප්පූරුව

සිංගප්පූරුවත් ලොව මා සිත් ගත් තැන් අතරට එක් වෙන්නේ එහි වූ සුන්දරත්වය නිසාවෙන්. සෙන්තෝසා, ජූරෝන්හි ලොව විශාලතම කුරුළු උද්‍යානය, මරීනා බේ වගේම සන්ටෙක් සිටි හි පිහිටි ලොව විශාලතම වතුර මලත් එහි සුන්දරත්වයෙන් ජනතාවගේ ආකර්ශනය නිරතුරුව දිනා ගන්නවා.

නිරතුරුවම සිංගප්පූරුවේ සංචාරය කරන්න අවස්ථා ලැබුණත් ඒ කිසිම අවස්ථාවක මේ ස්ථාන එකක්වත් මඟ නොහැර සිටින්නට තරම් ඒ සුන්දරත්වය මගේ හිතට ඇතුල්වෙලා තියෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය

අමෙරිකා එක්සත් ජනපදය නම් මේ දවස්වල මගේත් රෝයිගේත් ජීවිත වලට ගොඩක්ම සමීප වෙන්න සුවිශේෂ හේතුවක් තියෙනවා. ඒ අපේ අලුත්ම චිත්‍රපටය වන “සිහින ලොවක්” සොයා නිසාවෙන්.

පහුගිය කාලය පුරාවට අපට නිතරම එහි යන්න සිදු වුණේ සිහින ලොවක් හි රූගත කිරීම් කටයුතු වලට. මේ මාසයේත් එහි ප්‍රදර්ශන කටයුතු වෙනුවෙන් එහි යන්නත් අපි සූදානමින් සිටින්නේ.

ශාන්ත මරියා, ශාන්ත බාබ්රා, නිව්යෝර්ක්, ලාස්වේගාස් මම එහිදි දුටු සුන්දර ස්ථාන අතරට එක්වෙනවා.