වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙදර ගියත්... නසී මඟ හිටියත්... නසී

ගෙදර ගියත්... නසී මඟ හිටියත්... නසී

මා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පවත්වනු ලබන සිනමාකරණ පාඨමාලාවට ශිෂ්‍යයකු ලෙස මා සහභාගි වූයේ 1987 වසරේදීය. එකල එම පාඨමාලාව සංස්ථාව මඟින් මෙහෙය වන ලද්දේ එහි නිලධාරීන්ව සිටි රංජිත් නිව්ටන් ප්‍රනාන්දු, අයිවන් වීරක්කොඩි, වයලා දයාරත්න යන මහත්ම මහත්මියන්ය. එම සිනමාකරණ වැඩමුළුව සඳහා එකල මෙරට සිටි විශිෂ්ට සිනමාකරුවන් රැසක් මෙන්ම එවකට පැවැති සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් එස්තෝතියානු සිනමාකරුවකු වූ අර්වෝ ඉහෝ ද සම්පත් දායකයන් ලෙස සහභාගි වූහ. ඉහෝ ලෝ පසිඳු සිනමාකරු ආන්ද්‍රේ තර්කොව්ස්කි සමඟ කටයුතු කෙරූවෙකි. කැමරා ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වූ ඔහු ඒ වන විට වෘතාන්ත චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කර තිබිණ. ම විසින් ඔහු සමඟ කරන ලද සංවාදය එකල සරසවිය පුවත්පතේ ද පළ විණ.

පසුගිය දවසක එම සිනමා පාඨමාලාවට යළි මා සහභාගි වූයේ සම්පත් දායකයකු හැටියටය. ඒ වර්තමානයේ එම පාඨමාලාව මෙහෙයවනු ලබන ආචාර්ය ටියුඩර් වීරසිංහගේ ආරාධනයෙනි. සිනමාව පිළිබඳ විවිධ වයස් කාණ්ඩයන්ගෙන් යුත් පිරිසක් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට එය කදිම තෝතැන්නක් විය. විවිධ වයස් කාණ්ඩයන්ගෙන් යුත් සිසු පිරිසක් බැවින් සිනමාව සම්බන්ධ ආකල්පවල ද එම වෙනස්කම පැහැදිලිව තිබිණි.

1980 ගණන්වලට වඩා අද තරුණයන් සිනමා ඥාණය අතින් පොහොසත්ය. මා විශ්වාස කරන අන්දමට තරුණ නිර්මාණකරුවන්ගේ රූප ඥාණය ද අප මවිත කරවන සුළුය. එහි අන්තර්ගතයන් පිළිබඳ විවේචන වෙනම කතාවකි. එහෙත් මේ පරම්පරාව චිත්‍රපට නරඹනුයේ සිනමාහල්වලින් නම් නොවේ. සිනමා ශාලාව යනු මේ බහුතරයට ආගන්තුකය. වැඩිහිටියන්ගේ මතය නම් සිනමාව යනු සිනමා ශාලාවක රස විඳීය යුත්තක් බවය. මා එම තර්කය හා සමඟ ගැටෙමින් ඒ පිළිබඳ ලිව්වේ මෙයට වසර දහයකට පමණ පෙර සිටය.

පසුගිය දශකය මුළුල්ලේ නව තාක්ෂණය සමඟ ලෝකය ශීඝ්‍රයෙන් වෙනස්ව ගියේය. ඒ සමඟ මිනිසුන්ගේ සිතුවිලි ද වෙනස්ව ගියේය. මෙරට චිත්‍රපට වෙළෙඳපොළ වෙනස් වන්නට ගත්තේ දැනට වසර ගණනාවක මුළුල්ලේය. ඒ සඳහා විවිධ හේතු සාධක තිබිණි. එහෙත් ඇත්තටම සිදු වූයේ සිනමාව වඩා පුළුල් ලෙස ජනතාව අතරට ගිය අතර, ජනතාව ද සම්ප්‍රදායික සිනමාහල්වලට වඩා වෙනස් විකල්ප මාර්ග චිත්‍රපට නැරැඹීම සඳහා තෝරා ගැනීමය. මෙරට වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වාර්තා වන වර්ෂයේ පවා සිනමාහලට ඇදුන ජනතාව එවකට මෙරට මුළු ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. එහෙත් ටෙලිවිෂනය හරහා එක් මොහොතක චිත්‍රපටයක් නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාව අති විශාල එකකි. එය ලෝකයේ සෑම රටකම චිත්‍රපට ව්‍යාපාරිකයන් විසින් අවබෝධ කර ගන්නා ලද්දකි. පැය විසි හතර පුරා අඛණ්ඩව චිත්‍රපට පමණක් විකාශය වන ටෙලිවිෂන් චැනල් සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇත්තේ එබැවිනි. චිත්‍රපට අති සාර්ථක වන්නට, වන්නට ටෙලිවිෂන් චැනල් හරහා එයට ඇති ඉල්ලුම ඉහළ යයි. එපමණක් නොව විශ්වාස තැබිය හැකි චිත්‍රපට නිෂ්පාදකයන්ගේ හෝ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා ඇතැම් ටෙලිවිෂන් චැනල් දායක වනුයේ මූල ධනායෝජනයත් සමඟය.

පසුගිය වසර ගණනාවක ඇතුළත මෙරට චිත්‍රපට පිළිබඳ කවර යහපත් මතවාද ගෙන ආව ද, ඒ බොහෝ දෙනා ජනගහන වර්ධනයට සාපේක්ෂව ප්‍රේක්ෂකයන් සිනමාහල් වෙතින් ඈත්ව විකල්ප මාර්ග කරා යන වගක් වටහා ගන්නට උත්සුක නොවූහ. ලෝකයේ දැවැන්ත සිනමා මාළිගා වෙනුවට මල්ටි ෆ්ලෙක්ස් සංකීර්ණ බිහි වූයේ එහෙයිනි. එක ශාලා සමූහයක එකවර චිත්‍රපට ගණනක් ප්‍රදර්ශනය වන්නට පටන් ගත්තේ එහෙයිනි. සම්ප්‍රවර්තිතා ආදායම් ආදී ගණනයන් කාලයට සාපේක්ෂව අවලංගු වනුයේ ද එබැවිනි. චිත්‍රපටය තිරගත කොට වසරක් ගත වන්නට මත්තෙන් එය ටෙලිවිෂනයේ විකාශය වන්නේය යන විශ්වාසයත්, සිනමාහලක කලබලකාරිත්වයෙන් ඈත්ව නිවසට වී වඩා සුව පහසුව නැරැඹිය හැකිය යන විශ්වාසයත්, තවදුරටත් සිනමාහල් කෙරෙන් ප්‍රේක්ෂකයා දුරස්කරණය කරනු ලබයි.

වර්තමානයේ සිනමාව එහි තුන්වන යුගයට පා තබා ඇත්තේය. සිනමාව නිහඬ යුගයේ සිට කතානාද යුගය දක්වා අවතීර්ණය වීමේදී ප්‍රායෝගික ගැටළු රැසක් බිහි විණ. එය නැවත ඩිජිටල්කරණයේදී එනම් තුන්වැනි යුගයේදී වඩාත්ම ගැටලුවලට මුහුණ පානුයේ සිනමාහල් හිමියන්ය. මෙරට සිනමාහල් සතු ප්‍රක්ෂේපණ යන්ත්‍රවලින් සියයට අසූ පහක්ම අවම වශයෙන් අවුරුදු විස්සක්වත් පැරැණි ඒවාය. එමෙන්ම මේ බහුතරය තවත් අඩ සියවසක් වත් ‘ලණුවලින් ගැට ගසා හෝ’ රිදී තිරයට රූප ප්‍රක්ෂේපණය කරනු ඇත. එහෙත් චිත්‍රපට නිෂ්පාදනයේදී ඩිජිටල්කරණය නිසා නිෂ්පාදකට ලැබෙන ප්‍රතිලාභ ප්‍රදර්ශකයා අත්පත්කර ගන්නේ මඳ වශයෙනි. නිහඬ යුගයේ සිට කතානාද සිනමාව දක්වා පරිවර්තනය වන සමයේ එයට සිනමා ශාලා විශාල ආයෝජනයක් කළේ ඒ යුගයේ චිත්‍රපට කරා ඇදි එන අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාව හේතුවෙන් ඒ සඳහා දෙවරක් නොසිතාමය.

ඒ වන විටත් ආසියාවේ දැවැන්තම සිනමා සමාගම වූ මදාන් තියටර්ස් සමාගම කතානාද සිනමාව පරිවර්තනය වීමට කළ දැවැන්ත ධනායෝජනය කෙළවර වූයේ සමාගම සහමුලින්ම බංකොලොත් වීමෙනි. වර්තමානයේ ප්‍රේක්ෂක ආකර්ෂණය හා සිනමා වෙළඳපොළ පිළිබඳ එවැනි විශ්වාසයක් එදා තරම්වත් ගත හැක්කේ කාට ද? කෙසේ වෙතත් වසර පහක් ගත වන්නට මත්තෙන් දළ සේයාපටය සම්පූර්ණයෙන් සමු ගැනීම සක්සුදක් සේ පැහැදිලිය. එබැවින් වර්තමානයේ බොහෝ සිනමාහල් පවතිනුයේ ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තෝ නසී න්‍යායෙනි. නවීකරණය නොවුණහොත් සිනමාහල් පවත්වා ගත නොහැකිය.

ආදායම් නොලදහොත් හිමිකරු අතරමං වනු ඇත. අද ලෝකයේ චිත්‍රපට ප්‍රක්ෂේපණය සඳහා මෙරට පවා සුදුසු යැයි නිර්දේශ කොට ඇත්තේ 4k ප්‍රක්ෂේපණ රටාවය. සමහරු රටට ගැළපෙනුයේ 2k හෝ එයට අඩු ක්‍රමයක් බැව් තර්ක කරති. ප්‍රායෝගිකව එහි සත්‍යයක් ඇතත්, වර්තමානයේ පොදු වෙළඳපොළට පිවිස ඇති 4ම් ටෙලිවිෂනයක මිල රුපියල් ලක්ෂ තුන හමාරේ සිට විසි තුන දක්වා පරාසයක පවතින බව අප අමතක කළ යුතු නැත. නොබෝ දිනකින්ම එම මිලද ශීඝ්‍ර ලෙස පහත වැටෙන බැව් වෙළෙඳපොල පිළිබඳ දන්නෝ දනිති. එමෙන්ම ඉතා නුදුරේ 4ම් ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් චිත්‍රපට ප්‍රක්ෂේපණයේ දී දොරට වඩිනු ඇත. ශබ්ද තාක්ෂණය 7:1 ක්‍රමය අභිබවා 120 රටාව දක්වා වර්ධනයව ඇත්තේය. එය ප්‍රතික්ෂේප කරන්නට නොහැක්කේ සිනමාවේ අනාගත හිමිකරු වන තරුණයන් එම අත්දැකීම් ලබන්නට තරම් වාසනාවන්තයන් වන හෙයිනි.

මේ තරුණයන් සිනමා අත්දැකීම් ලබනුයේ අන්තර් ජාතික සිනමාවේ කොටස්කරුවන් හැටියටය. මෙයර වසර හතලිහකට පෙර එබඳු චිත්‍රපට නැරැඹීම දුෂ්කර ක්‍රියාවක් වූයේය. වසර විස්සකට පසු චිත්‍රපට සොයා ගෙන හෝ නැරැඹිය හැකි වූයේය. වර්තමානයේ රෑ එළිවන කාලය ඇතුළත අන්තර් ජාලයෙන් නොමිළයේම ලොව හොඳම චිත්‍රපට බා ගත හැක්කේය. එපමණක් නොව එලෙස හොරෙන් බා ගත් චිත්‍රපට සඳහා මෙරට නීති විරෝධීව දැවැන්ත වෙළෙදපොලක් ද ඉතා නිදහසේ ගලා යන්නේය. තරුණයන් පමණක් නොව, පවුලේ සියල්ලන්ම එකට රස විඳින්නට මේ බොහෝ චිත්‍රපටවලින් හැකිය. අලුත් ටෙලිවිෂන යන්ත්‍ර මඟින් එම චිත්‍රපටය ඩී වී ඩීයක ආධාරයෙන් තොරවම නැරැඹිය හැකියාව ඇත. මේ වන විටත් තාක්ෂණය දියුණු වන ආකාරය අනුව තව අවුරුදු පහකින් මේ ක්‍රම සියල්ල ද යල්පැන යනු ඇත. නව ඩිජිටල් තාක්ෂණය පවා දිනෙන් දින යාවත්කාලීන වනු ඇත. එහෙත් ඒ සමඟ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාව වර්ධනය වීම ද අනිවාර්ය වෙයි. චිත්‍රපට තනනුයේ ඒ ප්‍රවර්ධනය සමඟය. එහෙත් ඒ වර්ධනය වන සංඛ්‍යාවෙන් සියයට කීයක් සිනමාහල් කරා යනු ඇති ද යන්න විමසා බැලිය යුතුය.

චිත්‍රපට ඩිජිටල් වූ පලියට, චිත්‍රපට ජාත්‍යන්තර සම්මාන ගන්නා පලියට එදිනෙදා ගෙදර වියදම්වලින් කපා චිත්‍රපට ප්‍රවේශ පත්‍රයේ මිලද තම ජීවිතයේ බරට එකතු කර ගන්නට සාමාන්‍ය සිනමාලෝලීන්ට වර්තමානයේ අවශ්‍යතාවයක් නැත. තමන්ට පහසු වෙලාවට, තමන් කැමැති වර්ගයේ චිත්‍රපටයක් සඳහා වෙන තැනක් නැත්නම්, බංකුවක් මත හිඳ, උකුල උඩ තබාගෙන චිත්‍රපට නැරැඹිය හැකි යුගයක් වර්තමානයේ ඇත. පසුගිය වසර දහයකට පෙර අප එබඳු යුගයක් පිළිබඳ සිහිනෙන්වත් සිතුවේ නැත. නුදුරු දිනයක තමා ඉදිරියේ ඇති හිස් අවකාශයේ මත අදෘශ්‍යමාන තිරයක තමන් කැමැති චිත්‍රපට දැක ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු තබා ගන්නට වර්තමානයේ ඇත්තේ සාධාරණ අයිතිවාසිකමකි.

දැන් සිටම ගණනය කළ යුත්තේ ඒ හරහා අදාල චිත්‍රපට නිෂ්පාදනයෙන් ලබා ගත හැකි ආදායම පිළිබඳය. එය අහස් මාළිගා තැනීමක් නොවේ. අද තමන් කැමැති චිත්‍රපටයක්, තමන් කැමැති මොහොතක නැරැඹිය හැකි ටෙලිවිෂන් ක්‍රම ලංකාවේ ඇත. එමඟින් මෙරට නිෂ්පාදකවරු තම චිත්‍රපට සඳහා අමතර ආදායමක් ලබති. අලුත් සිංහල චිත්‍රපට කිහිපයකම ඩී. වී. ඩී. අයිතිය ඉහළ මිලකට විකුණනු ලැබුවේ පසුගිය දවස්වලය. අන්තර් ජාලයේ බා ගැනීම්වලින් ආදායම් උපයන නිෂ්පාදකවරුන්ද සිටිති. ලෝකය හැසිරෙන්නේ ඒ ආකාරයට බව තරුණයෝ වටහා ගෙන සිටිති. සිනමාව පිළිබඳ මා අලුත් ඉලන්දාරීන්ගෙන් දැනුවත් වනුයේ ඔවුන් නිරන්තරයෙන් යාවත්කාලීන වන බැවිනි.

සිනමාව විඳින අලුත් ගැටවරයන්ට අලුත් චිත්‍රපට අවශ්‍යය. එයට සීමා මායිම් නැත. ඔවුහු එය සොයා යති. ඒ ඉල්ලුම සොයා දෙන්නට නොහැකි නම් එරට සිනමාව පිළිබඳ අනාගතයක් ද නැත.