වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ඇමෙරිකාවේ කල්ලන් සල්ලන් කළ‘බ්ලැකි්‍යුලා’

ඇමෙරිකාවේ කල්ලන් සල්ලන් කළ‘බ්ලැකි්‍යුලා’

1870 වසරේ එක්තරා වැසිබර රාත්‍රියක ට්‍රැන්සිල්වේනියාවේ කඳු ශිඛරයක වූ සුවිසල් මන්දිරයක් තුළ රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි.

මෙවර සුප්‍රකට ඩ්‍රැකි්‍යුලා සිටුවරයාගේ ආරාධිත අමුත්තා වන්නේ අප්‍රිකාවේ ‘අබානි’ හි පාලකයා වන ‘මමුවල්ඩේ’ කුමරු සහ ‘ලුවා’ නමැති ඔහුගේ සුරූපී බිරිඳයි. සාදය කෙළවර වන්නේ ඩ්‍රැකි්‍යුලා සහ මමුවල්ඩේ අතර ඇතිවන මත ගැටුමක් නිසා හට ගන්නා මාරාන්තික සටනකිනි. සටන අවසානයේ අඩපණ වන මමුවල්ඩේ ඩ්‍රැකි්‍යුලාගේ දත් පහර වැදීමෙන් නොමියෙන වැම්පයරුවෙක් බවට පත් වෙයි. මිනී පෙට්ටියක බහා අගුළුලන ඔහුගේ සිරුර මන්දිරයේ සොහොන් ගැබක තැන්පත් වන්නේ ඔහුගේ බිරිඳ ද එහිම සිරකාරියක් බවට පත් කරමිනි.

1972 වසරේදී සංචාරක කෞතුක භාණ්ඩ වෙළෙඳුන් දෙදෙනෙකු වන බොබී සහ බිලී විසින් මෙම මිනී පෙට්ටිය ඇමෙරිකාවට නැව්ගත කරනු ලබයි. නිව්යෝක් හි පාළු ගබඩා සංකීර්ණයකදී ඉබි යතුරු සිඳලමින් විවර කරන දෙන තුළින් දත් විළිස්සා ගෙන ඔවුන් දෙදෙනා වෙත කඩා පනින්නේ මැමුවල්ඩේ කුමාරයා හෙවත් ‘බ්ලැකි්‍යුලා’යි. බිලී සහ බොබී ගේ අමු ලේ උරා බොමින් වසර ගණනාවක් තිස්සේ දැවෙමින් තිබූ ලේ පිපාසය සංසිඳුවා ගන්නා ‘බ්ලැකි්‍යුලා’ එතැන් පටන් රාත්‍රිය එළඹෙත්ම ගොදුරු සොයමින් නගරයේ සමාජ ශාලා තුළ සැරිසරන්නට වෙයි.

බොබීගේ මළගමට පැමිණ ශෝක වන මිතුරු මිතුරියන් අතර සිටින රූමත් ටීනා විලියම්ස් ඔහුගේ නෙත ගැටෙන්නේ එවිටයි. දුටු සැනින් ඇය ඔහුගේ සිත් පැහැර ගන්නේ ඇගේ රුව අතිශයින්ම ඔහුගේ පැරැණි බිරිඳ හෙවත් ‘ලුවා’ ගේ රූපයට සමාන වන බැවිනි. බොබීගේ මළ සිරුර පරීක්ෂා කළ දොස්තර ගෝඩ්න් සිරුරේ ගෙලෙහි ඇති සියුම් දත් පහරවල් දෙකේ සලකුණ දැක සැක උපදවා ගන්නේ ඔහු යම් තරමකට ලේ උරා බොන පිසාචයින්ගේ ඉතිහාසය ගැන අවබෝධයක් ඇති කෙනෙකු බැවිනි.

දිනක් ඔහුගේ පෙම්වතිය වන මිෂෙල් සහ ඇගේ නැඟණිය වන ටීනාත් සමඟ රාත්‍රී අවන්හලක සිටියදී බ්ලැකි්‍යුලා එතැනට පැමිණ ඔවුන් හා කුළුපඟ වන අතර ටීනා ක්‍රමයෙන් ඔහු හට වසඟ වෙයි. සාදයේ ඔහු හා ආලිංගන නැටුමක යෙදී සිටියදී ඡායාරූප ශිල්පිනියක් ඔවුන්ගේ ඡායාරූපයක් ගනී. අධික ආලෝකය දරාගත නොහී බ්ලැකි්‍යුලා පැන යයි. සැක සිතූ ගෝඩන් තරුණියන් දෙදෙනාට අනතුරු අඟවන්නේ එහෙයිනි. ඡායාරූප ගත් තරුණිය එය මුද්‍රණය කර බලන විට එහි සිටින්නේ නටන ඉරියව්වෙන් සිටින ටීනා පමණකි. අනෙකාගේ රුව එහි දක්නට නොමැති වීමෙන් විමතියට පත් වන ඇය ඒ වන විට පසුපස ලුහුබැඳ ආ බ්ලැකි්‍යුලාගේ ඊළඟ ගොදුර බවට පත් වෙයි.

මෙසේ අභිරහස් ඝාතන ගණනාවකින් නගරය සංත්‍රාසයට පත් වෙද්දී සැමටම හොරා ‘බ්ලැකි්‍යුලා’ සහ ටීනා දැඩි ලෙස පෙමින් බැඳුන පෙම්වතුන් බවට පත් වෙයි. දොස්තර ගෝඩ්න් සහ මිෂෙල්ගේ අනතුරු ඇඟවීම් මායිම් නොකරන ඈ බ්ලැකි්‍යුලාගේ සොහොන් ගැබ සොයා යයි. ගෝඩ්න් සහ මිෂෙල් ද පොලීසියේ සහාය ඇතිව බ්ලැකි්‍යුලාගේ වාසස්ථානය වටලන නමුදු පොලිස් වෙඩි පහරින් බ්ලැකි්‍යුලා ඝාතනය කළ නොහැකි නිසා ඔවුන් පත් වන්නේ දැඩි අපහසුතාවයකටයි. සුරූපී ටීනා බ්ලැකි්‍යුලාගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට මිෂෙල් සහ ගෝඩ්න් ඇතුළු පොලිස් නිලධාරීන් ගන්නා ප්‍රයත්නය බ්ලැකි්‍යුලා චිත්‍රපටයේ විදහා දැක්වෙන්නේ භීතියත් සංත්‍රාසයත් රසික සිත් සතන් තුළ ජනිත කරවමිනි.

බ්‍රිතාන්‍යයේ සුපතල ‘හැමර්’ චිත්‍රපට සමාගම විසින් ලොව පුරා සිනමා ලෝලයින්ගේ සිත් සතන් තුළට කාන්දු කරවන ලද භීෂණ රැල්ල ලැබූ සාර්ථකත්වය දැක දැකත් ඇස් කන් පියා සිටීමට නොහැකි වූ ඇමෙරිකානු සිනමා සමාගමක් වන ඇමරිකන් ඉන්ටනැෂනල් සමාගම 1972 දී ‘බ්ලැකි්‍යුලා’ නමින් චිත්‍රපටයක් නිපදවීමට පිඹුරුපත් සකස් කළේය. ඒ අනුව විධායක නිෂ්පාදක සැමුවෙල් ආකොෆ් එවකට ඇමරිකන් පුංචි තිරයේ ශිල්ප දක්වන්නෙකු වූ ‘මොඩ්ස්කොඩ්’ ටෙලි කතා මාලාවේ අධ්‍යක්ෂක විලියම් ක්‍රේන් වෙත ‘බ්ලැකි්‍යුලා’ අධ්‍යක්ෂණය භාර කරන ලදී. ‘ස්ටාර් ට්‍රෙක්’ වැනි ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑ විලියම් මාෂල් ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික ලේ උරා බොන්නා හෙවත් බ්ලැකි්‍යුලා වීමේ වරම් ලැබූ නළුවා විය. ප්‍රධාන චරිතය වූ මැමුවල්ඩේ නම් කළු අප්‍රිකානු චරිතය ‘බ්ලැකි්‍යුලා’ බවට පරිවර්තනය කරමින් තිර කතාව ලිව්වේ රේමන්ඩ් කෝනිග් සහ ජෝන් ටොරස් විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය හෙවත් ටීනා සහ ලුවා ද්විත්ව චරිත සුරූපී වොනෙටා මැක්ගී විසින් නිරූපණය කෙරිණි. ඇගේ සොයුරිය මිෂෙල් ලෙස රඟපෑවේ තවත් කළු ජාතික රූමතියක් වන ඩෙනිස් නිකොලාස් විසිනි. තැල්මස් රසුලාලා දොස්තර ගෝඩ්න්ගේ චරිතය රඟපෑ අතර චිත්‍රපටය ආරම්භක ජවනිකාවේ පමණක් පෙනී සිටින ඩ්‍රැකි්‍යුලාගේ චරිතය නිරූපණය කළේ චාල්ස් මැක්‍යුලේ නම් සුදු ජාතික නළුවෙකි. පොලිස් නිලධාරීන් හැරුණු විට සෙසු චරිත බොහොමයක පෙනී සිටියේ කළු ජාතික නළු නිළියන් වීම මෙහි විශේෂත්වයකි. බ්ලැකි්‍යුලා චිත්‍රපටයේ සංගීතය ජීන් පේජ් ගෙනි. ජෝන් එම්. ස්ටීවන්ගේ කැමරාකරණයෙන් සහ ඇලන් ජේකබ්ගේ සංස්කරණයෙන් වර්ණවත් වූ බ්ලැකි්‍යුලා බෙදා හැරුණේ ඇමෙරිකන් ඉන්ටර්නැෂනල් පික්චර්ස් සමාගම විසිනි.

1972 අගෝස්තු 25 දා ඇමෙරිකාවේදී දොරට වැඩි ‘බ්ලැකි්‍යුලා’ චිත්‍රපටය ඇමෙරිකානු කළු ජාතිකයින් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. නිව්යෝක් නගරයේ වූ සිනමා ශාලා දෙකක විශේෂ දර්ශන පැවැත් වූ අතර බ්ලැකි්‍යුලා පැලඳ සිටින කළු පැහැ ලෝගුව වැනි ලෝගුවකින් සැරැසී එන අයට නොමිලේ චිත්‍රපටය නැරැඹීමේ වරමක් ද ලබා දී තිබුණි. 1972 වසර අවසානයේදී වැඩි ආදායම් ලැබූ චිත්‍රපට අතරට ද ‘බ්ලැකි්‍යුලා’ එක් වී තිබිණ.

‘බ්ලැකි්‍යුලා’ බොක්ස් ඔෆිස් රැල්ලෙන් උදම් වූ නිෂ්පාදකවරු 1973 දී ප්‍රධාන නළු විලියම් මාෂල් සමඟ එවකට අතිශය ජනප්‍රිය කළු ජාතික නිළි රූමතියක් වූ පෑම් ග්‍රයර් රඟපාන ‘ස්ක්‍රීම් බ්ලැකි්‍යුලා ස්ක්‍රීම්’ නමැති චිත්‍රපටයක් ද නිෂ්පාදනය කිරීමෙන් කළු භීෂණ රැල්ලේ තරම කොතෙක්දැයි වටහා ගැනීමට වෙනත් සාධක අවශ්‍ය වන්නේ නැත.