වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ඔරුව ගිලෙන්න කලින් කැමරාව බේරගත්තා

ඔරුව ගිලෙන්න කලින් කැමරාව බේරගත්තා

මහේෂ් සංජීව

Behind The Scene නිර්මාණයක් තුළ නොදකින පංගු කරුවන් සොයා යන අපුරු චාරිකාවකි.

Behind The Scene හතර වැන්න තුළින් අද අප හඳුන්වා දෙන්නේ කැමරා අධ්‍යක්ෂ මහේෂ් සංජීව කරුණාරත්න යි.

හෙතෙම අපට මුණ ගැසුනෙ සිහින සක්මන ටෙලියේ කැමරා අධ්‍යක්ෂ ලෙස වැඩ කරමින් සිටියදි. ඔහු ආ ගමන් මගේ විස්තර අපට කියා පෑවේ මේ අයුරින්.

මම මේ ආ ගමන්මග හරිම සුන්දර වගේම , කටුක අත්දැකීම් වලිනුත් පිරුනු එකක් කිව්වොත් නිවැරදියි. ගාල්ල අටානකිත මධ්‍යමහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මම හයදෙනෙකුගෙන් යුත් පවුලෙ හතර වැන්නා. පාසල් කාලයේ සිටම කලාවට සම්බන්ධයි. ගාල්ලෙ හැදුනු වැඩුනු මාව කොළඹ ගෙනාවේ,මගෙ මස්සිනා වන විරාජ් නිශ්ශංකයි. ඔහු කළුබෝවිල ආර්.එස්. වීඩියෝ ආයතනයට මාව රැකියාවක් සඳහා යොමු කළා. මෙන්න මෙහෙමයි මගේ ගමන් මගේ ආරම්භය.

පළමු රැකියාව කුමක්ද?

ගෞතමි ටෙලියේ ආලෝක කරන ශිල්පියෙකු ලෙස වැඩ කිරීම .

ආලෝක කරන ශිල්පියෙකු ලෙස වැඩ ඇරඹු ඔබ, කැමරා ශිල්පියෙකු වූ අයුරු පැහැදිලි කරමු?

වසරකට වැඩි කාලයක් ආලෝක කරන ශිල්පියෙකු ලෙස වැඩ කිරීමෙන් පසුව,බූම් ඔපරේටර්,ට්‍රැක්ඩොලි ක්‍රියාකරු , ශ්‍රව්‍ය දෘශ්‍ය සහයක, ශ්‍රව්‍ය දෘශ්‍ය ශිල්පී වශයෙන් ,වසර හතරක් තුළ මේ සෑම ක්ෂේත්‍රයකම නියැළී ටෙලිනාට්‍ය 50ක පමණ වැඩ කළා. මේ සෑම ක්ෂේත්‍රයකම වැඩ කළත් මගේ වැඩි කැමැත්තක් තිබුණේ කැමරා කරණයටයි. ඒ නිසා විවේකී සෑම අවස්ථාවක්ම කැමරා කරණය ඉගෙනගන්න හිත යොමු කළා. මට කැමරා සහායකයකු ලෙස වැඩ කරන්න අවස්ථාව සලස්වා දුන්නේ ඩිල් ෆිල්ම් ආයතනයේ නිෂ්පාදන කළමනාකරු වන බුද්ධික සේරසිංහ මහතායී.මම වැඩ කළ පළමු ටෙලිය තමයි බිනරි,චිත්‍රපටය වුනේ බව තරණයි.

නිශාන්ත ප්‍රදීප් , සුමින්ද අරුණලු, සුජිත් නිශාන්ත, කිත්සිරි හේවගේ, චන්දන මංචනායක, චන්දන ධර්මප්‍රිය,යන මහත්වරුන් යටතේ ටෙලි නාට්‍ය 15ක පමණ කැමරා කරණ සහායක වශයෙන් වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම් හා පන්නරය තුළින් තමයි මම ස්වාධීන කැමරා ශිල්පියෙකු වුණේ. කැමරා අධ්‍යක්ෂ ලෙස වැඩකර නම පළ වූ පළමු ටෙලිය වූනේ සිහින සක්මනයි.

මහේෂ් , වැඩ කරන්න පහසු අධ්‍යක්ෂකවරු කවුරුන්ද? ඒ ඇයි?

ගිහාන් රෝහන, සුරන්ජන් විජේනාම, අරුණ වරාගොඩ, ලක්ෂ්මන් පුෂ්පකුමාර, චන්දන එදිරිසිංහ, ඩිල්ෂාන් වෙල්ලාලගේ.යන මහත්වරුන් හා මට මෙතෙක් වැඩ කරන්න ලැබුණු නමනොකී සියලු අධ්‍යක්ෂ වරුන් සමඟ වැඩ කිරීමට පහසුයි.මේ සෑම කෙනාගෙන්ම මට යම් දෙයක් ඉගෙන ගන්න තිබුණා. මේ සෑම දෙනාම කිසිදු දෙයක් සඟවන්නේ නැතිව කියා දුන් අයයි. ඒ අයට අවශ්‍ය දේ හොදට ලබා ගන්න අනෙක් සියලු දෙනාව මෙහෙය වන්නේ කිසිදු කෙනෙකුගේ හිත් නොරිදෙන පරිදි වීම මේ සැමගේ විශේෂත්වයක් ලෙස මා දකිනවා.

මේ අය හැර වැඩකරන්න කැමති අධ්‍යක්ෂකවරු ඉන්නවද,ඒ කවුද?

ඔව්.නිශාන්ත ප්‍රදීප්, දේවින්ද කොන්ගහගේ මහත්වරු සමග වැඩ කරන්න කැමතියි.මොකද මම වගේම මේ අයත් ක්ෂේත්‍රයට අලුත් වුණත් වෙනස් දේ හොයා යන අය නිසයි.

කැමරා කරණය ලෙස ඔබ දකින්නේ?

පරිසරයේ තිබෙන්නාවූ සුන්දරත්වය,අඳුර හා එළිය , නිසිලෙස හසුරමින් ස්වභාවිකත්වයට මුලදී අධ්‍යක්ෂකට අවශ්‍ය පරිදි කතා මාලාවට අවශ්‍ය රූපරාමු පෙළ ගැස්වීමයි.

අමතක නොවන සිදුවීමක් ගැන කියමු?

සිහින සක්මනේ එක් දර්ශනයක් රූ ගත කළේ හොරණ වැවක ඔරුවක් උඩ ඉදන්,සහායට ආ කට්ටිය වැඩි වුණු නිසා ඔරුව ගිලෙන්න ගත්තා ,නමුත් මට පුළුවන් වුණා ඔරුව වතුරෙ ගිලෙන්න ඉස්සෙල්ල කැමරාව ගොඩට දෙන්න.යුනිට් එකේ මල්ලි කෙනෙක් රෝහල් ගත කරන්නත් වුණා.

කම්කටුලු බිද දා තම මාවතට පැමිණි ඔබට,නන්අයුරින් උදව් කළෝ කවුරුන්ද?

මගේ පවුලේ සැවොම, විරාජ් නිශ්ශංක, රොහාන් බුලත්සිංහල, නිශාන්ත ප්‍රදීප්, ඩිල්ෂාන් වෙල්ලාලගේ, ගිහාන් රෝහණ, ලක්ෂ්මන් පුෂ්පකුමාර, සුදිත් නිශාන්ත යන මහත්වරුන්ට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

මේ දිනවල නියැළී සිටින වැඩ කටයුතු මොනවාද?

වීණාවි , සිහින සක්මන ටෙලිනාට්‍යවල ඉතිරි වැඩකටයුතු සඳහාත්,පුරවරුන,හදරැදි ගී,පෝය කෙටි නාට්‍ය වලට සම්බන්ධ වී වැඩ කරමින් සිටිනවා.හර්ෂ උඩකන්ද මහතා අධ්‍යක්ෂනය කරන පිටකොටුව නම් නවතම ටෙලියෙ වැඩකරන්න මට කතා කරල තියෙනවා.