වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




මගෙ හිත තෙමා ඉගිලී ගියත් හැර දමා

මගෙ හිත තෙමා ඉගිලී ගියත් හැර දමා

- පණ්ඩුක මහානාම

මගෙ හිත තෙමා
ඉගිලී ගියත් හැර දමා
ඔබ දන්නවා මං වගේ
කවුරුවත් නැහැ කියා

මේ ගීය ගයන්නේ නව පරපුරේ ගායන ශිල්පියකු වන පණ්ඩුක මහනාමයි. අද වන විට ‘මගෙ හිත තෙමා’ ඉහළ ජනප්‍රියත්වයක් විඳිමින් ගුවන් විදුලි නාලිකාවල නිතර ප්‍රචාරය වන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි රූප රචනාවත් රූපාවාහිනී නාලිකා කිහිපයකම විකාශය වන හින්දා ගීතය තරමටම පණ්ඩුකත් සංගීත ලෝලීන් අතරේ ජනප්‍රිය වෙලා තියෙනවා. මේ හින්දම අප පණ්ඩුකව ඔබට හඳුන්වා දෙන ගමන්ම මේ ගීතය හැදුණු හැටි පිළිබඳත් කතා කරන්න හිතුවා. මගේ හිත තෙමා විරහ ගීතයක් නිසා මේක පණ්ඩුකගේ අත්දැකීමක්දෝ කියලා මටත් හිතුණා. ඒ ගැන පළමුව කියන ගමන්ම පණ්ඩුක මෙන්න මෙහෙම කතාව ආරම්භ කළා.

ඇත්තටම අයියේ ඔයා ඇහැව්වා වගේ මගෙන් හැමෝම අහනවා මේක මගේ පුද්ගලික ජීවිතයේ කතාවක් ද කියලා. මොකද වීඩියෝ එකෙත් ඉන්නේ මමනෙ. මම ඒ ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. විරහව අපි හැමෝගෙම ජීවිතවල තියනවානෙ නේද.

කවුද මේ ගීය ඔබට නිර්මාණය කරලා දුන්නේ?

සචිත් වී. චතුරංග තමයි ගීතය ලිව්වේ. සංගීතය සංගීත් ඉද්දමල්්ගොඩගේ.

මෙය ඔබට සිතැඟි පරිදි නිර්මාණය වූවක්ද? ඒ කිව්වේ ඔබගේ සිතෙහි ඇති අදහස කියලා ලියවා ගත්ත එකක් ද?

ඔන්න ඉතින් ආයෙත් අයියා පළමු ප්‍රශ්නයෙම කොටසක්නෙ ඇහැව්වේ. හරි මං මෙහෙම කියන්නම්කො. මේ දවස්වල විරහ ගීත රැල්ලක් යනවනෙ. මටත් හිතුණා එවන් ගීතයක් කරන්න. මං අදහස කියලා ලියව ගත්තා.

ඒ කියන්නේ ඔබත් රැල්ලට යන ගායකයෙක්?

එහෙම කියන්නත් අමාරුයි. ගුවන් විදුලි නාලිකාවල වැඩිපුර ප්ලේ කරන්නේ විරහ ගීතනෙ. විරහ ගීත රැල්ල අද ඊයේ ආපු එකක් නෙවෙයි. ඉස්සර ඉඳලම විරහ ගීත තිබුණා. සංගීත ශෛලිය විතරයි වෙනස්. මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතවලින් සියයට අනූවක්ම විරහ ගීතනේ.

පණ්ඩුකගේ සංගීත ගමන් මඟ ඇරැඹෙන්නේ කොහොමද?

මගේ ගම ගාල්ලේ. ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයෙනුයි අධ්‍යාපනය හැදෑරුවේ. පාසල් කාලයේ ඉඳලම මම අමු සංගීත පිස්සෙක්. මං වගේම තව කොල්ලො සෙට් එකක් හිටියා. ඔවුන් එක්ක සුපර් ඇලෝගීෂියස් කියලා වාදක මණ්ඩලයක් ද පිහිටුවා ගෙන ගමේ ෂෝස් ප්ලේ කළා. පාසල් කාලයෙන් පසුව හොටෙල්ස්වල ප්ලේ කරන්න පටන් ගත්තා. ඔහොම ඉන්න කොට තමයි මට මගේම සිංදුවක් කරන්න ඕනෑ කියලා හිතිලා 2007 දී ආදරය නම් වූ ගීතයක් කළා. හැබැයි වැඩිය ඒක ජනප්‍රය වුණේ නැහැ. වසර පහකට විතර පසුයි මගෙ හිත තෙමා ගීතය අවුට් කළේ.

ඒක හිතුවට වඩා ජනප්‍රිය වුණා?

ඇත්තමයි. මාත් හිතුවේ නැහැ මගෙ හිත තෙමා මෙතරම් ජනප්‍රිය වෙයි කියලා. ගමේ මට තියෙන පිළිගැනීමත් වැඩි වුණා මේ ගීතය නිසා. කෙටියෙන්ම කිව්වොත් බස් එකකවත් නැගලා යන්න බැහැ. ගොඩක් අය සිංදුව ගැන අහනවා. විශේෂයෙන් තරුණ තරුණියෝ.

ඔබ දැන් වෘත්තීය සංගීත ශිල්පියෙක්ද?

නැහැ. මං රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන කෙනෙක්. ඊට අමතරව මගේම සංගීත කණ්ඩායමක් තියෙනවා.

අද බොහෝ දෙනා වානිජ පරමාර්ථයෙන් ගීත කියන්නේ? ඔබ?

මට ගීතවලින් සල්ලි හොයන්න වුවමනාවක් නැහැ. මට බෑන්ඩ් එකක් තියෙනවා. රැකියාවක් තියෙනවා. මට ඒවායින් සැලකිය යුතු ආදායමක් ලැබෙනවා. මම නම් කියන්නේ වානිජ පරමාර්ථයෙන් ක්ෂේත්‍රයට එන්න හොඳ නැහැ. පරමාර්ථය වානිජ නම් හොදම වැඩේ සිංදු කියන්නේ නැතුව බිස්නස් එක්ක කරන එක.

මෙහි රූප රචනාව ගැනත් බොහෝ දෙනා කතා කරනවා. කවුද එය නිර්මාණය කළේ.

ලකී රූප කියලා ආයතනයකින් හැදුවේ. ඔවුන් ගොඩක් මහන්සි වුණා මෙයට හොඳම තත්ත්වයේ රූප රචනාවක් කරන්න. අපි පැය විසි හතරක් එක දිගට ෂූට් කළා. හරිම මහන්සියක් දැනුණේ මට එදා. ගෙදර ඇවිත් කළේ අර පැය විසි හතරට හරි යන්න පැය හතළිස් අටක් නිදාගත්තු එක.

ඔබේ ඊළඟ නිර්මාණය ගැන කතා කරමින්ම මේ සංවාදය අවසන් කරමු?

තෙවැනි ගීතයත් ආදරය ගැනම තමයි නිර්මාණය වන්නේ. ලබන වසරේ මැද විතර එය මාධ්‍යයට නිකුත් කරනවා.

මේ පණ්ඩුකගේ දුරකතන අංකයයි 0777910445

පණ්ඩුකගේ මගෙ හිත තෙමා ගීතයේ සම්පූර්ණ පදමාලාව:

මගෙ හිත තෙමා
ඉගිලී ගියත් හැර දමා
ඔබ දන්නවා මං වගේ
කවුරුවත් නෑ කියා

ඒ කාලෙ ආවෙ හමු වන්නේ නෑ
අපි අපිට හිමි නැති නිසා
දැකගන්න ආසයි ඔය ඇස් ඔබේ
සදහටම ඔබ නැති නිසා

ආදරේ මුසුකරලා ජීවිතේ රස කරවා
මා හදේ තනි මකලා ඇයි ගියේ
වෙනකෙකු හා
අමතක කරන්නට බැහැ මට නම්
සත්තයි මගෙ රත්තරං

රළු හිතේ දුක පුරවා
මුළු රැයේ විඳිනවා
නුඹ මගේ දුක නරඹා
දුර ඉඳන් හිනැහෙනවා
මතක කරන්න බැහැ මට නම්
සත්තයි මගෙ රත්තරං