වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




තිස් හත් වසරකට පසු තිස්ස - සනෝජාට පෙම් බඳී

තිස් හත් වසරකට පසු තිස්ස - සනෝජාට පෙම් බඳී

රංගනය වෘත්තීය වුණාම ණය දෙන්නේ නැතිලු

මම නිළියො දාගෙන කාර් එකේ ගියේ නෑ

මට චරිතය වැදගත් ගාන පස්සේ කතා කරමු

විජය කුමාරතුංගයන්ගේ ආගමනයත් සමඟම එවකට සිනමාවේ වැජඹුණ සුපිරි තරු තුනකට ඉවතට විසිවන්න සිදු විය. තිස්ස විජේසුරේන්ද්‍ර ඒ අතර සිටියේය. ඔස්වල්ඩ් ජයසිංහ සහ රෝයි ද සිල්වා අනෙක් දෙදෙනාය.

හැත්තෑව දශකයේ මුල් භාගයේ සිනමා පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් එම පුවත පළ වෙද්දී තිස්ස සිටියේ ජනප්‍රියත්වයේ ඉහළම තලයේය. එකී පුවත තිස්සට දැවැන්ත අතුල් පහරක් විණ. ‘තිස්සට දැන් ගෙදර නැවතිලා වෙන ජොබ් එකක් කරන්න තමයි වෙන්නේ’ තැන තැන බොහෝ දෙනා එලෙස කතා හැදුවෝය. මේ කිසිවකින් නොසැලී අචලව සිනමාවේ තිස්ස අදටත් රැඳී සිටින්නේ නළු වෘත්තියේ අභිමානය බිඳකුඳු අඩු නොකර ගනිමින්ය. අද අප මෙසේ ඔහුව සොයා යෑමේ හේතුව එයම වන්නේය.

තිස්ස අයියේ අද විවේකීවද හිටියේ?

ඔව් මල්ලි, මේ දවස් ටිකේ විශේෂ මුකුත් කළේ නැහැ. අනික අද ඔයාලා එනවා කිව්ව නිසා කිසිම වැඩක් දාගත්තෙත් නැහැ.

මේ දවස්වල තිස්ස අයියා ඉන්න චිත්‍රපටයක් තිරගත වෙනවා නේද? ඒ ගැනත් කතා කරමු?

ඒක මිචෙල් ෆොන්සේකාගේ සුපිරි අන්දරේ. මමයි සනෝජා බිබිලෙයි එහි රඟපාන්නේ. චිත්‍රපටය බලපු සෑහෙන දෙනා මට කතා කරනවා.

ද ඔබව දැන් වැඩිපුර පේන්න නැත්තේ ඇයි.?

මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මම ආසයි චරිතයකට මට ආරාධනා කරනවා නම් පිටපත මගේ අතට දීලා ඒක ගැන කතා කරන්න. නමුත් එහෙම වෙන්නේ නැහැනේ. මෙහෙම කියද්දී මට මරු කතාවක් මතක් වෙනවා. ඔන්න කවුදෝ ඩිරෙක්ටර් කෙනෙක් මට කතා කළා.

තිස්ස අයියද?

ඔව්.

තිස්ස අයියේ මම අහවලා කතා කරන්නේ. මට තිස්ස අයියගෙ ඩේ පේමන්ට් එක කීයද කියනවද?

ඒ මොකටද මල්ලි?

මොකටද කියලා අහන්නේ, තිස්ස අයියට චරිතයක් දෙන්නයි එහෙම ගාන ඇහැව්වේ.

ආ . . . මට චරිතයක් දෙන්න ද, මං හිතුවේ වත්තේ ගඩොල් අදින්න, තණකොළ කපන්න වගේ කම්කරු වැඩකට මට කතා කරනවා කියලා. එතකොට ස්ක්‍රිප්ට් එක.

ඒක මේ දැන් ලියන කෙනා ලියාගෙන යනවා.

එතකොට මට එයින් එකක් දෙනවද.

ස්ක්‍රිප්ට් නම් නෑ තිස්ස අයියේ. ඔයාගේ ඩේ පේමන්ට් එක කියන්නකෝ.

මං තවත් ඔහුත් එක්ක කතා කළේ නැහැ. හොඳ කුනුහරුපයක් කියලා ෆෝන් එක කට් කළා. ඔන්න අද තත්ත්වය. නෑදෑයෝ ෆිල්ම් එකට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මාව ගන්න කතා කළේ කොහොමද දන්නවද, ඔහු එය ලියූ ටී. බී. ඉලංගරත්න මහත්තයත් එක්ක අපේ ගෙදර ආවා. ඉලංගරත්න මහත්තයා ඒ චරිතයට මගේ ගණන් ඇහැව්වා. මගේ තොල වෙව්ලුවා. මං කිව්වා ගාන පස්සෙ කතා කරමු. මුලින්ම වැඩේ කරමු කියලා. මිනිස්සු එහෙව් සලකපු මට අර විදිහට කතා කරද්දී කේන්ති යන එක සාධාරණ ද නැද්ද කියලා කියන්නකෝ.

ඔබ කියන්නේ ඩේ පේමන්ට් එකට වැඩ කරන්නේ නැති නිසා ඔබට වැඩ අඩුයි කියලද?

නැහැ. මම කියන්නේ මේකයි පේමන්ට් එක ගැන මුලින්ම අහනවට මම ආස නැහැ. සුපිරි අන්දරේට කතා කළේ අධ්‍යක්ෂ මිචෙල්, සහාය අධ්‍යක්ෂ කල්‍යාණ චන්ද්‍රසේකර, අංග රචනා ශිල්පී ගාමිණී කොස්තා මාව හොයාගෙන ගෙදරටම ඇවිත්. ඔවුන් මුලින්ම චරිතය ගැනයි කතා කළේ. හාස්‍යෝත්පාදක චරිතයක් වුණත් මං ඒක බාර ගත්තේ හොඳ නිසා. අනික ඔවුන් වැදගත් විදිහට කතා කළා. මං ඒකට ආසයි. මං පරණ නළුවෙක් වුණාට අනවශ්‍ය විදිහට පහසුකම් හොයන්නේ නැහැ. චරිතයයි මට වැදගත්. ගොඩක් අය මට කතා කරන්න බයයි. නවතින්න සුපිරි හෝටල්, සුපිරි කෑම, නම ඉල්ලයි කියලා. ඒක නිසා වෙන්න ඇති මුලින්ම පේමන්ට් එක ගැන අහන්නේ. මම නම් කියන්නේ මුලින්ම චරිතෙ ගැන කතා කරමු. දෙවනුව පේමන්ට්. චරිතෙ හොද නම් මම මගේ කාර් එකේ වුණත් ඇවිත් රඟපාන්නම්.

ඒ කියන්නේ තිස්ස විජේසුරේන්ද්‍ර ඕනැම චරිතයක් රඟපානවා?

ඔව්. නළුවෙක් කියන්නේ ඒකනේ.

එදා සිනමාව හා සසඳද්දි අද සිනමා තාක්ෂණය දියුණුයි. නමුත් හොඳ චිත්‍රපට අඩුයි?

ඇත්ත. අපි චිත්‍රපට කරන කාලේ ලොකුª තාක්ෂණයක් තිබුණේ නැහැ. හැබැයි කරපු චිත්‍රපට හොඳට දිව්වා. මං හිතන්නේ චරිතයට අදාළම නළුවව හෝ නිළියව ගත්තමයි එහෙම වුණේ. මාව ඕන තැනදි මාව අනිවාර්යයෙන්ම ගත්තා. මම වැඩක හිටියත් මම ෆ‍්‍රී වෙනකම්ම හිටියා මාවම ගන්න. අද වගේ මාව නැත්නම් වෙන කෙනෙකුව ගත්තේ නැහැ. ඒකයි චිත්‍රපට ජනප්‍රිය වුණේ. ඔබ ඔය කිව්වට අද තාක්ෂණය දියුණුයි කියලා මම ඒ මතයට විරුද්ධයි.

ඒ මොකෝ?

මම සුපිරි අන්දරේට කලින් චිත්‍රපටයක රඟපෑවනෙ රූපාන්තරණ කියලා. මම ඒක බලන්න පන්නිපිටිය ළඟම තියෙන ටවුමේ ජනප්‍රිය චිත්‍රපට ශාලාවකට ගියා. මාව දැකලා අඳුනගෙන එතන හිටිය අයෙක් දුවගෙන ආවා. මම පුටුවක වාඩිවෙන්න හදද්දී ඔහු වෙනත් පුටුවක් ගෙනල්ලා වෙනමම තැනක තියලා මට වාඩිවෙන්න කිව්වා. ඔහු ශාලාවේ ෆෑන් එකක් යටිනුයි පුටුව තියලා තියෙන්නේ. මං වාඩිවෙන්න හදපු තැන ෆෑන් නැහැ. මම ඔහු දුන්නු පුටුවේ වාඩිවෙන්න හදද්දී ඔහු කෑ ගැහැව්වා මහත්තයා, මහත්තයා ටිකක් ඉන්න කියලා. බැලින් නම් ලොකු කැරපොත්තො දෙන්නෙත් පුටුව උඩ. උන්ව එලවලා වාඩි වෙලා ෆෑන් එක දැම්මා විතරයි තඩි මකුලු දැලක් කර උඩට වැටුණා. ඔන්න ඉඳලා ඉඳලා චිත්‍රපටයක් බලන්න ගිය මට වෙච්ච දේ. ඉතින් මම ආයෙ චිත්‍රපටයක් බලන්න යයි ද ඒ හෝල් එකට. සිනමාවට ඩිජිටල් ආවට වැඩක් නැහැ. හෝල් ටික දියුණු කරන්න ඕනෑ. නැතිනම් සිනමාව බංකොලොත් වෙනවා.

ඔබේ ඉල්ලුම අදටත් එහෙම්මමද?

අනිවාර්යයෙන්ම. ඔබ මේ ලිපිය ආරම්භයේ සඳහන් කළා වගේ ඇතැම් අය කිව්වා විජය ආවාට පස්සේ තිස්ස නන්නත්තාර වුණා කියලා. එහෙම වුණා නම් ඔබ අද මාව හොයාගෙන එන්නේ නැහැනෙ. මගේ චිත්‍රපට අදටත් ටී. වී. එකේ විකාශය වෙනවා. ඔවුන් කියනවා ඒවා ගිය දවස්වලටලු වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන්නේ. එහෙම බලන කොට මට ඉල්ලුම අඩුවෙලා කියලා කියන්නේ කොහොමද?

තිස්ස අයියාගේ පවුල් ජීවිතයට මේ වෙන කොට අවුරුදු තිස් හතක්. කිසිම කුණු පැල්ලමක් නැහැ?

මල්ලි මම කැමරාව ඉස්සරහ විතරයි නළුවා. පවුල ඉස්සරහ රඟපෑවේ නැහැ. මම නිළියො මගේ කාර් එකේ දාගෙන ගිහින් නැහැ. ගොසිප් හදා ගත්තෙත් නැහැ ඒක නිසා. මගේ දුවලා තුන්දෙනාට හොඳට උගන්නලා ඉහළම තත්ත්වයට ගෙනවා. ඒ මගේ පවුලට මූලිකත්වය දුන්නු හින්දා.

ඒ කාලයේ තරුණියන් සෑහෙන්න ඔබට වසඟ වෙලා ඉන්න ඇති?

මොකද නැත්තේ. හැබැයි ඒ කිසිම කෙනෙක්ව මම කරට ගත්තේ නැහැ. අනන්තවත් ලියුම් ආවා. මගේ වයිෆ් තමයි ඒවාට පිළිතුරු යැව්වේ.

මෙච්චර කල් කොහොමද ඔය රුව රැක ගත්තේ?

දැන් මට හැට පහයි. එහෙම පේන්නේ නැහැ නේද? පපුව හොඳයිනේ. එතකොට ඉබේම මූණත් ලස්සන වෙනවා.

ලංකාවේ කලාකරුවන් ජීවිතයේදී සැඳෑ සමයේදී බොහෝ සෙයින් අසරණ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ?

කලාකරුවකු වශයෙන් සිතිය යුතු කාරණයක් තියෙනවා. ඒ හැමදාම ජනප්‍රියත්වය තියෙන්නේ නැහැ කියන එක. තමන්ට කිසිම කෙනෙක් නැතුව යන දවසකුත් එනවා. එදාට ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්න ඕනෑ. ඉතිරි කිරීම එහිදී වැදගත්. රජයෙන් කලාකරුවාට කරන්න ඕනෑ යුතුකමක් තියෙනවා. ඒ විශ්‍රාම වැටුපක් දීම. වසර ගණනාවක් මිනිස්සු පිනවපු කලාකරුවන්ට සැලකිය යුතු දීමනාවක් දෙන්න රජයට බැරිකමක් නැහැ. වයසක කලාකරුවන් මහ ලොකු ගානක් නැහැනෙ ලංකාවේ.

කලාකරුවකු වීම තුළින් ලද අවාසි මොනවද තියෙන්නේ?

ඔබ ඔය පැනය අහපු එක හොඳයි. මම ඊට උත්තරයක් නොදී උදාහරණයක් කියන්නම්කො පළමුව. මම ගියා පුද්ගලික බැංකුවකින් ණයක් ගන්න. ඒ ෆෝම් එකේ තිබුණා වෘත්තිය අහලා. මම ලිව්වා රංගනය කියලා. මට මැනේජර් බැනලා එතන ටිපෙක්ස් කළා. මම ඇයි කියලා ඇහැව්වා. ඔහු මට කිව්වා රංගනය කියලා දාපුවාම ණය දෙන්නේ නැහැල්ලු. ඉතින් බලන්නකෝ රංගනයට තියෙන පිළිගැනීම. ඒ ගැන හිතද්දී නම් හිතට හරිම දුකයි.