වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ගුවන් යානයේ විනෝද සමයක්

ගුවන් යානයේ විනෝද සමයක්

පසුගිය සතියෙන්...

ඔන්න දැන් ඉතිං රූබර ගුවන් සේවිකාවන් දැන් මම ළඟටම ඇවිල්ලා. මේ සුර දූතියන්ගේ අත රැඳි බන්දේසිවල එකිනෙක තාලෙට නැළවෙන ගැටෙන විස්කි, බ්‍රැන්ඩි, ජින්, බියර්, වයින් ටී, කෝපි, සොෆ්ට් ඩ්‍රින්ක්ස් පිරිලා. මේව දැක්කම මගේ සිතට අපූරු සිතිවිලි පහළ වෙන්න පටන් ගත්තා. දැන් මගේ හිත තුළ තිබුණ කුතුහලය බය ටිකක් අඩු වෙලා.

ගුවන් යානයේ පවතින සීතලෙන් මිදෙන්න කන් අගුල් වැටිලා තියෙන එක ටිකක් අඩු කර ගන්න, ඇඟ ටිකක් උණුසුම් කර ගන්න විස්කි වීදුරුවක් ඉල්ලගෙන මට බීමේ ආශාවක් ඇති වුණා. ඔන්න ඉතිං ඒ අස්සේ පන්සිල් මතක් වෙන්නත් පටන් ගත්තා. බයෙන් වෙව්ල වෙව්ලා ගාථාව කිය කියා ආපු මට මේ වගේ දෙයක් බොන්නත් මොකක්ද වගේ. ඇඟ සීතලෙන් ගැහෙන වෙලාවේ ඖෂධයක් වශයෙන් පොඩ්ඩක් ගත්තට වරදක් වෙන එකක් නෑ කියලත් මට හිතෙන්න වුණා. ඒත් මේ රූබර ලලනාවන්ගෙන් සැර බීම ටිකක් ඉල්ලගෙන බොන්න මට ලැජ්ජයි වගේ.

සීතල වැඩිවෙලා මගේ ඇඟ ගැහෙන එක වැඩි නිසාම හිතට ලොකු දිරියක් අරගෙන පුණ්‍යවන්ත සිතිවිලි යටපත් කරගෙන ලැජ්ජා භය තියෙන උපාසකයෙක් වගේ බ්‍රැන්ඩි ටිකක් ලලනාවකගෙන් ඉල්ලා ගත්තා. ලලනාව ටිකක් ඈත් වෙනකන් ඉඳලා මම එක හුස්මට බ්‍රැන්ඩි ටික උගුරට හලාගෙන හොඳට අසුනට ඇල වී ටික වෙලාවක් ඉන්න කොට මට ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා මගේ ශරීර කූඩුවේ තිබුණ සීතල ගතිය නැති වෙලා ඇඟ උණුසුම් වන ගතියක්. එතකොට මගේ හිතේ තිබුණ ලැජ්ජා භයත් මටම හොරා පැනලා ගිහින් තිබුණා.

මම ඉතිං සුර දූතියන්ගෙන් වරින්වර බ්‍රැන්ඩි ඉල්ලගෙන බොන්න පටන් ගත්තා. මගේ මේ තියෙන කෑදරකමටයි, පෙරේතකමටයි ශරීරයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඕනෑවටත් වඩා ඉහළ නගින බවක් මට දැනෙන්න වුණා. දැන් මොනව කරන්නද? කුම්බලා මාළු කෑව නම් විඳවපන් බළලෝ කියනවා වගේ මට ශරීර කූඩුවේ ඉහළ යන උෂ්ණත්වය පාලනය කර ගන්නෙ කොහොමද කියලා අසුනට හාන්සි වෙලා මොහොතක් කල්පනා කළා. මේ විදියට උෂ්ණත්වය ඉහළ ගිහින් මාව පිච්චිලා යයිද කියලත් මට හිතුණේ නැත්තෙමත් නෑ. මේ තත්ත්වය පාලනය කරගන්න බියර් ටිකක් බිව්වොත් හොඳයි කියලා මට හිතුණ නිසාම ශරීර උෂ්ණත්වය අඩු කර ගන්න හොඳ ඖෂධයක් කියලා බියර් වීදුරු කීපයක්ම ඉල්ලගෙන බීල බැලුවා.

මෙහෙම වරින් වර බියර් ඉල්ලන් බොන කොට මට දැනුණා පපුව ගොර ගොර ගාන හඬක්. මට දෙයියො බුදුන් සිහි වුණා. සෙම ඇවිස්සුණොත් වෙන්නේ මහ ජංජාලයයි. දැන් ඉතිං මගේ හිතට අපූරු සිතිවිලි පහළ වෙන්න පටන් ගත්තා. යානයේ තියෙන වැසිකිලිය නරඹන්න යන්න හිතුණා. අහස් යාත්‍රාව ඇතුළේ ඉඳල ශරීර කෘත්‍ය කරන්න මට ආශාවකුත් ඇති වුණා. අහසේ ඉඳලා මේ වැඩේ කෙරුවනේ කියලා හිතට උජාරුවක් ඇතිකර ගන්නත් මට හිතුණා. අහසේ ඉඳලා විනෝද සමය රඟපාන්නත් මට හිතුණා.

මිනිස්සු ආශ කළ මම පොඩි ළමයට ඇඳල ඉන්න අවස්ථාව, සූප්පුව කටේ ගහලා බෝතලය, පොත් බෑග් එක කරේ දාගෙන ජම්පර් කලිසම ඇඳලා ගුවන් යානය ඇතුළේ ඇවිද ඇවිද මේකේ ඉන්න මිනිස්සු හිනස්සන්න මට හිතුණා. ඇනස්ලි, සැමුවෙල් ඉන්න තැනකින් නැගිට්ටවගෙන ප්ලේන් එකේ රඟපෑමක් කළා නම් උඩු ගුවනෙත් විනෝද සමය රඟ දැක්වෙයි කියලා පත්තරවල හෙඩින් යයි කියලත් මට හිතුණා. ඔය වගේ සිතිවිලි රාශියක් මැද අතරමං වෙලා ඉන්න කොට එන්න එන්නම වැඩේ හරි යන පාටක් නැති තරම්. ප්ලේන් එක ඇතුළේ සීත වායුව සමඟ මගේ සෙම් කෝපය තව තවත් වැඩි වුණා.

මේ වෙන කොට මගේ මෝඩකමට මමම ඕනෑකමින් නැති ලෙඩක් හදාගෙන. දැන් ඉතිං පසුතැවිලි වෙලා වැඩකුත් නෑ කියලා හිතුණා. ඒ පාර මම හිතුවා සෙමට හොඳම බේත විස්කි කියලා ගුවන් සේවිකාවන්ගෙන් විස්කි බොන්න හරි හපනෙක් වගේ විස්කි ඉල්ලගෙන වීදුරු කීපයක්ම එක හුස්මට බීල දැම්මේ හොඳ පුරුදුකාරයෙක් වගේ.

ලබන සතියට...