වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




බ්‍රෙෂ්ට් නඟා සිටුවමු

බ්‍රෙෂ්ට් නඟා සිටුවමු

ධර්මජිත් පුනර්ජීව

හෙන්රි ජයසේනගේ හුණුවටය ගැන ගැටළුවක්

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ Senora Cararr’s Rifle නාට්‍ය රචනය ඇසුරින් ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පරිවර්තනය කර ධර්මජිත් පුණර්ජීව අධක්ෂණය කළ ‘රැගෙන අවි මම ද එමි’ නාට්‍ය ලබන 10 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී රංගගත කෙරේ. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය මඟින් ඉදිරිපත් කෙරෙන මෙම නාට්‍ය පිළිබඳ නාට්‍යවේදී ධර්මජිත් පුණර්ජීව සමගින් කළ කතාබහ මෙසේ සටහන් වේ.

මේ සුවිශේෂ කටයුත්ත පිළිබඳ සඳහන් කරමින් අපේ කතා බහ ආරම්භ කරමු ?

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සහ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි පසුබිමේ ඉඳගෙන අපි මේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය ආරම්භ කරන්නේ. බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය මඟින් අපි මෙවර රැගෙන අවි මම ද එමි නාට්‍ය වේදිකා ගත කරන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අනෝමා ජනාදරී, සුදර්ශන බණ්ඩාර, නිනෝ ජයකොඩි, රුචි අබේවර්ණ, ඉන්දික වික්‍රමරත්න, සුරේෂ් හර්ෂජීව, රංජිත් වික්‍රමසිංහ, ලංකා සුගතපාල, තෙපුලි පුණර්ජීව මේ සඳහා රංගනයෙන් දායක වීමට නියමිතයි.

මෙම කාර්යය පිටුපස ඇති විශේෂ අරමුණ ගැනත් සඳහන් කළොත්?

මූලිකම අරමුණ තමයි මෙහි නමේ සඳහන් වන පරිදි බ්‍රෙෂ්ට් පුනරුද කිරීම. බ්‍රෙෂ්ට් පුදනරුදය කරන්නේ ලංකාවේ නිර්මාණකරුවෝ බ්‍රෙස්ට් අසම්පූර්ණයෙන් රංග ගත කර තිබීම හේතුවෙන් කියන එකයි අපේ අදහස. ඇත්තටම බ්‍රෙෂ්ට් රඟ දක්වන්න අමාරුයි. එයට හේතුව තමයි ඔහු සාමාන්‍ය නාට්‍යකරුවෙකුට වඩා එහා ගිය සමාජ දේශපාලනික ජගත් දෘෂ්ටියක් ලෝකයට ප්‍රදානය කළ ඒ වෙනුවෙන් වෙහෙසුණු නාට්‍ය කරුවෙක් නිසා.

ඒවෙනුවෙන් ජීවිතයම කැප කළ අයෙක් නිසා. ඔහු උපන් රට ජර්මනිය. ඔහු නට්සිවාදී හිට්ලර්ගේ ආඥාදායකත්වය මූලිකකරගත් ඒ රටේ ඇති වූ කැරළිකාරීත්වයට එරෙහිව තම නාට්‍ය මාධ්‍යයෙන් ජනතාවට පාඩම් රැසක් කියා දුන් නිර්මාණකරුවෙක්. මේ නිසා ඔහු ජීවත්ව සිටියාට වඩා මිය ගියාට පසු අද ලෝකයට ඔහු ඕනෑ කරන වඩා වැදගත් නාට්‍යකරුවෙකු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපට ඔහුගෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ලෝකවාසී සියලුම නාට්‍යකරුවන්ට අද බ්‍රෙෂ්ට්ගේ පාඩම් ඉතා වටිනා බව අපි විශ්වාස කරනවා.

බ්‍රෙෂ්ට් තමුන්ගේ නාට්‍යකරණය ගැන ඒ අදහස් ප්‍රෙක්ෂකයන්ට කියන්න වෙහෙස දැරුවේ එතෙක් පැවතුනා වූ ඇරිස්ටෝටලියානු සම්ප්‍රදායේ මනෝභාවයන් සමඟ පේ‍්‍ර්ක්ෂකයන් ගනු දෙනු කළ යුතුයි කියන මූලික මූලධර්මය උඩයි. ඔහුට මේ ඇරිස්ටෝටලියානු සම්ප්‍රෑදායත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔහු කියන්නේ පේ‍්‍ර්ක්ෂකයන් මනෝභාවයට පත් කිරීමෙන් මගේ පණිවුවය පේ‍්‍ර්ක්ෂකයන් සමග බෙදා හදා ගැනීමට නොහැකි බවයි.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

එයට හේතුව අපි නිර්මාණයක් බලන විට සිනමාවේ හෝ නාට්‍යයේදී අපි ඒ චරිත හා බැඳෙනවා. කලාව මගින් නිෂ්පාදනය කරන මායාව සමග අපි බැඳෙනවා. ඒ මායාව අපි ගෙදර අරගෙන යනවා මිස අදාළ පණිවුඩය අපි අරගෙන යන්නේ නැහැ. එයට ඔහු සපුරා විරුද්ධ වූ අයෙක්. ඒ නිසා ඔහු ආකෘති රැසක් සමඟින් ගනු දෙනු කළා. උදාහණයක් හැටියට ඓතිහාසික එපික් නාට්‍ය ක්‍රමය. මේ එපික් නාට්‍ය ක්‍රමය සමග ගනුදෙනු කර ඔහු එයින් බිඳ ගත් තවත් සංකල්පයක් වූ ඒලියනේෂන් ඉෆෙක්ට් සමත් ගනුදෙනු කරනවා. ඔබ දන්නා දුරස්ථීය රංග රීතිය ලෙස එය හැඳීන්වෙනවා.

තිහේ දශකයේ සිට අපිට මුහුණ දෙන්න වුණු බ්‍රෙෂ්ට් සංකල්ප ඌණතාවය මකා දැමිය යුතු වෙනවා. ඒ මූලධර්ම කෙතරම් වැදගත්ද කියන කාරණය මතු වෙන්න අවශ්‍ය බව අපි තරයේ විශ්වාස කලා. ඉන් පසු මේ ගැන දීර්ඝ ලෙස අධ්‍යයනයකින් පසුව මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වැනි අයගේ මෙහෙයවීම යටතේ අපි බ්‍රෙෂ්ට් පුදනරුද පර්ෂදය පිහිටු වූවා. ඒ යටතේ අපි උත්සාහ කරනවා අවුරුද්දකට වරක් හෝ ඔහුගේ නාට්‍යයක් සිංහලට පරිවර්තනය කර රංග ගත කිරීමට. මේ එහි දෙවන පියවරයි. සෙනෝරා කරාර් රයිෆල් නාට්‍ය සිංහලෙන් රැගෙන අවි මම ද එමි ලෙස රංග කෙරෙන්නේ.

නමුත් බ්‍රෙට්ස්ගේ නාට්‍ය නිර්මාණ අපේ රටට ආගන්තුක නැහැ නේද?

අපේ රටේ ඔහු ජීවත්ව සිටියදීම ඔහුගේ නාට්‍ය පිටපත් භාවිතයට අරගෙන තියෙනවා. තිහේ දශකයේදී ලුඩවයිස් මහාචාර්යවරයා “ද ගුඩ් වුමන් ඔෆ් සෙස්ට්වාන්” නාට්‍ය හරහා කොළඹ විශ්වවිද්‍යාලයේදී බ්‍රෙෂ්ට් නාට්‍ය රංග ගත කරලා තියෙනවා. ඒ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්. හැටේ දශකයේ අග භාගයේදී හෙන්රි ජයසේනයන්හට අවස්ථාවක් ලැබෙනවා රුසියාවේ සංචාරයක් කරන්න. එහිදී ඔහු දකිනවා බ්‍රෙෂ්ට්ගේ තවත් සුප්‍රසිද්ධ නාට්‍යයක් වන ද කොකෙසියන් චෝක් සර්කල්. ඔහු ලංකාවට පැමිණ මෙය නිෂ්පාදනය කරනවා. හුණුවටය නාට්‍ය අපේ පාසලේ සිංහල විෂයට නිර්දේශ වූ නාට්‍යයක්. මනමේ සිංහබාහු කෙතෙරම් ජාතික නාට්‍යයේ කලාවට සිංහල විෂය නිර්දේශයට කෙතරම් වැදගත්ද ඒ තරමටම හුණුවටයේ කතාවත් අපට වැදගත් වුණා. දැන් අවුල තියෙන්නේ ආකෘතිය සම්බන්ධයෙන්.

රැගෙන අවි මම ද එමි පිරිවර

මේ නාට්‍ය. පරිවර්තනයක් වුනත් දැන් ගැටළුව තියෙන්නේ හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාවේදී මේ සංකල්ප ආකෘති හරි ආකාරයෙන් සිදු වුණා දැයි කියන එකයි. විවිධ විද්වතුන් පෙන්වා දුන් කාරණයක් තමයි ඔහු අතින් නාට්‍යයෙන් මතු කළ අන්තර්ගතය වන සමාජ දේශපාලන යුද වාතාවරණය හැළී ගොස් ඊට අමතරව ආකෘතිවාදී සංකල්ප සිදු නොවු බව.

අපි බ්‍රෙෂ්ට්ගේ සංකල්ප සම්බන්ධයෙන් ගත්තොත් මෑතකදී පරාක්‍රම නිරිඇල්ල හුණුවටයේ නාට්‍යයේම යළි රංගගත කළා. මම හිතන අයුරින් ඔහුට පුළුවන්කම ලැබිලා තියෙනවා මෙවර රාජ්‍ය සම්මාන සමගින් ජනකරළිය හරහා එම නාට්‍ය සංකල්ප අත්හදා බැලීමෙන් බ්‍රෙෂ්ට්හට යම්තාක් දුරට සාධාරණයක් ඉෂ්ට කිරීමට. අපි සියලු දෙනා එකතුව එය අධ්‍යනයේ නියැළුන හොත් නාට්‍ය කලාවට බ්‍රෙෂ්ට් සම්බන්ධයෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් බව මගේ අදහසයි.

බ්‍රෙෂ්ට් පුදනරුද පර්ෂදය විසින් මෙහි ආරම්භය සනිටුහන් කළ ආකාරය මෙන්ම සාර්ථකතවය ගැනත් සටහනක් තැබුවොත් ?

2012 වසරේදී දි එක්සෙප්ෂන් ඇන්ඩ් රූල් නාට්‍ය අපි සම්මතය සහ අසම්මතය ලෙස සිංහලෙන් ජෝන් ද සිල්වා සමරු රඟහලේදී රංගගත කළා. මේ නාට්‍ය රංගගත කිරීම පිටුපස බැඳුණු අධ්‍යයන කාර්යයක් තියෙනවා. අපිට අවශ්‍ය නාට්‍යයක් රංගගත කිරීම පමණක්ම නොවෙයි. ඊට අමතරව මේ රංගගත කරන්න සැරසෙන කාලය තමයි අපේ ප්‍රධානතම වැඩසටහන විදියට අපි දකින්නේ.

රැගෙන අවි මම ද එමි නාට්‍යයේ දර්ශනයක්

අපි මේ නාට්‍ය අධ්‍යයනය කර එයට ගැලපෙන නළු නිළියන් පිරිසක් මුලින් තෝරා ගැනෙනවා. ඉන් පසුව ඔවුන් සමඟ බ්‍රෙෂ්ට් පිළිබඳ ඉගෙන ගැනීම, ඔහුගේ සංකල්ප ආකෘති ගැන ඉගෙන ගැනීම, හැදෑරීමට කැමැති ද, මෙයින් ඉගෙන ගන්නේ කුමක්ද මෙන්ම කාල වේලාව යන්න ආදි දේ ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ ජනපි‍්‍රය සංස්කෘතියෙන් මිදී නට්‍ය යනු හැදෑරිය යුතු මාධ්‍යයක් එහි සමාජ දේශපාලන වගකීමට ඇති කැමැත්තත් එහිදී විශේෂ වෙනවා. එයට හේතුව තරුණ පරම්පරාවට විශේෂයෙන් ප්‍රාසාංගික කලාවේ ඉදිරියට යන්න මූලික පදනම වෙන්නේ නාට්‍ය වීමයි.

බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදයේ මීළඟ පියවර ගැනත් කියමු?

බර්ටොල් බ්‍රෙෂ්ට් සම්බන්ධව මෙරට දැනුවත් ප්‍රමාණය ඉතාම අල්ප මට්ටමක තියෙන්නේ. අපි උත්සාහ කරන්නේ එම දැනුම් ඌනතා තත්ත්වය වෙනස් කර බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සම්ප්‍රදාය වෙතට විද්වතුන්ගේ හා ප්‍රේක්ෂක අවධානය ඇති කිරීමටයි. ඒ වගේම ප්‍රධානම දේ මෙරට තියෙන නාට්‍ය කලාව සමඟ ඉදිරියට යෑම. අපේ මූලික අරමුණ මෙහි මූලධර්ම ප්‍රචලිත කරගැනීමයි. ඒ නිසාම අපි ප්‍රධාන වශයෙන් උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාල හා පාසල් මට්ටම්වලින් මේ නාට්‍ය රඟ දැක්වීටයි. බ්‍රෙෂ්ට්ගේ ආකෘති පිළිබඳ දැනුම ඔවුන්ට අත්‍යවශ්‍ය දෙයක් වීම එයට හේතුවක්. තවද මේ තුළින් සාකච්ඡා සහ සංවාද ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.