වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අනාථ දෑසේ කෙම්බිම ඔබමයි මිලාන ලෝකේ හසරැලි උයනයි

අනාථ දෑසේ කෙම්බිම ඔබමයි මිලාන ලෝකේ හසරැලි උයනයි

රම්බරී ලියූ මනුරංග විජේසේකර

ගීතයකට ප්‍රිය කරන්නටත්, ඊට හේතු සොයන්නටත් වයස් සීමාවක් අවශ්‍ය නොවේ. සිය හදවත බැඳුණු ගීත පිළිබඳ කතාබහ කරන මතක ගී පොත විශේෂාංගයට මෙවර සහභාගි වන්නේ තරුණයෙකි. තරුණ ගී පද රචකයෙකි. හේ මනුරංග විජේසේකරයි. ඔහු නොලියූ වෙනත් ගී පද රචකයකුගේ සුරතෙන් පැබැඳුණු ගී පදවලට පෙම් බැඳී මනුරංගගේ අතීතය හා බැඳුණු ඒ සොඳුරු බව තවමත් ඔහු අසලය.

වරෙක නුඹව සොයා මගේ සිත ඒ සොඳුරු පාසල් දිවිය වෙත සක්මන් කරයි. පාසල අසල බස් රථය පැමිණෙන තුරු රැඳී සිටින ඔබගේ සිනහ මුසු උවන, මගේ මතකයෙහි සදා රැඳී තිබුණු බව මට පසක් වූයේ නුඹ හමුවුණු පසු කලෙකය. කොණ්ඩ කරල් දෙකක් ගොතා, ළයට තුරුළු කර ගත් පොත් මිටිය ද අතැතිව සිටි නුඹ මා හා මිතුරු වූයේ ඉක්මනිණි.

ඒ සිතෙහි ඉපදුනු සෙනෙහෙවන්තකම මිතුරුකමකට පෙරළී ගියේ මා හදවත අන් යුවතියකගේ ළඟ නවාතැන් ගත් හෙයින් යැයි දැන් දැන් මට සිතේ. එහෙත් ඒ මා හදවත බැඳුණු සොඳුරු යුවතියට හදවතෙන්ම ආදරය කළ මම, ඇය හා සැරැයටියෙන් යන තුරුමත්, සංසාරයේ එකා සේ බැඳී ඉන්නටත් සපත කළ අයුරු සිහිපත් වෙයි. එනමුදු ඒ සියලු ප්‍රාර්ථනා සුනු විසුණු කරමින් ඈ යන්නටම යන්න ගිය අයුරු එකල මා මතකයට නැගූයේ හද පිරි සොවිනි.

ඒ අතීත මතකය එකල මා රිද වූ අයුරු කොතරම් ද යත් නැවත නැවතත් ඇය පිළිබඳ සිතුිලිවලින් මගේ සිත ගිලන් විය. හඹා ගොස් නැවත නැවතත් ඇයගෙන් ආදරය අයදින්නට සිතුණු අවස්ථා ද එමටය. ඇයගෙන් තොර වූ ජීවිතයක් පිළිබඳ සිතා ගන්නටවත් නොහැකි වූ මම රිදුණු, පෑරුණු ගිලන් සිත සනසා ගන්නට කුමක් නම් නොකළේද? කාලය ගත වී ගියේය. පෑරුණු සිත සුවපත් වී ඉන් පසුව එය යළි යළිත් පෑරුණේ, සංසාරයෙහි අත්වැල් බැඳ ගන්නට තරම් ඔවුන් මගේ ජීවිතයෙහි හිමිකාරියන් නොවූ අය බව මට එදා නොවැටහිණි.

ඒ හිමිකාරිත්වය තිබුණේ නුඹටය. කාලයත් සමඟ ගිලන් වී, ක්ෂව ගිය පාළු භූමියක් වන් වූ හදවතට සිසිල් පැන් පොදක් ඉසින්නට මෙන් නුඹගේ නැවත ආගමනය මා පුදුමයට පත් කළේ නොසිතූ විරූ අයුරෙනි. මා මෙන්ම නුඹ ද සිටියේ දැඩි සේ ගිලන්වය. ඒ ගිලන් වූ හදවත්වලට අපි එකිනෙකාගෙන් ලැබුණු සොඳුරු සෙනෙහෙවන්ත බව මහ මෙරක් තරම් විය.

මම නුඹ ගැනම සිතීමි. ඒ සොඳුරු තක්සලාවේදී නුඹ සිටි අයුරු මට මැවී මැවී පෙනෙන්නට වූයේය. කාලයක පටන් හදවතෙහි කොනක යටපත් වී තිබුණු සිතුවිලිවලට තටු ලැබුණා සේය. තක්සලාව අසල පාසල් බසය පැමිණෙන තුරු බලා සිටි යුවතියගේ උවන මත ඇඳුණු සිනා රැල්ල තවමත් නුඹ අසලම බව මට පසක් වූයේ එවිටය. මම නුඹ ගැනම සිතුවිල්ලෙන් හදවත සිරකර ගතිමි.

දිනෙක ඒ සිතුවිල්ල දැහැන්ගත විය. ඒ දැහැන්ගත වූ හදවත්වල රිද්මයට අපි එකිනෙකා සවන් යොමු කළෙමු. ඒ රිද්මය සොයා අපි දිගු ගමනක ආරම්භයට මුල පිරූවෙමු. එලෙස සංසාරයෙහි දිගු වන්දනාවේ ආරම්භය සනිටුහන් වී මේ ගෙවී යන්නේ සොඳුරු කාලයකි. ඒ සොඳුරු බවෙන් මම වසඟයට පත් වී සිටිමි. මේ ගීතය ඇසෙන මේ මොහොතෙහි මම ඒ සොඳුරු බවේ සුන්දරත්වය විඳීමි.
 

අතීතය සිහිනයක් පමණයි

සැබෑ සුවඳක් නෑ

එදා සෙනෙහෙන් නොබැඳුණා නම්

මෙදා වියොවක් නෑ

 

තැනූ මන්දිර බිඳී වැටුණත්

නෙතේ කඳුළක් නෑ

සිනහ වන්නට වරම් නොලදත්

සිතේ කිලුටක් නෑ

 

සොබා දහමට නොවන අවනත

ලොවේ කිසිවක් නෑ

ලොවෙ පැරැදුම මිසක කිසිදා

ලැබූ දිනුමක් නෑ

 

ගේය පද – රඹුකන සිද්ධාර්ථ හිමි

සංගීතය - නාලක අංජන කුමාර

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

 

ඒ සොඳුරු බවේ සුන්දරත්වය අතරතුර අතීතය පිළිබඳ වූ සිතුවිලි නිරතුරුව මා මතකයට පිවිසේ. එවිට මම ඒ අතීතය පිළිබඳ සිතුවිලිවලට නැවතත් හදවතට පිවිසෙන්න ඉඩ හරිමි. ඒ අතීතයේ සිතුවිලි අතරෙන් මට ඇසෙන්නේ කරුණාරත්න දිවුල්ගනේගේ මියුරු ස්වරයයි. මම ඒ මියුරු ස්වරයට මගේ සිත යොමු කරමි. ඒ ගීතයේ පදවැල්වල අරුත සොයා මම දිගු ගමනක නිරත වෙමි. ජීවිතයෙහි තිබෙන්නා වූ අවිනිශ්චිත බව මෙන්ම අස්ථිරසාර බව කොතරම් ද යත් වැටහෙන්නේ එවිටය. ඒ ඔස්සේ අතීතය පිළිබඳ සිතන සමහර විට මා මුවට නැගෙන්නේ සිනහවකි.

මනුරංග විජේසේකර නම් යෞවනයාගේ හදවත රැඳුණු මේ ගීතය ද ඔහුගේ අතීතය හා බැඳී ඇත.
 

කටු අකුලේ මල් ඇහැරේ

රළු අහසේ තරු හිනැහේ

රළු අහසේ තරු හිනැහේ

කටු අකුලේ මල් ඇහැරේ
 

තුඩින් තුඩේ රැව් නැගේ

කුරුලු ගී ගායනා

කුළින් කුළේ වැගිරෙතේ

සුදු වලා පාවෙනා
 

ළමයින් සුවඳයි කඳුළක දිලිසෙයි

අඳුරු විමානේ රන්මිණි පහනයි

අනාථ දෑසේ කෙම්බිම ඔබමයි

මිලාන ලෝකේ හසරැලි උයනයි
 

ගේය පද – බන්දුල නානායක්කාරවසම්

සංගීතය – ආනන්ද ගමගේ

ගායනය – එඩ්වඩ් ජයකොඩි සමඟ ටිලානි අමරසිංහ

 

 

(ටී. බී. ඉලංගරත්නගේ ‘අඹ යහළුවෝ’ කෘතිය ඇසුරු කර ගනිමින් සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යයට ගායනා කරන ලද ගීතයකි).

කුඩා ළමුන් පිරිසක් දුව පැන නටන අයුරු මට පෙනේ.

අවට සියල්ලන්ම අමතක කරමින් දුව පැන නටන මේ කුඩා දරුවෝ කොතරම් නිදහස් පිරිසක් ද යන සිතුවිල්ල මගේ සිතට පිවිසෙන්නේ නිතැතිණ. එවැනි කුඩා අවදියක් අපටත් තිබුණා නොවේදැයි මා සිත අතීතය සොයා පියමං කරන්නේ ද එසැනෙනි.

කුඩා කළ අම්මාගේත්, අප්පච්චිගේත් තුරුලෙහි ගෙවූ ඒ සොඳුරු අතීතය කෙතරම් සොඳුරුද? එහි වූ සොඳුරු බව නියම අයුරෙන් සිතට දැනෙන්නේ තරුණ වියට පා තැබූ කල ය. එකල මෙන් මෙකල ද මම මව්පියන්ගේ සෙනෙහස සොයා යන බව සත්තය. සිය හදවත රැඳුණු සෙනෙහස උතුරා ගලන අම්මාගේත්, අප්පච්චිගේත් ආදරයට මැදිව සෙනෙහස විඳීන බව ද සත්තය. එනමුදු කුඩා කල මෙන් ඇගේ ඇකයෙහි හිස තබා, ඈ ළඟම වෙලී සිටින්නට මට නොහැකි බව මතකයට නැගෙන කළ මගේ සිතට පිවිසෙන්නේ සිහින් රිදුමකි.

කුඩා කල පටන් සිය පණ දෙවැනි කොට ගනිමින් රක්ෂා කළ ඔවුහු මට පරිසරය හා ළබැඳී අපූූර්ව සබැඳීයාව කියා දුන්හ. ඒ පරිසරයෙහි වූ කුරුළු හඬ අසා සිටින්නට මට ඉගැන් වූ අම්මේ, නුඹ අද මට ඒ කුරුළු හඬ අසන්නට යැයි නොකියන බව මම දනිමි.

කුඩා දරුවකු ලෙස එකල ගෙවූ ඒ සොඳුරු දිවිය සිහිපත් කරන මේ ගීතයට මම හදවතෙන් බැඳුනේ එකලමය. එමෙන්ම මේ ගීතය මට සිහිපත් කරන්නේ එකල කුඩා අපගේ සිත බැඳුණු ටෙලි සිත්තමක් වූ ‘අඹ යහළුවෝ’ය. ඒ සොඳුරු ටෙලි සිත්තම නරඹන්නට පුරුදු පුහුණු කළ ඔබලා දෙදෙනාගේ රුව මගේ දෙනෙතෙහි ඇඳී නෑදී යයි. මම ඒ සොඳුරු අතීතය සොයා පියමං කරමි.

‘අඹ යහළුවෝ’ හි පණ පොවන සුදු අප්පෝට එකල මම බෙහෙවින් පෙම් කළෙමි. එපමණක් නොවේ, අවිහිංසක නිමල්ගේ සොඳුරු ගති ගුණවලට අපි ඊටත් වඩා පෙම් කළෙමු. නපුරු මෛත්‍රී පිළිබඳ අපගේ සිතෙහි ඇති වූ සිතුවිලි ඊට හාත්පසෙන්ම වෙනස් වූවකි. ‘අඹ යහළුවෝ’ විකාශය වන කාලය ඒ තරමටම අපගේ සිත සොඳුරු පැතුම් අතර සැරි සරන්නට ඉඩහසර පෑදුවේ අපූර්ව අයුරෙනි.

කුමන කාර්යයක නිරතව සිටිය ද ඒ ගුවන් කාලය සොයා අප රූප පෙට්ටිය අසලට ඇදෙන්නේ නිතැතිනි. අපගේ මතකයෙහි රැෙඳන්නට දිගු කාලයක් ගත නොවීය. ඒ තරමටම ඒ සොඳුරු ගීතයට මම කුඩා කල ආශක්ත වී සිටි අයුරු මගේ මතකයට නැගේ. අද ද මේ ගීතයට මම නිරතුරු ආදරය කරමි. ඒ සොඳුරු කුඩා විය සිහිපත් කරන මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි.

ගීතය ගයන එඩ්වඩ් ජයකොඩි ගායකයාණන් ගේ මියුරු ස්වරයත්, බන්දුල නානායක්කාරවසම්ගේ සොඳුරු ගී පදත්, ආනන්ද ගමගේගේ සංගීතයත්, අපූර්ව සුසංයෝගයකි. ඒ් සුසංයෝගයේ අපූර්ව ස්වරය මගේ සිත ගීතය වෙතම බැඳ තබන්නට සමත් වූ අයුරු විටෙක පුදුමාකාරය. විටෙක අපූර්ව යැයි මට නිරතුරුවම සිතේ.