වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




40 පිරුණ අහස් ගව්ව පසුපස රස කතා රැසක්

40 පිරුණ අහස් ගව්ව පසුපස රස කතා රැසක්

නිෂ්පාදක මිත්‍රරත්න හේරත් හෙළි කරයි

සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටයක් වූ ධර්මසේන පතිරාජගේ අහස් ගව්වට පසුගියදා හතළිස් වසර සපිරිණි. මේ එදා චිත්‍රපටය පසු පස සිදු වූ රස කතා පෙළක අවර්ජනයකි. චිත්‍රපටයේ නිෂ්පාදක මිත්‍රරත්න හේරත් සමඟ අප ඒ කතන්දර අසමු.

* ‘අහස් ගව්ව’ට පෙරාතුව ඔබගේ සිනමා සහභාගිත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔබ කොහොමද ‘අහස් ගව්ව’ නිෂ්පාදකයා බවට පත් වන්නේ?

ඒක හරි අපූරු කතාවක්. කලං (අමරසිරි කලංසූරිය) මහනුවර ධර්මරාජයේ මගේ පන්ති මිතුරෙක්. 1970 දශකයේ මුල එක්තරා දිනයක ඔහු මා හමුවන්නට ආවේ විශේෂ යෝජනාවක් රැගෙන. ඒ වන විට ඔහු ‘හන්තානේ කතාව’, ‘රැයත් දවාලාත්’, ‘නිම්වළල්ල’ වැනි චිත්‍රපට දෙක තුනක රඟපා තිබුණා.

කලං මට යෝජනා කළේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නටයි. ධර්මරාජයේ අපට වසරකින් පමණ බාල සිසුවකුව සිටි, සරසවි ඇදුරකු වූ ධර්මසේන පතිරාජ මෙහි අධ්‍යක්ෂවරයා බවයි කලං කියා සිටියේ. මා පතී (ධර්මසේන පතිරාජ)වත් හොඳින් දන්නවා. නමුත් සිනමාව කෙරෙහි මගේ කිසිදු උනන්දුවක් තිබුණේ නැහැ. පාසලෙන් ඉවත් වූ පසු මා මහියංගන ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු සඳහායි කාලය මිඩංගු කළේ.

කෙසේ නමුත් කලංගේ ඇවිටිලි කිරීම මඟ හරින්නට මට නොහැකි වුණා. ඒ අනුව මහනුවර නගරයේ එක්තරා අවන්හලකදීයි අපේ මූලික සාකච්ඡා සිදු වුණේ. එතැනට කලං සමඟ පතී ද පැමිණියා. අවන්හලේදී ගත වූ හෝරා කිහිපය අප අතර ඇති කළේ පෙර නොවූ බැඳීමක්. අන්තිමේදී නිෂ්පාදක වියදම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි නිසා මා තීරණය කළා මේ ‘අහස් ගව්ව’ නිෂ්පාදනය කරන්නට.

* අප අසා ඇති අන්දමට ‘අහස් ගව්ව‘ට අහම්බෙන් එක් වූ අය ද සිටිනවා. මා කැමතියි ඒ ගැන ඔබේ මතකය අවදි කරන්න?

‘අහස් ගව්ව’ නිෂ්පාදන කටයුතු සඳහා සූදානම් වන සමයේ එක් හැන්දෑවක මා මහියංගන තානායමට ගොඩ වැදුණේ සැහැල්ලු මිතුරු ඇසුරකට. එහිදී එක් නාඳුණන පුද්ගලයකු මා හා වාදයකට පැටළුණා. වාදය උද්වේගකර වූයේ මා තුළ යම් චකිතයක් ඇති කරමින්. එතැන සිටි අයකු කීවේ මේ අභිනවයෙන් මහියංගනයට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වින් වික්‍රමරත්න බවයි. මා හිමින් සිරුවේ එතැනින් ලිස්සා ගියා.

පසු දිනෙක මහියංගන තානායමේදී ඔහු මට මුණ ගැසුණේ වෙනස් විදියකට. වේටර්වරයකුගේ දැනුම්දීම පරිදි මා ඔහුව මුණ ගැසුණා. බදුල්ල ප්‍රදේශයේදී ක්‍රියා විරහිත වූ ඔහුගේ මෝටර් රථය අලුත්වැඩියා කරගත යුතුවයි තිබුණේ. මුළු රාත්‍රියම ගත කොට මා එම කටයුත්ත සිදු කර දුන්නා. මගේ ව්‍යාපාරික සම්බන්ධතා ජාලය ගැන ඔහු දැනගෙන සිටින්නට ඇති. ඉන් අනතුරුව ඔහු හා මා අතර ඇති වූයේ දැඩි ලෙන්ගතුකමක්.

‘අහස් ගව්ව’ ගැන දැනගත් ඔහු මගෙන් ඉල්ලා සිටියේ එහි චරිතයක් නිරූපණය කරන්නට අවස්ථාවක් ලබා දෙන ලෙස. මා එය පැහැර හැරියේ නැහැ. ඔබට මතක ඇති චිත්‍රපටයේ අවසන් අදියරේදී විජේ (අමරසිරි කලංසූරිය) පොලිස් සිර මැදිරියේ රඳවන අවස්ථාව. මහතුන් (විජය කුමාරතුංග) පොලිස් පරික්ෂකවරයා හමුවට යන්නේ විජේට ඇප ලබා දෙන ලෙස ඉල්ලීමට. මේ පොලිස් පරීක්ෂකවරයාගේ චරිතය නිරූපණය කරන්නේ මන්ත්‍රී එඩ්වින් වික්‍රමරත්නයි. ඔහු දේශපාලනඥයකු වූ සොඳුරු මිනිසෙක්.

මේ ඔබේ ප්‍රශ්නයට එක් පිළිතුරක් පමණයි. ප්‍රවීණ පුවත්පත් කලාවේදී පී. බී. ඉලංගසිංහ ද මෙහි ජවනිකා කිහිපයකට පෙනී සිටිනවා. ඔහු ධර්මරාජයේ අපේ මිත්‍රයෙක්.

ඒ විතරක් නොවෙයි විජේගේ පෙම්වතිය සේ රඟන තරුණිය ද අපට හමු වුණේ අහම්බෙන්.

මාත් තත්පර ගණනාවකට තිරයේ පෙනී සිටිනවා. තෙල් බෙහෙත් විකුණන්නා (පියසේන අහංගම) වටා සිටි පිරිස අතර මා සිටින්නේ පටිගත කිරීමේ යන්ත්‍රයක් අතැතිව.

* චිත්‍රපටයේ සෑහෙන කොටසක් වෙන් වන්නේ තරුණ පිරිස සහභාගී වන විනෝද චාරිකාවට. ඔබත් ඒ රූගත කිරීම් සඳහා එක්වන්නට ඇති. රසබර අත්දැකීම් ද ලබන්නට ඇති?

ඇත්තෙන්ම ‘අහස් ගව්ව’ විනෝද චාරිකාව අප සියලු දෙනාගේම විනෝද චාරිකාවක්. රූගත කිරීම් කළේ කල්පිටියේ. එදා කල්පිටිය දුෂ්කර පළාතක්. අපට ඒ හැටි පහසුකම් තිබුණෙත් නැහැ.

එහි විසූ තරුණ ධීවර ව්‍යාපාරිකයකු අපට හමුවුණා. ඔහුගේ නවාතැන ළං වුණේ කල්පිටියට නෙවෙයි, සියලු පහසුකම් සහිත නගරයටයි. මේ පාලු හුදෙකලා ප්‍රදේශයේදී අපව උණුසුම් කළේ ඔහුගේ සත්කාරයි. ආහාර පාන සේම මෝටර් බෝට්ටු පවා ලැබුණේ ඔහුගේ අනුග්‍රහයෙන්. මෙතැනදියි පතී ‘බඹරු ඇවිත්’ ගැන කල්පනා කරන්නට පටන් ගත්තේ. ඔහු ඒ බව මීට පෙර ද කියා තිබෙනවා. ‘බඹරු ඇවිත්’ හි වික්ටර් (විජය කුමාරතුංග) රඟපාන චරිතයට මුල් වුණේ අර තරුණ ධීවර ව්‍යාපාරිකයායි.

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ පියා ද අපත් සමඟ කල්පිටිය චාරිකාවට එක් වුණා. කෙටි ජවනිකාවකට ද ඔහු පෙනී සිටියා. වසර ගණනාවකට පසුව ‘අහස් ගව්ව’ නරඹන හැම විටකදීම මා ‘කල්පිටිය’ චාරිකාව හා එක් වන්නේ නිරායාසයෙන්. මේ පතී, කළං, කොස්තා, බන්දු, විතානගේ, වික්‍රම බෝගොඩ, ස්වර්ණා හා මගේ උද්‍යෝගිමත් තරුණ කාලය. ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙය වූයේ තරුණ ජවය හිතට අරන්.

* ‘අහස් ගව්ව’ ප්‍රදර්ශන කාර්යය සඳහා ඔබ දැරුවේ කවර වෙහෙසක්ද?

‘අහස් ගව්ව’ මගේ පළමුවැනි චිත්‍රපට නිෂ්පාදනය යථාර්තයක් වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සහායද සමඟින්. පතී ඊට මැදිහත් වුණා. සාමාන්‍යාධිකාරී ඩී. බී. නිහාල්සිංහ ගුවන් විදුලි ප්‍රචාරක කටයුතු ඇතුළු අංශ ගණනාවකටම ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහය ලබා දුන්නා. ජාතික චිත්‍රපට සංස්ථාව මෙසේ අනුග්‍රහය දැක් වූ පළමු චිත්‍රපටය වන්නේ ‘අහස් ගව්ව’යි.

මට අවශ්‍ය වුණේ ‘අහස් ගව්ව‘ කෙසේ හෝ සිලෝන් තියටර්ස් ශාලාවල ප්‍රදර්ශනය කරන්නට. ඒ සඳහා මා සිලෝන් තියටර්ස් අධිපති චිත්තම්පලම් ඒ. ගාඩිනර් හමුවන්නට ගියේ පියසේන අහංගම සමඟ. අප තුළ වූ දෙගිඩියාව පහව ගොස් ‘ගට්ස්’ ලැබුණේ අවන්හලක් හරහා ආ නිසයි. එහෙත් ‘අහස් ගව්ව’ සිලෝන් තියටර්ස් සිනමා ශාලාවල ප්‍රදර්ශනයට චිත්තම්පලම් ඒ. ගාඩිනර් එකඟ වුණේ නැහැ.

නීල් වික්‍රමරත්න කියා මගේ හිතවතකුª සිටියා. ඔහු පොරොන්දු වුණා ‘සිලෝන් තියටර්ස්’ යටතේ ‘අහස් ගව්ව’ ට අවකාශ ලබා දෙන්නට. ඔහු අපවත් කැටුව එවක විරුද්ධ පක්ෂයේ සිටි හිටපු අගමැති ඩඩ්ලි සේනානායක හමුවන්නට ගියා. ‘අහස් ගව්ව’ ගැන සලකා බලන ලෙස ඩඩ්ලි සේනානායක, චිත්තම්පලම් ඒ. ගාඩිනර්ට දුන් ලිපියෙන් ද පලක් වුණේ නැහැ.

ඊළඟට නීල් අපව කැටුව ගියේ සිලෝන් තියටර්ස් කොටස් හිමියකු ද වන රොබට් සේනානායක කරායි. ඒ ප්‍රයත්නය නම් සාර්ථක වුණා. අන්තිමේදී 1974 ජනවාරි 24 දා සිට ‘අහස් ගව්ව’ පිටපත් 18 ක් සිලෝන් තියටර්ස් යටතේ ප්‍රදර්ශන කාර්යය ආරම්භ කළා.

තනි නිෂ්පාදකයකුª ලෙස එදා මා ලද පීඩනය මාව අධෛර්යමත් කළේ නැහැ. චිත්‍රපට නිෂ්පාදනයට වඩා චිත්‍රපට ප්‍රදර්ශනය අදත් අසීරු කාර්යයක්. ආපසු හැරී බලද්දී නම් මට එම අත්දැකීම් සම්බන්ධයෙන් දැනෙන්නේ උපේක්ෂා සහගත හැඟීමක්.

* සාමාන්‍යයෙන් චිත්‍රපටයක මංගල දර්ශනයකට ඇරියුම් ලබන්නේ චිත්‍රපටයට සම්බන්ධ ශිල්ප ශිල්පිනියන්, වෙනත් කලාකරුවන් කලාකාරියන්. එසේම ප්‍රභූවරුන්. අප අසා ඇති අන්දමට ඊට වෙනස් ආකාරයකිනුයි ‘අහස් ගව්ව’ මංගල දර්ශනය පැවැත්වුණේ?

ඇත්තෙන්ම මෙයත් වරින් වර හෝ සිහිපත් කරමින් සතුටු විය හැකි අත්දැකීමක්. ‘අහස් ගව්ව’ හි මුඛ්‍ය තේමාව වුණේ නාගරික පහළ පංතික තරුණයන්ගේ විරක්ෂාභාවය. ඒ වන විටත් තරුණයන්ගේ විරක්ෂාභාවය බරපතළ ගැටලුවක්. රැකියා අපේක්ෂිතයන් ලියාපදිංචි කරන කාර්යාලයකුත් රජය විසින් පිහිටවනු ලැබ තිබුණා. පතීට අවශ්‍ය වුණා රැකියා විරහිත තරුණයකුගේ මූලිකත්වයෙන් මංගල දර්ශනය පවත්වන්නට. පතී, මා ඇතුළු දෙතුන් දෙනෙකු අර කාර්යාලය කරා ගියා. එතන දිගු පෝලිමක්. එහි සිටි තරුණයකුයි අප ‘අහස් ගව්ව’ මංගල දර්ශනයේ ප්‍රධාන අමුත්තා සේ තෝරා ගත්තේ. අපේ ඇරියුමෙන් ඔහු මහත් සේ කලබල වුණා. එහෙත් කෙසේ හෝ ඔහුයි ‘අහස් ගව්ව’ විවෘත කළේ.

* ‘අහස් ගව්ව’ එවක ජනප්‍රිය වූ චිත්‍රපටයක් වුණේ නැහැ. නමුත් ජනප්‍රිය වීමට තුඩු දෙන ලක්ෂණ එහි ඕනෑ තරම් තිබුණා. ප්‍රදර්ශන කාර්යයේදී ඔබ ලද අත්දැකීම් මොනවාද?

ඇත්තෙන්ම ‘අහස් ගව්ව’ ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් නොවෙයි. එහෙත් ගෙවී ගිය 40 වසර පුරාවටම ‘අහස් ගව්ව’ නැරැඹූ බොහෝ දෙනෙකු සිටිනවා. විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, පාසල් සේම විවිධ බහුජන සංවිධාන ඔස්සේ ‘අහස් ගව්ව’ දිගින් දිගටම ප්‍රදර්ශනය කෙරෙනවා. අදටත් ඉඳහිට හෝ ‘අහස් ගව්ව‘ විශේෂ ප්‍රදර්ශන සඳහා ඉල්ලීම් කෙරෙනවා. චිත්‍රපටයෙන් ලාභයක් නොලැබුණත් එය මෙරට සිනමාවේ අලුත් ගමනක ආරම්භයක් වීම ගැන මට ඇත්තේ නොසිෙඳන සතුටක්.

චිත්‍රපටය නිමා වන්නට ආසන්නව ගුණේ (විමල් කුමාර ද කොස්තා) රිය අනතුරකින් මිය යනවා. දැන් ඔහුගේ අවසන් කටයුතුª සිදු කෙරෙන අවස්ථාවයි. විජේ (අමරසිරි කලංසූරිය) මහතුන්(විජය කුමාරතුංග) හා බන්දු (වික්‍රම බෝගොඩ) දුක්බරව බලා සිටිනවා. පසුබිමෙන් මන්දගාමීව ගැයෙන්නේ ‘ඉරා අඳුරුපට’ ගීයයි. එවක ඇතැම් ප්‍රේක්ෂකයන් කල්පනා කළා දැන් ඉතින් චිත්‍රපටය අහවරයි කියා. එකා දෙන්නා නැගිට සිනමා ශාලාවෙන් නික්මෙන්නට පටන් ගන්නවා. මෙය මා චිත්‍රපටය ප්‍රදර්ශනයේදී මුහුණ දුන් ප්‍රශ්නයක්.

* දැන් ඉතින් ’අහස් ගව්ව‘ට අවුරුදු 40 ක්. එදා ‘අහස් ගව්ව’ට එක් වූ තරුණයන් ද අද අවුරුදු 40 කින් වියපත් වෙලා. සමහරු ජීවිතය හැර ගිහින්?

අවුරුදු 40 ක් ගත වුණත් අදත් ‘අහස් ගව්ව’ මගේ ජීවිතයේ කොටසක්. අදත් බොහෝ දෙනා මාව හඳුනා ගන්නේ ‘අහස් ගව්ව’ නිෂ්පාදකවරයා ලෙසින්.

‘අහස් ගව්ව’ට එක් වූ හැම දෙනාම වගේ අදටත් මගේ මිතුරන්. පතී, කලං, කොස්තා, තෙන්නෙ සේම නිව්ටන් පෙරේරා වැනි සහෘදයන් අදත් මා සමඟ සමීපව ඇසුරු කරනවා. ඇතැම් උණුසුම් හැන්දෑ වරුවක අප දොඩමළු වන්නේම ‘අහස් ගව්ව’ ගැනයි.

වික්‍රම බෝගොඩ, ශාන්ති ලේඛා, පියසේන අහංගම සේම විජය මගේ බාල සොහොයුරු පියල් ද ජීවිතය හැර යන්නේ ‘අහස් ගව්ව’ පිළිබඳ මතකය අප අතර තබමින්.