වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මේ චෝදනාව පසුපස ඉන්නේ කවුදැයි මා දන්නවා

මේ චෝදනාව පසුපස ඉන්නේ කවුදැයි මා දන්නවා

- පද්මසිරි කොඩිකාර

එක්තරා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයකු තමාට අයුතු යෝජනාවක් හා බලපෑමක් කළ බවට චෝදනා නගමින් ඉකුත් සරසවිය පුවත්පතට නව පරපුරේ නිළියක් කර තිබූ ප්‍රකාශය ක්ෂේත්‍රය පුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. අප එම ලිපිය පල කළේ එකී අධ්‍යක්ෂවරයාගේ නම් ගම් කිසිවක් සඳහන් නොකරය. ඒ අතර එම සිද්ධියට සම්බන්ධ අධ්‍යක්ෂවරයා පද්මසිරි කොඩිකාර බව එක්තරා ජාතික පුවත්පතක් එලිපිටම ප්‍රකාශ කර තිබුණි.

එම නිළියගේ ප්‍රකාශය සාවද්‍ය බවත්, තමාට ඊට පිළිතුරු සැපයීමට අවැසි බවත් පවසමින් පද්මසිරි කොඩිකාර අප හා මෙම සංවාදයට එක් වූයේ ස්වේච්ඡාවෙනි.

මේ සංවාදයට ඉඩ හසර වෙන් වන්නේ ඒ අනුවය.

* තරුණ නිළියකගෙන් ඔබට චෝදනාවක් එල්ල වී තිබෙනවා. අපි ආරම්භයටම ගිහින් මේ ප්‍රශ්නය ගැන කතා කළොත් හොඳයි?

‘ කෝරළේ මහත්තයා - 03’ ටෙලි නාට්‍යයේ වැඩ පටන් ගන්නකොට මට අවශ්‍ය වුණා ‘මුතූ’ ගේ චරිතයට නවක නිළියක් හඳුන්වා දෙන්න. මේ ගැන මම මුලින්ම කියන්නේ මගේ පුතා විශ්වට. මොකද ඔහු සමඟ තමයි ඒ චරිතය රඟපාන්න තියෙන්නේ. ඊට පස්සේ විශ්ව මේ ගැන උනන්දු වෙලා මට මේනකා පීරිස් යෝජනා කරනවා. දුරකතනයෙන් අපි සාකච්ඡා කරලා මුතූගේ චරිතයට ඇය තෝරා ගන්නවා. නමුත් අවසානයේ ඇයට දින ප්‍රශ්නයක් එනවා. දින පහළොවක මගේ ෂෙඩුල්ඩ් එකට එයාට පුළුවන්කම තිබුණේ දින තුනයි. ඇය ඉතා කැමැත්තෙන් හිටියේ මේකට සම්බන්ධ වෙන්න. නමුත් මේ දින ප්‍රශ්නය ඒකට හරස් වුණා.

* ඊට පස්සේ ඔබ විකල්පයකට යනවා?

ඔව්. ඊළඟට මම බැලුවේ වැඩිය කාර්යබහුල නැති, කලින් රඟපාලා තියෙන නිළියක් මේකට සම්බන්ධ කර ගන්න. ඔය අනුව මගේ යාළුවෝ කීප දෙනකුටම ඒ ගැන කියනවා. එක්තරා පුවත්පත් කතුවරයෙක් තමයි මට මේ නිළිය එවන්නේ. සුදර්ශී ශාලාවේදී ඇය මුණ ගැසෙන්නේ ඒ අනුවයි. එතනදි ඇයගේ ඡායාරූප කිහිපයක් මට පෙන්නනවා. මගේ සහාය අධ්‍යක්ෂවරයා සුරෙශ් කුමාරසිංහත් එවෙලේ එතැන සිටියා. තව ගැහැනු ළමයි හත් අට දෙනෙකුත් එදා මා මුණ ගැහෙන්න ඇවිත් හිටියා. පස්සේ අපි දිනයක් දන්වන්නම් කියලා මේ අය පිටත් කර හරිනවා.

* මුතූගේ චරිතයට ඇය සුදුසුයි කියා ඔබ එදා තීරණය කරනවාද?

ඒ ආපු අයගෙන් කවුරුවත් ඒ චරිතයට සියයට සීයක් ගැළපුණේ නැහැ. නමුත් අනෙක් අයට වඩා තරමක් දුරට මේ ළමයා ගැළපෙන බව මට හිතුණා. ඔය අතරේ මම නැවතත් විශ්වට කතා කරනවා ‘මේනකා බිසී, අපි මුතූගේ චරිතයට කවුරු හරි හොයමු’ කියලා.

* ඒ කියන්නේ ඒ වෙනකොටත් ඔබ අර නිළිය තෝරාගෙන හිටියේ නෑ?

නෑ. මම කවුරුවත් එහෙම තෝරා ගත්තේ නෑ. සුදර්ශියේදී අර ගෑනු ළමයා මට මුණ ගැසුණේ ජනවාරි මාසේ මුල් සතියේ. ජනවාරි දෙවැනි සතියේත් මම නැවත වරක් කොළඹ එනවා. සිනමාව සම්බන්ධ මීටින් එකක් එදා තිබුණා. ඒ වැඩේ ඉවර වෙලා මම අර ළමයට දුරකතනයෙන් කතා කරනවා. ඒ වෙනකොට එයා ඉන්නේ කිරුලපන කිව්වා. මම හිටියේ පොල්හේන්ගොඩ. මම කිව්වා පොල්හේන්ගොඩ සිග්නල් ලයිට් තියෙන තැනට එන්න කියලා. ටික වෙලාවකින් එතැනට මේ ළමයා ආවා ත්‍රී රෝද රථයකින්.

* ඊට පස්සේ?

මගේ කාරෙකේ නැගලා අපි සුදර්ශියට එනවා. ඊට පස්සේ මම මේ ළමයගෙන් අහනවා ප්‍රශ්න කිහිපයක්. ගම කොහෙද ඇහුවාම කළගෙඩිහේනේ කිව්වා. ඊට පස්සේ මම අහනවා ‘මෙහෙ කොහෙද ඉන්නේ’ කියලා. ‘සීබල් ඇවනියු’ කිව්වා. ආයේ මම අහනවා ‘නෑදෑ ගෙදරක්ද?’ නෑ මම එපා(ර්)මන්ට් එකක ඉන්නේ. ඒකට මාසෙකට රුපියල් 35,000 ක් ගෙවනවා කියලා. ‘තනියම’ ඉන්නේ කියලත් කියනවා. අන්න එතනදි මට තරමක කුතුහලයක් ඇති වෙනවා.

* ඇයි ඒ කුතුහලය?

රුපියල් 35,000 ක් ගෙවනවා. නමුත් යන්නේ ත්‍රී විලර් එකෙන්. අපි දන්න සමාජ මට්ටම අනුව මාසෙකට තමන් ඉන්න තැනට ඒ වගේ මුදලක් ගෙවන කෙනෙක් අඩු තරමේ මොනවා හරි කාරෙකක් පාවිච්චි කරනවා. හැබැයි මෙයා යන්නේ ත්‍රීවිලර් එකේ.

* ඒක අනවශ්‍ය ප්‍රශ්න කිරීමක්ය කියා ඔබට හිතුණේ නැද්ද?

දැන් මේ ළමයා මේ චරිතයට ගන්න හිතාගෙනයි මම මේවා අහන්නේ. මේ ළමයාට මම කියනවා අපි ඉස්සර නම් මේවා ඇහුවේ නෑ, ඒත් අද ක්ෂේත්‍රයේ තියෙන තත්ත්වයත් එක්ක මේවා අහන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. සමහර විට ඒ බැක් ග්‍රවුන්ඩ් එක විතරක් නෙවේ ඉස්සරහට ග්‍රාම සේවා සහතික, පොලිස් වාර්තා වුණත් ගේන්න වෙයි කියලත් කිව්වා. ඒ නිසා මට ඇත්ත කියන්න කවුද ඔයාට මේවාට උදවු කරන්නේ කියලා මම ඇහුවා. ඊට පස්සේ මේ ළමයා මට කියනවා අහවල් අයියා මේකට මට උදවු කරනවා කියලා.

* ඔය කියපු අයියා අපේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?

ඔව්. අපි දන්න කියන කෙනෙක්. ඊට පස්සේ මම මේ ළමයට කියනවා, මට කිව්වට කමක් නෑ, වෙන කෙනෙකුට ඒක කියන්න එපා කියලා. එයා මගේ යාළුවෙක්. එහෙම කිව්වම ඔයාටත්, එයාටත් දෙන්නටම ඒක හොඳ නෑ කියලා මම බොහොම සුහදව කරුණු පැහැදිලි කරලා දුන්නා. එයා ඒක පිළිගත්තා.

* එතනින් පස්සේ මොකද වුණේ?

වැරදි අඩුපාඩු තිබුණත් ඒ ළමයාව මුතුගේ චරිතයට ගන්න ඒ වෙනකොට මම තීරණයක් අරගෙන ඉවරයි. අලුත් ළමයෙක් ආවාම මම හැමදාම කරන දෙයක් තමයි ශ්‍රී නිමල් පද්මකුමාර ලවා කටහඬ වගේම දෙබස් උච්චාරණය ගැන පරීක්ෂණයක් කරන එක. දැන් සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයවල රිහෙසල් කරන්නේ නෑනේ. මම මේකෙ කළා. ඒ මොකද මම උත්සාහ කළේ ඩයලොග් ඩිලිවරි එක මේ අයගේ හරියට තියාගන්න. වෙස්ටන් විදිහට ඩයලොග්ස් කියලා හුඟක් අයට මේ වගේ ගැමි චරිතයක් රඟපාන කොට එන්නෙම නෑ ඒ නියම උච්චාරණය. ශ්‍රී නිමල් රිහේසල් එක බලලා කිව්වේ ටිකක් මහන්සි වුණොත් අපිට හදලා ගන්න පුළුවන් කියන එකයි.

* පුහුණුවීම් කටයුතු සිදු වුණේ කොහේදී ද?

සුදර්ශියේ . . . සුදර්ශියේ.

* ඔබ, ඒ නිළිය ගල්කිස්සේ හෝටලයකට රැගෙන ගොස් අයුතු යෝජනාවක් කළ බව ඈ කියනවා. ඒක බරපතල චෝදනාවක්?

ඔය පත්තරේ තියෙන විදිහට මම ඒ අයුතු යෝජනාව කරලා තියෙන්නේ පළමු හමුවේදී. මම දන්නේ නෑ ඒ තත්ත්වයටම මිනිස්සු මේ රටේ ඉන්නවාද කියලා.

* එතකොට එහෙම සිදුවීමක් වුණේ නැහැ?

නෑ. ඇත්තටම නෑ. මෙහෙමයි මට ඕනෑ වෙලා තිබුණේ මේ චරිතයට ගැළපෙන කෙනෙක් මිසක් වෙන දෙයක් නෙවෙයි. මට ලොකු ඔළුවේ කැක්කුමක් වෙලා තිබුණේ. මොකද ෂූටිංවලට ඒ වෙන කොට තිබුණේ දින තුනයි. ඒත් ප්‍රධාන නිළිය නෑ. එහෙම ප්‍රශ්නයක් මට තිබුණේ.

* ඒත් අවසානයේ ඔබට ඇය තෝරා ගන්න සිදු වෙනවා?

මේ චරිතයට මම මුලින්ම කතා කරපු කෙනාට ආයේ කතා කළා. ඒත් දින ප්‍රශ්නය යළිත් ආවා. ඒ නිසා තමයි වැරැදි අඩුපාඩු තිබුණත් මට අර නිළියවම මේකට ගන්න සිදු වුණේ.

* පිටපත් රචකයා ඇය ඒ චරිතයට සුදුසුයි කිව්වත් ඔබ එය මායිම් නොකළ බවකුයි ඈ කියන්නේ?

පිටපත් රචකයා වුණත් ඒ අදහස් නළු, නිළියන්ගේ මූණට කියන්නේ නෑනේ. මට තමයි කිව්වෙ. අපිට මෙයා හදලා ගන්න වෙයි කියන එක තමයි ඔහුගේ මතය වුණේ. ඒ ළමයාගේ ඇස් දෙක ලොකුයි. කතා කරන වෙලාවට තවත් ඇස් ලොකු කරලා කතා කරන්න තමයි එයා පුරුදු වෙලා හිටියේ. ගෙදර කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලලා ඒ වැරැදි නිවැරැදි කරගන්න. මම ඇයට උපදෙස් දුන්නා. අර රිහේසල් එක වෙලාවේ එයාව අඳුරන්නේ නෑ වගේ මම හිටියා කිව්වනේ. එහෙම හඳුනන බව කිව්වා නම් මම ෆේවරේෂන් එකක් කළා වෙනවානේ. මට ඕනෑ වුණේ ඒ පිරිස අතරින් වඩාම ගැළපෙන කෙනා චරිතයට තෝරා ගන්නයි. ඒ අතරින් ‘මුතූගේ’ චරිතයට ටිකක් හරි ගැළපුණේ මෙයා තමයි.

* ඔබ තනියම ඇයට ඔබේ වාහනෙන් දර්ශන තලයට යන්න කතා කළා කියා ඈ කියනවා?

ඒකත් අමූලික බොරුවක්. මම සාමාන්‍යයෙන් දර්ශන තලයට යන්නේ තවත් කිහිප දෙනෙකු එක්ක. නිතරම මගේ වාහනේ යන කෙනෙක් තමයි ‘පිනා’ ගේ චරිතය රඟපාන මහින්ද පතිරගේ. අපි රන්මිහිතැන්නට යන්නේ ජනවාරි 15 දා. 16 තමයි නැකැතට මුහුරත් උළෙල තියලා රූගත කිරීම් ආරම්භ කළේ. එදා උදේ 6.30 ට විතර පිටත් වෙන්න මම තීරණය කරලා තිබුණේ දවල් 12.30 විතර වෙන කොටවත් රන්මිහිතැන්නට යන්න හිතාගෙන. මොකද මම තමයි ගිහින් ඒ සේරම ඇරේන්ජ් කරන්න ඕනෑ.

* ඇයට කතා කළේ නැහැ ඔබ?

කතා කළා. ඒත් තනියම නෙවෙයි. මහින්ද පතිරගේ සහ ප්‍රියාශා පතිරණ මගෙත් එක්ක යන්න එනකොටත් සූදානම් වෙලා. මම සහාය අධ්‍යක්ෂවරයාගෙන් ඇහුවා වෑන් එකේ කී දෙනෙක් යන්න ඉන්නවද කියලා. එයා කිව්වා දහ දෙනෙක් විතර ඉන්න බව. ඒ පිරිස වැඩි නිසයි මම අර ළමයාට කතා කළේ. ඒත් මම Call  කරන වෙලාවේ තමයි ඇය නින්දෙන් අවදි වෙලා තිබුණේ. පස්සේ මම එයාට අර වෑන් එකේම එන්න කියලා රන්මිහිතැන්නට ගියා. මොකද ඇය සූදානම් වෙලා එනකොට මට ප්‍රමාද වෙන නිසා. මගෙත් එක්ක ගිය සියලු දෙනා ඊට සාක්ෂි.

* ඇය සෙසු පිරිස සමග වෑන් රියෙන් ආවා?

ඔව්. පහුවදා මුහුරත් උළෙල. සාමාන්‍යයෙන් මගේ සිරිත තමයි වැඩක් පටන් ගන්න කොට ඒ ආරම්භක දවසේ මීටින් එකක් තියන එක. මොකද අපි දෙගොල්ලන්ටම එතකොට තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නිසා. මුලින්ම අදහස් පළ කරන්නේ මම. ප්‍රවීණයෝ කිහිප දෙනෙක් කතා කළාට පස්සේ නවකයෙක් හැටියට මේ ළමයත් තමන්ගේ මතය, අදහස් පළ කරනවා. එයා කියනවා මේ වගේ පිළිවෙලකට, සංවරශීලීව කටයුතු කරන නිෂ්පාදනයකට සම්බන්ධ වීම ගැන සතුටුයි කියලා. සියලු දෙනාම ඉදිරියේ ඇය ඒ බව කියන්නේ.

* ඉන් දින දෙකකට පසුව තමයි ඇයට අදාල රූගත කිරීම් තිබුණේ?

අපි රූගත කිරීම් ආරම්භ කළේ 16 වැනිදා. එයාගේ දර්ශන රූගත කරන්න තිබුණේ 18 වැනිදා. මම සාමාන්‍යයෙන් නළු, නිළියන්ට දෙන උපදෙසක් තමයි තමන්ට ෂූටිං නොතිබුණත් සෙට් එකට ඇවිල්ලා මේ ප්‍රවීණයෝ රඟපාන හැටි, දෙබස් උච්චාරණය කරන හැටි පොඩ්ඩක් බලා ගන්න කියලා. මොකද නිකං කාමරවලට වෙලා හිටියම තවත් කතා හැදෙනවනේ.

* ඉතිං මෙයා ඒ උපදෙස් පිළිපැද්දා ද?

මම හිතන්නේ එක දවසක් ද කොහෙද සෙට් එකට ආවා. කොහොම හරි දැන් මෙයාගේ ෂූටිං පටන් ගත්තා කියමුකෝ. මගේ ඔළුවට දාඩිය දාන්න පටන් ගත්තා. ඇයි මෙයාගේ එන්නෙම නෑ අර මට ඕනෑ කරන දෙබස් උච්චාරණය. අඩු වශයෙන් සියයට පනහක්වත් නෑ. මම කියන්නේ නෑ ඇයට රඟපාන්න බෑ කියලා. රඟපෑමයි, මේ ගැමි විදිහට දෙබස් උච්චාරණයයි දෙකක්.

* ඔබේ යෝජනාවලට එකඟ නොවූ නිසා ඇයට රඟපාන්න බෑ කියලා ඒ චරිතයෙන් ඉවත් කළා කියලා තමයි කියන්නේ?

නෑ, මං කොයි වෙලාවෙවත් කියන්නේ නෑ ඒ ළමයාට රඟපාන්න බෑ කියලා. නමුත් ගැටලුව වුණේ ඩයලොග් ඩිලිවරි එක. ඊට පස්සේ මම යනවා ලොකේෂන් එකට යාබදව තිබෙන ‘අම්බලම’ කියන ස්ථානයට. එතැන ඉන්නවා මගේ බිරිය, විශ්වගේ බිරිය, එතකොට මගේ දුව සහ අපේ අනෙකුත් ශිල්පීන්. එහෙම ඉන්න කොට මගේ මූඩ් එක දැකලා වයිෆ් අහනවා මොකද කියලා. මම විස්තරේ කිව්වා. ඇය එතකොට මගෙන් ඇහුවා දැන් ඉතින් මොකද කරන්නේ කියලා. මොනවා කරන්නද දැන් මේ චරිතයට වෙන කෙනෙක් හොයන්න ඕනෑ කියන එක තමයි මගේ පිළිතුර වුණේ.

* ඒ බව ඔබ අදාළ නිළියට පැහැදිලි කර දුන්නාද?

ටික වෙලාවකින් ඇයත් අපි ඉන්න තැනට ආවා. මම එතකොට ඒ සියළු විස්තර කිව්වා. එතනදි මම අවධාරණව කළ දේ තමයි ඔය ළමයට රඟපාන්න බැරි නෑ, නමුත් දෙබස් උච්චාරණය තමයි ගැටලුව කියන එක. ඇය මේකට කරපු කැපවීම නිසාම වෙනත් චරිතයක් ලෑස්ති කර දෙන්නම් කියලත් මම ඇයට කිව්වා. ඒ කියන්නේ අලුතෙන් චරිතයක් නිර්මාණය කරලා දෙන්නම් කියලා. මම කවදාවත් නොකරන දෙයක් ඒ.

* ඒ විදිහේ තීරණයක් ඔබ ගත්තේ ඈ ගැන අනුකම්පාවකින්ද?

පැහැදිලිවම. මොකද මෙයා ලොකුª කැප කිරීමක් කළානේ. දැන් වටේටම කියලා තිබුණා මම ‘කෝරළේ මහත්තයා’ ටෙලි නාට්‍යයේ රඟපානවා කියලා. ඉතිං දැන් මෙහෙම වුණාම මේ ළමයට ලොකු අපකීර්තියක් නේ වෙන්නේ. ඒවා කල්පනා කරලා තමයි මම අර වගේ තීරණයකට එළඹුණේ.

* ඇගේ ප්‍රතිචාරය වුණේ?

එතකොට ඇය කිව්වා, නෑ අයියා මට වෙන චරිතයක් අවශ්‍ය නෑ. මම ආවේ ‘මුතූ’ කරන්න බලාපොරොත්තුවෙන්. ප්‍රශ්නයක් නෑ කියලා. මම ඇයට කනගාටුව පළ කළාම ඇය කිව්වා අයියා එහෙම වෙන්න එපා. එතකොට මටත් දුකයි කියලා. මේ සේරම ඉදිරියේ. පස්සේ මම වයිෆ්ට කියනවා ගිහින් මේ ළමයා කොළඹ යන බස් එකකට ඇරලවන්න කියලා. මේ දවල් 12.30 ට 1.00 ට විතර. ඒත් අපි යන්න කියන්නේ නෑ. මෙයාමයි කියන්නේ මම එහෙනම් දැන්මම බස් එකේ යන්නම් කියලා. පස්සේ ආපහු ලොජ් එකට ගිහින් මෙයා සූදානම් වුණාට පස්සේ මගේ වයිෆ් සහ නිලන්ති හීන්දෙණිය ඇයව බස් එකට දාන්න යනවා. ඇය බස් එකට නග්ගලා සීට් එකකුත් අරන් දීලා බොහොම ගෞරවයෙන් තමයි මේ ළමයා අපි පිටත් කරන්නේ. එහෙම ගිය ළමයා තමයි අර විදිහේ කතා කියලා අද ඔය අභූත චෝදනා නගන්නේ.

* අවුරදු හතළිහක් පුරා ක්ෂේත්‍රයේ රැඳී සිටින ඔබට එවැනි අභූත චෝදනාවක් නගන්න ඇයට තිබෙන වුවමනාව?

දැන් මෙහෙමයි. මට හිතෙන විදිහට මේ ළමයට එහෙම අවශ්‍යතාවක් තිබුණේ නෑ. මේක මගේ මතය විතරක් නෙවේ. සිද්ධිය මුල ඉඳලා දන්න සියලු දෙනාගේ මතය. එතකොට එහෙම නම් කවුරු හරි එයාව පොළඹවන්න ඕනෑ මේ වැඩේට. ඒ පසුපස ඉන්නේ කවුද කියලත් මම දැන් දන්නවා. අර ළමයාගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් මොකක්ද ඇත්ත, නැත්ත කියලා හෘදය සාක්ෂිය ඒකට පිළිතුරු දෙයි. කවුරු කොහොම, මොනවා කිව්වත් හෘර්ද සාක්ෂියෙන් ගැළවෙන්න කාටවත් බෑ. මම එඩී ජයමාන්න, රුක්මණී දේවි, විජය කුමාරණතුංග, එච්. ආර්. ජෝතිපාල වගේම අද ජීවතුන් අතර සිටින ප්‍රවීණ කලාකරුවෝ හැමෝ එක්කම සමීපව වැඩ කරපු කෙනෙක්. ඒ නිසා මේ සිද්ධියෙන් මම ලොකුª සිත් තැවුලකට පත් වුණා.