වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ධ යාන්ත්‍රිකයා ත්‍රිමාණ වේ

අර්ධ යාන්ත්‍රිකයා ත්‍රිමාණ වේ

ඔබ 80 – 90 දශකයන්හි නව යොවුන් විය ගෙවූයෙක් නම් අපරාධකරුවන්ට කිසිදු සමාවක් නොදුන් කොටසක් මිනිසෙකු කොටසක් රොබෝවකු වූ පොලිස් නිලධාරියෙකු වටා ගෙතුණු රෝබෝකොප් වික්‍රමාන්විත චිත්‍රපට මාලාවත් රූපවාහිනි කාටුන් මාලාවත් ඔබගේ මතකයේ ඇතුවාට සැක නැත.

නුදුරු අනාගතය පසුබිම් කරගත් මෙම කතා මාලාව ආරම්භයේදී මරණාසන්නව තුවාල ලබන පොලිස් නිලධාරියාගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වන්නේ ඔහුගේ සිරුරෙන් කොටසක් රොබෝ සිරුරක් හා බද්ධකර රොබෝකොප් නිර්මාණය කිරීමෙන් පමණි.

පළමු රොබෝකොප් චිත්‍රපටය 1987 වසරේදී තිරගත වූ අතර දෙවන හා තෙවන චිත්‍රපට පිළිවෙලින් 1990 හා 1993 වසර වලදි තිරගත කෙරිණි.

1994 වසරේදී ප්‍රථම රෝබෝකොප් රූපවාහිනි කතා මාලාවද විකාශය වූ අතර ඔබත් මමත් නැරඹූ මෙරට විකාශනය වූ රොබෝකොප් කාටුන් වැඩසටහනද 1980 වසරේ නිර්මාණය වුවකි.

දශක දෙකකට ආසන්න කාලයක් නිද්‍රාගතව සිටි මේ රොබෝ මිනිසා ස්වකීය උපන් බිම වූ අමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ශ්‍රී ලංකාවේදී ද යළි පණ ගැන්වෙන්නේ 87 වසරේදී තිරගත වූ පළමු රොබෝ කොප් සිනමා නිර්මාණයේ ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.

අතිවිශාල පිරිවැයක් (අමෙරිකානු ඩොලර් මිලියන 130ක් : රුපියල් කෝටි 1700ක්) දරමින් නිර්මාණය කෙරුණු නව රොබෝ කෝප් චිත්‍රපටය විනාඩි 117ක කාලයක් මුළුල්ලේ 3ච් තාක්ෂණයෙන් පුළුල් තිරයේ දිගහැරෙන මෙම සිනමා නිර්මාණය වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදි දැන් ඔබටත් නැරඹීමේ අවස්ථාව උදාවී ඇත.

ප්‍රථම රොබෝකොප් චිත්‍රපටයේ සේම නුදුරු අනාගතය (2028) පසුබිම් කරගත් මෙම නව චිත්‍රපටයේද වික්‍රමාන්විත කතාවක් ඇතුළත් වේ. බෝම්බ පිපිරීමකින් මරණීය තුවාල ලබන ආදරණීය සැමියෙකු, පියෙකු මෙන්ම වගකිව යුතු පොලිස් නිලධාරියෙකු වූ ඇලෙකස් මර්ෆි අපරාධ හා වංචාවන් අවම කිරීමට තමාගේ මුළු ශක්තියම යොදවයි.

එහිදි බරපතල තුවාල ලබන ඇලෙක්ස් හට රොබෝ සිරුරකින් කොටසක් එක්කර මිනිස් රොබෝවක් නිර්මාණය කරයි.

මිනිසෙකු යොදා ගනිමින් නවීන තාක්ෂණය අත්හදා බැලෙන එහිදි ඇලෙක්ස් නම් මෙම ආදරණීය සැමියා, පියා මෙන්ම පොලිස් නිලධාරියා අර්ධ මිනිසෙකු හා අර්ධ රොබෝවෙකු බවට පත් වේ. යන්ත්‍රයක් තුළින් මිනිසෙකුට යුක්තිය ඉටුකර ගත හැකි වේවි ද ?

රොබෝ කොප් එහි නව දිගහැරුමයි. එඩ්වඩ් නියුමියර් සහ මයිකල් මිනර් විසින් නිර්මිත චරිත ඇසුරින් ගොඩ නැංවුණු මෙම කතාපුවතට ජොඑල් කිනමන්, ග්රේ ඕල්ඩ්මන්, මයිකල් කීටන්, සැමුවෙල් ජේ. ජැක්සන්, ඇබී කෝනිෂ්, ජැකී අර්ලී, මයිකල් කේ. විලියම්ස් සහ ජෙනිෆර් හෙලී ඇතුළු පිරිසක් පණ පොවති.

ජෝස් පැඩ්ලිහා ගේ අධ්‍යක්ෂණයක් වන රොබෝකොප් කොලොම්බියා පික්චර්ස් බෙදාහැරීමකි. කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔන්ටේරියෝ නගරයන් මෙම අපුරු කතා පුවතට දර්ශනතල සපයා ඇත.

රොබොකොප් නව චිත්‍රපටය දිග හැරෙන්නේද පැරණි චිත්‍රපටයට වඩා වෙනස් අයුරිනි. ඒ අනුව වර්තමානය රොබෝ කොප් පළමු දිගහැරුම සිදු වූ 1987 වසර සමඟ ගත්විට තාක්ෂණය හා ජන ජීවිතය අතර සැළකිය යුතු තරම් වෙනස්කම් ඇති හෙයින් නව චිත්‍රපටය මෙම වෙනස්කම් ද සළකමින් නිර්මාණය වී ඇති බව පෙනේ.

ක්‍රියාන්විත, විද්‍යා ප්‍රබන්ධ සහ අපරාධ යන අංග ත්‍රිත්වයම අයත්වන පරිද්දෙන් නිර්මාණය වූ නව රොබෝ මිනිසාගේ සිත්පිත් නැති රොබෝ මොළයත් හැඟුම්බර, සංවේදි මිනිස් මනසත් අතර ඇතිවන ගැටුම ද රොබෝකොප් ගැඹුරින් සාකච්ඡා කරයි. එසේම මෙම නව චිත්‍රපටයේ දි පෙරට වඩා මානුෂික ගුණාංගයන් මතුකර ඇති බවත් විචාරක මතයයි.