වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය ජනේෂ් ආයෙත් එන්න

ආදරණීය ජනේෂ් ආයෙත් එන්න

ජනේෂ්ගේ අතීත මතක පොතේ කඳුළු පිටුවක්

ඒ අමාවක පොහෝ දිනයයි. කෑලි කැපිය හැකි අඳුරත්, මොර සූරන වැහිකෝඩය නිසාත් ඒ රාත්‍රිය කමලා ස්වර්ණලතා, චාන්දනි සිල්වා සහ හේමමාලා විජේසිරිවර්ධන නිදිවර්ජිතව පහන් කළෝය.

සිහින් සීතලට ඇඟ හිරිගඩු පිපුණත් ඔවුන්ගේ සිතුවිලි කියාපෑවේ ශෝකාන්තයක් අත ළඟ බවය. ගෙට ඉහළින් ඉගිලුන කණ කොකුන් මෙන්ම ඈත සිට උඩු බුරන බලු රෑන නිසාත්, සවස් යාමයේ මූසල හඬින් කෑ ගැසූ බස්සා නිසාත් කමලාගේ සිත නම් හරිම කලබලයෙන්ය. පසුදා පහන් විය. මේ තිදෙනා සිතූ පරිදිම ඒ මූසල ආරංචිය ඔවුන්ගේ සවනත වැටුණෝය.

ජනේෂ් සිල්වා,

කලා පරපුරක ඊළඟ පරම්පරාවේ උරුම කරු ජීවිතයෙන් සමුගෙන ගොස්ය.

ලාංකේය සිනමාවේ විකට රජා නමින් පරසිඳු රංගන ශිල්පී ෆෙ‍්‍රඩී සිල්වාගේ එකම පුත්‍රරත්නය ද දෙව් මවු තුරුලේ සැතපුණේය.

ෆෙ‍්‍රඩී සිල්වාගේ එකම පුත්‍රරත්නය ජනේෂ් සිල්වාගේ සොඳුරු මතකයන් ස්මරණය කරන්නේ ෆෙ‍්‍රඩීගේ ආදරණිය බිරිය මෙන්ම ජනේෂ්ගේ දයාබර මෑණියන් වූ කමලා ස්වර්ණලතා, ආදරණීය නැඟණිය වූ චාන්දනී සිල්වා සහ ජනේෂ්ගේ බිරිඳ හේමමාලා යන තිදෙනායි.

නෙත් කෙවෙනි අගට ඉනූූ සිහින් කඳුලක් පිස දමමින් ජනේෂ්ගේ ආදරණීය මෑණියන් අප හා කතාවට එක් වූයේ තම පුතුගේ මතකය අප හා ස්මරණය කිරීමටයි.

‘ෆෙ‍්‍රඩියි මමයි විවාහ වුණේ 1961 අවුරුද්දේ. 1962 ජනවාරි 26 වැනිදා ජනේෂ් ඉපදුණා. බහ තෝරන කාලේ ඉඳන් ජනේෂ් ටිකක් දඟයි. ජනේෂ් පුතාව පාසල් යැව්වෙ ෆෙ‍්‍රඩී. ඒ කේරි විද්‍යාලයට. පාසල් කාලෙත් තාත්තට හොරෙන් දඟ වැඩමයි කරන්නේ. හැබැයි ඒ හැම දෙයක්ම පස්සේ ෆෙ‍්‍රඩීට ආරංචි වෙනවා. පුතා උසස් පෙළ ලියලා ඉවර වුණාට පස්සේ ගෙදරට වෙලා යාළුවොත් එක්ක දඟ වැඩ කරපු එකමයි කළේ.’

ඕ එසේ පවසන විට මුහුණ සිසාරා සිහින් සිනාවක් ඇදී ගියත්, ඒ සිනහව වසාගෙන ඇති මවු සෙනෙහස මුසු වුණු දුක් කන්දරාව ඇගේ නෙතු සඟලින් වසන් කරන්නට බැරිය. මඳක් නිහඬව සිටි ඇය නැවතත් කතාව ආරම්භ කළාය.

‘විශ්ව විද්‍යාලයට යන්න ප්‍රතිඵල මදි නිසා ෆෙ‍්‍රඩී කිව්වා රැකියාවක් කරන්න කියලා. මොකද ජනේෂ් ඒ වෙන කොට ගමේ කොල්ලො කුරුට්ටෝ එක්ක රංවු ගහන නිසා. දවසක් චාන්දනී දුවවත් වඩාගෙන ෆෙ‍්‍රඩී ජනේෂ්ව බලෙන් වගේ හිටපු අගමැති (ජනාධිපති) ප්‍රේමදාස මහත්තයා ගාවට ගියා. එ

හෙම ගිහින් එයාට කොළඹ නගර සභාවේ සුපරීක්ෂකයකු ලෙස රැකියාවක් අරන් දුන්නා. ඒ රැකියාව අරන් දීලත් අවුරුද්දක් විතර යනකම් උදේට වැඩට එක්කන් ගියේ ෆ්‍රෙඩී. මහ රෑ ෂූටිං ඉවර වෙලා ගෙදර ආවත් ආයේ උදේ හයට නැගිටලා ජනේෂ්ව වැඩට පිටත් කරනවා. බැරි වෙලාවත් ජනේෂ් වැඩට ගියේ නැතිනම් ප්‍රේමදාස මහත්තයටයි, ජනේෂ්ටයි දෙන්නටම හොඳ නැති නිසයි ෆෙ‍්‍රඩී එහෙම කළේ.

ජනේෂ්ගේ දයාබර මව එසේ ඔහුගේ අතීතය ස්මරණය කරන අතරතුර ඔහුගේ එකම නැඟණිය චාන්දනී ද කතාවට අප හා එක් වූවාය.

‘අයියා ඒ වෙනකොට තාත්තටත් හොරෙන් සංගීත සංදර්ශනවල සිංදු කියනවා. හැබැයි ඒ වෙනකොට රඟපාන්න නම් ගියේ නැහැ. මගේ ජීවිතයේ මගේ තාත්තා ළඟට මම ළඟින්ම ඇසුරු කළ පිරිමියා වුණේ මගේ අයියා. මගේ හිතට දුකක් දැනුණම කොයි තරම් දඟ වැඩ කළත් පොඩි කාලේදී නම් ජනේෂ් අයියා දුක් වුණා. එයාගෙ පළමු පඩියෙන් ඉස්සරවෙලාම මට තෑග්ගක් ගෙනත් දුන්නා.

ඇය තම වැඩිමහල් එකම සොයුරා වෙනුවෙන් ඉපැදුන සහෝදර ප්‍රේමයෙන් අප හා තොරතුරු පවසන්නීය.

‘පොඩි කාලේ මම බිම වැටිලා ඇඬුවොත් ජනේෂ් අයියට හරිම දුකයි. එයා මොන තරම් දඟ වැඩ කළත් මට හරිම ආදරෙයි. මම ‘බිග් ගර්ල්’ කෙනෙක් වුණ දවසේ හැමෝටම ඉස්සරවෙලා මට කරාබු ජෝඩුවක් අරන් දුන්නේ අයියා. තාත්තටත් පෙර මගේ සංගීත හැකියාව හඳුනගෙන මට ඕගන් එකක් අරන් දුන්නෙත් අයියා.

තාත්තා අයියව ලංකාවේ ඉන්න හොඳම සංගීත ගුරුවරු ගාවට යැව්වා. ඒත් අයියා ඒවා හරියට ඉගෙන ගත්තේ නැහැ. ඒ වුණාට මට සංගීතය උගන්වන්න අයියට ලොකු වුවමනාවක් තිබුණා. මට බයික් පදින්න, පිහිනන්න ඉගැන්වුවෙත් ජනේෂ් අයියා.

ඇය එසේ පවසන විට සතුටු සිතට යටින් ඇති ඇගේ සහෝදර ප්‍රේමය වඩාත් ඉස්මතු වන්නේ ජනේෂ්ගේ මතකය ඈ තුළ පෙරළි කරන නිසාවෙන්ය.

‘අයියට යාළුවෝ ගොඩාක් ඉන්නවා. කන්න තියෙන බත් එක යහළුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන හිත හොඳ මිනිහෙක් විදියට අයියා යාළුවෝ අතර ප්‍රසිද්ධයි. එයා ටිකක් සැර ජාති වැඩියෙන් බිව්වත් කවදාවත් ගෙදරදී රණ්ඩු වෙලා නැහැ. අයියා ගමේ (සිද්දමුල්ල) අක්ක කෙනෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ සම්බන්ධය ගැනත් ඉස්සෙල්ලාම කිව්වේ මට. එයා තමයි අන්තිමට අයියගේ බිරිඳ වුණේ.

මේ සියල්ල පැත්තකට වී නිහඬව අහගෙන සිටි හේමමාලා හෙමින් සිරුවේ අප සිටි තැනට පැමිණියේ ඇගේ සිතේ තෙරපෙන අදහස් අපට පවසන්ටය.

‘ජනේෂුයි මමයි පෙම්වතුන් වෙලා ගොඩක් කල් හිටියා. (ෆෙ‍්‍රඩී සිල්වා) ජනේෂ්ගේ තාත්තා එතකොට රටේ නොදන්න කෙනෙක් නැහැ. හැබැයි එයා මේ සම්බන්ධයට මුල ඉඳලම අකැමැති වුණා. ඒත් ජනේෂ් මේ සම්බන්ධය අතහැරියේ නැහැ.

පස්සේ කොහොම හරි තාත්තාව කැමැති කරවගෙන මාව විවාහ කර ගත්තා. ජනේෂ් හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන්න කැමැති කෙනෙක්. එයාට ලෙඩ වුණ පළමු දවසෙම කිව්වා මේ ගැන අම්මටයි, නංගිටයි කියන්න එපා. අපි හොඳ කරගෙන කියමු කියලා. කොච්චර අමාරු වුණත් එයා ඒ ගැන පිටට පෙන්නුවේ නැහැ.

දවසක් සරසවිය පත්තරේ අසංක දේවමිත්‍ර එහෙම ආපු වෙලාවක එයා කිව්වලු මම ලෙඩ වෙලා කියලා පත්තරේ දාන්න එපා කියලා. එයා ලෙඩ වුණා කියලා කියනවට කැමැති වුණේ නැහැ. රෝහලේ එයා නැවතිලා හිටපු කාලෙ පුරාවටම හැමෝම හිනස්සවපු එකමයි කළේ.

හේමමාලා ජනේෂ්ගේ දයාබර බිරිඳ එසේ පවසන්නේ හංගාගත් දුක තුනී කර ගන්න ගමන්ය.

අයියා අසනීප වුණාට ඒ බව අපට කිව්වේ නැහැ. විශේෂයෙන්ම අම්මටයි මටයි. ඒ අපි දුක් වෙයි, කලබල වෙයි කියන බයට. අපි හිතුවේ අයියා ලෙඩ වුණේ ඇල්කොහොල් නිසා කියලා. නමුත් ලෙඩ වුණේ වෙලාවට කෑම ගන්නේ නැති නිසා ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් හිඟකම හේතුවෙන් ඇතිවන පිළිකා තත්ත්වයක් නිසා කියලයි වෛද්‍යවරු කිව්වේ.

අයියට ලස්සන පුතෙක් ඉන්නවා. එයා ජනිත් සිල්වා. මට තියෙන දුක, අම්මට, හේමමාලා අක්කට තියෙන දුක ටිකක් හරි අඩු වෙන්නේ ඒ නිසා. ෆෙ‍්‍රඩී සිල්වාගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න අයියා වගේම ජනිත් පුතත් යමක් කරයි කියලා හිතනවා.

ජනේෂ්ගේ මව, නැඟණිය හා බිරිඳත්, දයාබර පුතනුවනුත් ඔවුන්ගේ ආගමේ හැටියට නැවත උපතක් නැතත්, ඔවුන් අතර නැවත ඉපදෙන්නට ජනේෂ්ට ප්‍රාර්ථනා කරන්නෝය.

ලොවේ යමෙක් ඉපදේ නම් මරණයක් තිබිය යුතුයි යන්න සදාතන දහම වුවත්, අප සිත් සුවපත් කළ මෙවැනි කලාකරුවන් නැවත අප අතර ඉපදේවායි සරසවිය අපේත් පැතුම වන්නේය.