වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙඩ වුණු පවුල්

ලෙඩ වුණු පවුල්

මේ බොලිවුඩ් බිරියන්ට තරමක අපල කාලයකි. ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනින්නාක් සේ සංජේගේ සිරගත ජීවිතයට තවත් වේදනාවක් එක් කරමින් බිරිය, මන්යාතා රෝගී වූවාය. ඇයගේ පෙනහලුවල තිබූ පිළිකාමය නොවන ගෙඩිය ඉවත් කෙරුණු අතර ඉන්පසු ඇයගේ කොණ්ඩය සීඝ්‍රයෙන් හැළී යන්නට පටන්ගෙන තිබේ. මේ නිසා මන්යාතාගේ දිගු කොණ්ඩය කොටට කපා දමා ඇත.

ඇයට මෙසේ කොණ්ඩය අහිමි වී ඇත්තේ විටමින් ඌනතාව නිසයි. ඇඳ විවේකයෙන් පසුවන මන්යාතා අසල තවදුරටත් රැඳී සිටීමට සංජේගේ සිත අයදිද්දී, නීතියෙන් ද ඒ අවසරය පැතීමට ඔහු පෙලඹී සිටියි. එහෙත් නීතිය ඒ තරම් කාරුණික වේවි ද? සංජේගේ මව, ප්‍රවීන නිළි නර්ගීස් මෙන්ම ඔහුගේ පළමු බිරිය රීචා ෂර්මා ද මිය ගියේ පිළිකාවක් වැළඳීමෙනි. දෙසැම්බර් මාසයේ සිටම බිරිය ළඟ සිටීමට නීතියෙන් අවසර ලැබුණ ද මේ ඉල්ලීම ඉටු වේවිදැයි යන්න නම් සැක සහිතය.

මේ අතර අක්ෂේ කුමාර්ගේ බිරිය, නිළි ට්වින්කල් ඛන්නා ද මෑතක දී සැත්කමකට ලක් කෙරුණාය. එක්වරම හටගත් දැඩි උදර වේදනාවක් නිසා ට්වින්කල් රෝහල් ගත කෙරුණු අතර පසුව සැත්කමකට ද ලක් කර ඇත.සැත්කම කර තිබෙන්නේ ට්වින්කල්ගේ උදර වේදනාවට හේතු වූ වකුගඩු ගල ඉවත් කිරීමටයි. දැන් ඇය සම්පූර්ණ සුවය ලබා ඇත. අක්ෂේ මෙන්ම නිළි මව ඩිම්පල් කපාඩියා ද සැත්කමින් පසු ඇය අසලින්ම සිටියහ.