වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




හිරු ගිනිගත් මද්දහනේ සැඟව ගිය පුර සඳ මඩල

හිරු ගිනිගත් මද්දහනේ සැඟව ගිය පුර සඳ මඩල

සිනමා නළුවකු වෙනුවෙන් සිංහල සිනමාවේප්‍රේක්ෂකයන් රසිකයන් සියල්ල පමණක් නොව රටේ බහුතරයක් කඳුළු හෙලූ දවසක් වී නම් ඒ 1988 වසරේ පෙබරවාරි 16 වැනි දින විනා වෙනත් අන් කවර දිනයක් හෝ නොවේ.ඒ ඒ වන විට මෙරට වඩාත්ම ජනාදරයට පාත්‍ර වූ නළුවානන් වන විජය කුමාරතුංගයන් සහාසිකයකුගේ වෙඩිපහරකට ලක්වුණු දිනය එදාය. අද මෙන් ප්‍රවෘත්ති දැන ගැනීමේ වේගය ඉක්මන් නොවුණු එකල පවා මධ්‍යහනය එළැඹෙත්ම සිදු වුණ මේ ඝාතනය එයින් පැයක් ගත වන්නට මත්තෙන් රටම දැන ගත්තේය. මුලු රටම එසැනින් කම්පා වූයේය.

විජය ජීවත් ව සිටි කාලය බෙහෙවින් කෙටි එකකි.1945 වසරේ ඔක්තෝබර් 8 වැනි දින උපන් විජය ජීවත් වූයේ අවරුදු 43 ක ටත් අඩු කාලයකි. එහෙත් සියවසක් ගෙවූ ජීවිතයකට වඩා එහි මතකය ඉතුරුව ඇත්තේය.විජය මෙන්ම ඝාතනයට ලක් වන ලොව ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙක් මගේ මතකයට එයි.එක් අයෙක් චිලී දේශයේ නාට්‍ය කරු ගායක වික්ටර් හාරාය.අනෙකා බීට්ල්ස් ගායක කන්ඩායමේ ජෝන් ලෙනන් ය. මේ දෙදෙනාම විජය මෙන්ම ඝාතනය විය.හාරා මෙන්ම විජය මිය යනුයේ ද දේශපාලනය කළ වරදටය.මේ දෙදෙනාම ජනතාව අතර වීරයන් බවට පත්ව සිටියහ.

විජය නළුවකු වන්නට පෙරුම් පිරූ කෙනෙකු විය.ඒ සඳහා සුදුසු කඩවසම් පෙනුමක් ඔහු සතු විය. කඳානේ ඩි මැසනඩ් සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයන්හි ඉගෙනුම ලබන විජය සිනමාවට පිවිසෙන්නට පෙර ශේෂා පලිහක්කාර යටතේ නර්තනයත් පී.වැලිකල සහ ජේ.එච්.ජයවර්ධන යටතේ නාට්‍ය රංගනයත් හදාල වග නුවන් නයනජිත් කුමාර ලියන ලද ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය හෙළිදරව් කර සිටී.ඔහු සිනමා කැමරාවක් ඉදිරියේ මුල් වරට පෙනී සිටිනුයේ මනමාලයෝ චිත්‍රපටයේ ය.

ඒ පෙනී සිටීමක් පමණී.එමෙන්ම ටයිටස් තොටවත්තයන් විසින් නිර්මාණය කරන්නට සැරසුණ පුරන් අප්පු චිත්‍රපටය සඳහා ද විජය තෝරා ගත් බවක් කියැවේ.එහෙත් ඊළඟ දශකයේ මෙරට සිනමාව හසුරුවන ගාමක බලවේගය බඳු විජය සිනමා රංගනය උදෙසා හඳුන්වා දීමේ ගෞරවය හිමි වනුයේ සුගතපාල සෙනරත් යාපාටය.ඒ හන්තානේ කතාව චිත්‍රපටයේ බන්දු නම් කෙළිලොල් විශ්ව විද්‍යාල සිසුවාගේ චරිතය උදෙසාය.

විජය සිනමාවට හඳුන්වා දීමේ ගෞරවයෙන් කොටසක් සරසවිය පුවත්පතට ද මෙතනින් හිමි වෙයි. ඔහු හන්තානේ කතාව සඳහා තෝරා ගැනෙනුයේ සරසවිය පුවත්පත මගින් පළ කළ දැන්වීමක් ඔස්සේ පිය මැනීමෙනි.මේ අවදියේම ජී.ඩී.එල්.පෙරේරා ගේ රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටය උදෙසා ද විජය තෝරා ගැනිණ. විජය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ක්ෂිතිජය ගීත නාටකයෙන් ගායනයට සහ වේදිකාවට පිවිසෙන විජය ධර්මසිරි වික්‍රමරත්නගේ ඔන්න බබෝ ඇතින්නියා නාට්‍යයයේ ද රඟපෑවේය. එහෙත් එයින් පසු විජය ඉස්මතු වනුයේ සිනමා නළුවකු ලෙසය.පසු කලක විජය ගායනයට එකු වනුයේ පාරදිගේ චිත්‍රපටයෙනි.එයින් පසු කැසට් පට කිහිපයකට ද ගායනයෙන් දායක වන හෙතෙම ජෝතිපාලයන් මිය ගිය පසු තැණුන චිත්‍රපට උදෙසා තමාගේම රංගනය සඳහා පසුබිම් ගායනයෙන් එක්විණ.ගඟ අද්දර,ඉන්දුට මල් මිටක්.ආරාධනා,හිමකතර,නොම්මර දාහත වැනි චිත්‍රපට සඳහා විජය ගායනා කරන ලද ගී අතිශය ජනප්‍රිය විය.

හැත්තෑව දශකයේ විජය සිනමාවට එක් වනුයේ අපේ සිනමාවට අලුතින් සිතන පරම්පරාවක් සමගය.ඒ පරම්පරාවේ බොහෝ සිනමාකරුවන්ට ඔහු නැතුවම බැරි සිනමා නළුවෙක් විය.ඒ පරම්පරාවේ සිටි කඩවසම්ම නළුවා ද විජය වන්නේය.විජයගේ ජනප්‍රියත්වය වැඩි වනුයෙත් කුසලතාව පළ වනුයේත් අලුත් පරම්පරාව සමගය.ඉන්දියානු පරම්පරාවේ කිසිදු සිනමාකරුවෙකු සමග ඔහුට කටයුතු කරන්නට ඉඩ නොලැබෙයි.මුල් දශකයේ බිහි වූ සිනමා කරුවන් අතරින් විජයට කටයුතු කරන්නට ඉඩ ලැබෙනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සිරිල් පී අබේරත්න සමගය.

ඔහු ඉතා ඉක්මනින් ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවට කදිම දායකත්වයක් සපයයි.ඒ සඳහා ඔහු දායක කර ගන්නා සිනමාකරුවන් බහුතරය ද අයත් වනුයේ අලුත් පරම්පරාවටය. ඔහු ජනප්‍රියත්වයේ හිනි පෙත්තට ඔසවා තබන චිත්‍රපට රැල්ලක පමණක් නොව මෙරට සිනමාවේ වඩාත්ම ජනප්‍රිය පෙම් යුවළ ලෙස සැළකෙන විජය මාලිනී යුගලය ආරම්භ කරනු ලබන තුෂාරා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ අලුත්ම සිනමාකරුවෙකු වන යසපාලිත නානායක්කාරය. විජය මේ දශකයේ බිහි වූ ප්‍රධාන ප්‍රවාහයෙන් බැහැර වන සිනමාකරුවන් වන ධර්මසේන පතිරාජ,වසන්ත ඔබේසේකර,එච්.ඩී.පේ‍්‍රමරත්න, වැනි සිනමාකරුවන්ට ද ඔහුගේදායකත්වය සපයයයි. මේ බොහෝ දෙනා විජය සමග සම්බන්ධ වනුයේ විජය යනු සතු ජනප්‍රියත්වය උපයෝගී කර ගන්නට පමනක් නොවේ. ඔහුගේ හොඳම රංගනය ඒ සදහා දායක කර ගන්නටය.විජය කිසි කලක සිනමාකරු අබිබවා යන්නට උත්සාහ කළ නළුවකු වනුයේ නැත. එබැවින් ඔහ ගේ ජනප්‍රියත්වය මත පමණක් යැපෙන්නට ඇතැමුන්ට සිදු විය.

ඒනිසාම ඇතැම් චිත්‍රපට පුරා පව් ගෙවන්නට සිදු වූයේ ද විජයටමය.එහෙත් අතිශය ජනප්‍රිය යුගයේ පවා විජය යහපත් චිත්‍රපට සඳහා දායක වන්නට දෙවරක් සිතුවේ නැත.හිතුවොත් හිතුවාමයි වැනි චිත්‍රපටයක රඟපාන අතරතුර බඹරු ඇවිත් චිත්‍රපටය සඳහා කල්පිටියේ දුෂ්කර වැල්ලක කල් ගත කරන්නට විජය මැලි වූයේ නැත.දේශපාලන පොරපිටියේ කාර්ය බහුල විජය කැඩපතක ඡායා සඳහා කාලය කැප කරන්නට දෙවරක් සිතුවේ නැත. සිනමා නළුවකු ගේ රංගනය රැඳී තිබෙනුයේ ලබන තාවකාලික ජනප්‍රියත්වය මත නොව වඩා ප්‍රබල රංගන දායකත්වය මත බැව් විජය දැන සිටි වග නොරහසකි. නොඑසේ නොවන්නට බඹරු ඇවිත්,කැඩපතක ඡායා, බැද්දේගම, වැනි චිත්‍රපට සඳහා ඔහුගේ රංගන දායකත්වය නොලැබෙන්නට ඉඩ තිබිණ. ඒ චිත්‍රපට සඳහා විජයගේ දායකත්වය මෙන්ම ඒ සඳහා ඔහුගේ කැපවීම එම සිනමා කරුවන්ගේ නොමද ප්‍රශංසාවට භාජනය වූ වග රහසක් නොවේ.එමෙන්ම විජය රඟපෑ අංජානා,නැවත හමුවෙමු, ජයසිකුරුයි වැනි චිත්‍රපට තිර ගත වන සමය වන විට මෙරට තිර ගත වන චිත්‍රපට දවසින් දෙකෙන් ගැලවෙන සමයක් උදා වී තිබිණ.එය ටෙලිවිෂනය මෙරට ගෙයින් ගෙට පිවිසෙන යුගය විය. එහෙත් විජය ගේ අසීමිත ජනප්‍රියත්වය නිසාම සිනමාහල් පුරා දැවැන්ත ජන ආකර්ශනයක් විය.ජය සිකුරුයි චිත්‍රපටය තිර ගත වන විට මෙරට ටෙලිවිෂන හෝ රේඩියෝව විජය ගේ නම ප්‍රචාරය කිරීම තහනම් කොට තිබිණ.එහෙත් චිත්‍රපටය පැල් බැඳ ගෙන දුවන්නට එය බාධාවක් නොවිණ.

විජයගේ සිනමා ප්‍රාප්තිය එයට පෙර සිදු වන සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ සිනමා ගමනයට වඩා වෙනස්ය.එහෙත් ගාමිණී මෙන්ම විජයද සිනමා නළුවකු ගේ පැවැත්ම ජනප්‍රියත්වය මෙන්ම කුසලතාවය යන කරුණු දෙක මත රඳා පවත්නා බැව් දැන සිටියහ. එබැවින්ම ජනප්‍රිය කිරුලේ ගාමිණී ෆොන්සේකාට පසු අනු ප්‍රාප්තිකයා වනුයේ විජය කුමාරණතුංගයන්ය.විජය මෙරට ජනප්‍රිය නළුවා ලෙස අබිසෙස් ලද්දේ රසිකයන්ගේ මුළු මහත් හදවතින් නැගුණ මනාපයෙනි.ඔහු සය වරක්ම සරසවිය සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ලෙස අබිසෙස් ලද්දේය.

විජය කිසිකලක ටෙලි නාට්‍යයක රඟපෑවේ ද නැත.ඔහු රඟපාන චිත්‍රපට ටෙලිවිෂනය ඔස්සේ විකාශය කළ නොහැකි වන ලෙස ඉදිරියේ දී ගිවිසුම් අත්සන් කරවන බැව් ඔහු වරක කියා සිටියේය.කෙසේ වෙතත් විජය ගේ ආදාහනය කෙරුණ දිනම ඔහුගේ මුල්ම චිත්‍රපටය වන හන්තානේ කතාව ටෙලිවිෂනය ඔස්සේ විකාශය විය.විජය මිය යන විට චිත්‍රපට කිහිපයක්ම තිබුණේ අතරමගය.ඒ බොහොමයක්ම පසු කලක තිර ගත විය. විජය මිය ගිය පසු තිර ගත වන මමයි රජා නොම්මර දාහත වැනි චිත්‍රපට දින දෙසියය ඉක්මවා තිර ගත විය. එහෙත් විජය බලාපොරොත්තුවෙන් සිටි ක්‍රිස්තු චරිතය ජන ආකර්ශණය දිනා ගැනීමෙහිලා අපොහොසත් විය. ඔහු රඟපෑ චිත්‍රපටයක් අවසන් වරට තිර ගත වූයේ 1998 වසෙර්ය. ඒ ඇය ඔබට බාරයි චිත්‍රපටයයි. පසුකලෙක විජය රඟපෑ චිත්‍රපට සඳහා පෙර මෙන් ජන ආකර්ශණය දිනාගැන්ම අපොහසත් විය. ඔහු රඟපෑ මංමුලා වැල් සහ සමාව යන චිත්‍රපට යුගලම කිසි කලක තිර ගතවූයේ නැත. මේ චිත්‍රපට යුගලම නිපදවීමට දායක වනුයේ ද විජයයි.

විජය මිය ගොස් දැන් විසි හය වසරකි. විජයට ආදරය කළ විජය මිය ගිය දා වැළපුණු සියළු දෙනා විසි හය වසරකින් වියපත් වඇත්තාහ.කිසි කලක විජය නොදුටු පරම්පරාවක රංගනය ටෙලිවිෂනය හරහා අපේ නිවාසයන්ට එබිකම් කරන්නට පටන් ගෙන ඇත.ඔවුන් ට කිසි කලක ගාමිණී හෝ විජයගේ පරම්පරාව ලද ජනප්‍රියත්වය සිහිනයක් වනු බව ඇත්තය.අලුත් පරම්පරාව විජය ගේ ජනප්‍රියත්වය මනිනුයේ කෙලෙසද? අලුත් නළු නිළියන් පමනක් නොව වර්තමාන රසික පරපුර ද මේ මහා වෘතාන්තයන් ගේ ජනප්‍රියත්වය මැන ගන්නේ කවර ආකාරයෙන් ද? වර්තමාන තරුණ පරම්පරාව විජයගේ රුව රුගත් චිත්‍රපට දකිනුයේ ද ටෙලිවිෂනය හරහාය.ඔවුන් විජය කුමාරණතුංග ගේ සිනමා රංගනයෙන් ලද අසීමිත ජනප්‍රියත්වය නැතහොත් ඔහු ගේ මරණය වෙනුවෙන් රටක් හැඬූ බව විශ්වාස කරනුයේ සුරංගනා කතාවක විලාසයෙනි.විජය ගේ ඝාතනය ඉවසා ගත නොහැකි වූ කෙනෙකු කලා භවන ඉදිරියේ ගිනි තබා ගත් බව අද බොහෝ දෙනා ට අමතකව ඇත.

කලකට ඉහත ගාමිණී හෝ විජය වැන්නන්ගේ චිත්‍රපට නරඹන්නට පෙළ ගැසුණු අති විශාල ජනතා ව අද සිනමාහල්වල දැකගත නොහැක. එකල උදේ දහයයි තිහේ දර්ශණයට පාන්දර හතට රොක් වුන ද ප්‍රවේශ පත්‍ර නොලැබූ විට දෙකයි තිහ දර්ශණය හෝ නරඹා සතුටු වන්නට තරම් ඉවසුමක් දැන් රසිකයන්ට ඇවැසි නැත.විජය ගේ ජනප්‍රියත්වය පිළිබඳ අපේ අති ස්මරණ යන් අතීත කාමයෙන් පෙළෙන්නන්ගේ මනස්ගාතයකැයි වර්තමානිකයෝ තීරණය කරනු ඇත.

එහෙත් විජය කුමාරණතුංගයන් යනු එක්තරා පරම්පරාවක ජනප්‍රිය සිනමා තරුවක් පමනක් නොවේ. ඔහු ජනප්‍රියත්වය පිළිබද වෘතාන්තයක් ද වූයේය.සිනමා රංගනය ඔහුගේජීවිතයේ මුල් තැන විය. ඔහු දේශපාලනය සඳහා වැය කරන ලද්දේ ද සිනමාවෙන් ඉපැයූ ධනයයි.විජය කුමාරණතුංගයන්ට මා ඇළුම් කරන ලද්දේ සිනමා රසිකයකු හැටියටය. මා වෘත්තිය පුවත් පත් කලාවට පිවිසෙද්දී විජය අප හැර ගොසිනි. විජය ගේ නිසළ දේහය දැක එයට අවසන් ගෞරව දක්වන්නට පැය ගණනක් අව්වේ වේළෙමින් ගිය රසිකයන්ට මා ද අයත් විය.එහෙත් විජය ඇසුරු කළ ඔහුගේ සමීපතයන් බොහෝ දෙනෙකුගේ ඇසුර ලබන්නට පසු කලක මට වරම් ලැබිණ.ඒ සියල්ලන්ටම එක් පොදු මතයක් විය. ඒ විජය යනු අසීමිත මිනිස් කම් පිරුණු ගුණ යහපත් කෙනෙකු බවය. ඔහු එපමන ඉක්මනින් අප හැර සමුගත්තේ ද ඒ නිසාම විය යුතුය.