වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහයා සිංහයාමයි නම්බර් වන් අපි තමයි

සිංහයා සිංහයාමයි නම්බර් වන් අපි තමයි

ජාතික රූපවාහිනියේ සභාපති විමල් රූබසිංහ

අපේ ජාතික රූපවාහිනිය මේ සතියේ තිස් දෙවැනි වියට එළඹෙයි. ඒ සමීපයෙහි එහි මුල් පුටවට පැමිණි විමල් රූබසිංහ මහතා සමඟ සරසවිය කළ සංවාදයකි මේ.

* තිස් දෙවැනි සංවත්සර සැමරුම කොයි ආකාරයෙන් ද මෙවර පවත්වන්නට උත්සාහ ගන්නේ?

මෙහි පළමු පියවර විදියට අපි රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහන හරහා අපේ තිස් දෙවසරක ගමන් මගේ ආගමනය පිළිබඳ කථිකාවක් පැවැත්වූවා. ඒ තුළින් අපි අදහස් කළේ අපි පැමිණි ගමන් මඟ තුළ අපෙන් ඉටු වූ ජනතා මෙහෙවර පිළිබඳව හා අපේ ඉදිරි ගමන් මඟ තුළ ප්‍රේක්ෂකයාට ලබාදෙන මෙහෙවර පිළිබඳවයි. ඉකුත් එකොළොස් වෙනිදා ආයතන පරිශ්‍රයේ පැවැත් වූ ධර්ම දේ්ශනයකින් අනතුරුව සිය කාර්ය මණ්ඩලයේ එකසිය පනස් දෙනෙකුට බුදු පිළිම එකසිය පනහක් පිරිනැමීම සිද්ධ කළා. ඒ සඳහා අවශ්‍ය බුදු පිළිම අපට ප්‍රදානය කරනු ලැබුවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ පස්ගොඩ සංස්කෘතික නිලධාරී එම්. ඩී. ජයරත්න මහතා විසින්.

හෙට දාහතර වෙනිදා ආයතන පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පවත්වා පසු දින හීල් දානමය පුණ්‍ය කටයුත්තත් සිදු කරනු ලබනවා. ඒ සඳහා අප මෙතෙක් කලක් අප ආයතනයට සේවය කළ අදට ජීවතුන් අතර සිටින හිටපු සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු අපේ හිටපු සාමජිකයන්ට ආරාධනය කරනු ලැබුවා. පහළොස් වැනිදා සවස පහට කතරගම කිරි වෙහෙර අභියස නෙළුම් මල් ලක්ෂයක පූජාවක් හා චෛත්‍යරාජයා උදෙසා ආලෝක පූජාවක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කරලා තියෙනවා.

* තිස් දෙවසරක් පැමිණි ගමන් මඟේ ඉදිරි ඉලක්කයන් ඔබ මොන ආකාරයෙන් ද සැලසුම් කරලා තියෙන්නේ?

ජාතික රූපවාහිනිය කියන්නේ රටේ ජාතික මෙහෙවරක් කරන රූපවාහිනී නාළිකාවක්. අපිට මේ ජාතිකත්වය තුළ කරන්න තියෙන කාර්යභාරය අති විශාලයි. වැඩසටහන්වල ගුණාත්මකභාවය ගැන අපි පෙරටත් වඩා සැලකිලිමත් වෙමින්, මහින්ද චින්තනයෙන් අපෙන් බලාපොරොත්තුª වන ඉලක්කය කරා මෙහෙයවීම තමයි මගේ බලාපොරොත්තුව. දේශපාලනික, ආර්ථික, කලා, ව්‍යාපාරික, ආරක්ෂක, අධ්‍යාපනික මේ සියලු අංගයන්ගෙන් පොහොසත් පුවත් එකතුවක්, වැඩසටහන් පෙළ ගැස්මක් තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. මම මේ තිස් දෙවැනි සංවත්සරයත් සමඟ ඉලක්ක කරගත් තේමා පාඨය වන්නේ එසැනින් ගමට කියන තේමාව. තාක්ෂණයේ දියුණුවත් සමඟ මේ ඉලක්කය අපිට පහසුවෙන් ජය ගත හැකියි යන්න මගේ විශ්වාසයයි.

* වැඩසටහන්වල වගේම තාක්ෂණික අංශයෙනුත් ඉහළ ප්‍රගතියක් ඔබ අපේක්ෂා කරනවාද?

අද අපේ ජාතික රූපවාහිනිය තාක්ෂණයේ ඉහළ ක්‍රමෝපායන් අතින් පොහොසත් වෙමින් ඉදිරියට යනවා. ඉලක්ක ගත කාලයක් තුළ අපි ඩිජිටල්කරණයට යමින් ඉන්නවා. මම පත්වෙලා ආපු ගමන්ම කළේ දැනට ජාතික රූපවාහිනිය පැහැදිලිව නොපෙනෙන රටේ ප්‍රදේශ හඳුනාගෙන ඒ් සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපදෙස් ලබාගෙන මේ දෝෂය මඟ හැරවීම සඳහා අවශ්‍ය ඉදි කිරීම් කිරීමට ටෙන්ඩර් පවා කැඳවීමයි. මේ ඉක්මන් ක්‍රමවේදය හරහා මම බලාපොරොත්තු වෙනවා දැනටත් අංක එකේ ජාතික නාළිකාව අපේ සියලු ජාතීන්ට එකට ඉඳගෙන පැහැදිලිව නරඹන්න අවස්ථාව උදා කරන්න.

* අද තිබෙන පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ජාල ජාතික රූපවාහිනියට අභියෝගයක් වෙලා නැද්ද?

කවුරු මොනවා කිව්වත් අපි තමයි නම්බර් වන්. එක එක නාලිකා කියනවා ඒ අය නම්බර් වන් කියලා. ඒ වුණාට ජනතාව දන්නවා කවුද නම්බර් වන් කියලා.

* මේ වෙනකොට ප්‍රේක්ෂකයෝ ජාතික රූපවාහිනියෙන් ගිලිහිලා කියලා මම කිව්වොත්?

ඒක මම පිළිගන්නේ නැහැ. අපිට එදා ඉඳලා අද වෙනකන් ඉන්නේ සදාකාලික ප්‍රේක්ෂක පිරිසක්. ඒ පිරිස මේ තිස් දෙවසරක් තුළ දිනෙන් දින වැඩි වුණා මිසක් අපෙන් ගිලිහිලා ගියේ නෑ. දවසකට අපේ වැඩ සටහනක් වෙනුවෙන් ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාරම කොතෙක්ද? ඒ ප්‍රතිචාර මේකට හොඳම උදාහරණයක්.

* ප්‍රේක්ෂක ප්‍රතිචාර දුරකතනයකින්, ලිපියකින් ලැබුණා කියා ඔබට අංක එක කියන්න පුළුවන්ද?

අපේ දැක්ම අනික් නාළිකාවල ක්‍රියා කලාපයට වඩා බොහෝ සෙයින් වෙනස්. මොන නාළිකා ආවත් ජාතික නාළිකාව වෙන්න බෑ. සිංහයා සිංහයාම තමයි. එක එක පුද්ගලයාගේ රුචි අරුචිකම් වෙනස්. ඒත් අපි දැනගන්න ඕනේ හරි දේ, හරි විදියට සමාජයට දෙන්න. මේ මාධ්‍ය කලාවට, සමාජය ඇති කරන්නත්, නැති කරන්නත් බොහොම ලේසියි. අපි හැම තිස්සේම කතා කරන්නේ ජන විඥානයට. ජාතික රූපවාහිනිය කියන්නේ ආගම් භේද, ජාති භේද කිසිවක් නැති සමස්ත රටේ පුරවැසියන්ගේ නාළිකාව. එහෙම නැතුව මේ සභාපති පුටුවේ වාඩි වෙන ඕනෑ කෙනෙක්ගේ බූදලයක් නෙවෙයි. රටේ රූපවාහිනී හදවත අපි නම් අපි දැනගන්න ඕනේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා කරමින් කටයුතු කරන්න. අපි විකාශය කරන හැම වැඩසටහනක් ගැනම අපි ජනතාවට වග කියනවා. ඒ අපි ජන විඥානයට හොඳ දෙයක් දෙන හින්දා.

* රූපවාහනි මුල් පුටුව ඔබට අභියෝගයක්ද?

කොහෙත්ම නෑ. මම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අවුරුදු තිහක අත්දැකීම් සම්භාරයක් ලැබූ පුද්ගලයෙක්. උප දිසාපතිවරයකු, ප්‍රාදේශීය ලේකම්වරයකු, ආයතන සභාපතිවරයකු, අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස මම අත්දැකීම් සම්භාරයක් ලැබූ පුද්ගලයෙක්. ජනමාධ්‍ය ගැන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබූ, ඒ පිළිබඳ දීර්ඝ කාලයක් ප්‍රයෝගික අධ්‍යයනයේ නියුතු වූ පුද්ගලයෙක් විදියට ජනමාධ්‍ය ගැන මට හොඳ දැක්මක් තියෙනවා. රට පුරා මගේ රාජ්‍ය සේවය තුළ මා ලැබූ අත්දැකීම්, ජනතා සිතුම් පැතුම් මේ සියල්ල පිළිබඳ හොඳ අවබෝධයක් මට තියෙනවා. මට ලැබුණු ආරාධනය මා භාර ගත්තේ මට මේ මුල් පුටුව තුළ ඉඳගෙන යමක් රටට කරන්න පුළුවන් කියන දැඩි ආත්ම විශ්වාසය මා තුළ තිබුණ නිසයි. මගේ රාජ්‍ය පරිපාලන සේවා කාලය තුළ මම කවදාවත් මට බැරි දෙයක්, මම අකැමැති දෙයක් මට නුසුදුසු දෙයක් භාරගෙන නැහැ. හැම තිස්සෙම මම යම් දෙයක් භාර ගත්තා නම් ඒ භාර ගත්තේ හිතේ ශ්‍රද්ධාවෙන් මට කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. ඒ අනුව තමයි ජනාධිපතිතුමන් මට මේ තනතුර පිරිනැමුවාම මම සතුටින් බාර ගත්තේ. රූපවාහිනී මුල් පුටුව මට ආශිර්වාදයක් වගේම මම මේ මුල් පුටුව තුළ හිඳගෙන රටට ආශිර්වාදයක් වෙන්න වැඩ කරනවා. ඒක තමයි මගේ එකම අධිෂ්ඨානය.

* තරගකාරී අනෙකුත් පෞද්ගලික රූපවාහිනි නාළිකා හා සංසන්දනය කිරීමේදී වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන් ප්‍රවෘත්ති විකාශයේදී පෞද්ගලික මාධ්‍යයන්හි ප්‍රවෘත්ති විකාශය ප්‍රේක්ෂකයන් තුළ විශ්වාසනීයත්වයක් හා ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා නේද?

ප්‍රේක්ෂකයාට පුළුවන් තමන්ගේ රුචිකත්වය අනුව තමන්ට ඕනෑ නාළිකාව හා සම්බන්ධ වෙන්න. අපි යම් දෙයක් ඉදිරිපත් කරන්නේ ජාතික වගකීමක් ඇතුව. එහෙම නැතුව ප්‍රවෘත්තියක් ලැබුණා කියලා කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව අපි තමයි මුලින් දුන්නේ කියන්න අපිට ඕනේ නෑ. මම බලන්නේ ඒ ප්‍රවෘත්තිය තුළින් ජනතාවට පණිවිඩයක් දෙන්න පුළුවන් ද, සමස්ත ජනතාවගෙන් වැඩි පිරිසකට ඒ ප්‍රවෘත්තිය වැදගත් වෙනවාද කියන ප්‍රවෘත්තිමය න්‍යාය තුළ හිඳගෙනයි. එහෙම නැතුව පුද්ගලයෙක් නිදි පෙති බිව්වා කියලා, තව කෙනෙක් ප්‍රේම සම්බන්ධයක් නිසා ගෙල වැළදා ගත්තා කියලා. ඒ හැම දෙයක්ම සමාජයේ බහුතරයක් ජනතාවට වැදගත් වෙනවද කියලා අපි දෙවරක් සිතා බැලිය යුතුයි. අපි රජයේ රූපවාහිනි නාළිකාව. අපි කළ යුත්තේ ජාතික වැදගත්කමේ අභිමතය හැම තිස්සේම හිසේ දරාගෙන. රාජ්‍ය රූපවාහිනියට ගමක දෙපිරිසක් ගහගන්න එක මහ ප්‍රවෘත්තියක් කරන්න ඕනේ නෑ. මාධ්‍යය සදාචාරය කියල දෙයක් තියෙනවා. මමත් ඒක විශ්වවිද්‍යාලයේදී ජනසන්නිවේදනය ඉගෙන ගන්න කොට හොඳට ඉගෙන ගත්තා. ජනතා ආකර්ෂණය ගන්න කියලා සදාචාරය පාවා දෙන්න ජාතික රූපවාහිනියට බැහැ.

* අද තිබෙන රූපවාහිනි මාධ්‍ය තරගයත් එක්ක මාධ්‍ය සදාචාරය ගැන කතා කරමින් තරගකාරී වටපිටාවක ආයතනයක් පවත්වාගෙන යාමේදී ගැටලු ඇති වෙන්නේ නැද්ද?

අපි හරි නම් ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක. ඒක කාටවත් මොන විගඩන් කළත් වෙනස් කරන්න බෑ. ඔය තාවකාලික හැම දෙයකම ආයුෂ ටිකයි. හරවත් දේ ළඟ තමයි කවදත් ප්‍රේක්ෂකයා රැඳුණේ. මම මේ කියන්නේ අරමුණක් ඇතුව. සැලැස්මක් ඇතුව. ඔබ කියන්නේ වෙළෙඳ දැන්වීම් වැඩසටහන් සඳහා ලැබෙන මුදල් පිළිබඳව සිතා වෙන්න පුළුවන්. ඒ අභියෝගය අපි වාර්ෂිකව අපේක්ෂිත ඉලක්කය ඉක්මවා වුවත් යන්න සූදානම්, අපේ හෙළ සංස්කෘතිය සභ්‍යත්වය ආරක්ෂා කරමින් හරවත් වැඩසටහන් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම තුළ.

* අද ප්‍රේක්ෂකයන් තමන්ගේ නාළිකාව වටා රඳවා ගන්න රූපවාහිනි නාළිකාවන් ප්‍රේක්ෂකයන්ට මුදල්, වාහන පවා දෙන තත්ත්වයට පත්වෙලා. මෙවන් වටපිටාවක් තුළ ජාතික රූපවාහිනියට වටා ඇති ප්‍රේක්ෂකයන් ගිලිහී නොයයි කියා ඔබ සිතනවාද?

පේ‍්‍රක්ෂකයෝ තමන්ට නැති හින්ද තමයි ඔය වගේ වැඩ කරන්නේ. ඉන්නවා නම් තෑගි දිදී ප්‍රේක්ෂකයෝ තමන් වෙත ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නෑනේ. අනේ අපිට නම් බෑ වාහන, සල්ලි දීලා අපේ නාළිකාවම බලන්න කියලා ප්‍රේක්ෂකයව මුලා කරන්න. මොකද අපි රටේ මහජන මුදලෙන් යැපෙන පුද්ගලයෝ. අපි හොඳ දේ දෙනවා නම් ප්‍රේක්ෂකයන්ට තෑගි බෝග අවශ්‍ය නැහැ.

* රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් විකාශය කර ගැනීමට එක් එක් පුද්ගලයන්ට අල්ලසක් දිය යුතු යැයි ටෙලි නාට්‍ය නිර්මාණකරුවන් නඟන චෝදනාවක්. මෙය සත්‍යයක්ද?

අල්ලස් දීම හා අල්ලසක් ගැනීම කියන දෙකම නීති විරෝධී ක්‍රියාවක්. මම තවම මෙතනට පත් වෙලා බොහොම අඩු කාලයක් පමණයි. මම දන්නේ නැහැ එවැනි චෝදනාවක් තියෙන්නේ මීට පෙර එවැන්නක් මෙහි සිදු වූ නිසා ද කියලා. හැබැයි මම එක දෙයක් කියනවා. මම මෙ සභාපති පුටුවෙ ඉන්නකම් ඒ දේට ඉඩක් නෑ. මම සභාපති පුටුවේ වාඩි වෙන්න කලින් මම සියලු සේවකයන්ට කිව්වා මම වරදක් කරනවා නම් ඒකත් මට පෙන්නලා දෙන්න කියලා. මම වැරැදි දෙයක් කරන්න කියලා බල කරලා ලිපියක් එව්වත් ඒක ආයතනයේ නීතියට පටහැනි නම් මාධ්‍ය සදාචාරයට පටහැනි නම් ඒක නොකර මා වෙත ආපහු එවන්න කියලා මම කිව්වා. මම එහෙම කිව්වේ මගේ තිස් අවුරුදු රාජ්‍ය පරිපාලනය තුළ මගේ අත් දෙක ශුද්ධ නිසා.

* සභාපතිතුමා හිතනවාද දේශපාලන වටපිටාවක් තුළ ඔබතුමන් අපේක්ෂා කරන වෙනස රූපවාහිනිය තුළ කරන්න පුළුවන් කියලා?

මීට පෙර මම හිටිය ආයතනවලත් අල්ලසට, දූෂණයට මම වැට බැන්දා. මාව පත් කළේ රටේ ප්‍රධාන පළමු පුරවැසියා වන ජනාධිපතිතුමන්. එතුමා මාව මෙතනට පත් කළේ මම ගැන නොදැන නොවෙයිනේ. මොකද මාව නැතුව මෙතනට තව කොච්චර අය ඉන්න ඇද්ද එතුමාට පත් කරන්න. ඒත් මාවම සොයලා මේ දේ භාර අරන් කරන්න කියලා මට පැවරුවේ මා ගැන විශ්වාසයක් තියෙන නිසා. මම රාජ්‍ය සේවය තුළ මට හිමි වැටුප ලබා ගත්තා මිසක් රාජ්‍ය දේපල කොල්ල කෑවේ නෑ. කාටවත් කොල්ල කන්න දුන්නෙත් නෑ. මම වීරකැටියේ උප දිසාපති වෙලා ඉන්න කාලේ වර්තමාන ජනාධිපතිතුමා එදා එහේ මන්ත්‍රීවරයෙක්. ඒත් කවදාවත් එතුමා මට රාජකාරියට අයුතුª බලපෑමක් කළේ නැහැ. එතුමාගේ ළඟම පාක්ෂිකයන්ට වුණත් විශේෂයක් කරන්න කවදාවත් බල කළේ නැහැ. රාජ්‍ය නීතිය අනුව කාටත් සාධාරණය කරන්න කියලා තමයි එතුමා මට කිව්වේ. ඒ වකවානුවේ මම දන්න සමහර උප දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු හිටියා තේ අක්කර දහය, පහළොව තමන්ගේ බූදල් කර ගත්ත. හැබැයි මම බිම් අඟලක් ගත්තේ නැහැ. අදටත් මගේ අත් දෙක පිරිසුදුයි. මම මේ සභාපති පුටුව ඉදිරිපිට තියෙන බුදු පිළිමය දෙස බලලා දිවුරලා කියනවා මම මේ ආයතනය තුළ නාස්තිය දූෂණයට ඉඩක් තියන්නේ නෑ කියලා. මට කාගෙන්වත් බලපෑම් එන්නෙත් නෑ කියලා.

* කතාවේ හැටියට නම් සභාපතිතුමා කොන්ද කෙළින් පුද්ගලයෙක්?

කතාවෙන් විතරක් නොවෙයි මම ක්‍රියාවෙනුත් කොන්ද කෙළින් පුද්ගලයෙක්. මට පක්ෂ, පාට, තරාතිරම වැඩක් නැහැ. නීතිගරුකව අවංකව කාටත් වැඩ කරනවා. මට මේ තනතුර නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉන්නකම් අවංකව වැඩ කළොත් කවදා හරි මිනිස්සු කියයි මේ වගේ පුද්ගලයෙකුත් මේ පුටුවේ හිටියනේ කියලා.

* සභාපතිතුමාට දේශපාලන බලපෑම් නැති වෙයි කියලා ඔබට සියයට සියයක් ෂුවර්මද?

ෂුවර් නැත්නම් මම මේ තනතුර භාර ගන්නවයැ. සහතිකයි එදත් මට දේශපාලන බලපෑම් නැහැ. අදත් එහෙමයි. මම රැකියාව කරන්නේ මුදල ගැන හිතලා නෙමේ. සේවය ගැන හිතලා. ඒක තමයි විය යුත්තේ කියලා මම විශ්වාස කරනවා. මම ගැන විමසිලිමත් වන්න. විමර්ශනශීලී වන්න. එතකොට කවුරුත් මම කවුද කියලා දැන ගනීවි. අදටත් මම ගැන දන්නෝ දනිති. නොදන්නෝ දැන ගනිති.