වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවන් නැතිකම මහ දුකක්

දරුවන් නැතිකම මහ දුකක්

චන්දි රසිකාගේ ජීවිතය දෙස හැරී බලමු

තරුණ කළ සිය ජීවිතය රංගනය වෙනුවෙන් කැප කළ ද කාලයකදී ඒ් පිළිබඳව යම් දුකක් සිතෙහි ඇතිවීම කිසිිවෙකුටත් වැළැක්විය හැකි නොවේ. ඇය ද සිය අතීතය වරෙක සොම්නසින් සිහිපත් කළ ද, වරෙක ළතැවෙයි. තවත් වරෙක ජීවිතය දෙස මධ්‍යස්ථව බලයි. මෙවර තනි මංසලට සහභාගි වන මේ තරුව චන්දි රසිකායි.

* ඔබ නිවෙසේ මොන වගේ කටයුතුවල ද නියැලෙන්නේ?

ගෙදර කටයුතුත් සමඟ ඉන්න නිසා මට දවස ගත වෙනවා නොදැනෙන තරම්. ඒත් එක්කම පසුගිය දවස්වල මට බොහොම කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්නටත් සිදු වුණා.

* ඔය තරම්ම හිතට කනගාටුදායක වුණු සිද්ධිය කුමක්ද?

මීට මාස තුනකට පමණ පෙර අමරනාත් ජයතිලක මහත්තයා මිය ගියා. ඔහුගේ මරණය මට ඇති කළේ කම්පනයක්. අද වනතුරුත් ඔහු නැතිවීම පිළිබඳව තිබෙන දුක මගේ සිතෙන් ඈත් වෙලා නැහැ.

* ඇයි ඔබ ඔය තරමටම ඔහු පිළිබඳව දුක් වෙන්නේ?

‘ඔහු මිය යෑමට පෙර චිත්‍රපටයක් කරන්න සියල්ල සූදානම් කරලයි තිබුණේ. චිත්‍රපටය ආරම්භ කරන්න ඔන්න මෙන්න තිබෙද්දියි ඔහු මිය ගියේ. චිත්‍රපට ක්ෂේත්‍රයේ චන්දි රසිකා කියන නාමය ප්‍රචලිත වුණේ ඔහු නිසයි. කාලයකට පස්සේ මා රඟපෑමට සිටිය ඒ චිත්‍රපටයත් යම් දවසක කතාබහට ලක්වේය කියන මතයේ මා සිටියා. ඒ ඔහුගේ ‘අරුණට පෙර’ චිත්‍රපටය වගේ. ඒ අවස්ථාව ගිලිහී යෑම පිළිබඳ මගේ සිතේ තිබෙන්නේ දුකක්. එහෙම කියන්නේ එවැනි ප්‍රබල චරිතයක් මට දෙන්නට තරම් හදවතක්, කිසිවකුටත් ඇති නොවෙනවා කියන මතයේ මා සිටින නිසයි.’

* ඒ චිත්‍රපටයේ ඔබට ලැබෙන්න තිබුණු චරිතය කුමක්ද?

ඔහු ඒ චිත්‍රපටය ලිව්වේ මා වෙනුවෙන්මයි. යුද්ධය අළලා ලියැවුණු තිර පිටපතට අනුව මට රඟපාන්න තිබුණේ යුද සෙබලියකගේ චරිතයක්. සම්මානනීය වෙන්න තිබුණු ඒ අවස්ථාව මට නැතිව ගියා. එවැනි අහිමිවීමක් පිළිබඳ මගේ සිතේ තියෙන්නේ මොන වගේ දුකක් ද කියලා ප්‍රේක්ෂකයන් වටහා ගනීවි. ඒ සිද්ධ වුණු දේට මම කියන්නේ කර්මය කියලයි. අපි මොන තරම් ප්‍රසිද්ධ වුණත් අවසාන ගමන යද්දී යන්නේ නිකම්ම නිකම්. හදා ගත්ත නම ගැන වුණත් කවුරු වුණත් ටික කාලයක් කතා කරාවි. ඊට පස්සේ ඒකත් නැති වෙලා යාවි. ඒ නිසා මේ සියලු දේ අනිත්‍ය කියලයි මට වැටහෙන්නේ.

* ඔබට අනිත්‍යතාවය වැටහෙන්නේ ඔබ අවට සිටින අය නිසාද?

ඔව්. ඒකත් හේතුවක්. අප අවට සිටින සමහර වැරැදි කරන අය බලාගෙන ඉන්නේ අනික් කෙනාට නින්දා කරන්න. අපහාස කරන්න. මානසිකව වට්ටන්න. එහෙම නොකර ඔවුන්ට පිහිට වන්න පුළුවන් නම්, ඔවුන්ව නඟා සිටුවන්න පුළුවන් නම් ඒක තමයි අපි කර ගන්න ලොකුම පින වෙන්නේ. ඒ අය අතර මම ඉස්සෙල්ලා කිව්වා වගේ නළු නිළියොත් ඉන්නවා. හැබැයි ඒ සමහර අය විතරයි. ඒ අතර සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා. ඔවුන් අතර තිබෙන මේ සත්ව ගතිගුණ අතහැරිය යුතුයි. ඒ වගේම අසාධාරණයට මම නයෙක් වගේ. මා පිළිබඳ කවුරු මොනව කිව්වත් උඩ ඉන්න දෙවියන් දන්නවා මා ජීවත්වන විදිය. එලොවටත් මෙලොවටත් වැඩ සිද්ධ කරගෙන ගෙවන ධර්මනුකූල ජීවිතයක් තමයි මම ගත කරන්නේ.

* ඔබ කාලයක් නිළියක් ලෙස ක්ෂේත්‍රයේ කටයුතු කරනවා?

ඔව්. මම මුළු ජීවිතයම කැප කළේ කලාව වෙනුවෙන්. විවාහයක් ගැන හිතුවේ නැහැ. සම්මානනීය තත්ත්වයට මා පත් වුණේ ඒ කළ කැප කිරීම් නිසයි. අද මට විවාහ ජීවිතයත් නැති වෙලා.

* ඔබ කතා කරන්නේ යම් කලකිරීමක් සිතෙහි රඳවාගෙනද?

මම බුදුන් වහන්සේ වගේම කලකිරීම දැක්ක කෙනෙක්. ඒ නිසා මම නැවත ඉපදීමකට කැමැති කෙනෙක් නෙවෙයි. බැරි වෙලාවකටවත් මම ඉපදුණොත් මිනිස්සුන්ට සේවයක් කරන්න හැකි අයුරෙන් ඉපදෙන්න කියලයි මම ඉල්ලන්නේ.

* ඔබ විවාහ නොවීම පිළිබඳ ළතැවෙන කෙනෙක්ද?

ඔව්. අද මම විවාහ නොවීම ගැනත්, මට ළමයෙක් නොමැති වීම ගැනත් දුක් වෙනවා. යම් කෙනෙක් කියන්න පුළුවන් දරුවෝ හිටියත් තනි වෙනවා කියලා. හැම ළමයම එහෙම නැහැ. හොඳ ළමයින් ඒ අතර ඉන්නවා.

* ඇයි ඔබ විවාහ නොවුණේ?

රඟපෑමට යන්න නොදෙන නිසා මම විවාහය අතහැරියා. මට ආව විවාහ යෝජනාවල සිටි අය මම රඟපානවට කැමැති වුණේ නැහැ. ඒ නිසා මම විවාහය අතහැරියා. එත් මම සිතාගෙන සිටියේ මේ දෙකටම කැමැති කෙනෙක් මුණ ගැහෙයි කියලා. පසුව ඔහුව මුණ ගැසුණත්, මගේ අතපසුවීමෙන් ඔහුව මගෙන් ගිලිහුණා. දැන් ඔහු ඇමෙරිකාවල විවාහ වෙලා ඉන්නේ.

* ඇයි එහෙම නම් ඔහුට ඔබ අකැමැති වුණේ?

මම ඒ කෙනාගේ ලස්සන හෙව්වා. ඔහු උසයි, කළුයි. මට එතනයි වැරැදුණේ. දැන් ඇත්තටම මම ඒ ගැන ළතැවෙනවා. විවාහ ජීවිතයක් ගැහැනියකට අවශ්‍යයි. කොහොම වුණත් උපදින ආත්මයක් ආත්මයක් පාසා ගැහැනියක් වෙන්න එපා කියලයි මා ප්‍රාර්ථනා කරන්නේ. මොකද ගැහැනු ආත්මය කියන්නේ විඳවන ආත්මයක්.

* නමුත් ඔබට තවත් සහෝදර සහෝදරියන් ඉන්නවා?

විවාහ නොවී දරුවන් නැති වුණා කියලා මම අනෙක් ළමයින්ට ආදරය නොකරනවා නෙවෙයි. ඒත් මගේ සහෝදර සහෝදරියන්ගේ ළමයි ගැන නම් මට තියෙන්නේ කලකිරීමක්. පුංචි කාලයේ සිටිය අය නෙවෙයි දැන් ඉන්නේ. කුඩා කාලයේ මම ඔවුන්ට ගොඩක් උදව් කළා. බලා ගත්තා. දැන් ඔවුන් ව්‍යාපාරිකයන්. ඉස්සර වගේ නෙවෙයි ඔවුන් දැන් එන්නේ නැහැ. අහක බලනවා. පොඩි දෙයක් ඇත්නම් වැරැදි ගන්නවා. ඒ නිසා ඒ අය ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක්. මේ නිසා ඒ ගොල්ලොත් ඈත් වෙලා. මමත් ඔවුන්ව ඈත් කරලා. හුදකලා ජීවිතයක් තමයි මම ගත කරන්නේ.

* සහෝදර සහෝදරියන් වුණත් ඒ වගේමද?

එක් කෙනෙක් නම් ජීවතුන් අතර නැහැ. ජීවත්වන අයත් මාව බලන්න එන්නේ නැහැ. අක්කයි, මස්සිනයි විතරයි මා ළඟ ඉන්නේ. මේ කාලයේදී ඕනෑම කෙනෙකුට කරුණාව ආදරය අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙලාවකදී ඒ අය මාව පිටු දකිනවා නම් මට කියන්න තිබෙන්නේ මෙච්චරයි. ඒ ඔවුන් මිනිස්සු නොවෙයි කියන එකයි. මගේ තනියට ඉන්නේ බුදුහාමුදුරුවෝත්, ජේසුස්තුමාත් පමණයි.

* ඒ කාලයේ විවාහ වෙන්න කියලා ඔබට ගෙදරින් බලපෑම කළාද?

විවාහ වෙන්න ඕනකම තිබුණත් මගේ අදහසට හරි යන කෙනෙක් මුණ ගැසුණේ නැහැ. මම තරුණ කාලයේදීම අම්මා නැති වුණා. අම්මා ජීවත්ව ඉන්න කාලයේදී පවා නිතරම උත්සාහ ගත්තේ මාව විවාහ කරදීමටයි. ඈ හිටිය නම් මම අද විවාහ වෙලා. ඒ කාලයේ ඈ අපට ඇඟ පෙනෙන ඇදුම් අඳින්නනවත් දුන්නේ නෑ. නිළියක් වෙනවට ඇයගේ සිතේ කොහෙත්ම කැමැත්තක් තිබුණේ නැහැ.

* ඒ කාලයේ ඔබට ආදර ආරාධනා ලැබුණාද?

ඔව්. ඕනෑ තරම් ආරාධනා ලැබුණා. දැනුත් ඒ ආරාධනාවලින් නම් අඩුවක් නෑ. ඒත් මම අදටත් නොගැළපෙන කෙනෙක් සමඟ විවාහ වෙන්න කැමැති නැහැ. මම හිතන්නේ නෑ ඉදිරියේදී මම විවාහ වේවි කියලා. කොහොම වුණත් අද දකින කියන දේවල් සමඟ විවාහය පිළිබඳ සිතන්නවත් බැහැ. ඒ තරමටම සමාජය විනාශ වෙලා. ඔවුන් මේ කුණු ගඳ ගහන ශරීරයට ලොබ බැඳලා.

* ඇයි ඔබ ක්ෂේත්‍රයේ කෙනෙක් විවාහය සඳහා තෝරා නොගත්තේ?

ඒ කාලයේ ක්ෂේත්‍රයේ කෙනෙක් මට කැමැත්තෙන් හිටියා. ඒත් මම ඔහුට කැමැති වුණේ නැත්තේ මගේ කලින් තිබුණු ආදර සම්බන්ධතාවය නිසයි. මොකද මම ඒ කාලයේ කෙනෙකුට ආදරය කළා නම් ඒ හදවතෙන්මයි. මේ වෙනකොට ඒ ආදරයට වසර විස්සක් ගත වෙලා.

* ඒ ආදරයට මොකද වුණේ?

වසර හතරක් විතර ගියාට පස්සෙයි ඔහුව මට නොගැළපෙන බව වැටහුණේ.

* ඔහුව ඔබට ඉඳලා හිටලාවත් දකින්නට ලැබෙන්නේ නැද්ද?

ඔහු දැන් විවාහකයි. ඉඳලා හිටලාවත් දකින්නට ලැබුණත්, පත්තරේ දාපු ලිපියක් නිසාම ඊට පස්සේ ඔහුව දකින්නවත් ලැබුණේ නැහැ.

* තනිකම, පාළුව දැනෙන වෙලාවට මොකද කරන්නේ?

ගෙදර වැඩ නිසා තනිකමට, පාළුවට එන්න ඉඩක් නැහැ. ඊට අමතරව රූපවාහිනිය නරඹනවා. ඒ වගේම ජීවත්ව සිටින කාලයේදී බොහොම හොඳට ජීවත්වෙන්නයි මගේ පැතුම වෙන්නේ.