වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ කුමාරියගේ ආභරණ ගලවලා මම මුඩුක්කු ගැහැනියක් වුණා

රාජ කුමාරියගේ ආභරණ ගලවලා මම මුඩුක්කු ගැහැනියක් වුණා

ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා

ඇය හෙළ සිනමාවේ රෝස කුසුමියයි . . . ඇගේ අයස්කාන්ත වූ මනරම් රංගනයෙන් රිදී තිරය ඔපවත් වූ ඒ ස්වර්ණමය යුගය අදට ද එකම සිහින පාරාදීසයකි. සිංහල සිනමාව තාරකා දිස්නයෙන් බැබැළ වූ දහසක් රසික සිත් සතන් අප්‍රමාණ ආශ්වාදයකින් පින වූ ඇය කාලය ගලා ගියත් අදට ද ජනප්‍රියත්වයේ ඉහළම වැජඹෙන සොඳුරුතම රංගන ශිල්පිනියකි. සෙලෝලයිඩ් පටයට තරු ගුණය ගෙනා ආදරණීය සබීතා පෙරේරා දීර්ඝකාලීන නිහඬත්වයක් බිඳ දමමින් මේ නව වසරේ යළිත් සිනමා උයන මත කුසුමක් සේ පිබිදෙන්නේය.

මේ සුභ ආරංචිය සුවහසක් රසික – රසිකාවන්ට නම් අමා සුවයක්ම වන්නේ සිනමාවේ මේ යුව රැජිණට ඔබ දක්වන ආදරය කොතෙක් ද කියන්න අප හොඳින් දන්නා නිසාය.

සරසවිය පුවත්පත හැමදාමත් මගේ නිළි ජීවිතයට අමරණීය මතක රැසක් ගෙන දුන්නා. ඇත්තටම සරසවිය පුවත්පත හා කතාබහ කරන්නට ලැබීම කවදත් මට සතුටක්.

* ඉතින් . . . ඉතිං . . . මේ අලුත් අවුරුද්ද උදා වූයේ ඔබට සතුට, වාසනාව දෝත පුරවගෙන කියලා ආරංචියි?

ඇත්තටම ඔව්. 2014 නව වසර මට බොහෝ සේ සතුටට පත් විය හැකි වසරක්. මගේ නිළි ජීවිතය කාලයකට පසු යළිත් රසිකයින් අද්දර විකසිත වෙනවා. පහුගිය කාලය පුරාම හැමෝම අහපු දෙයක් තමා යළිත් සබීතා සිනමාවට පා තබන්නේ කවද්ද කියලා. විවාහයත් සමඟ මම ලොකු කාලයක් රංගනයෙන් දුරස් වී උන්නා. ඒත් සිනමාවෙන් ඈත් වුණේ නැහැ. අවුරුදු ගාණකට පසු ජැක්සන් ඇන්තනිගේ ‘අබා’ චිත්‍රපටයෙන් යළිත් මම තිරයට ආවා. රසිකයින් මට ස්තුති කළා කාලයකට පසු එයාලා හමුවට ආවාට. හැමෝම හිතුවේ මම දිගට රඟපායි කියලා. පෞද්ගලික ජීවිතේ කාර්යබහුලත්වය එක්ක එය එසේ වුණේ නැහැ. දැන් පුතා එහෙම ලොකුª නිසා යළිත් මම ටිකක් විතර නිදහස් වුණා. අලුතින්ම මේ චිත්‍රපටි දෙකට මා සම්බන්ධ වූයේ ඇත්තටම ලොකු සතුටකින්.

* නිහඬත්වය බිඳ දැමූ මේ අලුත්ම නිර්මාණ දෙක ගැන කතා කරමු?

සනත් අබේසේකරගේ ‘අජාසත්ත’ චිත්‍රපටය හා ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්රස් නැහැ’ චිත්‍රපටය. ඇත්තටම මම පුදුමාකාර විදිහට සතුටට පත් වන්නේ කාලයකට පසු හොඳ චිත්‍රපට දෙකක වෙනස්ම රංගනයකට දායක වෙන්න ලැබීම ගැනයි. මොකද අජාසත්ත චිත්‍රපටයේ ‘ඛේමා දේවි’ වෙද්දි ‘ඇඩ්රස් නැහැ’ චිත්‍රපටයේ ඊට හාත්පසින් වෙනස් චරිතයක් ‘මුඩුක්කුවේ සන්ධ්‍යා’. රාජ කුමරියගේ ආභරණ ගලවලා මම ඊළඟට පිවිසුණේ මුඩුක්කු ගැහැනියකගේ චරිතයකට. මම හිතනවා මේ චිත්‍රපට දෙක තිරගත වූ පසු රසිකයින් මගේ ලොකු පෙරලියක් දකීවි කියලා.

* සබීතා මේ ඔබ රිදී තිරයට පිවිසෙන්නේ කාලයකට පසු . . . එදා ඔබ සතු තරුණ ජවය මෙදා ඔබට දනුණේ කොහොමද?

කැමරාව නම් මට අමුතු දෙයක් වුණේ නැහැ. මොකද ටික කාලයට කලින් පුංචි තිරේ මම ‘භාර්යාවෝ’ ටෙලි නාට්‍යයේ රඟපෑවානේ. රිදි තිරයේ නම් එදා සතු තරුණ ජවය අදටත් මට ඒ විදිහටම දැනුණා. කාලය ගලා ගොස් තිබෙන බව ඇත්ත. ඒත් මම ලොකේෂන් එකට යන්නේ පුදුමාකාර ප්‍රබෝධයකින්. ඒ නැවුම් බව මා අලුත් කරනවා. ඉතිං නව පරපුරේ අය සමඟ තරුණ ජවයෙන් කරට කර රඟපාන්න මට පුළුවන් වුණා. මම හැමදාමත් කැමරාව ඉදිරියේ අලුත් වෙන නිළියක්.

* නව පරපුර ඔබට දැනුණේ කොහොමද සබීතා?

හොඳයි. අලුත් අයට හොඳ උනන්දුවක් තියෙනවා. ‘අජාසත්ත’ චිත්‍රපටයේදීත් ‘ඇඩ්රස් නැහැ’ චිත‍්‍රපටයේදීත් නව පරපුර මට මුණ ගැහුණා. ඒ අයගේ ආදරය, ගෞරවය ඉහළින්ම ලැබුණා. කා සමඟත් සුහදව ඉන්න නිසා හොඳින් මේ අය එක්ක වැඩ කළා. කලා ලෝකයට අලුත් අය ඕනෑ. කලබල නොවී සංයමයකින් වැඩ කළොත් හොඳ දක්ෂයින් බිහි වෙයි කියලා මම හිතනවා.

* දිගටම තිරයේ ඔබ රාජ කුමාරිය වෙන්නද කල්පනාව?

අපෝ නැහැ. ‘අබා’ චිත්‍රපටයේ ‘උන්මාද චිත්‍රා’ ට පසු තමා ‘අජාසත්ත’ චිත්‍රපටයේ ඛේමා දේවිය’ වුණේ. මම කැමැති එකිනෙකට වෙනස් චරිත කරන්න. ‘ඇඩ්රස් නැහැ’ චිත්‍රපටයේ චරිතය වෙනස් චරිතයක්නේ. මේ චිත්‍රපට දෙකම තිරගත වුණ පසු රසිකයින් දැනගනීවි සබීතාට රාජ කුමරියගේ චරිත පමණක්ම නෙමේ කරන්න පුළුවන් කියලා. මම එකිනෙකට වෙනස් විවිධ චරිත කරපු නිළියක් බව බොහෝ අය දන්නවා.

* කලකට පසු සිනමාවේ ඔබේ සමකාලීනයින් මුණ ගැසුණා මේ චිත්‍රපට දෙක නිසා නේද?

ඔව් . . . ජීවන්, නදීකා ‘අජාසත්ත’ චිත්‍රපටයේ වැඩ කළා. එය සතුටක්. හැබැයි රඟපෑවේ නැතත් කලා ක්ෂේත්‍රයේ බොහෝ උත්සවවලදී මගේ සමකාලීනයින් මට මුණ ගැහෙනවා. මම හැමදාමත් කලාවත් එක්ක ජීිවත් වෙන නිළියක්. කලාවෙන් මිදිලා මට ජීවත් වෙන්න බැහැ.

* ‘ඇඩ්රස් නැහැ’ චිත්‍රපටයේදී හැට්ටයයි - රෙද්දයි ඇඳලා කරපු ඒ රංගනය කොහොමද ඔබට දැනුණේ?

ඇත්තටම ඇඟටම දැනුණා. ‘මුඩුක්කුවේ සන්ධ්‍යා’ලා අප සමාජය තුළ ඕනෑ තරම් ජීවත් වෙනවා. මේක බැහැලා කරපු හොඳ චරිතයක්. ජැක්සන් ඇන්තනි විශ්වාසයෙන් මට මේ චරිතය ලබා දීම ගැන මම ඔහුට ස්තුති කරනවා. මීට කළිනුත් මම ඔහුගේ නිර්මාණවල රඟපාලා තියෙනවා. ඒ හැම නිර්මාණයක්ම පුදුම විදිහට ජනප්‍රිය වුණා. සම්මාන ලැබුණා. මම හිතන්නේ බොහෝ රංගන ශිල්පිනියන් කැමැති දැනෙන්න දෙයක් කරන්න. මගේ නිළි ජීවිතේ එහෙම චරිත බොහෝමයක් ලැබිලා තියෙනවා. ‘ඇඩරස් නැහැ’ චිත්‍රපටයේ ‘මුඩුක්කුවේ සන්ධ්‍යා’ මගේ රංගන ජීවිතයේ අමතක නොවන චරිතයක් වේවි.

* සබීතා ඔබේ මේ අලුත්ම රංගනය ඇගයිය යුතු බව බොහෝ අය කියනවා?

ඇත්තද? තවම චිත්‍රපටය තිරගත වුණෙත් නැතුව එහෙම අහන්න ලැබීම සතුටට කරුණක්. හොඳ රංගනයකින් පසු කවුරුත් අගය කිරීම කියන දේ බලාපොරොත්තු වෙනවා. සම්මාන මගේ නිළි ජීවිතය පුරාම ලැබුණු දේවල් අගය කිරීම කවුරුත් ධෛර්යමත් කරවනවා. ඒත් අද අගය කළ යුතු දේ අගයනවා ද යන්න විටෙක ප්‍රශ්නයක්.

* සබීතා පෙරේරා කියන නිළිය බිහි වෙන්නේ මල් ගස් වටා දුවන චරිතවලින් කියලයි බොහෝ දෙනා කියන්නේ?

ඔව්. මම වාණිජ සිනමාවේ බොහෝම සුන්දර චිත්‍රපට හරහා තමා ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නඟින්නේ. මට ජනප්‍රිය නිළිය සම්මානය ලංකාවෙන් වාගේම පිටරටවලිනුත් ලැබෙන්නේ ඒ සිහින සිතුවම්වල අනගි පෙම් රැගුම් නිසාමයි. හැබැයි ඔය කාටවත් අමතක කරන්න බැහැ ‘දෙවැනි ගමන’, ‘විරාගය’, ‘සිසිල ගිනි ගනී’, ‘විමුක්ති’ වැනි චිත්‍රපටවල මා කළ රංගනය. මගේ පෙනුම වාණිජ සිනමාවේ දොර කවුළු හැරියත් මගේ රංග විශිෂ්ටත්වය කලාත්මක චිත්‍රපටවලින් ඔප් නැ¼ගුණා. හැබැයි එදා අපි වාණිජ සිනමාවේ කරපු ලස්සන චරිත අද සිනමාවේ නැහැ.

* ඔබ සිනමාවේ යුගයක් වර්ණවත් කළ තාරකාවියක් බව අමතක කරන්න බැහැ. එදා සනත් - සබීතා යුගයට පුදුමාකාර ඉල්ලුමක් තිබුණා. එහෙත් අද ඒ තත්ත්වය නැහැ?

ඇත්ත. එදා විජය – මාලිනී, සනත් - සබීතා යුග . . . යුග බැබළුණා. අදටත් අපේ චිත්‍රපට රූපවාහිනියෙන් විකාශනය වෙද්දී පුදුම ප්‍රතිචාරයක් ලැබෙනවා. එදා නළු - නිළියන්ව දේවත්වයෙන් ඇදහුවේ, නිතරම හැම තැනකම ඔවුන් පෙනීීී උන්නේ නැහැ. අද ඒ ස්වර්ණමය යුග බිහි වෙන්නේ නැත්තේ නළු - නිළියන් විසින්ම තමන්ගේ අභිමානය පහතට දාගෙන ඇති නිසා.

* යුගයක් තිරය හැඩ කළ සනත් ගුණතිලක සමඟ රංගනයට අවස්ථාවක් ලැබුණේ නැහැ නේද?

නැහැ. සෑහෙන්න කාලයකින් අපි එකට රඟපෑවේ නැහැ. ජීවන් එක්ක වුණත් ‘අජාසත්ත’ චිත්‍රපටයේ රඟපෑවේ කාලයකට පසුනේ. ‘භාර්යාවෝ’ ටෙලි නාටයේදී ලකී එක්ක රඟපෑවා. මේ සහෝදර ශිල්පීන් හැමදාමත් පුදුම සහයෝගයක් දුන් අය. ඉඳහිටල හරි ඔවුන් සමඟ රඟපාන්න ලැබීම සතුටක්.

* ආයෙත් සබීතා දිගටම රඟපාවිද?

දිගටම නම් කාර්යබහුල වෙන්න මම කැමැති නැහැ. අවුරුද්දකට හොඳ නිර්මාණ දෙකක රඟපෑවොත් ඇති. මම දැන් මුල් තැන දෙන්නේ මගේ පවුල් ජීවිතයට. ඇත්තටම මට ඉන්නේ හුඟාක් හොඳ සැමියෙක්. ඔහු තමා මාව දිරිමත් කරන්නේ රංගනය සඳහා. ගෙදරටම කොටු වෙන්නේ නැතුව ඔයාගේ දක්ෂාතවලින් ප්‍රයෝජනය ගන්න සබීතා කියලා ඔහු මට කියනවා. හොඳ පිටපතක් ලැබුණොත් උනන්දුවෙන් මම රඟපානවා.

* බොහෝ දෙනා නොදන්නවාට ඔබ ව්‍යාපාර කටයුතුවලත් ලොකු නැඹුරුවක් ඇති නිළියක්?

විවාහයෙන් පසු සැමියාගේ ව්‍යාපාරවලට දිගටම අත දෙන්න මම තීරණය කළා. ටිකෙන් ටික එය මගේ ඇඟට ආවා. අද මම සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. අපේ පවුලේ දියුණුව එයයි. සහයෝගය තමා ඕනෑම දේකට අවශ්‍ය.

* සබීතා ඔබේ පුතා ඔබ මෙන්ම ලස්සනයි. කවදා හරි ඔහු රංගනයට පිවිසෙයිද?

පුතා දැන් හොඳට ඉගෙන ගන්නවා. අද මොන දේ කරන්නත් පෙර ඕනේ ඉගෙනුම. එයා රංගනයට එයි ද කියලා මට හරියට කියන්න බැහැ. හැබැයි එයා කලාවට ආදරෙයි. මම රඟපානවාට ආසයි. මම මගේ පුතාව ඇස් මානයේ තියාගෙන හදනවා. ඒකයි වැඩිපුරම කාර්්‍යබහුල වෙන්න කැමැති නැත්තේ.

* ඔව් . . . සබීතා දැන් අපේ නළු - නිළියන් හරි හරියට දේශපාලනයට එනවා. ඔබත් දවසක දේශපාලනය තුළ දකින්න ලැබේවිද?

කවදාවත් නැහැ. දේශපාලනයට එන නළු - නිළියන්ගෙන් මම ඉල්ලන්නේ කලාව ගොඩ නඟන්න කැප වෙන්න කියලයි. මගේ විෂය කලාව. මම මැරෙකම් ඒ තුළයි ඉන්නේ.

* ඔබේ ආදරණීය මවුපියන් පසුගිය කාලේ ජීවිතයෙන් සමුගත්තා. දරා ගත්තේ කොහොමද?

තාවකාලික මේ ජීවිතේ අපි හැමෝටම සමුගන්න සිදු වෙනවා. මම පත පොත කියවන ජීවිතය අවබෝධයෙන් තේරුම් ගත් නිළිියක්. මවුපියන්ගේ සමුගැන්ම අතිශය වේදනාවක්.

* සබීතා ඇත්තටම ඔබ තාමත් පියකරුයි. බැස නොයන ඔය තාරුණ්‍යයේ රහස කුමක්ද?

මම මාව අත නොහැරීම. සිහින් සිරුරකට මම කවදත් කැමැතියි. උපතින් ලද රූපයට සිතේ ඇතිවන පහන් සිතිවිලි සමඟ නිදහසේ ගලා යන්න ඉඩ දීම . . . සදා තාරුණ්‍යයේ රහස තමා.

ඔව් . . . සබීතා එහෙම නම් ඔබට ජයෙන් ජයම වේවා!