වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ හෝල් ඩිජිටල් වෙනකල් 28 පෙන්නන්න වෙන්නේ නැහැ

ලංකාවේ හෝල් ඩිජිටල් වෙනකල් 28 පෙන්නන්න වෙන්නේ නැහැ

ප්‍රසන්න ජයකොඩි

අපේ රටේ සිනමාව පිළිබඳ අවබෝධයෙන් සොයා බලන බුද්ධිමත් පේ‍්‍රක්ෂකයන්ට ප්‍රසන්න ජයකොඩි සමීපතම අධ්‍යක්ෂවරයෙකි. සංඛාරා තනමින් චිත්‍රපට ඉතිහාසයේ තම නම සටහන් කරගත් ප්‍රසන්න දෙවනුව අපට හමු වන්නේ කර්ම සමඟිනි.

නිරතුරුවම එකිනෙකට වෙනස් මාතෘකා වස්තු බීජය කොට ගන්නා ප්‍රසන්න පිළිබඳව මේ දිනවල කතාබහට ලක්වන්නේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලේ නෙට්පැක් සම්මානයෙන් පිදුම් ලැබීම නිසාමය. අපේ රටේ චිත්‍රපට කලාවට මෙන්ම මුළු මහත් රටටම ආඩම්බරයක් කැන්දා දුන් ඔහු සමඟ සරසවිය කළ කතාබහකි මේ.

* ප්‍රසන්න සුබපැතුම් සමඟ අපි සම්මානයේ සතුට බෙදා ගනිමු?

මෙම උළෙල ලෝකයේ පැවැත්වෙන සම්මාන උළෙලවල ප්‍රධානතම තැනක් ගන්නා සම්මාන උළෙලක්. විවිධ ඉසව් වෙනුවෙන් සම්මාන පිරිනැමුණු මෙම උළෙලේ කොන්දේසි අනුව මට ලැබෙනවා නම් ලැබෙන්නට තිබුණේ ප්‍රේක්ෂක ඡන්ද අනුව ලැබෙන නෙට්පැක් සම්මානය. නමුත් මම මේ සම්මානය ලැබේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. නමුත් අවසානයේ සම්මානය ලැබීම සතුටට කරුණක්.

* සම්මානය ලැබෙයි කියලා විශ්වාසයක් නොතිබුණු නිසා ද සම්මාන උළෙල දිනයට පෙර ලංකාවට ආවේ?

මෙහෙමයි, මේ සම්මාන උළෙල ගැන නිර්මාණ භාර ගන්නා දිනය පහු වුණාම තමයි අපේ නිර්මාණය යැව්වේ. නමුත් උළෙලේ අපේ නිර්මාණය ප්‍රදර්ශනය කරද්දී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. නමුත් සම්මානයක් පිළිබඳ පුංචි බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ.

මේ හේතුව නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය කොට නිමා වූ පසු මං ලංකාවට ආවා. ඇවිත් ඉන්නකොට තමයි සංවිධායක මණ්ඩලයෙන් මට සම්මානයක් තිබෙන බව දැනුම් දුන්නේ. ඒ වෙලාවෙ දුකකුත් ඇති වුණා. මොකද මං ඉඳල ආව නිසා. කෙසේ හෝ සංවිධායක මණ්ඩලය දුරකතන මාර්ගයෙන් මගේ අදහස් විමසීමක් ද සිදු කොට සම්මානය පිරිනැමුවා.

* 28 වෙනස් නමක්.

ඇත්තටම මේ නිර්මාණයත් වෙනස් එකක්. මේ පිටපත ලියලා ඒක කරනකම් මං බලාගෙන හිටියේ ඉවසිලි නැතුව. මේ නිර්මාණය සඳහා පහළොස් දෙනෙක් විතර සල්ලි දැම්මා. හැමෝම ශ්‍රම දායකත්වය ලබා දුන්නා. තවත් ඇතැම් දෙනා කොටස් වශයෙන් සල්ලි දාලා අපට උදව් කළා. ඇත්තටම කිව්වොත් 28 සාමුහික එකමුතුවක ප්‍රතිඵලයක්. උපකරණ, ශ්‍රමය, රඟපෑම වගේ දේවල්වලින් උදව් දුන් අයත් ඉන්නවා. ඒ අනුව බැලුවමත් 28 වෙනස්.

මේ චිත්‍රපටය තුළ මා කතාබහ කළේ ලිංගිකත්වය පිළිබඳ ගැඹුරු කාරණා සමුදායක්. පසුගිය කාලේ ලිංගික කාරණා නිසා අපේ රටේ කී දෙනෙක් මිය ගියාද? මේක හරිම පුදුම කාරණාවක්. මේ වසර තුළ අපට ස්ත්‍රී දූෂණ කීයක් අහන්න ලැබුණාද? මේ කාරණා පිළිබඳ මම ඉතා ගැඹුරින් අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් විදියට තමයි 28 බිහි වුණේ.

ලෝකය පවතින්න මූලිකම කාරණය වන්නේ ලිංගිකත්වය. ලෝකය පවතින්නේ ලිංගිකත්වය නිසා. ලෝකයට නව ජීවිතයක් තනන ලිංගික කාරණාවක් ඉටු කර ගන්නට තවත් කෙනෙකුගේ ජීවිතය අහිමි කරන්න තරම් අද මිනිස්සු මිලේච්ඡ වෙලා. මේ කාරණාව පිළිබඳ වෙනස්ම ආකාරයේ කතාබහක 28 හරහා මා නියැලුණා.

* 28 ගැන අපේ රට තුළ වැඩි කතාබහක් තිබුණේ නෑ නේද?

ඔව්. අපට තිබුණු මූල්‍ය අර්බුදය නිසා පබ්ලිසිටි කැම්පේන් එකට වඩා හිතුවේ චිත්‍රපටය කරලා ඉවර කරන්න. කොහොමත් මගේ චිත්‍රපටවලට මං මාධ්‍යයයෙන් සහයෝගය ලබා ගන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරද්දී. ඊට ඉස්සර වෙලා ඇතැම් වෙලාවට ප්‍රචාරක කටයුතුª සිදු වුණු අවස්ථාත් තියෙනවා. මේ චිත්‍රපටයට මුහුරත් උළෙලත් තියන්න, ඒ සඳහා ප්‍රචාරය ලබා දෙන්න අපට සල්ලි තිබුණේ නැහැ.

* 28 කියන්නේ අමුතු නමක්?

ඔව්. 28 කියලා නම තිබ්බේ හේතු කිහිපයක් නිසයි. මිනිසුන්ගේ ජීවිත සඳ සමඟ ඉතාමත් බද්ධව පවතිනවා. සඳ සමඟ මිනිසුන්ගේ හැඟීම් වෙනස් වෙනවා. ඒ නිසා 28 කියන සඳ සමඟ බද්ධ මාස ක්‍රමය අප කළ මේ චිත්‍රපටය සඳහා යොදා ගත්තා. ඒ වගේම කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට අදාළ දිනයන් නිසාම එය යොදා ගත්තා.

* කර්ම සඳහා ලංකාවේ ප්‍රේක්ෂකයා සාධාරණයක් ඉටු කළා කියලා ඔබ හිතනවාද?

මෙහෙමයි, මං ඉස්සර සෙවණැලි සහ මිනිස්සු කියලා නාට්‍යයක් හැදුවා. ඒ කාලේ ඒ නාට්‍යයට විවිධ ප්‍රතිචාර ආවා. ඒත් දැන් බොහෝ දෙනා අහනවා ඒ නාට්‍යය පෙන්වන්නේ නැද්ද කියලා. කර්මත් මං හැදුවේ හැම පේ‍්‍රක්ෂකයාටම නෙවෙයි. ඒ රහ දන්න පිරිස කර්ම තේරුම් ගත්තා. බැලුවා. මං හිතන්නේ කර්මවලට තරම් ලංකාවේ විචාර ලිපි පළ වුණු නිර්මාණයක් මෑත කාලේ මං දැකලා නැහැ. ඒකම මගේ ජයග්‍රහණයක්. මේක ඉතිරියක්. ඉදිරි පරපුර ඇතැම් විට කර්ම ගැන කතා කරාවි.

* විචාර ලිපි පළවීම හා ප්‍රේක්ෂක ආකර්ෂණය කියන්නේ දෙකක්?

ඔව්. මං ඉලක්ක කළ ප්‍රේක්ෂකයා කර්ම බැලුවා. මට ඒ ඇති.

* 28 ටත් එහෙම වේවිද?

කොහොමද?

* කර්ම වගේ?

නැහැ. සිනමාකරුවකු නිර්මාණය කරන හැම චිත්‍රපටයක්ම එක වගේ වෙන්නේ නැහැ. 28 වෙනස් ආකාරයකට සමාජීය ප්‍රශ්නයක් ගැන කතා කරන චිත්‍රපටයක්. ඒ ප්‍රශ්නය හැමෝම අහල දැකලා තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය හැමීටම තේරුම් ගන්න පුළුවන් වේවි කියලා මං හිතනවා.

* කර්ම හරහා ඔබ නදීක ගුරුගේ සිනමා නළුවකුª කරනවා. 28 එහෙම වෙනස් අත්හදා බැලීමක් කළ චිත්‍රපටයක්ද?

නැහැ. මේ සඳහා යොදා ගත්තේ අපට සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් පිරිසක්. මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, සේමිනී ඉද්දමල්ගොඩ හා රුක්මල් නිරෝෂ් තමයි ප්‍රධාන චරිත රඟපෑවේ.

* චිත්‍රපටය කවද විතර ලංකාවේ පෙන්වන්නද හිතාගෙන ඉන්නේ?

මේ චිත්‍රපටය සම්පූර්ණයෙන් ලංකාවේ කරපු වැඩක්. ඒ වගේම තාක්ෂණය උපරිම ප්‍රයෝජනයට ගත් චිත්‍රපටයක්. අපේ පොසිටිව් නැහැ. ඒ නිසා ලංකාවේ හෝල් ඩිජිටල් වෙනකං 28 පෙන්වන්න බෑ.