වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අද ජීවන්ට 50 යි 30 යි

අද ජීවන්ට 50 යි 30 යි

හිත මිතුරන්ට පැදුරු සාජ්ජයක්

ජීවන් හඳුන්නෙත්ති කියන්නේ ප්‍රේක්‍ෂකයන් බොහොම ආදරය කරන කෙනෙක්. ඔහු පසුගිය දවස්වල ඔබ ඉදිරියට ආවේ ‘කෝරලේ මහත්තයා’ ටෙලි නාට්‍යයේ උක්කුවා විදියට. එදා ඒ උක්කුවට බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ විතරක් නෙවෙයි අදත් ජීවන්ව මුණ ගැසෙන ප්‍රේක්‍ෂකයෝ බොහෝ දෙනෙක් ඔහුව ආමන්ත්‍රණය කරන්නේ උක්කුවා නමින්. මේ උක්කුවා කලාවට පිවිසිලා වසර තිහක්. ඒ වගේම ඔහුටත් අවුරුදු පනහක් ලබලා. මේ සියල්ල සමරන්න ඔහු සූදානම් වෙන්නේ පැදුරු සාජ්ජයකට මුල පුරමින්. ඒ අද රාත්‍රී 7.00 ට ජීවන්ගේ නිවසේදී.

“කලා කරුවෙක් විදියට වසර තිහක් ගත වෙනවා. කියන්නේ ලොකු කාලයක්. මම අදටත් ජීවත් වෙන්නේ කලාවෙන්. ඒ වගේම මට වසර පනහක් ලබලා. ඒ කාරණයත් මගේ ජීවිතයේ බොහෝම සුවිශේෂයි. මේ කාරණා දෙක මූලික කරගනිමින් මගේ නිවසේ පැදුරු සාජ්ජයක් තියන්න මම තීරණය කළා. පැදුරු සාජ්ජයට කලාකරුවන් වගේම නෑ හිත මිත්‍රාදීන් ද පැමිණීමට නියමිතයි. මේ සියලු කටයුතු පිළිබඳ මාව නිතරම උනන්දු කරන, සහයෝගය දෙන මගේ බිරිඳත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා.”

ජීවන් හඳුන්නෙත්තිගේ උපන් ගම බලපිටිය. බලපිටියේ සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්ත ජීවන් පාසල් වේදිකාවේ දක්‍ෂ රංඟන ශිල්පියෙක්. ඔහු පාසලේ දී කළ ‘යන එනමං’ වේදිකා නාට්‍යය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ගන්නවා විතරක් නෙවෙයි ඔහු එහි හොඳම නළුවාත් වෙනවා. ඔහු කොයිතරම් ගමේ ජනපි‍්‍රයද කිව්වොත් ගුණපාල සිල්වාගේ ‘ඈත බලන් පුතුනේ’ නාට්‍යයෙත් රඟපානවා. ජීවන් ප්‍රසිද්ධ වේදිකාවට පිය නඟන්නේ ෂම්මි රෝහිත කියන යාළුවා නිසා. ඔහු මාර්ගයෙන් බන්දුල විතානගේ මුණ ගැසෙන ජීවන්ට ‘වැනිසියේ වෙළෙන්ඳා’ වේදිකා නාට්‍යයේ ස්ටීවනෝ වෙන්නට වාසනාව හිමි වෙන්නේ මේ අතරයි.

“ඊට පස්සෙ පසු කාලයේදි මට ලාස්ලට් ගේ චරිතය කරන්නත් ඉඩ ලැබෙනවා. ඒ වගේම එදිරිවීර සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධන, රත්නසිරි පරණවිතාන, සොමී රත්නායක, පුණ්‍යසේන ගුණසිංහ, පරාක්‍රම නිරිඇල්ල, රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, වේහැල්ලේ පියතිලක වගේ වේදිකා නාට්‍ය කලාවට ජීවයක් දුන්න බොහෝ අධ්‍යක්‍ෂවරුන්ගේ නාට්‍යවලට මම රංගනයෙන් දායක වෙනවා.”

‘අත්ත බිඳෙයි’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය කලාවට පිවිසෙන ජීවන් වඩාත් ජනපි‍්‍රය වන්නේ ‘පුංචි වීරයෙක්’ ටෙලි නාට්‍යයේ හනිෆා කියන මුස්ලිම් චරිතය සඳහා කළ රඟපෑමෙන්. ඉන් පස්සෙ ‘පින්කඳ සිමෝනා’, ‘සිටු මැදුර’, ‘පිංගල දනව්ව‘, ‘ඉහිරුණු කිරි’ ඇතුළු ටෙලි නාට්‍ය රාශියකට රංඟනයෙන් දායකවන අතරම සිනමාවටත් ඔහුගේ රංඟනය රැගෙන යනවා. සුනිල් සෝම පීරිස් ගේ ‘ඉරහඳ ඉල්ලා, වැඩ බැරි ටාසන් මැතිසබයට, අලි සුරතල්, ජයපිට ජය’ වගේ චිත්‍රපටවලට වගේම ‘රන් කෙවිට’, ‘දියයට ගින්දර’, ‘වන්ෂොට්’, ‘ලීඩර්’, ‘අභිනික්මන’, ‘ඇද්දා කොඩිය දැම්මා ලණුව’ කියන චිත්‍රපටවලත් රඟපානවා.

‘මගේ යාළු මාළු’ වගේම ‘රන් දහ බිඳු’, ‘සිසිල වගේ’ චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් ඉදිරියේදී ප්‍රේක්‍ෂක හමුවට පැමිණෙන්නට නියමිතයි.

ජීවන් අද කලා ලොවේ යම් තැනක සිටිනවා නම් ඒ තැන හිමි වූයේ ඔහුගේ බිරිඳ වන නිරෝෂනී හඳුන්නෙත්ති නිසා. නර්තන උපදේශිකාවක් විදියට කටයුතු කරන ඈ ජීවන්ට ආලෝකයක්. පුතා ශනිදු හඳුන්නේත්ති. ඔවුන් තිදෙනාගේ එකමුතුවෙන් ජීවන්ගේ කැදැල්ල සුන්දර වෙලා. ඒ සුන්දරත්වය තවත් දියුණු තියුණු වෙන්නේ අද යෙදෙන පැදුරු සාජ්ජයෙන්.