|
අපේ අය ඉන්දියාවටත් පොලු තිබ්බාප්රවීන් ජයරත්න සමඟ Update කතාබහක්
තරු අහසේ බැබළි බැබළි තිබෙන බව සත්‍යයකි. එහෙත් ඩිල්මන් ජයරත්න අහසේ තැබුවහොත් ඔහු මන්දාකිණියකි. පොළොව මට්ටමින් තැබුවහොත් ඔහු බලය දරා සිටින කණුවකි. ඔහුගේ නම අසා නොතිබෙන කෙනකුට ඩිල්මන් ජයරත්න එසේ හඳුන්වා දීම සාධාරණය. අද ඔහු අප අතර නැති වුව ද අද වුවත් කොස්වත්ත තලංගම පැත්තේ සිනමා මාන්දම්කාරයන් ඩිල්මන් ජයරත්නව හඳුනන බව මම ද අත්දැකීමෙන් දනිමි. සිංහල සිනමාවට දැවැන්ත සේවයක් සැලසූ ඩිල් ෆිල්ම්ස් ආයතනය බිහි වූයේ ඩිිල්මන් ජයරත්න අතිනි. පුරා වසර 30 කට ආසන්න කාලයක් චිත්‍රපට සඳහා වර්ණ රසායනාගාර සේවා, ආම්පන්න සේවා ඇතුළු පුළුල් සේවා රාශියක් ඩිල් ෆිල්ම්ස් අතින් සිදු කෙරිණි. ඩිල්මන්ගේ පුත්‍රයා වනුයේ ප්‍රවීන් ජයරත්නයි. ඇනලොග් යුගයේ එසේත් නැත්නම් කළු සුදු යුගයේ සිටම සිනමා මාන්දම්කාරයෙක් ලෙස ප්‍රසිද්ධ ඩිල්මන් මුලින්ම කැමරාවක් ගෙන චිත්‍රපටයක් රූගත කරන්නට එළියට බැස්සේ ද පාසල් සමයේය. රංජිත් ලාල් ඇතුළු පිරිසක් එදා ‘නිම්වළල්ල’ චිත්‍රපටය රූගත කළේ තම තමන්ගේ සිනමා මාන්දම හා තරුණ ගාය මොනවට පෙන්නුම් කරමිනි. මෙදා ප්‍රවීන් පියාගේ අඩි පාරේ යමින් ඩිජිටල් සිනමාවේ සෑම ඉමක්ම ස්පර්ශ කළ අයෙකි. පියාගේ ඩිල් ෆිල්ම්ස් ආයතනය වඩාත් පුළුල් කරමින් අලුත් තාක්ෂණයෙන් යාවත්කාලීන කරමින් ප්‍රවීන් එය වඩාත් වෘත්තීමය තත්ත්වයකට අද වන විට රැගෙන විත් තිබේ. ඩිජිටල් ලෝකයේ අප්ඩේට් නොවී සිටීම බරපතල වැරැද්දකි. මා ප්‍රවීන් සමඟ කතාබහකට මා එකතු වන්නේ එහෙමය. පහුගිය වසර කිහිපය ඩිල් ෆිල්ම්ස් ගත කළේ කෙසේද? එය මෙතැනින් කොතැනටද? කතාබහ නවත්වන තැන ප්‍රවීන් ඒ ගැන පැහැදිලි චිත්‍රයක් ලබා දුන්නා. * ප්‍රවින් ළඟදී සම්මානයකටත් නිර්දේශ වුණා නේද? ඔව්. දෙරණ සිනමා සම්මාන උළෙලට හොඳම සංස්කරණයට නිර්දේශ වුණා ඇඩ්‍රස් නෑ චිත්‍රපටයෙන්. ඊට වඩා දෙයක් නම් ඕක ගැන කතා කරන්න මම කැමති නැහැ. * ඔබ කාලෙකට කලින් හොඳ ව්‍යාපෘතියකට අත ගැහුවා චිත්‍රපට නිෂ්පාදනය සම්බන්ධයෙන්. කොහොමද දැන් ඒකේ තත්ත්වය? අපි හොඳ කන්සෙප්ට් එකක් දියුණු කළා. චිත්‍රපටයක් සාර්ථක විදිහට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක අපි ඕනෑම කෙනකුට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහටයි සකස් කළේ. විශේෂයෙන්ම නවකයන්ට. අපේ ඩිල් ෆිල්ම්ස් ආයතනයයි මට බොහොම හිතවත්කම් තිබ්බ රන්දීප මීඩියා ආයතනයයි තමා වැඩේට මුල පිරුවේ. බුද්ධික වික්‍රමාදර කියන මගේ මිත්‍රයාට ලොකු උවමනාවක් තිබ්බා මේ වැඩේ ක්‍රියාත්මක තලයට ගේන්න. නමුත් මේ කන්සෙප්ට් එක වැඩ කළේ නැහැ. * වැඩ කළේ නැහැයි කිව්වේ? වැඩ කළේ නැහැයි කිව්වෙ මේ කන්සෙප්ට් එක ගොඩක් අයට තේරුණේ නැහැ. හැමෝම වගේ කැමති වුණේ පරණ විදිහටම නිෂ්පාදකයෙක්ව හොයාගෙන පරණ විදිහටම වියදම් කරගෙන චිත්‍රපට නිෂ්පාදය කර ගන්න. * එතකොට ඔබ යෝජනා කරපු සංකල්පය මොකක්ද? මේක හරි සරලයි. හැබැයි බොහොම ප්‍රවේශමෙන් හැම දේම අවධානයට ලක් කරලා කරන වැඩක්. තිර පිටපතක් ලැබුණු විට අපි මේක රූප රාමුවෙන් රාමුවට පරික්ෂා කරනවා. කිසියම් තැනක් තිබෙනවා නම් ප්‍රේක්ෂකයාගේ අවධානය ගිලිහෙන අපි ඒ තැන හදනවා. අපි ඒක කරන්නේ පිටපත් රචකයා මූලික කරගෙන. එහෙම අධ්‍යනය කරලා අපි පරිපූර්ණ පිටපතන් හදා ගන්නවා. ඊට පස්සේ අපි යන්නේ රූපගත කිරීම්වලට. එතනදි ඩිල් ෆිල්ම්ස් එකට පුළුවන් සෑම සේවාවක්ම ඒකට ලබා දෙන්න. පසු නිෂ්පාදන කටයුතුවලටත් එහෙමයි. සියල්ලම එකම තැනකින් කරදරයක් නැතිව හොඳ චිත්‍රපටයක් හදා ගන්න පුළුවන්. අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදකයාගේ ලාභයෙන් සුළු කොටසක් පමණයි. මේක නිෂ්පාදකයන්ට අධ්‍යක්ෂවරුන්ට ලාභදායී පහසුම ක්‍රමයක්. නමුත් පරණ ක්‍රමයමයි අපේ අය වැළඳ ගන්නේ. මේ කන්සප්ට් එක දැන් ක්‍රියාත්මක නොවුණත් ඩිල් ෆිල්ම්ස් හැටියට මට පුළුවන් මේ විදිහට චිත්‍රපටවලට උදව් කරන්න පිටින් සම්පත් ගෙනල්ල හරි. * සමහර විට ඔය දේටත් වඩා අඩු වියදම් ක්‍රම ජනප්‍රිය ඇතිනේ. මං කිව්වේ නිෂ්පාදනය පැත්තෙන්? ඇත්ත. මේ කර්මාන්තය ඇතුළේ වෘත්තීමය නොවන අඩු වියදම් වැඩ ඕනෑ තරම් වෙනවා. විශේෂයෙන්ම ඔය වගේ දේවල් වෙනවා පසු නිෂ්පාදන කටයුතුවල. නිකං හිතන්නකෝ ඕනෑමනං කොල්ලෙක්ට බෝඩිං කාමරයක් ඇතුළේ පරිඝනක ටිකයි අදාල මෘදුකාංග ටිකයි දාගන වැඩ කරන්න බැරිද කියලත්, පුළුවන් නේ. චිත්‍රපට විතරක් නෙවෙයි මියුසික් වීඩියෝ එකේ ඉඳන් සංගීතය පටිගත කරන වැඩේ දක්වා අද වෘත්තීමය නොවන තත්ත්වයට ඇවිල්ලා ඉවරයි. ඔය ගොඩක් තැන්වල වෘත්තීමය විදිහට වැඩත් කරගන්න පුළුවන් තරමේ පරිසරයක් නැහැ. වටපිටාවක් නැහැ. මේ වටපිටාව ගන්න පුළුවන් හොඳ ස්ටුඩියෝ එකක් අතුලේ විතරයි. * වෘත්තීමයභාවය කියන කොටයි මතක් වුණේ ඔබේ පියා ඩිල් ෆිල්ම්ස් ආරම්භ කරලා දශක 3 ක් පමණ නේද? තාත්තා 80 දශකයේ ඉඳන්ම හොංකොං කලර් ලැබ් එකේ ලංකාවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළා. ඒ දවස්වල බොහොමයක් චිත්‍රපට තාත්තා තමයි ලංකාවෙන් හොංකොං ගෙනිහින් ඒවා වර්ණ චිත්‍රපට විදිහට පරිවර්තනය කළේ. ඊටත් කලින් මගේ සීයා ඡායාරුප ක්ෂේත්‍රයේ හිටියේ. කෑගල්ල ජයරත්න ස්ටුඩියෝ එක අපේ සීයා ආරම්භ කරපු එකක්. තාත්තා පටන් ගත්ත වර්ණ රසායනාගාර සේවාව අවුරුදු 27 ක් පවත්වාගෙන ගියා ඩිල් ෆිල්ම්ස් යටතේ. එහෙම බලන කොට සීයා, තාත්තා, මම පරම්පරා 3 ක් මේ ක්ෂෙත්‍රයේ රැඳිලා අත්දැකීම් ගොඩක් එකතු කරගෙන තිබෙනවා. * වැදගත්ම දේ අවුරුදු 27 ක් මිලි මීටර් 35 වර්ණ පටල පටි සමඟ ගත කරපු ඔබේ ආයතනය 2016 අද වන විට සිදු කරන ලද වෙනස්කම් මොනවාද? අද වෙන කොට මම ලෝකයේ භාවිතා කරන හොඳම තාක්ෂණය නියමිත තත්ත්වයෙන් ඩිල් ෆිල්ම්ස්වලට ගෙනල්ලා ඉවරයි. චිත්‍රපට සංස්කරණය, දෘශ්‍ය ප්‍රයෝග, ශබ්ද ප්‍රයෝග වගේ ලොකු ක්ෂේත්‍රයක් අද ඩිල් ෆිල්ම්ස් ආවරණය කරනවා. ලෝකයේ පිළිගත් 5:1 සරවුන්ඩ් ශබ්ද මිශ්‍රණය වගේම 7.1 සරවුන්ඩ් ශබ්ද මිශ්‍රණයත් අපේ ආයතනයෙන් කරගන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපට ඩිජිටල් සිනමා පැකේජ්වලට පරිවර්තනය කරන්නත් අපිට හැකියාව තියෙනවා. අපි තවත් අපේ හැකියාවන් වැඩි කරලා රූපගත කිරීම් පහසු කරන්න වර්ග අඩි 3000 ක මැදිරියක් සහ බහු කැමරා පද්ධතියකුයි ගෙනල්ලා තියෙනවා. මේ දවස්වල අපේ මැදිරි කාර්යබහුලයි. රූපවාහිනී වැඩසටහන් වගේම මියුසික් වීඩියෝ රූපගත කරන්නත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම අපි චිත්‍රපට 3ච් (ත්‍රිමාන) තාක්ෂණයට පරිවර්තනය කරන්නත් හැකියාව තියෙනවා. මේ සියල්ල නිම කරලා අනර්ඝ තත්ත්වයෙන් බලන්න 7.1 ශබ්ද මිශ්‍රණය සහිත සිනමා ශාලාවකුත් ෆොලේ ශබ්ද මැදිරියකුත් මට ආයතනය තුළ ගොඩ නඟාගන්න පුළුවන් වුණා. * මම දන්න විදිහට ඔබගේ ආයතනයේ තිබුණ මිලි මිටර් 35 කැමරා ආම්පන්න තමයි ලංකාවේ ගොඩක් වැඩවලට පාවිච්චි කළේ. දැන් ඔබ කොහොමද ඩිජිටල් තාක්ෂණය මේකට අනුගත කරන්නේ? දැන් නම් මිලි මීටර් 35 කැමරා භාවිත කරන්නේ නැති තරම්. තිබ්බ පරණ කැමරා උපකරණ කිහිපයකුත් මම සංරක්ෂණය කරන්න දීලයි තියෙන්නේ. ඒ වෙනුවට අපි ලෝකයේ දියුණුතම RED EPIC කැමරාව ආදේශ කරලා තියෙනවා. ලෝකයේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගොඩක් මේ RED EPIC කැමරාවෙන් තමා රූපගත කරලා තියෙන්නේ. අඩු වියදම් වැඩ සඳහා මම ගෙන්වලා තියෙනවා RED MX කැමරාව. EPIC තරම්ම නොවුණත් ලෝකයේ තියෙන අනර්ඝ කැමරාවක් තමයි RED MX කියන්නෙත්. මේ කැමරාවලින් වැඩ ගන්න පුළුවන් විදිහට මම මේ සඳහා හොඳ කාච කට්ටලයක් ගෙන්වලා තියෙනවා. ලෝකයේ තිබෙන විශිෂ්ඨතම කාච කට්ටලයක් වන ඇරිෆ්ලෙක්ස් ULTRA PRIME කට්ටලය වගේම RED PRIME කට්ටලය වගේම RED PRIME PRO කාචත් දැනට අපි ළඟ තියෙනවා.. ULTRA PRIME කියන්නේ කාලයක් තිස්සේ නෙවෙනස්ව නිෂ්පාදනය කරන ලද කාච කට්ටලයක්. අපි ඒ සඳහා රුපියල් මිලියන 15 ක් පමණ වැය කළා. * අද වන විට ලෝකයේ චිත්‍රපට සඳහා භාවිත වෙන ශබ්දත් සෑහෙන දියුණු මට්ටමක තියෙන්නේ. ඔබ කොහොමද මේ ආයතනය ඇතුළේ ඒ දේ යාවත්කාලීන කරන්නේ? අපිට 5.1 වගේ 7.1 ශබ්ද මිශ්‍රණයත් කරන්න පුළුවන්. නමුත් ලෝකයේ පිළිගත්ත ස්ටෑන්ඩඩ් එක තමයි 5.1 ශබ්ද මිශ්‍රණය. අද වෙන කොට DTS ශබ්ද තාක්ෂණය නැති තරම්. ඒ වෙනුවට ආදේශ වුණේ SONY සමාගමේ SDDS තාක්ෂණය. SDDS තාක්ෂණයත් 7.1 දක්වා දියුණු කරලා තියෙනවා DOLBY සමාගම වගේම. නමුත් මෑතකදී DOLBY සමාගම හඳුන්වා දුන්නා DOLBY ATMOS කියන තාක්ෂණය. මේ තාක්ෂණය 22:1 තරම් ලොකු පරාසයකට විහිදෙනවා. ඉතාම දියුණුයි. මෙහි මිශ්‍රණය සාමාන්‍යයෙන් අපිට ශබ්ද ඇහෙන්නේ දෙපැත්තෙන් වුණාට මෙහි ශබ්ද ඉහළිනුත් ඇහෙනවා. HOBBIT 1 චිත්‍රපටය තමා මුලින්ම මේ තාක්ෂණයෙන් මිශ්‍ර කළේ. මේ තාක්ෂණය අපි සකස් නොකෙරුවත් 5.1 සහ 7.1 කියන තාක්ෂණයන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කොහොමත් සරළ ඩිජිටල් උපාංගවලට වඩා සිනමා ශාලා ශබ්ද තාක්ෂණය ගොඩක් ඉහළින් තිබෙන්නයි ඒවා නිෂ්පාදනය කරන්නේ. * ඔබ ආයතනය වෙනුවෙන් කළ ආයීජනය ගැන පැහැදිළියි. නමුත් මට තිබෙන ගැටළුව ඒ සඳහා හොඳ වෙළඳපොළක් ඔබට නිර්මාණය වෙලා තිබෙනවාද කියන එක? මට තිබෙන වෙළෙඳපොළ නෙවෙයි, සමස්ථ වෙළඳපොළම අද කඩා වැටිලයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මාර්කට් එකක් වුණාම නිශ්චිත භාණ්ඩ සංඛ්‍යාවක් නිතරම පාහේ පාරිභෝගිකයෝ අතර ගැවසෙන්න ඕනෑ. නමුත් චිත්‍රපට වෙළඳපොළ ගත්තාම ලංකාවේ එහෙම තත්ත්වයක් පෙන්න නැහැ. කෙටියෙන්ම කියනවා නම් එකක් යනකොට එකක් චිත්‍රපට අපිට තියෙන්න ඕනෑ. නමුත් ලංකාවේ එහෙම එකක් නැහැ. කාලෙකට එක චිත්‍රපටයක් එනවා. ඒක දුවනවා. ඊට පස්සේ එන චිත්‍රපටය දුවන්නේ නැහැ. සෑහෙන කාලෙකට පස්සේ තමා ආයෙත් හොඳ දුවන චිත්‍රපටයක් එන්නේ. ඒ නිසා මේ වෙළඳපොළේ අඛණ්ඩතාව දුර්වලයි. ලංකාවේ වෙළඳපොළ හඳුනාගෙන චිත්‍රපට කරන්නේ බොහොම කිහිප දෙනෙක්. උදයකාන්ත දන්නවා එයාගේ මාර්කට් එක මොකක්ද කියලා. ප්‍රසන්නලා හඳගමලා දන්නවා එයාලගේ මාර්කට් එක මොකක්ද කියලා. මාර්කට් එක අනුව නිර්මාණශීලී වෙන්න මේ අයට පුළුවන් වුණත් සමස්තයක් විදිහට චිත්‍රපටවල නිර්මාණ ගුණය වැටිලයි තියෙන්නේ. * ඒ කියන්නේ ඔබ ළඟ තිබෙන තාක්ෂණික පහසුකම්වලින් වැඩක් ගන්න ක්ෂේත්‍රයේ අයගේ ධාරිතාවය මදිද? එහෙම නෙවෙයි. සමහර අධ්‍යක්ෂවරු දන්නේ නැහැ ගොඩක් දියුණු වැඩ අපිට කරන්න පුළුවන් කියලා. සමහරු කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ. අපේ ධාරිතාවය ගැන ගොඩක් දෙනෙක්ගේ ආකල්ප අවුල්. කඳ මෙහේ තිබුණාට ඔළුව තව කොහේවත්. මේ අයට ඉන්දියාව නැතිව බැහැ වැඩවලට. සමහර ප්‍රවීණයන්ට ඉන්දියාවට යන්නේ නැතුව මුකුත් කෙරෙන්නේ නැහැ. එහෙම චිත්‍රපට ඉන්දියාවට ශබ්ද මිශ්‍රණයට අරන් ගිහින් අපි කරන වැඩේම කරගෙන එනවා. ඒවා ඇහෙද්දී හරි හාස්‍යජනකයි. අනික අපේ අය ඉන්දියාවට නිතර යනවා. ඒ සමහර අය කරපු වැඩවලට මුදල් නොගෙවා ඉන්දියාවටත් පොලු තිබ්බා. විශේෂයෙන්ම ණයට පිටපත් මුද්‍රණය කරන්න ගිහින්. සමහර අය අපිටත් පොලු නොතිබ්බා නෙවෙයි. * කොහාම වුණත් ලංකාවේ ප්‍රේක්ෂකයා නිතරම සංසන්දනය කරන්නේ ඉන්දියවේ චිත්‍රපට හා අපේ චිත්‍රපට. අපේ ඒවාට වඩා ඉන්දියානු සිනමාපට තත්ත්වයෙන් උසස් කියන එක අපිට බැහැර කරන්න බැහැ. ඒ දේට ඉන්දියාවේ තාක්ෂණයත් හවුල්? ඔතැන තියෙන්නෙ මෙහෙම ප්‍රශ්නයක් ෂෙනාල්. අපේ සිනමාවට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. නමුත් අපිට තවම නවත්වගන්න පුළුවන් තැන් කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට සංස්ථාව මැදිහත් වෙන්නට වෙනවා. මොකද මෙතන තියෙන්නේ හාල්මැස්සන්ව මෝරාත් එක්ක සටනට දැම්මා වගේ වැඩක්. දැන් තියෙන දියුණු ක්‍රමත් එක්ක චිත්‍රපටයක් උපසිරැසි කරන එක මහ වැඩක් නෙවෙයි. කවුරු හරි විෂ බිජයක් දැම්මොත් ඉන්දියාවේ දෙමළ චිත්‍රපට සිංහල උපසිරැසි දාන්න කියලා ඒකත් කරයි. ඒකත් කළැයි කියමුකෝ. ඊට පස්සේ් මේවා දෙබස්වලට හඬ කවලත් දෙන්න පටන් ගනීවි. අන්න එහෙම තත්ත්වයක් නිකං හරි උදා වුණෙත් අපි ඉවරෙටම ඉවරයි. අනික මේ ටෙලිවිෂන්වල පෙන්වන කොරියන් නාට්‍යවල ඉන්න අය අපේ අයගේ මුහුණුවල පාටක්වත් තියෙනවයැ. නැහැ. ඉතිං අපේ අය ඒවා කොච්චර බලනවද. එහෙම තත්ත්වයක් තියෙද්දී අර මං කිව්වා වගේ තත්ත්වයක් නොවී තියෙන්න කොහොමටත් බැරි නැහැනේ. * ඔබ රූප මාධ්‍යයේ වර්ණ සැකසුම් අංශයෙනුත් ඉදිරියට ගිය අයෙක්. ඒවායින් ඔබ මියුසික් වීඩියෝවලට පවා දායකත්වය ලබා දුන්නා? සමහරු නම් ඒ දවස්වල කිව්වා ලංකාවට ඉස්සෙල්ලාම කලර් ග්‍රේඩින් කොන්සෝල් එක ගෙනාවේ ඒගොල්ලෝ කියලා. නමුත් මම තමයි 2010 දී මුලින්ම ලංකාවට මේ කොන්සෝල් එක ගෙනාවේ. මේක එක එල්ලේ බලාගෙන තිතට වර්ණ බැලන්ස් කරන්න පුළුවන් තාක්ෂණයක්. ඒ කොහොම වෙතත් මම මියුසික් වීඩියෝ ක්ෂේත්‍රයේ රැඳිලා හිටියේ නැහැ. මොකද ගොඩක් ලෝ බජට් වැඩ එතැන සිද්ධ වෙන්නේ. ඒ නිසා මට ඒ කොලිටිය ගන්න බැහැ. අදටත් ලොකු බජට් එකකට ආවොත් මම සුදානම් මියුසික් වීඩියෝ කරන්න. කෙසේ වෙතත් හොඳ වර්ණ සහිතව මම වෙළෙඳ දන්වීම් සකස් කරනවා දිගටම. * හොඳයි ප්‍රවීන් මොනවද ඔබේ අනාගත සැලසුම්. ඔබගේ පියා ‘අවරගිර’ චිත්‍රපටය නිෂ්පාදනය කළායින් පස්සෙ ඩිල් ෆිල්ම්ස් වෙන චිත්‍රපයකට අත ගැහුවෙත් නැහැ? ඔව් මම සූදානම් හොඳ අඩු වියදම් චිත්‍රපට කිහිපයක් සඳහා අත ගහන්න. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ඉන්න අළුත් තරුණයන්ට තමන්ගේ වැඩවලට අත දෙන්නත් මම සූදානම්. අනික මට අදහසක් තිබෙනවා පසු නිෂ්පාදන කටයුතු ගැන කෙටිකාලීන පාඨමාලාවක් පටන් ගන්න. ඒක සෑහෙන පිරිසකට වැදගත් එකක් වෙයි. * මම මේ අහන්නමයි හිටියේ. දැන් ඔබේ මිලි මීටර් 35 හේ චිත්‍රපට පිටපත් මුද්‍රණ අංශය වහල දාලාද? ඔව්. දැන් ඒක වහල ගොඩක් කල්. |