වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




අප්පච්චි ගැන දන්නේ නැහැ

අප්පච්චි ගැන දන්නේ නැහැ

අපේ නව පරපුරේ නිළියෝ ඉන්නවා නේද ඒ අයගේ සාමාන්‍ය දැනීම නම් නිලේ නිල්. අඩුම තරමේ කලා ලෝකය ගැනවත් දන්නේ නැහැ. සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකා යන ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ බොහෝ පිරිසක් ඉන්නවා. අද ඔය නිළි පැටික්කිලා උඩ පනින්නේ ඒ අය ගොඩ නඟපු මණ්ඩප මත ඉඳගෙන තමයි. මෙහෙම කිව්වම ඉතින් වදින අයට වදියි. ඒත් කරන්න දෙයක් නැහැ. මෙහෙම ප්‍රවේශයක් ගත්තේ එක්තර කතාවක් කියන්න. ඒකේ කතා නායිකාව නව පරපුරේ නිළියක්. ටෙලි නාට්‍ය 13 ක රඟපාලත් තියනවලු. මෙයා ඇවිත් එක්තරා විශ්ව විද්‍යාලයක සිනමාව හා සබැඳි උපාධියක් සඳහා. එයට තෝරා ගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි. එහිදී අහනවා සිනමාව, කලාව හා සබැඳි ප්‍රශ්නාවලියක්. ඉතින් මේ නිළියගෙනුත් එහෙම ප්‍රශ්න ටිකක් අහලා. ඔන්න ඔය අතරතුරදී අපේ ප්‍රවීණතම රංගධරයකුගේ චිත්‍රපටයක දර්ශනයක් පෙන්වලා ඇහුවලු ඒ චිත්‍රපටය දන්නවාද කියලා. ඒ පාර නැහැයි කිව්වලු. ඒ පාර නිකමට ඇහැව්වලු ඒ නළුවාව දන්නවද කියලා. මෙයා ගත්කටටම කියාපි දන්නේ නැහැ කියලා. ඒ පෙන්වලා තියෙන්නේ ජෝ අබේවික්‍රම මහත්තයව. පස්සේ එතැන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ කෙනෙක් කිව්වලු දරුවෝ ඔයා රඟපාන්න ඇවිත් ඒ මහත්තයාව දන්නේ නෑ කියන්නේ තමන්ගේ අප්පච්චි කවුද කියලා දන්නෑ වගේ කතාවක් කියලා.

අපි සාමාන්‍යයෙන් ජෝ මහත්තයව සලකන්නේ හෙළ සිනමාවේ මහ අප්පච්චි හැටියට. අනේ අපොයි මහ ලොකුවට රඟපෑවට ජෝ මහත්තයව හඳුනන්නේ නැහැ. ඉතින් මේ වගේ අය ඉන්න කොට රටක් හැටියට අපි ඉදිරියට යන්නේ කොහොමද කියන්නකෝ. අපේ සරසවිය පත්තරේ පසුගිය අවුරුද්්දේ මෙයාගේ ලිපියක් පළ වුණා. අනේ අම්මපා ජෝ මහත්තයව දන්නේ නැහැ කියලා දන්නවා නම් එයාට සරසවිය අඟලක ඉඩක් වෙන් කරන්නේ නැහැ.