වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




සම්පත් ජයවීර ජෝඩු - ජෝඩු දමයි

සම්පත් ජයවීර ජෝඩු - ජෝඩු දමයි

ට්‍රෝජන් කාන්තාවෝ, මැක්බත්, ග්ලැඩියේටර් ප්‍රේමය, ආයෙත් එන්නෙ නෑ, මේ හීනෙට නමක් දෙන්න ආදී වේදිකා නිර්මාණ රැසක් සමඟින් වසර 15 කටත් අධික කාලයක් වේදිකා නාට්‍ය සමඟ බද්ධ වී සිටින ඔහු අද දවසේ අප හමුවට එන්නේ සොඳුරු ආඥාදායකයෙකුගේ භූමිකාව සමඟින්. 'ජෝඩු ජෝඩු' වේදිකා නාට්‍ය නිර්මාණය සමඟින් මේ මස 23 - 24 දිනයන්හි ලයනල් වෙන්ට් රඟහලට ගොඩ වදින ඔහු රංගන ශිල්පී සම්පත් ජයවීර.

ඇයි ඔබ රංගනයෙන් අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ?

බොහෝ කාලයක පටන් නාට්‍යයක් නිෂ්පාදනය කිරිමට ලොකු ආශාවක් මගේ හිතේ තිබුණා. මෙහිදී මට ඕනෑ වුණේ හරබර දේශපාලනික ගැඹුරු කතිකාවතකට වඩා ප්‍රහසන ගණයේ සරල විනෝදාත්මක නාට්‍යයක නිෂ්පාදනයට අත තැබීමටයි.

කෙසේද ඔබ ප්‍රංශ ජාතික මාක් කැමලොට් විසින් රචිත Don't Dress For Dinner වෙත යොමු වන්නේ?

හේමන්ත ප්‍රසාද් මගේ මිත්‍රයා මීට අවුරුදු 12 කට කලින් මෙම නිර්මාණය සිංහලයට පරිවර්තනය කරලා නිෂ්පාදනය කළා. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ මාව හොඳම සහාය නළුවාට නිර්දේශ වෙමින් සම්මාන 06 ක් ලබා ගැනීමට එම නාට්‍යයට හැකි වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳින් ලැබුණා. ඒත් ඉතින් විවිධ හේතු මත අපිට නාට්‍ය ප්‍රදර්ශනයට තිබූ අවස්ථා අවම වුණා. මේ කාරණාව පිළිබඳ බොහෝ කාලයක් මගේ හිතේ තිබුණා. මෙය ජනතාව අතරට ගෙන යා යුතුයි කියා මට දැනුණා. මං මේ ගැන හේමන්තට පැවසූ විට ඔහු එයට බොහෝම කැමති වූවා පමණක් නොවෙයි රංගනයෙනුත් දායක වුණා.

නාට්‍ය නිර්මාණයක් සඳහා (නළුවරණයේදී) රංගන ශිල්පීන් තෝරා ගැනීම සඳහා ඔබ අනුගමනය කරන්නේ කිනම් ක්‍රමවේදයක්ද?

මං විශ්වාස කරන දෙයක් තමයි වේදිකා නාට්‍ය නිර්මාණයක පැවැත්ම සඳහා විනය ගරුක ශිල්පීන් ශිල්පිනියන් සම්බන්ධ කර ගත යුතුයි කියා. ඒ වගේම පුහුණුවීම්වලට නියමිත වේලාවට පැමිණෙන 'පොලු තියන්නේ නැති' මඟදී නිර්මාණය අතහැර දමලා යන්නේ නැති රංගන ශිල්පීන් පිළිබඳ විශේෂයෙන්ම හිතන්න වෙනවා. එසේ නැතිව නිර්මාණයක පැවැත්ම හෝ සාර්ථකත්වය පිළිබඳ හිතන්න අපහසුයි. ඒ නිසා 'ජෝඩු ජෝඩු' සඳහා චමිලා පීරිස්, ජනක කුඹුකගේ, දමිතා අබේරත්න, හේමන්ත ප්‍රසාද්, සමාධි ලක්සිරි සමඟ මං රංගනයෙන් දායක වෙනවා.

පසුගිය කාලයේ නාට්‍යකරුවන් යැයි කියාගත් ඇතැම් පිරිස් අවර ගණයේ විහිළු තහළු රැගත් 'ප්‍රහසන යැයි කියා ගත්' වේදිකා නිර්මාණ නිෂ්පාදනය කරමින් 'සරල රස වින්දනයක්' පිළිබඳ කතා බහ කළා? 'ජෝඩු ජෝඩු අයිති වෙන්නේ මෙතැනින් කොතැනකටද?

මගේ නාට්‍යයේ මුල් කෘතියේ යුරෝපීය නාට්‍ය කලාවේ ප්‍රසාදයට පත් වූ ජනතාව ඉමහත් ආදරයෙන් වැලඳ ගත් නාට්‍යයක්. TONY THEATRE OF NEWYORK  වේදිකා නාට්‍ය සම්මාන උලෙළේ සම්මානිත නිර්මාණයක්. ඒ සඳහා නිශ්චිත පිටපතක් තිබෙනවා. මේ පිටපත ඇතුළේ අපිට අලුතෙන් එකතු කරන්න විහිළු කතා, දෙපැත්ත කැපෙන වචන, අද ඊයේ දේශපාලන තලයේ සිදුවීම් එකතු කරලා නිර්මාණය බාල්දු කරන්න බැහැ. නාට්‍ය පිටපත ඇතුළත් නාට්‍ය විසින් ඉල්ලා සිටින දේවල් පමණයි නිර්මාණය තුළ ඉදිරිපත් කරන්නේ.

ඒත් බොහෝ වෙලාවට ප්‍රේක්ෂාගාරයේ විසිල් හඬට උත්තේජනය වන ඇතැම් රංගන ශිල්පීන් ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පිරවීමට, කුල්මත් කිරීමට නාට්‍ය පෙළෙන් ඔබ්බට ගිය යම් යම් දේ කියනු ලබන අවස්ථා සුලභයි?

රංගන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ වගකීම ප්‍රේක්ෂකාගාරය කුල්මත් කිරීම. එහෙත් එය සිදු විය යුත්තේ අවර ගනයේ විහිළු කතාවකින් හෝ දෙපිට කැපෙන කතාවකින් නොවෙයි. තමා ජිවත් කරවන චරිතය තුළ සැබෑ ලෙසින් ජිවත් වෙමින් ප්‍රේක්ෂකයා වෙත කතා කිරීමයි වැදගත් වෙන්නේ. රසය මූලික කර ගනිමින් ප්‍රේක්ෂකයාගේ හදවතට මෙන්ම බුද්ධියට ද ඇමතිය යුතුයි. මා රංගනයෙන් දායක වූ ලෝරන්ස්ගේ මනමාලි නාට්‍ය නිර්මාණය දර්ශන වාර 135 ට වඩා රංගගත කළා. ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලින් අපි කිසි දිනෙක උත්තේජනය වී නාට්‍යයේ පෙළට අමතුවෙන් කිසිවක් එකතු කළේ නැහැ. ඒ සඳහා නාට්‍යකරුවෙකුට හොඳ සංයමයක්, විනයක් තිබිය යුතුමයි.

අද නාට්‍ය කලාව උදව් ඉල්ලා හඬන අම්මාගේ කලාවක් බවට පත් වෙලා. තරුණ නාට්‍යකරුවන් විදියට මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට මොනවද ඔබේ යෝජනා සැලසුම්?

නාට්‍ය සංස්කෘතියක් පිළිබඳ සිතීමේදී පළමුවෙන්ම අප ප්‍රේක්ෂකාගාරය පිළිබඳ සිතිය යුතුයි. මං හිතන්නේ ප්‍රේක්ෂකයන් තවදුරටත් රඟහලට ගෙන්වා ගැනීම වාගේම, රඳවා තබා ගැනීමේ කටයුතුත් සඳහා හොඳ විනෝදාත්මක නාට්‍ය නිෂ්පාදනය තුළින් නාට්‍ය රස විඳීමට උත්තේජනයක් ඇති කළ හැකියි. ගැඹුරු කතිකාවකට යොමු විය යුත්තේ ඉන් අනතුරුවයි. මේ යාන්ත්‍රණය තුළ මගේ පරම්පරවේ හා පෙර පරම්පරාවල නාට්‍ය ශිල්පීන් හට කරන්නට ඇත්තේ නාට්‍ය කලාව වෙනුවෙන් තව තවත් නාට්‍ය කිරීම ම පමණයි.

පසුගියදා සිදු වූ සිදුවීම් දෙකකින් නාට්‍ය කලාව අද තිබෙන තැන හඳුනා ගන්නට පිළිවන්. ඉන් එකක් තමයි මෙවර පැවැත් වූ රාජ්‍ය නාට්‍ය උලෙළ. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම පිළිබඳ නාට්‍යකරුවන් ලෙසින් අප නිර්මාණශීලී විරෝධතාවයක් දැක්වූවා.

අනෙක් කාරණාව තමයි මෙරට නාට්‍ය කලාවේ නිම්වළලු පුළුල් කරපු පේරදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍යයක් රංගගත කිරීමේදී සිදු වූ සිදුවීම.

ප්‍රවීණ නාට්‍යවේදිනී කෞශල්‍යයා ප්‍රනාන්දු මහත්මියගේ නාට්‍යයක් පේරාදෙණිය වළේ (එළිමහන් රංග පීඨයේ) වේදිකා ගත කිරීමේදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උගත් ප්‍රජාව පිළිබඳවත් බොහෝ දෑ සිතන්න තිබෙනවා. එවන් බුද්ධිමත් ප්‍රජාවක් වෙතින් අප බලාපොරොත්තු වෙන්නේ විරෝධයක් නොවෙයි සැබෑ විචාරයක්, විචාර කලාවක්. ඒ වගේම බොහෝ වෙලාවට මං දැකලා තිබෙනවා අද දවසේ බොහෝ තරුණ පිරිස් වේදිකා නාට්‍ය නරඹන්නට ඇවිත් නාට්‍ය රස විඳින්නේ නැහැ. ඇතැමෙක් තමන්ගේ ජංගම දුරකථනයෙන් නාට්‍ය වීඩියෝ කරනවා. ඡායාරූප ගන්නවා. මූණු පොතට දානවා. ඔවුන්ට අවශ්‍ය නාට්‍යයක් බලන්න ගිය බව දැනවීම පමණයි. අද දවසේ කලාව කියවීම පිළිබඳ සාක්ෂරතාවය බොහෝම පහළ මට්ටමට වැටිලා. මේ තත්ත්වය නඟා සිටුවන්න හැමදෙනාම එක් විය යුතුයි.

රංගන ශිල්පියෙකු ලෙසින් රංගනය පිළිබඳ හැදෑරීමක් අත්‍යාවශ්‍යයි?

ඔව්. වේදිකාව සජීවී මාධ්‍යයක්. එහි සජීවී බව උදෙසා කළ යුතු ඉගෙනුම් අපමණයි. එහෙත් අපිට එම ඉගෙනුම් - නිවැරදිව කියවීමකට ලක් කිරීමට ඇති ඉඩකඩ බොහෝම අල්පයි. ස්ටැනිස්ලවුස්කිි වේවා බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් වේවා එකී රංගන ක්‍රමවේදයන් නිසි ලෙසින් හදාරන්නට හැකි අවකාශයක් අපට නැහැ. වේදිකාව මතින් ලැබුණු පන්නරයෙන් මම මගේ ක්‍රමවේදයක් ඔස්සේ නිර්මාණකරණයට දායක වෙනවා. චරිතාංග නළුවෙක් ලෙසින් විවිධ රංගන පරාසයන් තුළ මට විශේෂ වූ චිත්‍රය රාමුවක් තුළ රංගන කාර්යයට උර දෙනවා. මතු යම් දවසක විදෙස්ගත වී රංගනය විධිමත්ව හදාරා ඒ දැනුමෙන් මේ පොළවේ නිර්මාණ අස්වැන්න සරු කරන හීනයක් තිබෙනවා.

සම්මාන නිර්මාණකරුවෙකුට ආභරණයක්. නමුත් අද නිර්මාණකරුවන් සම්මාන ඉලක්ක කරගෙන නිර්මාණ කරනවා?

සම්මාන කියන්නේ සැබෑ නිර්මාණකරුවෙකුට ආභරණයක්. නමුත් එහි වටිනාකම තක්සේරු වන්නේ ජූරිය විසින් එය ලබාදෙන පිළිවෙළ මතයි. මෙහිදී මං විශ්වාස කරන විදියට වඩා වැදගත් වන්නේ ප්‍රේක්ෂකාගාරය නාට්‍ය නැරඹීමෙන් පසු ලබාදෙන ප්‍රතිචාරයයි. ප්‍රේක්ෂකාගාරයේ තෘප්තිමත්භාවය ඉතාම වැදගත්.

ජෝඩු ජෝඩු ජන කරළියට එන දවසත් මතක් කරමු?

මේ මසේ (අගෝස්තු මස) 23 - 24 දිනයන්හි ලයනල් වෙන්ඩ්ට් රඟහලට හතේ කණිසමට ඔබ එන්න. ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍යයට ඇලුම් කරන හැම දෙනාටම ආරාධනා කරනවා.