|
“සම්මානය වරදින එකක් නෑ” ප්‍රසන්න සර් කිව්වා
දර්ශන් ධර්මරාජ්දර්ශන් ධර්මරාජ් කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ නළුවෙක්. පුංචි තිරයේ කතාබහට ලක් වෙන චරිත රැසකට පණ දෙන මේ අපූරු නළුවාගේ සිනමා රංගනය සම්මානීය යි. සිනමා ක්ෂේත්‍රය තුළ ‘මචං’ චිත්‍රපටයේ රංගනය දර්ශන්ට තවත් සුවිශේෂි රංගනයක් වුණා. මොකද 2010 වසරේ සරසවිය සම්මාන උලෙළේ දී වසරේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය හිමි වුණේ දර්ශන්ට. මේ දක්වා සාර්ථක ගමනක නියැළුණු දර්ශන් එදා සරසවිය සම්මාන උලෙළේ සොඳුරු මතකය ආයෙමත් සිහිපත් කළා.
“සරසවිය සම්මාන උලෙළට ආරාධනා ලැබුණම ලොකු සතුටක් දැනුණා. බොහොම ආසාවෙන් තමයි එදා ඒ වෙනුවෙන් දායක වුණේ. ඒ වගේම එදා මම සරසවිය සම්මාන උලෙළට සහභාගි වුණේ, ‘මචං’ චිත්‍රපටය සමඟින් වූ සුන්දර මතකයත් සමඟිනුයි. මට මතකයි ‘මචං’ චිත්‍රපටය රූගත කරන විට ප්‍රසන්න විතානගේ සර් කිව්වා, දර්ශන් මේක ඔයාට ලැබුණු හොඳ චරිතයක්. ඔයාගේ රංගන ගමනට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. චරිතය හොඳීන් ඔලුවට අරගෙන කළොත් සම්මානයක් වරදින එකක් නැහැ කියලත් කිව්වා. චිත්‍රපටය තුළ වුණත් රඟපෑම අතින් ලොකු තරගයක් තිබුණා. ”
* ‘මචං’ චිත්‍රපටයේ චරිතය ගැනත් කිව්වොත්? උබර්තෝ පැසලෝනි නම් ඉතාලි ජාතික අධ්‍යක්ෂවරයා මට මුලින්ම මේ චරිතය ගැන පැහැදිලි කළා. විදෙස් රටකට ගිහින් අත්දැකීම් තියෙනවාද කියලා ඇහුවා. මට නම් එහෙම අත්දැකීම් ඒ කාලයේ තිබුණේ නැහැ. හැබැයි යහළුවන්ගේ අත්දැකීම් නම් අහලා තියෙන බව මම කිව්වා. එවිට මේ චිත්‍රපටයට පසුබිම් කතාව ලංකාවේ සත්‍ය සිදුවීමක් කියලා දන්නවා දැයි ඇසුවත් ඒකත් මම දැනගෙන හිටියේ නැහැ. ඔහු ඒ කතාවත් මට පැහැදිලි කළා. ඒ කාලයේ මම හිටපු තැනත් එක්ක චිත්‍රපටයේ සුරේෂ්ගේ චරිතය මට අමුත්තක් වුණේ නැහැ. මොකද ගමේ ඉඳන් කොළඹ ඇවිත් දුක් වින්ද මම මුඩුක්කු ජීවිතය කියන්නේ කොහොම එකක්ද කියලා දැනගෙන හිටියා. මේ නිසා මචං තුළ රංගනයට කිසිම අපහසුවක් ඇති වුණේ නැහැ.
* දර්ශන්ට ‘මචං’ සමඟ සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද ? සම්මුඛ පරීක්ෂණයකින් තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. රාජා ගනේෂන් මාමා සහ මගේ මිතුරන් පිරිසක් තමයි මේ අවස්ථාව ගැන මට කිව්වේ. චරිත තෝරා ගන්න සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඒකට ඉදිරිපත් වෙන්න කිව්වා. ඒ වෙනුවෙන් වැඩමුළුවක් තිබුණා. තිර පරීක්ෂණ පැවැත්වුණා. පරීක්ෂණ වට කිහිපයකින් පසු අවසාන සම්මුඛ පරීක්ෂණ සඳහා ඇතුළට යන විටම “ඔයා තෝරා ගෙන අවසන් ” කියලා පැසලෝනි කිව්වා. ඉතිං ඊට වඩා දෙයක් තියෙනවාද? මම ටිකක් මහත වැඩියි කෙට්ටු වෙන්න පුළුවන්ද කියා ඇහුවා. එදා ඒ තෝරා ගැනීම සරසවිය සම්මාන උලෙළේදී මා හොඳම නැඟී එන නළුවා ලෙසින් සම්මානනීය වීම දක්වා ගෙන යන්න හැකි වුණා.
* සම්මානනීය විදේශීය අධ්‍යක්ෂවරයෙක් යටතේ රංගනයට අවස්ථාව ලැබීම ගැන හිතෙන්නේ මොකක්ද? නළුවෙක් විදියට එය මා ලද වාසනාවක්. රංගනය තුළ මගේ චරිත ගොඩනඟන්න හේතු වුණේ ඒ වකවානුවේ අපේ රටේ පැවති යුධමය වාතාවරණය යි. මිනිස්සු පත්තරවලින් ප්‍රවෘත්තිවලින් සාමාන්‍ය තොරතුරු දැන ගත්තත් චිත්‍රපට තුළින් ඔවුන්ට ඊට වඩා දෙයක් දැක ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ තැන්වල චරිත මතුවනවිට දර්ශන් ධර්මරාජ් අනිවාර්යයෙන් සිහියට එනවා. මෙතැනදී මගේ ගමන ඉතාම වේගත් වගේම ගොඩක් වාසනාවන්තයි. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි අධ්‍යක්ෂවරුන් සමඟින් වැඩ කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ඒ අතරේ මට උබර්තෝ පැසලෝනි නම් විදෙස් අධ්‍යක්ෂවරයා සමඟින් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි සහය අධ්‍යක්ෂ සහ කැමරා අධ්‍යක්ෂ ස්ටෙෆ්නෝ ෆලයිවෙන් ආදීන් ජාත්‍යන්තර මට්ටමේ ඉහළ නිර්මාණ සමඟින් අත්දැකීම් ලද අය. මේ සියලු දෙනා සමඟින් වැඩ කළාම රංගනය විතරක් නෙවෙයි සිනමාව ගැනම ඉගෙන ගන්න ආයෙමත් අමුතු ඉස්කෝලෙකට යන්න වුවමනා නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ මහේන්ද්‍ර අයියා අපිත් එක්ක ඉන්නවා කියන්නේ රංගන ගැන විශේෂ පන්තියක ඉන්නවා වගේ තමයි. ඉතිං මෙතැනට එන්න ඕනි වුණේ මගේ ආත්ම ශක්තිය විතරයි. එතැනදී උබර්තෝ පැසලෝනි නම් අපූරු අධ්‍යක්ෂවරයා මට විශේෂ ගුරුවරයෙක් වුණා. සාමාන්‍යයෙන් පිටපතක් කියවනවාට වඩා වෙනස්ව අදාළ චරිතය රංගන ශිල්පියාට ළං කරවන්න ඔහු සතු වුණේ පුදුම හැකියාවක්.
* මේ තරම් දුර එන්න රංගනය කෙරෙහි මුලින්ම ආසාවක් ඇති වුණු දවස මතකද? මගේ පුංචි කාලයේදීම තමයි මට එහෙම හිතුණේ. අපේ සීයාගේ කෝට් එක ඇඳ ගෙන, කණ්ණාඩි කුට්ටම දාගෙන, බස්තමත් අරගෙන තමයි මම ගෙදරදී රඟපෑවේ. අපේ ගෙදර උඩ තට්ටුවේ තැපැල් ස්ථානාධිපතිවරයෙක් නැවතිලා හිටියා. මගේ රඟපෑම් දැකපු ඔහු මාව ඒ වෙනුවෙන් යොමු කරන්න කියලා අම්මාටයි තාත්තාටයි කියලා තිබුණා. මගේ රඟපෑම් දැකපු කෙනෙක් එහෙම කියපු එක ගැන මට ලොකු සතුටක් දැනුණා. ඒ කියන්නේ මට පුළුවන් නේද කියලා මම පුංචි කාලයේදීම තේරුම් ගත්තා. පාසලේදීත් වේදිකා නාට්‍ය කිහිපයකට දායක වුණා. විදුහල්පතිතුමා, ගුරුවරුන්ගෙන් ආශිර්වාද ලැබුණා. තවත් තවත් ආත්ම ශක්තිය ඇති වුණා. එදා පටන් හීන දැකලා දැකලා දැන් ඒවා හැබෑ වෙලා තියෙනවා.
* මේ වෙනකොට රංගනය ගැන මොකද හිතෙන්නේ? රඟපෑම කියන දේ පුංචි කාලයේ පටන් මා ළඟ තිබූ දෙයක්. මම කවදාවත් කැමරාවට බය වුණේ නැහැ. මුලින් නම් ටිකක් අවුල් වුණේ දෙබස් විතරයි. මම විවිධ භාෂාවල චිත්‍රපට ගොඩක් නරඹලා තියෙනවා. ශිවාජි ගනේෂන්, කමල හසන් වගේ දෙමළ දකුණු ඉන්දීය නළුවන්ගේ චිත්‍රපට විශේෂයි. රඟපෑමට නම් ඕනෑම චරිතයක් ඔට්ටුයි. ඒ හැකියාව මට දෙවියන් දුන් තෑග්ගක්.
* එදා සරසවිය සම්මානය අතට ගත්තාම මොකද හිතුණේ? එදා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නැඟී එන නළුවා ලෙසින් මගේ නම නිවේදනය කරනවිට “මම තැනකට ආවා නේද කියා හිතුණා ”.පුංචි කාලේ ඇලේ දොළේ නාන වෙලාවට, ඉස්කෝලේ යන විට, සෙල්ලම් කරනවිට මම හැමදාම ඉන්නේ කැමරාවක් ඉස්සරහා කියලයි මම හිතුවේ. රඟපෑම අවසානයේ සම්මානයක් අතට ගන්නවා කියන්නේ වසර ගණනාවක් තිස්සේ පැමිණි හීනයක් වේදිකාවක් මතදී සැබෑවීමක්. මම සරසවිය සම්මානය අතට ගත්තෙත් එහෙමයි. මගේ හීනය සැබෑ වුණා. සරසවිය සම්මානය මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වුණා.
* ඉදිරි ගමනේ සැළසුම් මොනවාද? ඉන්දීය සිනමා නිර්මාණයක රංගනය මගේ ලොකු බලාපොරොත්තුවක් වුණා. මට දෙමළ, තෙළිඟු, මලයාලම් චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් චිත්‍රපට දෙකක් තිරගත ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ලංකාවේ නිර්මාණ කළ කෝමලි කිංග් චිත්‍රපටයත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒක ලංකාවේ දෙමළ නිර්මාණකරුවකුගේ හොඳ අවස්ථාවක්. ඒ වගේම හොඳ අධ්‍යක්ෂවරයෙක් වෙන්න මටත් ලොකු ආසාවක් තියෙනවා. අධ්‍යක්ෂණය විතරක්ම නෙවෙයි, සංගීතය, කැමරාකරණය, තිර රචනය, ආලෝකකරණය, සටන් කලාව, නර්තනය ආදී වූ මේ සියලු සේ සමඟින් අලුත් දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. |