|
ගාමිණී සමඟ විසි දෙකයි-මාලිනී සමඟ විසි එකයිඇන්ටන් ග්‍රෙගරිගේ වැඩ කෝටියයි 1964 ජූනි මස 04 වැනිදා සිංහල සිනමාවට අපූර්වතම පුද්ගලයෙක් එකතු විය. සිංහල සිනමවේ සුවිශේෂී ගමනකට එක් වූ හේ අන් කවරකු නොව ඇන්ටන් ග්‍රෙගරිය. අඩ සිය වසකටත් ආසන්න කාලයක් කලාව වෙනුවෙන් කැප වූ ග්‍රෙගරි සිංහල සිනමාව වෙනුවෙන් චිත්‍රපට 46 ක් සහය අධ්‍යක්ෂණය කළේය. සිනමා පට දෙකක් සම අධ්‍යක්ෂණය කළේය. චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කළේය. චිත්‍රපට 11 ක් තිර රචනා කළේය. චිත්‍රපට 03 ක් සංස්කරණය කළේය. චිත්‍රපට දෙකකට එක් වූයේ කාර්මික අධ්‍යක්ෂවරයකු හැටියටය. මෙවන් වූ සුවිශාල මෙහෙවරක් කරමින් ඔහු කලාව වෙනුවෙන් කළ අමිල මෙහෙවර සිංහල සිනමාව පවතින තුරා අප අතරින් වියැකී නොයනු ඇත. ඇන්ටන් ග්‍රෙගරිගේ නොනිමි කලා දිවියේ රසබර තොරතුරු සොය අප පිය මැන්නේ 3/3, ආවේ මරියා පාර, මීගමුව ලිපිනයේ ඔහුගේ නිවහන සොයා ගෙනය. ග්‍රෙගරි මහත්තයා කාලෙකට පස්සේ? ඒක නම් ඇත්ත. සිංහල සිනමාව දිග් විජය කළ සුවිශේෂ චරිතයක් වූ ඔබ අද නිහඬ වෙලා බවයි පෙනෙන්නේ? මම දැන් කලාවෙන් ඈත් වෙලා. අත්දැකීම් බහුල පරිණත පුද්ගලයෙක් වන ඔබගේ සේවය සිනමාවට අවශ්‍යම වකවානුවක් මේක? ඒත් මම දැන් රෝගී පුද්ගලයෙක්. මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා 2013 වසරේ මට හෘදයාබාධයක් වැළඳුණා. ඒ රෝගී තත්ත්වයත් එක්ක මම කලාවෙන් සමුගත්තා. අද ඔබගේ කල දවස ගෙවෙන්නේ? ගෙදරම තමයි. රෝගී බව නිසා මහන්සි වෙන්නත් බෑ. මීගමුවේ ආවේ මරියා රෝහලේ විශේෂඥ වෛද්‍ය මර්වින් ප්‍රනාන්දු මහත්තයා තමයි මට ප්‍රතිකාර කරන්නේ. එදා සිනමාවට එක් වූ ඒ අතීතය දිහා ඔබ නිතර කල්පනා කරනවා ඇති? ඒ වෙන කොට මට වයස අවුරුදු දාසයක්. මීගමුවේ උපන්න මම ඉගෙන ගත්තේ මීගමුවේ වැල්ල වීදිය රෝමානු කතෝලික පාසලෙන්, මීගමුව පෙරියමුල්ල ලොයලා විද්‍යාලයෙන් පාසල් යන කාලයේ පටන් කලාවට ඇලුම් කළා. මට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම හොඳට පුළුවන්. ‘ශ්‍රී 420’ හින්දි චිත්‍රපටය නැරඹීමෙන් පස්සේ මට සිනමාව පිළිබඳ ලොකු ඇල්මක් ඇති වුණා. එහි රඟපෑ රාජ් කපූර්, නර්ගිස් මට කිසිදා අමතක වෙන්නේ නැහැ. නළු නිළි පිස්සුව ඒ කාලේ ඔබවත් ආක්‍රමණය කළා? රුක්මණී දේවි, එඩී ජයමාන්න යුවලට ඒ කාලේ මගේ තිබුණේ පුදුම කැමැත්තක්. ඒ ආශාව කොච්චර ද කියනවා නම් මීගමුවේ රුක්මණී - එඩි යුවල පදිංචි වෙලා හිටිය ජයරුක් නිවස ලඟ මම බොහෝ විට හිටගෙන උන්නා. ඔවුන්ව කොයි වෙලාවක හෝ දැකගන්න. රුක්මණී දේවිගේ චිත්‍රපට රංගනයට මම වශී වෙලා හිටියා කිව්වත් වරදක් නෑ. ඇගේ රංගනයන් ඇති චිත්‍රපට බලා මම කල්පනා කළේ මේ චිත්‍රපට කොහොමද කරන්නේ කියායි. ඔය අතරේදී මට පික්චර් පෝස්ට් කියන පිංතූර පොත හම්බ වුණා. ඒ අනුසාරයෙන් මගේ හිතේ චිත්‍රපට ගැන යම් අදහසක් ඇති වුණා. ඇත්තද මේ ෂූටින් බලන්න ගිහින් සිනමාවට එන්න පාර කැපුණා කියන්නේ? ඒක වුණේ මෙහෙමයි. මට ෂූටින් කරනවා බලන්න පිස්සුවක් තිබුණා. දවසක් මම මීගමුවේ කුට්ටිදූව ප්‍රදේශයේ ෂූටිං කරනවා කියලා ආරංචියට බලන්න ගියා. ඒ චිත්‍රපටය ධීවරයෝ. මුහුදු වෙරළේ සතුට සෝකේ ජය පරාජේ සිංදුව රූපගත කරනවා. මමත් ඔතැනට ගියා. මට ඕනෑ කළේ නළු නිළියන් කිට්ටුවට යන්න. මම අස්සෙන් රිංගනවා දැකලා ඇන්තනි සී. පෙරේරා මට මහ සැරෙන් කතා කළා. ඔය සද්දේ ඇහුණ ඒ වෙලාවේ චිත්‍රපටය ඩිරෙක් කර කර හිටිය ඇම්. මස්තාන් මහත්තයාට. එයා මගෙන් ඇහුවා සිනමාවට ආසද කියලා. මගෙන් විස්තර ඇහුවා. මම ඉතිං සියලු දේ කිව්වා. මගේ ලිපිනය ලියා ගන්න කියලා ඇන්තනී සී. පෙරේරාට කිව්වා. අපි ලියුමක් එවන්නම් කිව්වා. සති ගණනක් ගත වුණා. ඒත් ලිපියක් නෑ. ඔය අතරේ දවසක් හියුගෝ මාස්ටර් අපේ ගෙදර ඇවිත් කිව්වා හෙටම හැඳල විජය චිත්‍රාගාරයට එන්න කිව්වා කියලා. පහුවදාම මමත් තාත්තාත් හැඳල සිනමාස් සමාගමට ගියා. ඒක අයිතිව තිබුණේ කේ. ගුණරත්නම්ට. මට භාෂා තුනකින් වැඩ කරන්න තිබුණ හැකියාව දැකලා මාව ඒ සමාගමට පරිවර්තකයෙක් හැටියට බඳවා ගත්තා. මගේ මූලික වැටුප වුණේ රුපියල් තිස්හයක්. ඔබට ලැබුණු මුල්ම රාජකාරිය? අල්ලපු ගෙදර චිත්‍රපටයේ හියුගෝ මාස්ටර් ලියලා තිබුණ ස්ක්‍රිප්ට් එක දෙමළට පරිවර්තනය කරන්න. සිංහල සිනමාවේ 119 වැනි චිත්‍රපටය වූ අල්ලපු ගෙදර හරහා ඔබ සිංහල සිනමා කෙත දිග්විජය කිරීම අරඹනවා? මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඇම්. මස්තාන්. නිෂ්පාදනය කළේ කේ. ගුණරත්නම්. මේ දෙපල මගේ සිනමා දිවියේ පියවරු. මේ චිත්‍රපටයෙන් තමයි මම සහය අධ්‍යක්ෂවරයකු ලෙසින් සිනමාවට එක් වෙන්නෙත්. ඔබේ සිනමා ගමනේ ගුරුවරයා එම්. මස්තාන්? ඔව්. එතුමා මට සංස්කරණය, ශබ්ද පරිපාලනය, අධ්‍යක්ෂණය මේ හැම ඉසවුවක් පිළිබඳවම විජය චිත්‍රාගාරය තුළ ඉගෙන ගන්න අවකාශ උදා කරලා දුන්නා. හැත්තෑව අසූව දශකවලදී සිනමාකරුවන්ට ඔබ නැතුවම බැරි සහය අධ්‍යක්ෂවරයෙක් බවට පත් වුණා? ඒක සත්‍යයක්. චිත්‍රපට 46 ක් සහය අධ්‍යක්ෂණය කළා කියන්නේ වාර්තාගත සිද්ධියක්. අල්ලපු ගෙදරින් පටන් ගත්තම සූර චෞරයා, ආත්ම පූජා, අට වැනි පුදුමය, ඔබ දුටු දා, සූරයන්ගෙත් සූරයා, හතර දෙනාම සූරයෝ, හාර ලක්ෂය, එදත් සූරයා අදත් සූරයා, යකඩයා, කොටි වලිගය, නොමියෙන මිනිසුන් ඔය වගේ චිත්‍රපට වැලක් තියෙනවා. ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට රැසකට සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් දායක වන ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසිනුත් කටයුතු කරනවා? මම චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කළා. යළි පිපුණු මලක්, සංඛපාලි, කිරි සුවඳ, පාරමිතා, සූර සරදියෙල්. ලංකාවේ පළමු පුළුල් තිර වෛවර්ණ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් ඔබ? ඔව්. මම අධ්‍යක්ෂණය කළ සූර සරදියෙල් චිත්‍රපටය. ඒ ගැන මම අදත් නිහතමානීව සතුටු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයකටම ඔබ සහය අධ්‍යක්ෂණයෙන් එක් වී අපේ සිනමාවට ගෞරවයක් එක් කළා? දකුණු ඉන්දීය නළු සිවාජි ගනේෂන් ලංකාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා සමඟ රඟපෑ පයිලට් ප්‍රේමනාත්, ඉන්දීය නළු ජෙයි ශංකර් ලංකාවේ නිළියක් වූ ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ ඉන්දීය රංගන ශිල්පිනියක් වූ රාධිකා නාගේෂ් රඟපෑ ‘රත්තතින් රත්තමේ’ දමිල චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා වුණේ මම. අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් ඔබ සම්බන්ධ වූ චිත්‍රපට බහුතරයක ගී ගයා තිබෙනවා නේද? එච්. ආර්. ජෝතිපාල පමණක් මම දායක වූ චිත්‍රපට 41 ක ගීත ගයා තිබෙනවා. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත් නිළි රැජින මාලිනී ෆොන්සේකාත් සමඟ වැඩිපුර එක්ව වැඩ කළ කාර්මික ශිල්පියා වීමේ භාග්‍යයත් ඔබ උදා කරගෙන? ඒක මට ගෞරවයක්. ගාමිණී ෆොන්සේකා සමඟ චිත්‍රපට 22 කත්, මාලිනි ෆොන්සේකා සමඟ චිත්‍රපට 21 කත් මම වැඩ කරලා තියෙනවා. ඔය වගේ නම රැන්දූ ජනප්‍රිය නළු නිළියන් කවුද ඉන්නේ ඔබත් සමඟ වැඩිම නිර්මාණ ප්‍රමාණයක් සඳහා දායක වූ? ඇන්තනී සී. පෙරේරා චිත්‍රපට 19, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු චිත්‍රපට 19, ජෝ අබේවික්‍රම චිත්‍රපට 14, හියුගෝ ප්‍රනාන්දු චිත්‍රපට 14, විජය කුමාරතුංග චිත්‍රපට 14, ටෝනි රණසිංහ චිත්‍රපට 11, රවීන්ද්‍ර රන්දෙණිය චිත්‍රපට 09, එඩී ජයමාන්න චිත්‍රපට 5, සනත් ගුණතිලක චිත්‍රපට 4, සන්ධ්‍යා කුමාරි චිත්‍රපට 6. අඩසිය වසකට ආසන්න කාලයක් කලාවේ නියැලී ඔබ කලාවට දායාද කළ ගෝල බාලයොත් ඇති? ඇන්ටන් කිංස්ලි, සිරිපාල ෆනෑන්ඩු, සරත් විජේරත්න සහය අධ්‍යක්ෂවරුන් ලෙසින් මම කලා ලොවට අරගෙන ආවා. ක්ලීටස් මෙන්ඩිස්, අර්ඩ්ලි වෙදමුණි රංගනයට හඳුන්වලා දුන්නා. ඔබේ කලා දිවියේ ගුරුවරයා වූ ඇම්. මස්තාන් ඔබට දුන්න සුවිශේෂි ඔවදනක් ඔබ ජීවිතය පුරාවට ගෞරවයෙන් සිහිපත් කරන්නක්? සැබැවින්ම ඔහු මගේ ගුරුවරයා පමණක් නොවෙයි, සිනමා ශාස්ත්‍රය ද කලාව තුළ රැඳී සිටීමේ ශාස්ත්‍රය ද මට කියා දුන්නේ පද තුනකින්. ඒ තමයි
පිනක් නැතිනම් මේ ලෝකේ තැනක් නෑ මේ උදාර වැකි තුන මට මගේ කලා ජීවිතයේ ලොකු මාර්ගෝපදේශයක් වුණා. අදට මම මේ වැකි තුන සිතින් සිහිපත් කරන්නේ මගේ ගුරුවරයාට ගෞරවයක් ලෙසින්. විශාල චිත්‍රපට ප්‍රමාණයක සහය අධ්‍යක්ෂවරයකු වූ ඔබට ඔබේ කලා ජිවිතය තුල දක්ෂ ශිල්පීන් ලෙස අත්දැකීම් මත නම් කළ හැක්කේ කවුරුන්ද? මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, සන්ධ්‍යා කුමාරි, ගාමිණී ෆොන්සේකා, හියුගෝ ප්‍රනාන්දු, සේනාධීර රූපසිංහ, විජය කුමාරතුංග. සහය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් ඔබ වඩාත් කැමති මොන නිර්මාණවලටද? සූර චෞරයා, හාර ලක්ෂය, හතර දෙනාම සූරයෝ (මුල් චිත්‍රපටයට). අදටත් ඔබට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු ණයද? අපෝ නෑ. කවුරුවත් නෑ. මට එදා ඉඳලම හොඳට ගෙව්වා. මගේ වටිනාකමට මට සාධාරණයක් ඉෂ්ට වුණා. සරත් රූපසිංහ, නීල් රූපසිංහ, ලෙනින් කුරුප්පු මට හොඳට ගෙව්වා. එදා නිර්මාණය කළ චිත්‍රපට දැන් නරඹන කොට මොකද හිතෙන්නේ? එදා අපි සිනමාව වෙනුවෙන් හොඳ නිර්මාණ බිහි කළේ අවම පහසුකම් යටතේ. අද ඒව බලන කොට මට හිතෙනවා ඒ සීන් තව කොච්චර හොඳට කරන්න තිබුණා නේද කියලා දුකකුත් ඇති වෙනවා. එදා අපිට අද වගේ පහසුකම් තිබුණා නම් කියලා දුකක් දැනෙන්නේ එදා අපි වින්ද දුක් ගැහැට මතක් වෙලා. ප්‍රවීණයකු ලෙසින් වර්තමානයේ සිනමා නිර්මාණ ගැන මොකද හිතෙන්නේ? මේ වගේ වැඩක් නැති නිර්මාණ ඇයිද මෙච්චර සල්ලි වියදම් කරලා කරන්නේ කියලා හිතෙනවා. අද සියයට සියයක් පහසුකම් මධ්‍යයේ බිහි වන නිර්මාණ ගැන සතුටු වෙන්න බැහැ. කාර්මික ශිල්පීන් වුණත් එහෙමයි. ඔබ පන්නරයක් ලැබූ අධ්‍යක්ෂවරුන් රැසක් ඔබේ පිටුපස සිටියා? ටයිටස් තොටවත්ත වැනි සුවිශේෂ චරිතත් සමඟ වැඩ කිරීමේදී අපි බොහෝ දේ ඉගෙන ගත්තා. ඇම්. මස්තාන්, ගාමිණී ෆොන්සේකා, ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, දයා විමලවීර, තිමති වීරරත්න, කේ. වෙන්කට්, ජේ. සෙල්වරත්නම්, අරුණ ශාන්ති, නිහාල් ඒ. ජයසිංහ, සිරිල් පී. අබේරත්න, ජෝ දේව් ආනන්ද, ඒ. ඩී. තිරුලෝගචන්දර්, ආරියදාස පීරිස් වගේ අධ්‍යක්ෂවරු පහළොස් දෙනෙක් යටතේ මම වැඩ කළා. මේ අය එකිනෙකාට නොදෙවැනි ලෙසින් සිනමාවේ හරඹ පෑවා. ඒ හැකියාවන් ඇති අය අද අපේ සිනමාවේ විරලයි. බේ නිර්මාණ දිවිය තුළ ලැබූ සම්මානනීය ඇගැයුම් කොහොමද? ලෝක සිනමාව වෙනුවෙන් පළමු වතාවට පිරිනැමූ සහය අධ්‍යක්ෂණයට හිමි සම්මානය මුල් වරට ලබා ගැනීමට මම වාසනාවන්ත වුණා. වැඩිම චිත්‍රපට ප්‍රමාණයක සහය අධ්‍යක්ෂවරයා වූ මට ඒ සම්මානය හිමි වුණේ 1987. 04. 06 වැනිදා කතෝලික සිනමා පර්ෂදය ( ර්‍ණ ඛ් ධ් ඛ්) ප්‍රථම වරට හඳුන්වා දුන් ඒ සම්මානය ටවර් රඟහලේදී එවක රාජ්‍ය ඇමැතිවරයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා අතින් මට පිරිනැමුණා. කලා භූෂණ ඇතුළු සම්මාන විසි දෙකක් මට මේ වන විට ලැබී තිබෙනවා. ඒ වගේම මම විසින් සහය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල රඟපෑ නළු නිළියන්, ගායක ගායිකාවන් , කාර්මික ශිල්පීන්, සරසවිය, ජනාධිපති, ඕ. සී. අයි. සී සම්මානයන්ට පාත්‍ර වී තිබෙනවා. ‘ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය’ ඔබ ගැන ලියවුණු ප්‍රථම කෘතිය? ඔව්. මා සතු දැනුම අත්දැකීම් හා මගේ සිනමා ඉතිහාසය ලියා තබන්නට බන්දුල කේ. ආරියපාල ගත් උත්සාහයක් තමයි ඒ කෘතිය. 2012. 02. 10 වැනිදා එළිය දුටු මේ කෘතිය දැකීමෙන් මගේ හිතට විශාල සතුටක් වගේම දිරියක් ලැබුණු සුවිශේෂී අවස්ථාවක් වුණා. ඔබ විසින් දායක වූ චිත්‍රපට තවමත් තිරගත වෙන්න තියෙනවාද? ආරියදාස පීරිස් අධ්‍යක්ෂණය කළ මන්දාරම් වැහි චිත්‍රපටය විජය කුමාරතුංගගේ අභාවය නිසා අවසන් කරන්න බැරි වුණා. වෛද්‍ය නිරංජන්ගේ සූර්යා චිත්‍රපටයේ සියලු වැඩ අවසන් කරලා තියෙන ලස්සන චිත්‍රපටයක්. ඒක තවම තිරගත වුණෙත් නෑ. නැතුවම බැරි සහය අධ්‍යක්ෂවරයෙක් බවට පත්වීමේ රහස මොකක්ද? ඔය රහස කියන්න ගියොත් අධ්‍යක්ෂවරු තරහා වෙනවා. සහය අධ්‍යක්ෂණයෙන් පමණක් ඔබ තබා තිබෙන වාර්තාව කවුරුන් හෝ බිඳ දැමුවොත්? මට ප්‍රශ්නයක් නැහැ. දක්ෂයෝ ඉස්සරහට එන්න ඕනෑ. වැඩ දන්නා පුද්ගලයාට ඉල්ලුම තියෙනවා. අද සිනමා ක්ෂේත්‍රයේ සමහර සහය අධ්‍යක්ෂවරු චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙමින් නොකරපු අධ්‍යක්ෂණයක් වෙනුවෙන් පෙනී සිටිනවා? ඕව ගැන මගෙන් අහන්න එපා. මටත් දැනගන්න ලැබුණා ඔය වගේ සිද්ධි දෙක තුනක්. චිත්‍රපටයේ වැඩ කළ මුලු කෲ එකම එයා නොවෙයි ඩිරෙක් කළේ කියලා කියනව නම් ඇසිස්ටන් ඩිරෙක්ටර් අධ්‍යක්ෂ හැටියට ටයිටල් එකේ පෙනී සිටිනවා නම් ඒක අධ්‍යක්ෂකගේත් නිෂ්පාදකගේත් ඔය කියන ඇසිස්ටන් ඩිරෙක්ටර් අතර තියෙන ඩීල් එකක්. ඒක අපිට අදාල නැහැ. මම කියන්නේ කාට වුණත් තමන් සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස යම් තාක් දුර අත්දැකීම් ලැබුවා නම් කවදා හෝ තමන්ම චිත්‍රපටයක් තනිවම අධ්‍යක්ෂණය කරන්න කියලා. සහය සංස්කරණයෙන් ඔබ ඩී. බී. නිහාල්සිංහ සමඟ නිර්මාණ දෙකකට දායක වෙනවා? කොටි වලිගය, නොමියෙන මිනිසුන් චිත්‍රපට දෙක සඳහා මම දායක වුණා. ඔබේ පළමු සහය අධ්‍යක්ෂණය වූ අල්ලපු ගෙදර තිරගත වූ දිනය මතකද? 1965. 09. 17 වැනිදා. එදා මම මේ චිත්‍රපටය බැලුවේ මීගමුවේ රාජා හෝල් එකේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ එම්. මස්තාන් මහත්තයත් එදා මාත් සමග ගැලරියේ චිත්‍රපටය බැලුවා. මට මතතයි එදා මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මස්තාන් ඇවිත් ගැලරියේ චිත්‍රපටය බලනවා කියලා දැනගත් හෝල් එකේ මැනේජර් හොරොම්බුවා අපිව එක්ක ගිහින් ට්‍රීට්මන්ට් එකක් දුන්නා. කසල ගොඩට දාල තිබුණු සිරියලතා චිත්‍රපටයට ඔබ යළිත් පණ දෙනවා? මම ඒ චිත්‍රපටය අරන් එඩී ජයමාන්න, රුක්මණී දේවිගේ අළුත් දර්ශන රූපගත කරලා අංග සම්පූර්ණ චිත්‍රපටයක් ලෙස නැවත අලුත්වැඩියා කරලා තිරගත කළා. එය සාර්ථකව තිරගත වුණා. කතෝලික බැතිමතෙකු ලෙසත් සිනමාකරුවෙකු ලෙසත් ඔබ සුවිශේෂී භාග්‍යයක් ලැබූ පුද්ගලයෙක්? හයවන ජුවාම් පාවුළු පාප්තුමාගේ ලංකා ගමන වාර්තා චිත්‍රපටය රූපගත කිරීමටත් එය සංස්කරණය කිරීමටත් මම භාග්‍ය ලැබුවා. 1970. 12. 04 වැනිදා දිසානායක ෆිල්ම් වෙනුවෙන් ඒ පූජනීය කටයුත්ත මට සිද්ධ කිරීමට ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. සිනමාස් විජය චිත්‍රාගාරයේ ඔබේ සේවය කොපමණ කාලයක් පැවතුණාද? 1964. 06. 04 වැනිදා සිට 1975. 6. 04 වැනිදා දක්වා වසර 11 ක්. ඊට පස්සේ මම පෞද්ගලිකව චිත්‍රපට නිෂ්පාදකවරු යටතේ වැඩ කළා. පවුලේ තෙරතුරු කොහොමද? මගේ බිරිය මාරි රීසා, ඇය හා මා විවාහ වුණේ 1973 ජනවාරි 30 වැනිදා. එදා කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ ඇරැයුම් මැද අපේ විවාහය සිද්ධ වුණා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම දුවලා. ලොකු දුව අරුණි ගීතිකා. ඇය විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ. පොඩි දුව මධුරි නදීකා ඇය අසනීප තත්ත්වයෙන් අපි දෙන්නා ළඟ ජීවත් වෙනවා. පැමිණෙන දුක් පැණි රසයි කියලා මම ජීවතේ ගෙනි යනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි.
|