|
ඔව් බං, අපි මහන්සි වුණා උන් හාන්සි වුණා
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්රශිල්පී අරවින්ද ගේ සිතුවමින්
'හිතාගෙන ඉන්න විදියට වැඩ කරනවා නම් අපට ඉක්මනින් වැඩේ කරන්න පුළුවන්' සුජිත් පැවසුවේ වරක් මානවී දෙස බලමිනි. මානවී එයට පිළිතුර දුන්නේ නැත. ඒ වෙනුවට ඇය චාමර සමඟ කතාවක් පටන් ගත්තාය. 'මේ වැඩේට වියදම් කරන්නේ මම. එහෙම නම් මට ඕනෑ හැටියට වැඩෙත් සිද්ධ වෙන්න ඕනෑ' මානවී පැවසුවාය. 'අක්කේ මේකයි වැඩේ. ඔයාගේ සල්ලි බව ඇත්ත. හැබැයි නිර්මාණයක් කියන්නේ තව එකක්. මං කියන්නේ අක්කා සුජිත් අයියාට වැඩේ බාර දුන්නා නම් ඒ විදියට වැඩේ කරන්න ඉඩ ගත්තා නම් මිනිහත් ඒකෙන් බ්රේක් එකක් ගනියි' චාමර පැවසුවේ දැනමුත්තෙකු ගේ විලාසය මවාගෙනය. එබසට මානවී සිනාසුණේ උපහාසයට මෙනි. 'ඒ පාර මොකෝ?' චාමර වඩා ලෙන්ගතු බවක් පාන්නට උත්සාහ කළාය. 'නෑ උඹත් දන්නා දේවල්' 'මං කියන්නේ හොඳට' මානවී එයට කිසිවක් කිව්වේ නැත. ටෙලි නාට්‍යය ආරම්භ කරන්නට ඇය නැකැත් බැලුවේ නැත. ඒ වෙනුවට සුජිත් සහ චාමර සමඟ බෙල්ලන්විල පන්සලට ගියාය. ඒ ගමනට අම්මා එක් වුයේ නැත. මානවී ඒ පිළිබඳව සිහිපත් කළේ ද නැත. 'වැඩේ ඉවර කරල පත්තරවලට කියමු' චාමර කළ යෝජනාවට ඇය එකඟ වූවාය. වැඩේ පටන් ගන්න විට අනේ නංගියේ ඕන එකකට කියපං යැයි පැවසූ සියල්ලම පාහේ තම තමන්ගේ මුදල් ගැන සොයා බලන බව මානවී දැන සිටියාය. 'උඹල අවුරුදු ගණනක් ෆීල්ඩ් එකේ හිටිය කියලා මහ ලොකුවට බෙරිහන් දෙනවා. ඒ වුණාට බලපං දැන් ඉන්න කෙල්ලො ඇවිත් අවුරුද්දෙන් ගෙයක් හදනවා. ඊළඟට ප්‍රොඩියුසර් කෙනෙක් වෙනවා' මානවීගේ නිෂ්පාදනයට බොක්කෙන්ම සපෝට් එක දෙනවා යැයි ඇයට කැට කඩා පැවසූ එක් නිළියක් ප්‍රසිද්ධියේ පැවසු බැව් ජිතේන්ද්‍ර මානවිට හෙළි කළේය. 'උඹ ඒ ගැන මොකුත් අහනවා නෙවි' පුවත කේලමක් යැයි නොසිතා අසන ලෙස ජිතේන්ද්‍ර අවවාදයක් හැටියට පැවසුවේය. 'පිස්සුද අයියේ, අයියා මට කවදත් හිතවත් බව දන්නවානේ' මානවී පැවසුවේ ජිතේන්ද්‍රට සමීප වෙමිනි. ජිතේන්ද්‍ර එබඳු දේ පවසන්නේ වැඩි මුදලක් බලාපොරොත්තු වෙමින් බැව් මානවී එයටත් වඩා හොඳින් දැන උන්නේය. 'අනුන් ගැන දොඩව දොඩව ඉන්නේ උඹලටත් තිබුණනේ එහෙම ප්‍රඩක්ෂන් කර ගන්න' මානවීට එහෙම කතාවක් පැවසූ නිළියට ජිතේන්ද්‍ර පවසා තිබිණි. ඔහු එසේ පැවසුවේ ඇය අවුස්සා ගනු රිසියෙනි. 'අපොයි අපිට නම් ඔහොම සල්ලි මගෙ බල්ලාටත් එපා' ඇය පැවසුවේ ජිතේන්ද්‍ර සමඟ නොපනාපයෙන් මෙනි. 'පොත්ත රතට තියෙන කොට මුන් හිතනවා මුනුත් නිළියෝ කියලා' ඇය ආඩාපාලියක ස්වරූපයෙන් පවසා සිටියේ තවත් පැරණි නළුවෙක් වන රත්නපාල සමඟය. රත්නපාල ජිතේන්ද්‍රට ඇසක් වසා ඉඟි මැරුවේ තව තවත් ඇය කූප්පනු රිසියෙනි. 'ඒකනේ උඹලත් ඒ කාලේ පොත්ත රතට තිබුණට ඔහොම හම්බ කළේ නෑනේ' ජිතේන්ද්‍ර ඇද පැද පැවසූ ආකාරය ඇයගේ හිස් මුදුනට යක්ෂයා ආරූඪ කරන්නට සමත් වූ හැටියකි. 'යකෝ අපි මේවාට ආවේ මහන්සියෙන්. අපි ලුම්බිනියේ නාට්‍ය කළේ ඇම්මට බං. නැතුව පොත්ත රතට තිබ්බ හින්දා නොවේ. ඉස්සර අපි නාට්‍යය කරලා පයින්ම ගියේ' ඈ කෑගෑවාය. 'අනේ ඉතින් උඹලාගේ පොත්ත අවාරෙටනේ කළු වුණේ' රත්නපාල නැඟී සිටියේය. ඇය යමක් සෙව්වේ ඔහුට දමා ගසන්නටය. 'ඔව් බං අපි මහන්සි උණා. උන් හාන්සි උණා' ඈ දිනුම් පදයක් ගැයුවාය. 'හරි කමක් නෑ ටිකක් හොඳ වැඩක් වගේ පේනවා. කලකට පස්සේ' ජිතේන්ද්‍ර ඇය අස්වැසුමට මෙන් පැවසුවෙන් ඕ කරබා ගත්තාය. 'ඔය දුන්නු සල්ලි පිරිමහල කළොත් ඒක මානවීට ඉතුරු කර ගන්න පුළුවන්' වීරප්පෙරුම පැවසුවේය. මානවී බාහිර උපාධියට ලියන්නට සූදානම් වූයේ ඔහුගේ බල කිරිමටය. 'උගත්කම සහතිකයකින් මනින්න බෑ. හැබැයි උගත්කමට සහතිකයක් තිබ්බාම ඒක වගකීමක්' වීරප්පෙරුම ඇය පොළඹවාලමින් පැවසුවේය. කලක් විශ්ව විද්‍යාලයේ ද ඇදුරෙකු වූ ඔහු මානවීගේ ඉගෙනුමට ද උපකාර කරන්නට වග බලා ගත්තේය. 'ඒ උත්තමයා හම්බ වුණේ දුවගේ පිනට'. විරප්පෙරුම ගැන ඇසූ අත්තම්මා පින් දුන්නාය. මානවී එබසට නිහඬ හිනාවක් පෑවාය. 'අලුත් වලව්ව' රූ ගැන් වූයේ තලවකැලේ පළාතේය. එහි පැරණි නිවසක් ටෙලි නාට්‍යයේ ප්‍රධාන දර්ශන තලය විය. 'පරණ වලව්ව' නැත්නම් අපේ ටෙලි නාට්‍ය ඉලව් තමා' කැමරාකරණයට එක් වූ ජයසිරි පැවසුවේය. ජයසිරි මානවී මුල් වරට එක් වූ නාට්‍යයේ සහාය කැමරා ශිල්පියකු ලෙස කටයුතු කළේය. අදාල නළු නිළියන් ඒ ඒ දිනවලට කොළඹ සිට කැඳවා ඒමට කටයුතු කෙරිණ. ඒ සඳහා තිස්ස අනලස්ව කටයුතු කළේය. තිස්ස නිෂ්පාදන කළමණාකාරවරයාය. සෑම සවසකම එදින ගණං හිලව් සියල්ල ඔහු මානවීට පෙන්වා සිටියේය. උදේට සීතල උහුලන්නට බැරිය. රුගත කිරීම් එක දිගට කළ යුතුය. 'කවුද බං මේක ලියපු එකා. මෙච්චර උදේ සීතලේ ගැහි ගැහි' රත්නපාල සියල්ල සිනස්සවමින් ඇසුවේ ලැබුණු කෝපි කෝප්පය තොල ගාමිණි. 'මෙව්වා ලියන්ඩ ඕනෑ දවල්ට ගැලපෙන්න' මානවී පුටුවකට බර වී සුජිත් රූ ගැන්වීම් මෙහෙය වන අයුරු බලා උන්නාය. ඔහු හැම ආලෝකයක් ගැනම සෙවිල්ලක් ගැනම උනන්දු වෙයි. 'ඔයිට වඩා මූඩ් එකක් දෙන්ඩ. ආපහු ටේක් එකකට යන්ඩ දඩ බඩ ගාලා ඉවර වෙන්න නෙවේ. වැඩක් හරියට කරන්න' ඔහු කාටදෝ කියනු මානවී බලා සිටියාය. මානවී උන් තැනින් නැගිට එතැනට ගියාය. ඔහු පවසන්නේ මාධවටය. මාධව ටෙලි නාට්‍ය ගණනාවක රඟපා නමක් දිනාගෙන සිටී. ඔහුගේ මුහුණ මලානිකය. 'මට දොළහට යන්ඩත් ඕනෑ' ඔහු පැවසුවේ චෝදනාවක ස්වරයකටය. එය සුජිත් ගණනකට ගත් වගක් නොපෙනිණ. එබැවින් රූ ගැන්වීම යළි ඇරඹිණ. ඔහු සමඟ රූ ගැන්වීමට සිටියේ පැරණි නිළියකි. කතාවේ හැටියට ඔහු ඇයගේ පුත්‍රයාය. ඇය මෙන්ම ඔහු ද ජර්සි හැඳ සිටියේ චරිතයට හා පරිසරයේ ස්වරූපයටය. 'අම්මා මං කියන දේ අහන්න. මේ එකක්වත් අපි බලාපොරොත්තු තියා ගත්තු දේ නෙවේ' ඔහු දෙබස් ඛණ්ඩය කියාගෙන ගියේය. සුජිත් එකවරම කෑ ගසාගෙන නැගිට්ටේය. 'මොකක්ද යකෝ සීරියස් කතාවක් කරන්නේ ඔහොමද?' සුජිත් මාධවගේ සමීපයට ගියේය. 'මචං අද මාව දොළහට යවනව නේද' 'බම්බුව මේ වැඩේ ඉවර කරපං. වැඩකට ආවාම වෙලාව බලන්ඩ එපා බං' 'ඒ උණාට කිව්වේ ඊයේ හවස ඉවර වෙනවා කියලානේ' මාධව තම නිදහසට කරුණු කියාපෑවේය. 'ඒ උනාට ඉවර කරන්න බැරි උණානේ. එහෙම තමයි වැඩ' සුජිත් පැවසුවේ ගණනකට නොගනිමිනි. 'සුජියා මේ අපි වෙන ඒවල කොච්චර ඉවර කරනවද? මේකෙ උඹ අත ගානවනේ' මාධව එකිනෙක කියා ගන්නට උත්සාහ කළේය. අත ගාන, නොගාන එක මගෙ වැඩක්. මේ වැඩේ හරියට වෙන්න ඕනෑ. පට් පට් ගාලා ෂූට් කරන විධිය ගැන මට කියන්ඩ එපා. උඹට බැරි නම් කියපං' මාධව උත්තරයක් නොදී මොහොතක් සුජිත්ගේ මුහුණ දෙස බලා සිටියේය. මානවී කිසිත් නොකියා දැත් බැඳ බලා උන්නාය. නළු නිළියන්, කාර්මික ශිල්පීන්, පමණක් නොව අධ්යක්ෂවරයා ද ඇයගේ තෝරා ගැනීම්ය. සුජිත් මාධවගේ දෑස දෙස බලා සිටියේය. 'මට බෑ' එකවරම පැවසූ මාධව දර්ශන තලයෙන් යන්නට සැරසිණ, 'මොකද මාධව අයියේ' චාමර මාධව නතර කරගන්නට සැරසිණ. 'චාමර?' සුජිත් චාමරට අනතුරු ඇඟවූයේය. 'මට යන්ඩ වාහනයක් දීපං. මම මේකේ ඇට් කරන්නේ නෑ' මාධව මානවී දෙස බලමින් පැවසුවේ අසල වූ තිස්සටය. 'දැන් වාහන නෑ. කොළඹින් වාහනයක් එනකොට දොළහ වෙයි' තිස්ස මාධවගේ ඉල්ලීම නොකතා හැරියේය. 'චාමර ෂෙඩුල් එකක් ලෑස්ති කරනවා' සුජිත් චාමර දෙසට හැරිණ. 'මානවී මාට වාහනයක් ඕනෑ' මාධව මානවී ළඟට ගියාය. 'තිස්ස අයියගෙන් ඉල්ල ගන්න. දැන් වාහනයක් නෑනේ' ඔහු සෙස්සන් මැද තනි වූවා වැන්න. මානවී එතැනින් ඉවතට ගියේ මුළුතැන් ගෙය දෙසටය. තවත් මොහොතකින් මාධවගේ ගණං බසිනු ඇත. දැනටමත් ඔහු හීලෑ වන ලකුණු පළ කර ඇත්තේය. මෙබඳු සිදුවීම් දර්ශන තලයක සාමාන්‍ය දේවල් ලෙස මානවී සිතුවාය. එහෙත් ඒවාට අත් තටු ලැබෙයි. අනතුරුව ෆේස්බුක් හරහා ඒවා ව්‍යාප්ත වෙයි. එවිට සිදු වනුයේ මේවා මානවීගේ ප්‍රඩක්ෂන් එකේ හුටපට හැටියට ප්‍රචාරය වීමය. කට්ටියට බත ඉදුණේ නවාතැන්පොළ කෙළවරක වූ දැවැන්ත කුස්සියේය. 'අම්මා එක්ක ආවා නම් ලේසියි' මානවීට සිතිණ. ඈ ආපසු හැරුණේ තිස්සට ඒ බව පවසන්නටය. හරි හමන් කිසිවකු හෝ උදව්වට නැතැයි වැනි පාළු සහගත හැඟීමකින් මානවී වෙලන්නට විය. 'මාධව තව පාරක් කචල් දැම්මොත් ඌව එලවනවා අක්කේ' චාමර මානවී ළඟට විත් පැවසුවාය. 'එලවලා?' 'අලුත් එකෙක් ගන්නවා'
ලබන සතියේ |