|
2K නොවී E වූයේ ඇයි?වැලිගම චාන්දනී සිනමාහල් අධිපති කියයි
තාත්තා පඤ්ඤාදාස විජේවික්‍රම මට සිනමාහල භාර දෙන විටත් සිනමාහලට අවුරුදු 50 ට වැඩිය. එහි සවි කර තිබුණේ එංගලන්තයේ නිෂ්පාදිත කේලි 19 වර්ගයේ 35 m. m. ප්‍රොජෙක්ටර් දෙකක් සහ එයට සම්බන්ධ වෑල්ව් මොනෝ ඇම්ප්ලිපයරයකි. එය එම කාල සීමාවේදී ඉහළම තාක්ෂණයෙන් යුතු ප්‍රොජෙක්ටර් දෙකක් බව මම පසුව දැනගතිමි. සිනමාහලේ ආසන 500 ක් පමණ තිබුණි. ගොඩක් ආසන ලෑලි පුටුය. තිරය පිටුපස ලොකු පෙට්ටියක් තුළ එක ස්පීකරයක් සහ එම පෙට්ටියට උඩින් මී වදයක් වැනි ටුවිටරයක් තිබිණි. අවුරුදු 50 ක් පමණ කාලයක් යනු එම යන්ත්‍රවල අවසන් කාලයයි. මම සිනමාහල තුළ වාඩි වී චිත්‍රපටය නරඹන්නේ පුදුමාකාර අමාරුවෙන්ය. විටෙක රූපය නැති වී තිරය අඳුරු වී යයි. තිරයෙන් එන ශබ්දය තේරුම් ගන්න කන පුළුවන් තරම් තිරය පැත්තට හරවාගෙන සිටිමි. එවිට චිත්‍රපටය වපර ඇසකින් බලන්නාක් මෙනි. මෙය මට මහත් ප්‍රහේලිකාවකි. කොතරම් මහන්සි වී ප්‍රොජෙක්ටරය හැදුවත් ප්‍රොජෙක්ටර් යන්ත්‍රවල පැරණිකම නිසා පෙන්වන චිත්‍රපටයේ රූපය සහ ශබ්දය ඉතා පහළ මට්ටමක තිබුණි. ප්‍රේක්ෂකයන් ද සිනමාහලෙන් ටිකෙන් ටික අඩු වෙන්නට පටන් ගෙන තිබුණි. 35 mm චිත්‍රපට ප්‍රදර්ශනයෙන් හෙම්බත් වී සිටි මා ඊළඟට සිනමාහල මාරු විය යුත්තේ කුමන තාක්ෂණයටදැයි විපරමින් සිටියෙමි. ඒ පිළිබඳ සිනමාහල් දැනුවත් කිරීමේ රැස්වීම් 10 කට වැඩි ප්‍රමාණයකට සහභාගි වුණෙමි. මෙම රැස්වීම්වලට සිනමාහල් හිමියන් වශයෙන් අප සහභාගි වුවද අපට වඩා උසින් මුල් පුටුවල වාඩි වී අප දෙස බලාගෙන කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේ සිනමාහලක් හෝ අඩුම තරමේ මුදල් ගෙවා ටිකට්පතක් රැගෙන චිත්‍රපටයක්වත් නරඹන පිරිසක්දැයි කල්පනා කරමින් ඔවුන්ගේ මධුර දේශනා දෙස දෑස් දල්වාගෙන බලා සිටියෙමි. මේ වන විට ලොව දියුණු රටවල සිනමාව 2K,4ඬ තාක්ෂණයට මාරු වී හමාරය. අප තවම 35mm සහ මොනෝ ශබ්ද අතරය. 2K තාක්ෂණයට යාමට රුපියල් ලක්ෂ අසූවක් පමණ විශාල පිරිවැයක් සිනමාහල දැරිය යුතුය. චිත්‍රපට සංස්ථාව තියා මොන ආයතනයක්වත් මේ සම්බන්ධයෙන් ණය මුදලක් හෝ සහන ක්‍රමයක්වත් සිනමාහලට දෙන්නේ නැත. මාසික ආදායම රුපියල් ලක්ෂයකට අඩු සිනමාහල් ලංකාවේ කොපමණ තිබේද? එසේ තිබියදී පවා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ගැන මම ඔවුනට ගෞරව කරනවා. මොවුන්ට 2K,4ම් ප්‍රක්ෂේපණ යන්ත්‍රවල මිල ඇහුවාම හින් දාඩිය සමඟ මහ දාඩිය ද දමා උන් හිටි තැනුත් අමතක වී යයි. මට ද එසේ විය. මෙවැනි මුදලක් බැංකු ණයක් ලෙස ගෙන 2K සිනමා ප්‍රොජෙක්ටරයක් සවිකර ගතහොත් මාසේ අන්තිමේ එන බැංකු පොළිය ගෙවන්නේ මොන ම් වලින්දැයි ප්‍රශ්නයකි? ඉහමොල රත් වී සිටි මා හට කට්ලට් එකක් සමඟ නෙස්කැෆේ කෝප්ප්යක් ලැබුණි. එය ගිල දැමීමෙන් පියවි සිහියට පැමිණි මා නැවතත් ඔවුන් සමඟ හරබර කතා කරන්නට දෙයක් නැතිව අසා සිට නිකන්ම නිකන් නිකමෙකු සේ බස් එකට නැඟුණේ නැවතත් වැලිගමට ඒමටය. අයියෝ සල්ලි. මේ සිදුවීම් අතර මට e-cinema ප්‍රක්ෂේපණ යන්ත්‍ර ගැන දැනගන්නට ලැබුණි. ඒ ගැන සොයා බලන විට අප වැනි කුඩා සිනමා ශාලාවලට සුදුුසුම ප්‍රක්ෂේපණ යන්ත්‍රය e-cinema බව මම වටහා ගත්තෙමි. නමුත් මේ වන විට අපේ රටේ සිනමා කර්මාන්තයේ සිටිනා පඬිවරුන් e-cinema ලත් තැනම ලොප් කොට තලා හම ගසා බෙර ගසා වල දමන්නට සැරසෙමින් සිටිති. දන්නා මඟුලට වඩා නොදන්නා මඟුල් ගැන කියවන්නට තර්ක විතර්ක ඉදිරිපත් කරන්නට අපේ රට ලෝකයේ ඉහළින්ම සිටීම සතුටට කරුණකි. ඉන්දියාව වැනි විශාල සිනමා කර්මාන්තයක් ඇති රටකත් 35 m.m. වලින් පසු පළමුව e-cinema වට ගොස් පසුව 2ඬ,4ඬ තාක්ෂණයට මාරු වුයේ නම් අප වැනි පුංචි සිනමා කර්මාන්තයක් ඇති රටකත් e-cinema වට මෙතරම් බය වෙන්නේ ඇයිදැයි ප්‍රශ්නයකි? මොන කෙනා ඇඟලි දිගු කරමින් ඇස් ලොකු කරමින් කටවල් ඇද කරමින් e-cinema වට බැන්නත් මට යා හැකි තාක්ෂණය වන e-cinema වට මාගේ සිනමාහල පරිවර්තනය කර 35m.m වලින් විඳි මානසික වේදනාවෙන් මිදී දැන් මම ඉතා පැහැදිලි රූපත් ච්.ඊ.ඉ තාක්ෂණයේ ශබ්ද රටාවත් නවීන සැප පහසු පුටුත් සවි කර අද මම සිටින්නේ පුදුමාකර හිතේ සතුටකිනි. දැන් චිත්‍රපට නරඹන පේ‍්‍රක්ෂක ද පිරිස ද ටිකෙන් ටික වැඩි වෙමින් මට ප්‍රශංසා කරමින් චිත්‍රපටය නරඹා යන්නේ අපි ඊළඟ චිත්‍රපටයත් බැලීමට වැලිගම චාන්දනී සිනමාහලට එනවා යයි පවසමිනි. එතකොට මට සිහි වන්නේ අර e-cinemaවට පහර දෙමින් බැණ වදිමින් යකා නැටූ පඬිවරුන් සහ පඬිවරියන්ගේ හමස් මුහුණුය.
|